වලාකුළු සෑදී තිබෙන්නේ මිලියන මිලියන ගණන් ඉතා කුඩා ජල බින්දුවලින්. සමහර විට ඒවා දිය බිඳිති වශයෙන් පවති. සමහරක් ඉතාමත් කුඩා අයිස් කැටය. ඉතින් මේවා අපේ ඇස් වලට නොපෙනීම එකවරම අහසේ වලාකුළුවලට යන්නේ කොහමද කියන එක ප්‍රහේලිකාවක් තමයි. එත් ඉතින් යමක් ඇහැට පෙනෙන්නේ නැතිවුනාට එහෙම දෙයක් නැහැ කියලම කියන්න බැහැනේ, නේද?
සමහර වෙලාවට ජලය අදෘශ්‍යමාන වෙන්න පුළුවනි. අපි බොන වතුර, ගඟක ඇලක තියෙන වතුර, කරාමයක් කරකැවූ විට එන ජලය නම් අපේ ඇස්වලට පේනවා නේ. දෘශ්‍යමානයි. ඒ විතරක් නොවෙයි ජලය ඝන ස්වරූපයෙන් අයිස් කැටයක් ලෙස තිබෙන විටත් අප කාටත් පෙනෙයි. හැබැයි ජලය ස්වරූප තුනකින් පවතින බව අපි දනිමු. දියර හා ඝන ස්වරූප දෙක අපට දැක බලා ගත හැකිය. එසේ නම් අපට ජලය නොපෙනෙන ස්වරූපය තමයි එය වායුවක් ලෙස පවතින අවස්ථාව. මේ අවස්ථාවේදී වෙන්නේ ජලයේ තිබෙන ඉතාමත් කුඩා ජල බිංදු, බොන ජලය හෝ අයිස් කැට මෙන් එකට එක්වී නොසිට වෙන වෙනම ගුවනේ ඒ මේ අත යාමයි. මේ කුඩාම කුඩා ජල බිංදු හැඳින්වෙන්නේ ජල අණු (molecules) හැටියටයි.
ජලය වායු ස්වරූපයෙන් පවතින විට,ජල අණු පාවෙන්නේ එකිනෙකට බොහෝ ඈතින්ය. ඒවා එකිනෙක අතර විශාල හිඩැසක් පවති. ඉතින් මේ කුඩාම කුඩා ජල අණු වෙන්වෙන්ව පවතින හෙයින් අපේ දෑසට පෙනෙන්නේ නැත. කුඩා ජල බිඳිත්තක් ලෙස පෙනිමට පවා හැක්කේ ජල අණු මිලියන දහස් ගණන් එකට එක්වූ විට පමණයි. එවිටයි අපට පේන්න පටන් ගන්නේ. ඔන්න ඕක තමයි ඇත්තටම අහසේ වලාකුළක් සෑදෙන විට සිද්ධවෙන්නේ.
අපට සමහරවිට නිරීක්ෂණය නොවුණාට, අප අවට අදෘෂ්‍යමාන ජලය ඕන තරම් තීයෙන්න පුළුවන්. අප ආශ්වාස කරන වාතයේ කොටසක් ලෙස එය පවති. ජල අණු වාතයට එක්වන්නේ සාගර, හිම, දිය කඩිති හෝ බිම් මට්ටමේ ඇති ඕනෑම ජල මූලයකින් ඉහලට නැගීමෙන්. ඒවා ඉතාමත් කුඩා නිසා අපට නොපෙනුණාට, අනෙකුත් වෙනත් අණු සමග ගැටෙමින් එහා මෙහා පාවෙමින් අප අවට ජල අණු පවති.
අප අවට වාතය උණුසුම් වන්නට වන්නට වැඩි වැඩියෙන් වගේම වැඩි වේගයකින් ජල අණු ඉහළට නගී. ඒත් ඉතින් මේ අදෘෂ්‍යමාන ස්වරූපයෙන් ඇති ජලය අහසේ ඉහළටම නැග සුදු පාටට විශාල පුළුන් කැටියක ස්වරූපය ගත් වලාකුලක් බවට හැරෙන්නේ කොහොමද?
අපේ, ඒ කියන්නේ පෘථිවියේ වායු ගෝලයේ පහළ සැතැපුම් කිහිපයේ දී වාතය කරකැවී සුළි ගැසෙන සුළුයි. පොළොව ආසන්නයේ ඇති වාතය ඉස්සී අහසට නැගිය හැකි විධි ගණනාවක්ම තිබේ. වාතය කන්දක් උඩින් හමන විට එය ඉහළට නැගිය හැකියි. සූර්ය රශ්මියෙන් රත් වූ පොළවෙන් උණුසුම් වූ විට එය ඉහළට පාවී යා හැකියි. වාතය උඩට නගින්නේ ඔය කිව් කුමණ ක්‍රමයෙන් වුණත්, ඉහළට යන සැම විටම එය සිසිල් වෙයි. අන්න ඒකෙන් තමයි වලාකුළු මතුවෙන්නේ.
වාතය සිසිල් වෙද්දී අර පෙර සඳහන් කළ අදෘශ්‍යමාන ජල අණු ඊට පෙර තරම් වේගයෙන් ඉහළට නගින්නේ නැහැ. එපමණක් නොවෙයි ඇති පදම් සිසිල් වී ඇත්නම් ඒවා(ජල අණු) එකිනෙක හා ගැටෙන විට දිය බිඳිති හැටියට එකට ඇළෙන්න, එකට එක්වෙන්නට පටන් ගනී. වාතය ඉහළට නගිද්දී තව තවත් සිසිල් වෙද්දී, මේ දිය බිඳිති සෑදි අපට සුදු වලාකුළක් ලෙස පෙනී යා හැකි අන්දමට විශාල වන්නට පුළුවන.
වාතය තව දුරටත් ඉහළට නගිමින් තවදුරටත් සිසිල් වේ නම් වලාකුළෙහි ඇති දිය බිඳිති ඉතා සියුම්, ඉතා කුඩා අයිස් කැට බවට පත්වෙයි. මේවා ක්‍රමයෙන් විශාලවි ආපසු පොළව මතට වටෙන්නේ හිම හෝ වැස්ස හැටියටය.
BIG QUESTIONS from Little People and Simple Answers from GREAT MINDS ග්‍රන්ථයෙහි පළවන HOW DOES WATER GET INTO THE CLOUDS SO IT CAN RAIN නම් කොටස ඇසුරෙනි