සැමට විදු නැන නුවණ – Science Literacy for All

මැලේරියා වාහක මදුරුවන් පරිසර පද්ධතියකින් ඉවත් කිරීම පද්ධතියට හානිකර නොවේ

පරිසර පද්ධතියට හානියක් නොවී මදුරුවන් ප‍්‍රාදේශීයබදව අඩු කිරීමට හෝ මුළුමනින්ම ඉවත් කළ හැකි බව එක්සත් රාජධානියේ සිදු කළ නව අධ්‍යයනයකින් පැහැදිලි වේ. එක් මැලේරියා වාහක මදුරු විශේෂයක් අළලා සිදු කළ අධ්‍යයන ගණනාවක් එකට ගොණු කෙරුණු මෙම පර්යේෂණයේ දී තව දුරටත් හෙළි වූයේ වෙනත් කිසිම සතෙකු තම ආහාර අවශ්‍යතාව සඳහා තනිකරම මදුරුවන් මත රඳා පවතින්නේ නැති බවයි.

පරිසර පද්ධතියකින් ශාක හෝ සත්ව විශේෂයක් ඉවත් කිරීම හෝ අවම කිරීම පද්ධතියේ තුලනය කෙරෙහි බලපෑම් ඇති කරවන බව ප‍්‍රකට කාරණාවකි. මෙකී මදුරු විශේෂය ප‍්‍රාදේශියබදව ඉවත් කිරීමෙන් මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කර ගත හැකි යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මදුරු විශේෂය එලෙස ඉවත් කිරීමෙන් පරිසර පද්ධතිය සැලකිය යුතු ලෙස අවුල් වේද යන්න පරීක්ෂා කිරීම පිණිස ක්ෂේත‍්‍රයේ පරීක්ෂණ තව දුරටත් සිදු කළ යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම අධ්‍යයනය මෙහෙයවනු ලබන්නේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලිජියේ පර්යේෂකයන් පිරිසක් විසිනි. 2016 වර්ෂයේ දී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 216 ක් වාර්තා වූ අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 445,000 ලෙස ගණන් බලා තිබේ. මරණ සංඛ්‍යාවෙන් වැඩි කොටස වයස අවුරුදු 5 න් පහළ ළමුන් අතරෙහිය.

Related image

Related image

මැලේරියාව තුරන් කිරීම සඳහා වර්තමානයේ උපාය මාර්ග බොහෝමයක් යෝජනා කර තිබෙන අතර බලාපොරොත්තු තැබිය හැකි පිළියමක් වන්නේ ප‍්‍රදේශබද මදුරු ගහණ මර්දනය සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද හෙවත් විකරිත හෙවත් විකරණය කරන ලද(modified) මදුරුවන් යොදා ගැනීමයි.

ලොව මැලේරියා රෝගීන් බහුතරය බිහිවන සහරාවෙන් දකුණේ පිහිටි අප‍්‍රිකානු රටවල (sub-Saharan Africa) සිටින මදුරු විශේෂ සිය ගණන් අතුරෙන් මැලේරියාව බෝ කරන්නේ මදුරු විශේෂ ස්වල්පයක් පමණකි. ‘ඉලක්කය මැලේරියාව’ (Target Malaria)  යනුවෙන් නම් කර ඇති අන්තර්ජාතික පර්යේෂක කණ්ඩායමක් මොවුන් අතරින් එක් විශේෂයක්  එනම් Anopheles gambiae අනාගතයේ දී ප‍්‍රවේණි තාක්ෂණය යොදා ගනිමින් මර්දනය කළ හැකි දැයි ඉලක්ක කිරීමට සැලසුම් කර ඇත.  කෙසේ වෙතත්, මේ කාර්යයට පිවිසීමට පෙර An. gambiae විශේෂය මර්දනය කිරීමෙන් ප‍්‍රදේශය තුළ ඇතිවිය හැකි පාරිසරික බලපෑම පුරෝකතනය කිරීමේ අවශ්‍යතාව මෙම කණ්ඩායමට ඇත.

Related image

Medical and Veterinary Entomology සඟරාවෙහි පළ වී ඇති වාර්තාවන් අනුව මේ මදුරු  විශේෂය පිළිබඳ කලින් සිදු කරන ලද පරීක්ෂා කර ඇත්තේ විශේෂය පරිසර පද්ධතියට ගැලපෙන්නේ කෙසේ ද යන්න සමාලෝචනය කිරීම පිණිසය. මෙහිදී, පර්යේෂක කණ්ඩායමට පෙනී ගිය කාරණාවක් වූයේ ඇතැම් සතුන් An. gambiae මදුරු විශේෂය තම ආහාරයට ගන්නා බවයි. එහෙත් එම සතුන් අනෙකුත් මදුරු විශේෂ මෙන්ම අනෙකුත් කෘමින් ද ආහාරයට ගැනීමෙන් පෙනී යන්නේ සිය පැවැත්ම සඳහා (ආහාර පිණිස) An. gambiae විශේෂය අත්‍යවශ්‍ය නොවන බවයි. ‘‘සුහුඹුල් (වැඩිහිටි) An. gambiae මදුරුවන් වුව කුඩාය. අල්ලා ගැනීමට අපහසුය. වඩාත් සරන්නේ රාත‍්‍රී කාලයේ දීය. එතරම් පිරුණු ගතියකින් යුක්ත නොවේ. එහෙයින් කෘමින් සහ පෘෂ්ඨ වංශිකයන් යන දෙපාර්ශ්වයේම විලෝපියන්ට එතරම් ආකර්ෂණීය ගොදුරක් නොවේ. ඔවුන් බොහොමයක් මේ මදුරු විශේෂය කෑමට ගන්නවා. සමහර විට එය අහම්බෙන් සිදුවන දෙයක්. කොහොමටත් මේ මදුරුවන් වෙනත් අනෙකුත් සතුන්ගේ ආහාර වේලෙහි විශාල කොටසක් හෝ අවශ්‍යම කොටසක් බවට සාක්ෂි නැහැ’’ යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කතෘ, ඉම්පීරියල් කොලිජියේ පාරිසරික ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ටිලී කොලින්ස් ප‍්‍රකාශ කරයි.

Image result for target malaria logo

පර්යේෂණ කණ්ඩායම මදුරු කීට වාසස්ථාන ගැනද සොයා බැලූහ. මදුරුවන්ගේ ගැහැණු සතුන් බිත්තර දැමීමට ප‍්‍රවණතාවක් දක්වන්නේ විලෝපියයන්ගෙන් ඈත්ව පිහිටි තාවකාලික කුඩා වලවල් හෝ දිය කඩිති වලය. ප‍්‍රධාන තඩාගවල බිත්තර දැමූ විට ඒවා මත යැපෙන විලෝපියන් තේරීමකින් යුතුව තවත් බොහෝ දේ ගිල දැමීමට පෙළඹෙති.

An. gambiae මදුරු විශේෂය ආහාරයට ගන්නා සතුන් ගැන මෙන්ම පර්යේෂණ කණ්ඩායම එම විශේෂය සමග තරඟකාරී වන්නාවූ විශේෂ ගැනද සොයා බැලූහ. පාරිසරික පද්ධති ගැන බලද්දී මෙය වැදගත්ය. පරිසර පද්ධතියකින් යම් සත්ව විශේෂයක් ඉවත් කළ විට එම විශේෂය හා තරඟකාරී වන විශේෂ හෝ එක සමාන ආහාර සම්පත් භාවිතා කරන විශේෂ ඉවත් කළ විශේෂයේ හිඩැස පිරවීමට හැකිවන සේ සංඛ්‍යාවෙන් විශාල වශයෙන් වර්ධනය වේ. මෙය අන්තරාදායක විය හැකිය. මන්ද එසේ වැඩිවන විශේෂයන් තර්ජන එල්ලවිය හැකි නිසාය. නිදසුනක් ගතහොත් එවැනි විශේෂයක් මිනිසුන්ට වැළඳෙන කහ උණ වැනි වෙනත් රෝග කාරකයක් විය හැකිය.

Image result for An. gambiae mosquito in ghana

An. gambiae මදුරු විශේෂය ඉවත් කළහොත් එම අඩුව  පිරවීමට තරඟ කරන්නේ වෙනත් මදුරු විශේෂ විය හැකියයි පර්යේෂකයෝ අදහස් කරති. එහෙත් පර්යේෂණාගාර සහ ක්ෂේත‍්‍ර අධ්‍යයන හෝ නැතිනම්  නිදසුනක් ලෙස කෘමි නාශක යෙදීමෙන් විනාශ කළ මදුරුවන් පිළිබඳ වාර්තා හෝ සැමවිටම මේ මතය සමගම එකඟ වන්නේ නැත. සිය සොයා ගැනීම් තහවුරු කිරීම හා තව දුරටත් වර්ධනය කරනු වස්, ඉලක්කය මැලේරියාව ව්‍යාපෘතිය සිව් අවුරුදු අධ්‍ය්‍යනයක් දියත් කරයි. එය මෙහෙයවනු ලබන්නේ සානා විශ්ව විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මගිනි. ඝානාවේ ප‍්‍රදේශබදව An. gambiae මදුරු විශේෂය හැදෑරීමට මේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ.

 Science Daily  වෙබ් අඩවියෙහි පළවූ   Removing Malaria-carrying Mosquitoes Unlikely to Affect Ecosystems යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: