සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රවාද: වෙනත් දවසක මියයාම

නොනැසී පැවැත්ම එරෙහි මර්ත්‍යතාව(Survival Vs mortality)

සෞඛ්‍ය සත්කාරක සේවාව ගැන සාකච්ඡාවන්ට වඩා විසකුරු යමක් එක්සත් ජනපද දේශපාලනය තුළ ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. කාලය ගෙවී යද්දි මේ පිළිබඳ කෙරෙන තර්ක විතර්ක හා සමග විවිධාකාරයේ අපැහැදිලි කියාපෑම් මෙන්ම ප‍්‍රතිකියාපෑම් ද එක් වී ඇත. මේ තර්ක සනාථ කරනු වස් බොහෝ විට සංඛ්‍යාලේඛනාත්මක සාක්ෂි ද ගෙනහැර පානු ලැබේ.

2008 වර්ෂයේ ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පාක්ෂික නාම යෝජනා දිනා ගනු වස් නිව්යෝක් නුවර හිටපු නගරාධිපති රූඩි ගියුලියානි ගෙන ගිය ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී නිකුත් කළ ප‍්‍රකාශය ගෙන බලමු. රූඞ් පුරස්ථිත පිළිකාව(prostate cancer) වැළඳී ඉන් අත්දැකීම් ලැබූ අයෙකි. පුරස්ථිත පිළිකාව වැළඳී,  ඉන් ගොඩ ඒමට  ඇමරිකා එක්සත් ජනපදය තුළ පිරිමියෙකුට සියයට 82 ක අවස්ථාවක් තිබෙන බවත් එහෙත් එක්සත් රාජධානිය ගතහොත් සංසන්දනාත්මකව බලද්දී  එ රට බදු ගෙවන්නන්ගේ අරමුදලින් යැපෙන් ජාතික සෞඛ්‍ය සේවාව යටතේ ඇත්තේ (පුරස්ථිත පිළිකාව වැළඳී  ඉන් ගොඩ ඒමට)  සියයට 44 ක  අවස්ථාවක් පමණක් බවත් හෙතෙම සිය ප‍්‍රකාශයෙහි සඳහන් කළේය.

සමාන ආකාරයක සංවර්ධනයට ලක් වූ රටවල් දෙකක නොනැසී පැවැත්මේ අනුපාතය පවතින්නෙ මේසා අන්ත දෙකක බවක් ඉන් කියැවෙනවා නේද? මෙය නිවැරදි නම් එය සමාජානුයුක්ත වෛද්‍ය ක‍්‍රමයක(socialized medicine)  ඉතා දැඩි අකාර්යක්ෂමතාව පිළිබඳව එල්ලවන හානිකර චෝදනා පත‍්‍රයක් නොවන්නේ ද? රූඞ් ඉදිරිපත් කළ ගණන් හිලව් ගැන නම් සැකයක් ඇත්තේ නැත.

Image result for screening test

Related image

සැකයක් නම් නැහැ-ඒත් එම ගණන් හිලව් අප නොමග යවන සුළුය! රෝග විනිශ්චය කරන ආකාරයෙහි “අතිශය වෙනස්කම් සහිත කණ්ඩායම් දෙකක් අරබයා  සංසන්දනය සඳහා ගියුලියානි ඉදිරිපත් කරන සංඛ්‍යා තේරුමක් නැහැ’’ යයි බර්ලිනයේ, මානව සංවර්ධනය සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් අයතනයේ මනෝ විද්‍යාඥ ගර්ඞ් ගයිගරෙන්සර් සහ සගයෝ අවදානම් සංනිවේදනය ගැන 2008 දී ඉදිරිපත් කළ ලිපියක සඳහන් කරති.

මීට හේතුව ගියුලියානි ඉදිරිපත් කර ඇත්තේ පස් අවුරුදු දිවිරැකුම් අනුපාතයන් වීමයි. මෙය තව ටිකක් පැහැදිලි කරන්නේ නම් ඉන් දැක්වෙන්නේ, කිසියම් නිශ්චිත වර්ෂයකදී යම් රෝගයකින් පෙළෙන බවට රෝග විනිශ්චය කළ පුද්ගලයන් සංඛ්‍යාවක් ඊට වසර පහකට පසුවත් තවම ජීවතුන් අතර සිටින්නේ යන්නය. එසේ වුවද, පුරස්ථිත පිළිකාව එක්සත් ජනපදයේ රෝග නිර්ණය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් රෝග පිරික්සීමේ(screening) ක්‍රමය මාර්ගයෙනුයි. එක්සත් රාජධානියෙහිදී එය සිදු කරනු ලබන්නේ රෝග ලක්ෂණ පදනම් කරගෙනයි.   රෝග පිරික්සීමේ ක්‍රමයෙන් රෝගය කළින් හඳුනාගැනීමේ හැකියාවක් ඇතිවෙයි. එහෙයින් එවැනි සංසන්දනයක්  රටවල් දෙක අතර සංසන්දනයක දී යම් අගතියක් ඇති කරයි.

පුරස්ථිත පිළිකාව වැළඳුනු පිරිමි කණ්ඩායමක් වයස අවුරුදු 70 දී මරණයට පත්වේ යයි සිතමු. එම පිරිමින් වයස අවුරුදු 67 වනතුරුම හෝ ඊට පහුවෙන තුරු  රෝග ලක්ෂණ කිසිවක් වර්ධනය වූයේ නැතිනම් රෝග ලක්ෂණ පදනම් කරගෙනු ලැබූ පස් අවුරුදු දිවිරැකුම් අනුපාතය සියයට 0 බවට පත්වේ. ඒ වෙනුවට අපි මෙහෙම හිතමු. මේ පිරිමි සියලූ දෙනා අතරම පුරස්ථිත පිළිකාව ඇති බවට වයස අවුරුදු 64 දී සොයා ගත්තා යයි සිතමු. මර්ත්‍යතාව එකම වුවද මෙහිදී පස් අවුරුදු දිවිරැකුම් අනුපාතය සියයට 100 ක් බවට පත්වේ. යහපත් දිවිරැකුම් අනුපාතයන් මගින් සැමවිටම යහපත් ප‍්‍රතිඵලම දැක්වෙන්නේ නැත.

ඉහත දැක්වූයේ ඇත්තටම අතිශය සරල කිරීමකි. රෝග පිරික්සුම මගින් කලින්ම  රෝගය විනිශ්චයව කිරීම, රෝගයට පිළියම් යෙදීම සඳහා යම් පියවර කලින්ම ගැනීමට ඉඩ සලස්වන බව සිතා ගත හැකිය. එහෙත් රෝග පිරික්සීමේ ක්‍රමයscreening () සියයට 100 ක්ම නිවැරදි නැත. මුලින්ම කිව යුත්තේ එය ව්‍යාජ නිසැක ප‍්‍රතිඵල (false positive) ගෙන ආ හැකි බවය. මෙහිදී සිදුවන්නේ නිරෝගී පුද්ලයෙකු පිළිකාව වැළඳුණු අයෙකු ලෙස රෝග පිරික්සීමේ ක්‍රමයේ දී දැක්විය හැකි බවයි. දෙවැන්න : පුරස්ථිත පිළිකාව සඳහා රෝග පිරික්සීමේ ක්‍රමයේ දී එමගින් වර්ධනය නොවන පිළිකා (non-progressive cancers) දැක්විය හැකිය. එවැනි පිළිකා මරණය ගෙන ඒම තබා රෝග ලක්ෂණ ඇති කිරීමටවත් හේතු නොවන්න පුළුවන. මේ ආකාරයට අධි-රෝග විනිශ්වයේ ප‍්‍රමාණය හරිහැටි නොදන්නේ වී නමුත්, දළ ඇස්තමේන්තුවකින් දැක්වෙන්නේ මෙලෙස පිරික්සීමේ ක්‍රමයෙන් රෝග නිර්ණය කරන පිරිමින්ගෙන් 48% වර්ධනය වන පිළිකා නොමැති බවයි.

Related image

Related image

ගැටලූකාරී සංසන්දනය

ව්‍යාජ රෝග විනිශ්චවය මෙන්ම අධි-රෝග විනිශ්චවය යන දෙකම අනවශ්‍ය ප‍්‍රතිකාරවලට මග පාදනවා පමණක් නොව සැලකිය යුතු හානියක් ගෙන ඒමේ හැකියාවක් ද ඇත. පුරස්ථිත පිළිකාව ගත්තොත් එය පුරුෂයන් ලිංගිකව බෙලහීන කිරීමට හා ලිංගික අසංයමයට(incontinent) මග පාදයි. එහෙත් අධි රෝග විනිශ්චයව පිළිකාව හේතුවෙන් කොහොමටත් මිය නොයන පුරුෂයන් ද ඇතුළත් කිරීමෙන් පස් අවුරුදු දිවිරැකුම් අනුපාතය පුම්බයි.  ‘‘ ඇත්ත කතාව තමයි රටවල දෙකක අතුරෙන් කුමන රට වඩා හොඳින් ක‍්‍රියා කරන්නේ ද කියලා බලන්න නම් මර්ත්‍යාතා අනුපාත සංසන්දනය කළ යුතු වෙනවා’’ යයි ගයිගරෙන්සර් පෙන්වා දෙයි.

යම් රෝගයක වාර්ෂික මර්ත්‍යතාව යනු කිසියම් නිශ්චිත වර්ෂයක් තුළ එකී රෝගයෙන් මිය යන සංඛ්‍යාව මුළු ජනගහනයේ අනුපාතයක් ලෙස දැක්වීමයි. එහෙමනම් වඩාත් යහපත් ලෙස සැලකෙන්නේ එක්සත් ජනපදයද ? එක්සත් රාජධානිය ද? 2003 වසරේ සිට 2007 දක්වා කාල ෙඡ්දය සඳහා එක්සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනය මගින් ප‍්‍රකාශිත සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ, වයස අනුව ගැලපූ මර්ත්‍යතාවකි: සෑම 100,000 කටම 24.7 ක් පුරස්ථිත පිළිකවෙන් මිය යති. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ නිකුත් කළ මේ හා සමාන සංඛ්‍යාලේඛන අනුව 2008 වසර සඳහා සෑම 100,000 කටම 23.9 ක මර්ත්‍යාතාවක් පෙන්නුම් කරයි. දෙරටම කරට කර වාගෙයි, නේද? සංඛ්‍යාලේඛනාත්මක අර්ථයකින් ගතහොත් නොනැසී පැවතීමේ ඉහළ අනුපාත අවශ්‍යයෙන්ම අඩු මරණ සංඛ්‍යාවක් සිදුවන බව කියාපාන්නේ නැත.

Image result for survival vs mortality

මේ ආකාර අගතිගාමී නැඹුරුවීම් හේතුවෙන් විවිධ රටවල් අතර නොනැසී පැවතීමේ අනුපාතයන් සංසන්දනය කිරීම අසීරු කාර්යයක් බවට පත්වේ. මෙම අපහසුතාව, මේ මැනුම් ක‍්‍රමය භාවිතා කරන ශාස්ත‍්‍රීය අධ්‍යයනවල කතුවරු බොහෝ විට එළිපිටම පිළිගනිති. ඒ හා සමාන සීඝ‍්‍රතාවයකින් දේශපාලඥයෝ සහ පුවත් කලාවේදීහු ඒ විචක්ෂණශීලිත්වය මග හරිති. ඔවුනට අවශ්‍ය වන්නේ මහජනතාව කම්පාවට පත් කරන යමක් කීමට පමණකි.

ඉතින්, සෞඛ්‍යයට අදාළ වැදගත් ගණන් මිනුම්වලදී එක් රටක් අනෙකාට වඩා යහපත් හෝ අයහපත් කාර්ය සඵලත්වයක් අත්පත් කරගන්නේ යයි අසන්නට, කියවන්නට ලැබුණ විට එසේ හුවා දක්වන්නේ මර්ත්‍යතාව ද දිවිරැකුම ද යන්න ගැන හොඳින් විමසිලිමත් වන්න. සඳහන දිවිරැකුම ගැන නම් ඒ අතිශෝක්තියෙන් යයි සැලකීම වටී. එසේ කළත් සුළු අවවාදයක් ද කිරීම යෝග්‍ය යයි සිතමු: එම පුවතම ඔබට හෘදයාබාධයක් ඇති කරලීමේ අවස්ථාව වැඩි කිරීමට  ඉඩ තිබේ!

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි Careless pork costs lives… .and other medical myths යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: