පක්ෂියෙකු කියන්නේ කාටද? මෙ ප්රශ්නය ඇසුවොත් වැඩි දෙනෙක් උත්තර දෙන්න පුලුවන් “පක්ෂියෙකු කියන්නේ පියාසර කරන පෘෂ්ඨවංෂිකයෙකුටය” යනුවෙන්. මේක හැබැයි සම්පූර්ණයෙන්ම නිවැරදි උත්තරයක් නොවෙයි. මත්ස්‍යයින්, උභය ජීවීන්(amphibians), උරගයින් සහ ක්ෂීරපායියන් සේම පක්ෂීන්ගේත් කොඳුනාරටි ඇට හෙවත් කශේරුකාවන්ගෙන් (සහ එම කාණ්ඩය විස්තර කෙරෙන ආවේනික අනෙකුත් ලක්ෂණ) ඇති අතර ඒ අනුව පෘෂ්ඨවංෂිකයන් වේ(vertebrates). එහෙත් පක්ෂීන් සියළු දෙනාම පියාඹන්නේ නැත. අනෙක් අතට පියාසර කරන පෘෂ්ඨවංශිකයන් සියල්ලෝම පක්ෂීහු නොවෙත්. ඉතින් පක්ෂියෙකු කියන්නේ කාටද යන්න අප හොඳින් දන්නේ යයි සිතා සිටින්නේ වී නමුත් පක්ෂියා යන්නට අර්ථ දැක්වීමක් ඉදිරිපත් කිරීම තරමක් අසීරු බව මින් පැහැදිලි වේ.
පක්ෂීන් යනු ‘පිහාටු සහිත පෘෂ්ඨවංශිකයන්’ යැයි කීම වඩාත් යෝග්‍ය යෙදුමක් විය හැකියි. මන්ද දැනට සිටින එකම විද්‍යාමාන, පිහාටු සහිත පෘෂ්ඨවංශිකයා පක්ෂීන් වීම හේතුවෙනි. හැබැයි පිහාටු තිබෙන්නේ පක්ෂීන්ට පමණක් යයි තවදුරටත් කියන්නට ද නුපුළුන් වන්නේ Microraptor සහ Sinosauropteryx වැනි පිහාටු තිබෙන ඩයිනසෝරයන්ගේ පොසිලගත නිදර්ශක සොයා ගැනීමත් සමගය. පක්ෂීන්ට ආවේණික අනෙකුත් ලක්ෂණ ගණනාවක්ම පෘෂ්ඨවංශික කාණ්ඩ එකක් හෝ ඊට වැඩි ගණනක පිහිටා ඇති හෙයන් පක්ෂීන් වෙන්කොට හඳුනාගැනීමට ඇති එකම විදිහ ඒවා එකට ගෙන සැලකීමය.
පක්ෂීන්ගේ පරිණාමිය සම්භවය පැහැදිලි කරනු වස් වර්තමානයේ ප්‍රධාන සිද්ධාන්ත දෙකක් ඇත. ඒ දෙකෙන්ම එකඟත්වයක් පළ කරන අදහසක් ඇත: එනම් (ක්ෂීරපායීන් ලෙසම) පක්ෂීන්ද හටගන්නේ උරගයන්ගෙන් බවයි. එසේ වූවද ක්ෂීරපායීන්ගේ සම්භවය සිනප්සිඩ උරගයන්(synapsid reptiles) අතරේ යයි කල්පනා කරන අතර පක්ෂීන් පරිණාමය වන්නට ඇත්තේ ඩියප්සිඩ උරගයන්ගෙන්(diapsids ) යයි විශ්වාස කෙරේ. ලෝකයේ වර්තමානයේ ජීවත් වන කටුසු හා සර්ප විශේෂ ගණනාවක්ම ඩියප්සිඩයන්ය. එහෙත් පක්ෂීන්ගේ පරිණාමීය මූලයන් සෙවීමට නම් අප ආපසු බැලිය යුත්තේ දැන් නෂ්ටප්රාප්ත වී ගොස් ඇති ඇකසෝරයන් (archosaurs) දෙසය. ඩියප්සිඩ කණ්ඩායම් අතුරෙන් බාගදා වඩාත්ම සාර්ථකම ඇකසෝරයන් විය හැක: ඓතිහාසිකව ඔවවුන් තෙකොන්ඩෙන්ට් (codonts) ප්ටෙරසෝරයන් (pterosaurs) සහ වඩාත් කැපීපෙණෙන ඩයනසෝර(dinosaurs) යන් හට ගන්නේ ඔවුන්ගෙනි.
එක් ගුරුකුලයකින් කියවෙන්නේ පක්ෂීන්ගේ සම්භවය ඇත්තේ තෙකොඩොන්ටයන් අතරේ බවත් මෙයට වසර මිලියන 230 කට පමණ පෙර ඩයිනසෝරයන් පහළ වූ අවධියෙම පාහේ පරිණාමය වූ බවයත්ය. ඉන් ගම්‍ය වන්නේ පක්ෂීන් වනාහි වඩාත් සම්බන්ධ ඩයනසෝරයන්ට නොව ඔවුන්ගේ දුරස්ථ ඥාතීන්ට බවයි. මීට හාත්පසින්ම වෙනස් මගක් ගන්නා අනෙක් ගුරුකුලයකට අනුව ඩයිනසෝරයන් හා එක පෙළට පක්ෂීන් පරිණාමය වනවා වෙනුවට පක්ෂීන් ඩයනසෝර උප කන්ඩයමක් වන තෙරයෝඩයන්ගෙන් මෙයට වසර මිලියන 150 කට පෙර ඉඳුරාම පරිණාමය වූ බවයි. මේ මතවාද දෙකට පක්ෂව හා විපක්ෂව ප්‍රබල තර්ක ඉදිරිපත් කෙරෙන අතර පක්ෂීන්ගේ පරිණාමීය කතන්දරයට සම්බන්ධ කළ හැකි විවිධ ප්රාග් ඵෙතිහාසික සත්වයන්ගේ පොසිල අවශේෂයන් පිළිබඳ විස්තර සම්බන්ධ විධග්ද අර්ථ නිරූපණද ඉදිරිපත් කෙරේ. මේ ගැන උනන්දුවක් දක්වන පාඨකයන් මේ දෙපාරශ්වයම ඉදිරපත් කරන කරුණු කාරණා ගැන වැඩි දුර හදාරා තුලනාත්මක තීරණයකට එළඹිය යුතුවේ. දැනට පවතින තත්ත්වය අනුව නම් වැඩි බරක් ඇත්තේ ඩයනෝසර (තෙරපෝඩ) උපන්‍යාසය කෙරෙහි යයි එක්සත් රාජධානියේ හල් විශ්ව විශ්ව විද්‍යාලය ජෛව විද්‍යාත්මක දෙපාර්තමේනතුවේ ග්රැහැම් ස්කොට් පවසයි.
බොහෝ උරගයන් මෙන්ම පක්ෂීන් ද බිජුලන අතර ජනිතයන් වර්ධනය වන්නේ දෙමාපියන්ගේ ශරීරයෙන් පිටතය. කිඹුල් හා ක්ෂීරපායීයන් විලස ඔවුනට ද කුටීර හතරකින් යුක්ත වූ හෘදය වස්තුවක් ඇත. ක්ෂීරපායීයන් ලෙස ඔවුන්ද අචලතාපීය(warm blooded). එමෙන්ම ඉහළ පරිවෘත්තීය වේගයකින් (high metabolic rate) යුක්තය. මේ හේතුව නිසා ඔවුන් නිතිපතා ආහාර ගත යුතුය. ඔවුනට සුවිශේෂී අංගයක් වනුයේ ඔවුනට දත් නොමැති අතර හොටයක් (beak) තිබීමය. ඔවුන්ගේ අස්ථි වායවය( =වායු පිරවූ කුහර සහිතය). එහෙයින් අනෙතුත් පෘෂ්ඨවංෂිකයන් ගේ ඝන අස්ථි වලට වඩා බරින් අඩුය. ඔවුන්ගේ අක්ෂකාස්ථි (අතු ඇට) දෙබලයක් ලෙස(ෆර්කියුලා හෙවත් කරු ඇට) පිහිටන සේ සංයෝජනය වී (හාවී) ඇත. ඔවුන්ගේ උරස්තලය (sternum) සෑදි ඇත්තේ විශාල පියසර පේශී යා කිරීමට හැකිවන පරිදිය. මේ කිව් අංග සමග තවත් ගුනාංග ගණනාවක්ම සම්බන්ධ කමක් දක්වන්නේ පියාසර කිරීමටය. එනයින් ලිපිය ආරම්භයේ නැගූ ප්‍රශ්ණයට පිළිතුරු සපයන්නේ නම් පක්ෂීන් යනු ඩයිනෝසරයන්ගේ අවසන් පුරුක යනුවෙන් දැක්විය හැකිය.
සිනැප්සිඩ හා ඩියප්සිඩ සංකල්පය
හිස්කබලෙහි (කපාලයෙහි) රූපාකාරය හා පදනම්ව උරගයන්ව මෙම වර්ග දෙකින් එකකට වර්ගීකරණය කෙරේ. වඩාත් යථාතථ්යාව දක්වතොත් හිස් කබලෙහි කවුළුවල සැකැස්ම පදනම් කරගෙනය. සිනප්සිඩයන්ට ඇත්තේ අක්ෂි කුහරය හෙවත් ඇස් කෙවෙනිය පිටුපසට වෙන්නට ඇති එක් කවුළුවක් පමණකි. එහෙත් ඩියප්සිඩයන් ගේ හිස්කබලෙහි එකකට එකක් උඩින් පිහිටි කවුළු දෙකක්ම ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩියප්සිඩයන්ට ඇත්තේ වඩාත් සැහැල්ලූ සාමාන්‍යයෙන් වඩාත් ‘විවෘත’ හිස් කබලකි. තවද ඔවුනට වඩාත් ඔවුනට සැහැල්ලූ කංකාලයක් හෙවත් ඇටසැකිල්ලක් තිබීමේ ප්‍රවණතාවක් මෙන්ම හීන්දෑරී සිරුරක් ඇත. එනැයින් ඔවුන් වඩාත් පක්ෂී ආකාරය.
ESSENTIAL ORINTHOLOGY by Graham Scott(Oxford, 2010) යන ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය අසුරෙනි