යම් සිද්ධියක් හෝ කාරණාවක් සම්බන්ධයෙන් විචාර බුද්ධියෙන් සලකා බලනවා වෙනුවට ක්ෂණිකව තීරණයකට එලඹ, එයම පමණක් නිවැරදි යයි සිතන අයට විද්‍යාඥයන්ගෙන් ලද හැකි ආදර්ශය කුමක් ද කියා තෙරුම් ගන්නට ඊරියගෙ කතාව ප්‍රයෝජනවත් වෙන්න පුලුවනි
ඇමරිකාවේ, ඕහයිඕ පොලිස් ස්ථානයට පසුගියදා (හරියටම කිව්වොත් මැයි 19 දා) අලූයම පහමාරට පමණ ලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවුණේ ඇම්ට්‍රැක් දුම්රිය ස්ථානයේ සිට නිවස බලා එන මගියකු පසුපස ඌරකු පැමිණෙමින් සිටින බවයි. මෙය, බීමත් අයෙකු සිතේ මවාගත් භ්‍රාන්තියක් කියා තමයි පොලීසියේ අය මුලින්ම සිතුවේ. කියූ ස්ථානයට ඔවුන් පැමිණෙන විට ඔවුනට දැක ගත හැකි වූයේ බීමත් අයෙකු නොව හොඳ සිහියෙන් ඒත් මදක් තැතිගැන්මකින් පසුවන්නෙක්ය. ඒ වගේම ඔහු පස පස සූකරයකු පැමිණෙන බවද පොලීසියට පෙනී ගියේය. ඌරා — ඇත්තටම පසුව අනාවරණය වූ පරිදි ඒ ඌරෙකු නොව සොඒයි නම ඇති ඊරියකි – ආපසු අයිතිකරුට බාරදුන් නමුදු හිමිදිරි පාන්දර සූකරයෙකු, නන්නාඳුන මිනිසෙකු පිටුපස එන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට පොලීසියට නම් හැකි නොවීය.
ඊරිය කුතුහලය නිසා එලෙස පස්සෙන් ගමන් කරන්න ඇතැයි යනුවෙන් තමයි සත්ව චර්යා විශේෂඥයෙකු සහ ස්නායු විද්‍යාඥයකු වන ලෝරි මැරිනෝ අදහස් කරන්නේ. “ඌරන් කියන්නේ බොහොම සමාජශීලී සත්ව විශේෂයක්” මැරියෝ පෙන්වා දෙයි, “ඊරිය, කුතුහලය අවුස්සන යමක් ඔය පුද්ගලයා තුළින් දකින්න ඇති.” ඇත්තටම සූකරයන් සුනඛයන් වගේම සමාජශීලී සතුන්. එමෙන්ම සුනඛයන් තරමටම ‘බාගදා ඊටත් වැඩියෙන්’ සූකරයන් බුහුටිකම් දක්වන බව මැරිනෝ Live Science වෙත පැවසීය.

මේ කතාව සමහරුනට පුදුමයක් වෙන්න පුළුවනි. විශේෂයෙන්ම සෝඒයි නම් ඊරියගේ කතාව ගත්තාම මේ පුදුමය තවත් වැඩිවෙනවා. මොකද සාමාන්‍යයෙන් සුනඛයෙකු හැසිරෙන ආකාරයට සූකරයෙකු හැසිරෙන නිසා. “ඒත් ඉතින් සූකරයන් ගැන දන්නවා නම් ඒ හැටි පුදුමයකුත් නැහැ” මැරිනෝ කියා සිටියි, “පොලිස් වාහනයට වී සිටින සොඒයි දෙස බලන්න. සූකරයන් තනිපංගලමේ සිටින අය නෙවෙයි. ඔවුන් අනෙකුත් ඌරන් සහ මනුෂ්‍යයන් ඇතුළු අනෙකුත් සත්තු එක්ක සමාජ සබඳතා පවත්වාගෙන යනවා” ඇය පෙන්වා දෙයි.
නොදන්නා කෙනෙකු දැක කුතුහලය නිසා පුද්ගලයා පසු පස ගියේ නමුත් එසේ පස්සෙන් වැටෙන්ට වෙනත් හේතු තිබෙන්නට පුළුවන. නිදසුනකට ඒ මිනිසා, ආහාරයක සුවඳ ඊරියට ගෙන ආවා විය හැකිය. නැතිනම් ඔහුගේ සන්තකයේ ආහාර තිබී වෙනත් සතෙකු වාගේ සොඒයිද අහාර සුවඳට ඇදී විත් ඔහු පසුපස පැමිණියා විය හැකියි.
“අනෙක් අතට සෝඒයි ඒ පුද්ගලයාගේ අවධානය යොමු කර ගන්න කල්පනා කළේ දැයි ද සිතීමට පුළුවන.” කෙනෙකු අවධානය යොමු කරනවාද නැද්ද යන්න ගැන සූකරයන් හරිම සංවේදීයි. සොඒයි බාගදා ඒ මනුස්සයාගේ අවධානය යොමු කරගන්න උත්සාහ කරන්න ඇති. “ඒත් ඉතින් ඒ මනුස්සයා තැකිමක් නොදක්වා දිගටම ඇවිදගෙන ගිය නිසා එයාගේ පස්සෙන් වැටෙන්න ඇති” මොරිකෝ පහදා දෙයි. “ඔය විදිහට හේතුව මොක වුණත් සොඑයි අතරමං වෙලා අර පුද්ගලයා පසු පස ගිය බවක් නම් සිතාගන්න බැහැ” යයි ඇය සඳහන් කරයි. සූකරයෝ තමන් ආගිය ගමන් මතක තබා ගන්න රුසියෝ. ඒ කුසලතාව තමයි ඔවුනට ආහාර සොයා ගැනීමට උදව් වෙන්නේ. වරක් ආහාර සඳහා ගිය කැළිකසල ගොඩකට ඌරන් ආපසු එන්නේ ඒ අන්දමටයි. සම්පූර්ණයෙන්ම ආගන්තුක තැනකට ගෙන ගොස් අත හැරියේ නැති නම් කලින් කීවා වගේ ඌරන් පහසුවෙන් අතරමං වෙන්නේ නැහැ.
ඊළඟට කල්පනා කරන්න තියෙන්නේ ඊරිය හිමිදිරි පාන්දර දුම්රිය ස්ථානයේ සිට පැමිණ තැනැත්තා තමන්ගේ ස්වාමියා නැතිනම් අයිතිකාරයා යයි වරදවා තේරුම් ගත්තාවත්ද? “කොහෙත්ම වෙන්න බෑ” මරිනෝ කියා සිටියි, “ඊට වඩා ඌරෝ දක්ෂයෝ. අධ්‍යයන ගණනාවකින්ම පෙන්නුම් කරලා තියනවා දන්නා කියන අය — සූකරයෝ පමණක් නොවෙයි එක් එක් මනුෂ්‍යයන් වුණත් වෙන්කොට හඳුනාගන්නා ඔවුන්ට පුළුවන්. ශරීර ප්‍රමාණය, මුහුණ හැඩරුව වාගේ පෞද්ගලික අනන්‍යතාව දක්වන අංගවලට ඔවුන් සංවේදීයි” ඇය කියයි.
සමහර විට මේ වගේ දේවල් සෙල්ලමට පාහේ නැතිනම් චර්යා රටාවක් අනුව සොඒයි නිරතුරුව සිදුකරනවා වෙන්නටත් පුළුවනි. එම පුද්ගලයා එදා පැමිණෙද්දි සොඒයි ඊරිය මුණගැසී පොලීසියට දැනුම් දීම නිසාවෙන් මේ ගැන අපේ අවධානය යොමු වන්නට ඇත. ඇතැම්විට සොඒයි අර පුද්ගලයා පිටිපස්සෙන් නොගියා වෙන්නත් පුළුවන්. එකෙක් අනෙකාගේ පිටිපස්සෙන් නොව එක මඟක දෙදෙනා වෙන වෙනම ගියා වෙන්නත් පුළුවන්.’ මැරිනෝ වැඩිදුරටත් සඳහන් කරයි.
Live Science හි පළවූ Why Would a Pig Follow a Man Home? යන ලිපිය ඇසුරෙනි