සැමට විදු නැන නුවණ – Science Literacy for All

පසෙහි ක්ෂුද්‍ර ජීවීහු ගෝලීය උණුසුම වේගවත් කරති

ප්‍රමාණයෙන් ඔවුන් අන්වීක්ෂණීයය; එහෙත් ඔවුහු දේශගුණ යාන්ත්‍රණයෙහි දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරති. වෙන කවරදාටත් වඩා ඔවුන් ලෝකය උනුසුම් කරමින් සිටිනා බව අලුත්ම පර්යේෂණ පෙන්වාදෙයි. මේ වෙන කවුරුවත් නොව පාංශු ක්ෂුද්‍ර ජීවීන්ය!

Image result for Soil microbes

පෘථිවිය උණුසුම්වෙද්දී මිහිතලයේ මූලික පදාර්ථද උනුසුම්වෙන්නේ ක්ෂයවීම හා ප්‍රතිචක්‍රීකරණය යන වැදගත් කාර්යයන්ට වැඩියෙන් ශක්තිය යෙදවීමට පේවී සිටින එහි භූගත පුරවැසියන් වන පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයන් තුළිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෑම තැනකදීම කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වන බව නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි. ඉතින් වායුගෝලයේ තිබෙනවාක් මෙන් දෙගුණයක් කාබන් (ශාක රොඩුබොඩු ලෙස) පසෙහි ඇති හෙයින් මෙම එළිදරව්ව අනිටු පෙර නිමිති ගෙන ඒමට සමත්වෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරන ඇ.එ.ජ. පර්යෙෂකයන් Nature නම් සඟරාවෙහි වාර්තා කරන්නේ ඔවුන් අධ්‍යයනයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහ උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් සාක්ෂි මනින ලොව පුරා නිරීක්ෂණ කුලුනු 500කට වැඩි ප්‍රමාණයක දත්ත වලින් ලැබෙන ප්‍රතිඵල දෙස බලද්දී 1990 සහ 2014 අතර පාංශු ස්වසන වේග අනුපාතය 1.2%කින් ඉහළ ගොස් ඇති ලෙසක් පෙනීයන බවයි.

Image result for Soil microbes

“මෙම සොයාගැනීම් සැබෑ ලෝකයේ නිරීක්ෂණ මත  පදනම් වූ බව අවධානයට ලක් කිරීම වැදගත්. මේක මේ පරීක්ෂණාගාරයක සිදුකළ දැඩි ලෙස පාලිත අත්හදා බැලිමක් නොවෙයි” යයි අධ්‍යනයේ මුල් කතුවර,ජොඉන්ට් ග්ලොබල් චේන්ජ් ආයතනයේ(Joint Global Change Research Institute) බෙන් බොන්ඩ්-ලැම්බර්ටි පවසයි, “උණුසුම්වන දේශගුණයට ලෝකය පුරා පස් ප්‍රතිචාර දක්වනවා. එය එවිට තව තවත් කාබන්, වායු ගෝලයට එක්වන කාබන්  ඩයොක්සයිඩ් බවට පරිවර්තනය කරනවා. කාබන් චක්‍රයේ අනෙකුත් සංරචක දේශගුණ උණුසුම් වීම නිසා ප්‍රතිචාර දක්වන්නේ කෙසෙද යන්න අනුව මෙම පාංශු විපර්යාසයන්. ප්‍රතිපෝෂණ ලූපය හේතුවෙන් තවත් ඉහළ උෂ්ණත්වයන්ට දායක වීමේ විභවය තියෙනවා” යයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

දේශගුණ තේරවිල්ලේ පාංශු ක්ෂුද්‍ර ජීවීන් ඉටුකරන කාර්යභාරය මහා රහසක් ලෙස දිගටම පවතී.  ක්ෂුද්‍ර ජීවීයෙක් — බැක්ටිරියමක් හෝ දිලීරයක් — ඉතාමත් කුඩා වුවත් වැදගත්ය.  ප්‍රථම සංකීර්ණ සත්ව හා ශාක හටගැනිමට පොරාතුව, වසර බිලියන දෙකක් තිස්සේ මේ ජීව ලෝකය පාලනය කළේ ඒක සෛලික ජීවීන්ය. ඒ කාබන්, කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් බවට හරවමින් සහ අනතුරුව, මියගිය ජීව ස්වරූප ජීවය සඳහා නව අමුද්‍රව්‍ය බවට පරිවර්තනය කරමිනි.

එපමණක් ද නොව ක්ෂුද්‍ර ජීවින්ගේ සංඛ්‍යාව අතිශය දැවැන්තය: කොපමණ නම් විශාල ද කීවොත් මෑතක ඇස්තමේන්තුවක අනුව, භෞමික බැක්ටිරීයා එකතුව ජීව කාබන් ටොන් බිලියන 70කි; දිලීර තවත් ටොන් බිලියන 12 කි. එකට එකතු කර ගත් කල මේ ක්ෂුද්‍ර ජීවින්ගේ බර පෘථිවි ග්‍රහයා මත සියලුම සතුන්ගේ බර මෙන් හතලිස් ගුණයකි.

Related image

තවද, අපේ දෙපා යට, අපේ දෑස් වලින් වසන්ව දිවි ගෙවන ජීවින් මත ගෝලිය උණුසුම්වීමේ බලපෑම පිළිබඳ ප්‍රහේලිකාවට විද්‍යාඥයෝ වසර ගනණාවක් තිස්සේ මුහුණ පා සිටිති. කාබන් අයවැය පිළිබඳ ගැටලුවට විසඳුම ඇත්තේ ක්ෂුද්‍ර ජීවී ලෝකය තුළ බව වටහා ගත් ඔවුහු, පස කාබන් අවශෝෂණය කර ගබඩා කරන සිඝ්‍රතාව ගැන විමසිලිමත්වූහ. වඩාත් උණුසුම්කාරී ලෝකයක් තුළ පාංශු ක්ෂුද්‍ර ජීවීන් වඩාත් ක්‍රියාකාරී විය හැකි බවට ඔවුහු අනතුරු හඟවති.

ඔවුන් නිවැරදි බවයි මේ අලුත්ම අධ්‍යනයෙන් ද කියැවෙන්නේ: කාබන් ඩයොක්සයිඩ් වඩාත් සීඝ්‍රතාවකින්  වායු ගෝලය වෙත යළි ප්‍රාස්වාස කෙරේ. වසර 25 කට පමණ පෙර ක්ෂුද්‍රජීවීන් වගකීවේ පාංශු ස්වශනයෙන් 54%කට පමණකි. දැන් එය 63%ක් දක්වා ඉහළ ගොස් ඇත.

” ගෝලිය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත් බව අපට ඉතා ඉහළ නිවැරදිතාවයකින් හෙවත් යථාතථ්‍යව කියන්න පුළුවනි. එය ක්ෂුද්‍ර ජීවීන් වඩාත් ක්‍රියාකාරිවීමට උත්තේජනයක් වෙයි කියලා අපි කල්පනා කරා. අන්තිමට සිද්ධවෙලා තියෙන්නෙත් හරියටම ඒකම තමයි” යනුවෙන් ආචාර්ය බොන්ඩ්-ලැම්බර්ටි කියා සිටියි, “භූමිය සමස්ත ලෙස ශක්තිමත් කාබන් කිඳාවක්() ලෙසයි සැලකුණේ,  ඒත් පාංශු  අනුපාතය ඉහළ යද්දී භෞමික කාබන් කිඳාව සදහටම හානි නොවී පවතීවි කියලා බලාපොරොත්තුවෙන්න බැහැ.”

 

Climate News Network හි පළවූ Soil microbes speed up global warming යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: