සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ උපායමාර්ග දුප්පත්ම පිරිසටත් ගැළපිය යුතුයි

අද අපගේ පෘථිවි ග්‍රහයා මත ජීවත්වන සියලුම දෙනාගේ ප්‍රාර්ථනාව වන්නේ මිහිපිට  දිවි ගෙවන සියලු දෙනාම මෙන්ම ස්වභාවික ලෝකය ද ආරක්ෂා කරන සාර්ථක දේශගුණ උපාය මාර්ගයකි. එහෙත් ඔස්ට්‍රේලියාව පාදක කරගත් විද්‍යාඥයන්ට පිරිසක් දැන් සනාථ කර සිටින්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේ දේශගුණ විද්‍යාඥයන් සියලු දෙනාම සැක කරමින් සිටි කාරණයකි: එනම්, දේශගුණ විපර්යාසය සහ මානව දුගී දුප්පත්කම යන ද්විත්ව අභියෝගයන්ට මුහුණ දීම පිණිස සරල ‘කෝකටත් තෛලයක්‘ නැතිනම් ‘සර්ව දෝෂ නිවාරණයක්‘ නොමැති බවයි. සකදාම කරගෙන යන්නා සේම  අපේ බලශක්ති අවශ්‍යතාවය සඳහා පොසිල ඉන්ධන භාවිතය කෙරෙහි ඇති මානවයන්ගේ නැඹුරුව විපත්තිදායක දේශගුණ විපර්යාසයන්ට මුලපුරා ඇත. මේ නැඹුරුව එලෙසම තබා ගතහොත් 2100 වන විට ලොව පුරා මහා විනාශයක් සිදුවිය හැකි බවටත්, මිලියන ගණනක් ජනතාව සිය නිවහනින් මතු නොව සිය නිජ බිම්වලින් පවා පලවා හරිනු ඇති බවටත් නැවත නැවතත් අනතුරු ඇඟවීම් සිදු කර ඇත. එමෙන්ම, ලොවපුරා ජනතාව පොසිල ඉන්ධන භාවිතය වෙනුවට යම් ආකාරයකට ‘කාබන් බද්දක්‘ පැනවීම මගින් ප්‍රතිජනනීය සම්පත් වෙත යොමු කිරීමේ අවශ්‍යතාව ද යළි යළිත් අවධාරණය කරනු ලැබ ඇත.

Related image

එහෙත් ව්‍යවහාරික පද්ධති විශ්ලේෂණය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ (International Institute for Applied Systems Analysis) නව අධ්‍යනයක් පෙන්වා දෙන්නේ, දැඩිව ක්‍රියාවට නංවන දේශගුණ හානි සංසිඳීමේ වැඩසටහන් අතරට කෘෂිකර්මාන්තයද ඇතුල් කරන්නේ නම් කෙටි කාලයක දී අපට වඩාත් ඉහළ වන්දියක් ගෙවීමට සිදුවන බවයි. මනුෂ්‍යයන් වශයෙන් අද අප යම් ක්‍රියාමාර්ග නොගතහොත් ගෝලීය උණුසුම් වීමේන් මෙහෙයවනු ලබන දේශගුණ විපර්යාස තවත් අතිරේක මිලියන 24 ක ජනතාව (බාගදා අතිරේක මිලියන 50 ක ජනතාවක් වෙන්නත් පිළුවනි). සාගින්නට සහ මන්දපෝෂණයට ඇද දමන තත්ත්වයන් නිර්මාණය විය හැකිය. 2050 වනවිට බෝග අස්වැන්න 17%කින් අඩුවී වෙළඳපොළ මිල ගණන් 20%කින් ඉහළ යාමට හැකිය.

කෙසේවෙතත් ගෝලීය කාබන් බද්ද හෝ ඒ හා සමාන ක්‍රියාමාර්ගයකට අප පෙලඹුන හොත් 2050 වන විට තවත් අතිරේක මිලියන 78 ක ජනතාව හෝ බාගදා අතිරේක මිලියන 170ක ජනතාව (මොවුන්ගෙන් බහුතරය සහරාවෙන් දකුණේ අප්‍රිකාවේ (sub-Saharan Africa) හෝ ඉන්දියාවේ වාසයකරන්නන්ය) අධික මිල ගණන් හෙතුවෙන් ආහාර වෙළඳපොළෙන් එළියට ඇද දැමීමට බලපානු ඇත. මෙලෙස බලන විට ‘රෝග පිළියම’, ලෝකයේ දුප්පත්ම ජනතාව අතුරින් බහුතරයකට, ‘රෝගයට’ වඩා දරුණු විය හැකිය.

හෙවත් “දේශගුණ විපර්යාස ප්‍රතිපත්ති සැකසීමේදී කෘෂි කර්මාන්තය වෙනුවෙන් ඉතා සුවිශේෂ සැලකීමක් සිදු කළ යුතු බව වටහා ගැනීමට නව අධ්‍යයනයේ සොයා ගැනීම් උපකාරී වේවි“ යයි ව්‍යවහාරික පද්ධති විශ්ලේෂණය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ පර්යේෂකයෙකු සහ පද්ධති ඉංජිනේරුවකු වන ටොමෝකො හසෙගාවා කියා සිටි. ඇය ජපානයේ පාරිසරික අධ්‍යයනයන් සඳහා වන ජාතික ආයතනයේද  පර්යේෂිකාවකි. “කාබන් මිලක් නියම කිරීමේ වැඩපිළිවෙළ, සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්‍යතාවක් ඇති විකල්පයක් වන්නේ නැත. එම රටවල ඇත්තේ බෙහෙවින් අවදානමට මුහුණ පා සිටින ජනතාවක්. දේශගුණ හානි සංහිඳියාවට කෘෂිකර්මාන්තය යොදාගන්නවා වෙනුවට සමස්ත සංවර්ධන ප්‍රතිපත්තිවලටම එය ඇතුල් කළ යුතු වෙනවා“ යයි පෙන්වා දෙයි.

Related image

එසේ වුවද  කිසිවක් ම නො කර සිටීම පිණිස මේ ආකාරයේ අධ්‍යයන නිදහසට කාරණා ලෙස යොදා නොගත යුතුයි. මෙම අධ්‍යයන අනාගත දැක්මක් ඇති අනතුරු ඇඟවීමේ ප්‍රයන්තයි. මානවයන්ගේ සියලුම ක්‍රියාකාරකම් වලට පාරිසරික හා සමාජයීය පිරිවැයක් යෙදවෙයි. දේශගුණ හානි සංහිදියාවේ පිරිවැය දැරීමට පොහොසත් රටවලට හැකිය. එහෙත් දෛවයේ සරදමක් ලෙස දේශගුණ විපර්යාසයන් හේතුවෙන් වඩාත්ම අවදානමට ලක්ව ඇති පිරිස් අතුරින් එක පිරිසක් වන දුප්පත්ම ප්‍රජාවන්ට එවැනි වැය දැරීමට හැකියාව නැතැයි හසෙගාව සහ ඇගේ සගයෝ Nature Climate Change සඟරාවේ පළ කර සිටිති. 2050 වනවිට ප්‍රතිදාන පරාසයක් විශ්ලේෂණය පිණිස ඔවුහු ගෝලීය කෘෂිකාර්මික ආකෘති (global agricultural models) අටක් ගැන සැලකිල්ල යොමු කළහ. එම ප්‍රතිදාන අතර සමාජ – ආර්ථික සංවර්ධන විකල්පයන් ද විය. ඒ විකල්ප අතරට  2015 පැරිස් සම්මුතිය ද අඩංගු විය. 2100 වන විට ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2 ට අඩුවෙන් තබා ගැනීම පිණිස ක්‍රියාකරන බවට එහිදී ලෝකයේ රටවල් 195ක් එකඟතාවයට පැමිණියේය.

Related image

ලෝකයේ වර්තමානයේ අනුගමනය කෙරෙන සංවර්ධන ප්‍රවණතා සහ විවිධ දේශගුණික හානි සංහිඳියා වැඩසටහන් ගැනද ඔවුන්ගේ සැලකිල්ල යොමුවිය. පර්යේෂකයන්ගේ අවසාන නිගමනය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් හුදු විමෝචන සීමා කිරීමට පමණක් යොමු වනවාට වඩා සමස්ත නැතිනම් ‘මහා චිත්‍රය‘ දෙස බැලිය යුතු බවයි. විවිධ ස්වරූපයේ කාබන් බදු(carbon tax) ආහාර මිල ගණන් ඉහළ දමයි(ඔවුන් සලකා බලූ සමහර ආකෘතිවලවල සියයට 110% කින් පමණ ඉහල ගොස් තිබුණි). එහෙත් යොදාගත හැකි විසදුම් ද මෙම අධ්‍යයනයෙහිම අඩංගුය. වර්තමානයේ සංවර්ධනය වෙන රටවල උලා කන සතුන් ලෝකයේ රෝමන්ථ(ruminant වමාරා කන සතුන් විසින් නිපදවනු ලබන) හරිතාගාර වායු හතරෙන් තුනක් නිපදවන නමුත් එම සතුන්ගෙන් ලැබෙන්නේ ලොව කිරි සහ මස් අවශ්‍යතාවයෙන් අඩකි. එහෙයින් ඒ හා සමග ම හඳුන්වා දෙනු ලැබූව හොත්,  සංවර්ධිත රටවල අනුගමනය කරන උපාය මාර්ග දුප්පත්ම රටවල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට, දුගී දුප්පත්කම අඩු කිරීමට, මෙන්ම සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටද මග පාදනු ඇත.

තවත් විකල්පයන්ද ඇත: කාබන් බදු වලින් එකතු කරගන්නා මුදල්, වැඩිම හානි සහිත ජනතාවට උපකාර කරන ආහාර ආධාර වැඩසටහන් වලට යෙදවිය හැකි ය. පර්යේෂකයන් අවධාරණය කරන කාරණාව වන්නේ සංහිඳියා පිළිවෙත් සැකසීමේදී ආණ්ඩු සහ අන්තර්ජාතික සංවිධාන ඉතා සලකිල්ලෙන් කරුණුකාරනා ගැන  සිතා බැලිය යුතු බවයි. “දේශගුණ විපර්යාස ගෝලීය සංසිද්ධියක් වුණත්, එහි සුවිශේෂීය බලපෑම් මෙන්ම එම බලපෑම්  සංසිඳවීමට ගන්නා ප්‍රයත්න ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටම් වලටත් දැනෙනවා. ඒ හන්දා දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම ට මෙන්ම ඒවා සංසිඳවීමට පමණක් නොව ආහාර අනාරක්ෂිත බව අඩු කිරීමට ගන්නා ප්‍රයත්නවලදී ද ප්‍රාදේශීය මෙන්ම ජාතික අභියෝග ඇගයීම් සඳහා අනාගතයේ තවත් පර්යේෂණ අවශ්‍ය වෙනවා” පර්යේෂකයෝ කියා සිටිති.

Climate News Network හී පළවූ Climate strategy needs tailoring to poorest Climate News Network යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: