අභ්‍යවකාශ ගමන්වලට රොකට් නැතුවම බැරිද?

1926 මාර්තු 16 දා ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ජනපදයේ ඕබර්න්හිදී ඇමරිකානු ඉංජිනේරු රොබට් ගොඩාඩ් ලොව ප්‍රථම ද්‍රව ඉන්ධන රොකට්ටුව විදීමට තැත් කළේය. එහෙත් එහි ගමන හුදු තත්පර කිහිපයකට සීමා විය. රොකට්ටුව අඩි එකසිය අසූ එකක් ඈතින් පිහිටි හිමෙන් වැසුණු ගෝවා පාත්තියක් මත පතිත වී තිබුණේය. එසේ වුවද එය ඉතිහාසයේ ඉතාමත් වැදගත් ගුවන් ගමනක් බව කිව මනා ය. මන්ද, දැනට වසර 92 ක් ගතවී ඇතත් අභ්‍යවකාශ ගමන් සඳහා තාමත් සම්මත ලෙස යොදා ගන්නේ ද්‍රව ඉන්ධන රොකට්ටුවමයි. ඒත් දුර ඈත අනාගතය දක්වා වුව රොකට්ටු අභ්‍යවකාශ ප්‍රවාහනයට යොදා ගන්නා මූලික භාවිතය ලෙස පවතී ද නැතිනම් ඒවා වෙනුවට ක්‍රමයෙන් වෙනස් නව ක්‍රම හා තාක්ෂණයන් ආදේශ කෙරේවිද?
කොපමණ ප්‍රයෝජනවත් වුවත්, කොපමණ පම්පෝරි ගැහුවත් රොකට් තාක්ෂණය පරිපූර්ණ එකක් නොවේ. රොකට් අභ්‍යවකාශ ගතකිරීමේදී දැනට මියගොස් ඇති අභ්‍යවකාශගාමී සංඛ්‍යාව 14කි. රසායනික ඉන්ජිනේරු ඩොන් පෙටිට් ගේ ගණන් බැලීම අනුව රොකට්ටුවක වාඩිවී සිටීම පෙට්ට්‍රල් බෝම්බ බෝතලයක් උඩ වාඩි වී සිටිනවාට වඩා භයානකය. පෙටිට් කියන කතාව එකවර බැහැර කිරීමට නොහැකිය. මන්ද ඔහු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත 5 වතාවක්ම ගොස් පැමිණි ප්‍රවීණයෙක් වීම නිසයි. දැන් 62 වියැති වියේ පසුවන පෙටිට් නාසා ආයතනයෙන් වයස්ගතම ක්‍රියාකාරී අභ්යවකාශගාමියාය.
රොකට්ටු භාවිතයේ අවාසිය අනතුරුදායක බව පමණක් ම නොවේ. අවාසනාවකට වාගේ රොකට්ටු ගමන අතිශය වියදම්කාරීය. රොකට්ටුවක ස්කන්ධයෙන් දළ වශයෙන් 85%ක් ම වැය වන්නේ ඊට බලය සපයන දුවවනය හෙවත් ප්‍රචාලකය(propellant) වෙනුවෙන් ඉඩකඩ සැපයීමටයි. එහෙයින් ගෙනයන බඩුමුට්ටු සඳහා ඉතිරි වන්නේ කුඩා අවකාශයක් පමණකි. මේ හේතුව නිසා අභ්‍යවකාශය බලා යන ගමන් වාරයකදී පෘථිවියේ පහල කක්ෂයක් වෙත යාමට පවා එක් පුද්ගලයකුගෙන් එක් කිලෝමීටරයක් සඳහා ඩොලර් 10,000ක් තරම් අධික මුදලක් වැය වේ. නිසා රොකට්ටුව උපයෝගී කර ගනිමින් අභ්‍යවකාශයට පිවිසීම අතිශය මිලක් වැය වන ක්‍රියාවකි.
තවත් අවාසියක් ඇත. රොකට්ටු ආවේණිකවම නාස්තියට බරය. බොහෝ කාලයක් තිස්සේ අභ්‍යවකාශයට යැවෙන රොකට්ටු කොටස් කැබලි වශයෙන් ආපසු පෘථිවිය වෙත පතිත වනවිට වායුගෝලයට යලි පිවිසීමේ දී දැවී අළු වී යයි. නැතහොත් අපගේ පෘථිවි ග්‍රහයා වටා දැනටමත් කක්ෂගතව ඇති අභ්‍යවකාශ කසළ ගොඩට එක් වනු ඇත.
දැන් මේ ආදී හේතුකොටගෙන, අභ්‍යවකාශ ගමන් සඳහා තවදුරටත් රොකට් යොදා ගැනීම ගැන නැවත සිතා බලන්නට කාලය පැමිණ ඇත. ඉන් සමහරක් විද්‍යා ප්‍රබන්ධවල (science-fiction) දැක්වෙන මාදිලියේ හුදු මනඃකල්පිත තාක්ෂණයන් ලෙස පෙනී යන්නට පුළුවන. ඒත් ගොඩාඩ් ද්‍රව ඉන්ධන රොකොට්ටුව විදීමට උත්සාහ දරන විට රොකට්ටුවකින් අභ්‍යවකාශයට යාමට හැකි දැයි යන්න එලෙසම මනඃකල්පිත තාක්ෂණයක් ලෙස පෙනෙන්නට ඇත. එහෙයින් දැනට ඇති විකල්ප ගැන ද සලකා බැලිය යුත්තේ විවෘත මනසකිනි.
අප සඳහන් කරන මුල් යෝජනාව විද්‍යා ප්රබන්ධයක සඳහන් වන්නක් මෙන් පෙනී යා හැකිය. ඒත් මෙය ප්‍රබන්ධයක් නම් නොවේ. මේ යෝජනාව අභ්‍යාවකාශ ආරෝහකයක්(elevator)ගැනයි. යෝජනාවක් ලෙස ගත්විට එවන් ගුවන් සෝපානයක් සරල දෙයක් ලෙස පෙනී යා හැක. මෙයින් කියවෙන්නේ ජියාස්ථිතික කක්ෂයක (geostationary orbit) තිබෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට පහළට ව්‍යාප්ත වෙන සැතපුම් 22,000ත රැහැන් කට්ටල පෘථිවි සමකයෙහි පිහිටි ඊට අනුරූපී ව්‍යුහයක් වෙත එවිය යුතුය. එසේ සවිකරනු ලබන රැහැන් ඔස්සේ විශේෂ රිය ගමන් කරනු ඇත. එහෙත් ගැටලුවක් වන්නේ මේ රැහැන් පද්ධතිය සෑදිය යුත්තේ අප දන්නා ඕනෑම ද්‍රව්‍යයකට වඩා ශක්තිමත් ද්‍රව්‍යයකිනි.මෙයට උචිත කාබන් නැනෝ නල (nanotubes) යැයි යෝජනා වී ඇත. එහෙත් එවැන්නක් තවම සූදානම් නැත. ඉතින් සමහර විට කවදා හෝ එවැන්නක් තැනෙන්න පුළුවනි. එසේ වුවහොත් මේ රැහැන් පද්ධතිය හරහා රියක් අභ්‍යවකාශය වෙත ගමන් කිරීමට දළ වශයෙන් සතියක කාලයක් ගතවේ. ඒ සඳහා වැය වෙතැයි ගණන් බලා ඇත්තේ දැනට ඇති වඩාත්ම ලාභදායී රොකට්ටුව වන ෆෝල්කන් බර රොකට්ටුවෙන් ගමන් කරනවාට වඩා හත් ගුණයකින් අඩු පිරිවැයකි.
රොකට්ටුව වෙනුවට භාවිතා කළ හැකි තවත් විකල්පයක් වනුයේ ස්ටාර්ට්රෑම්ය (StarTram) චුම්බක බලයෙන් අහසේ පාවෙන මේ අභ්‍යවකාශයානය අහස දෙසට යොමුකළ වක් නලයක් ඇතුළත ප්‍රචාලක කෙරේ. ස්ටාර්ට්රෑමය ගැන කිව හැක්කේ එය අප මවිත කරවන තරම් ප්‍රායෝගික ශක්‍යතාවයකින් යුතු බවයි. ඊට අදාළ කොන්දේසිය සියල්ල අප සතුව ඇත. අවශ්‍ය වන්නේ පර්යේෂණ තුළින් මහා පරිමාණයට ගෙන ඒමය. එහෙයින් එය කාලය හා මුදල් වලින් විසඳිය හැක්කක් මිස මනෝ විකාරයක් නොවේ. ස්ටාර් ට්රෑමයකට වැයවෙතැයි සිතන ඩොලර් බිලියන 20-50 දක්වා මුදලට සරිලන වටිනාකමක් ඊට ඇත්ද? කොහොම උනත් එමගින් අභ්‍යවකාශයට භාණ්ඩ යැවීම කිලෝග්රෑමයකට ඩොලර් 20 සිට 50 දක්වා තරම් ප්‍රමාණයකට අඩු කර ගත හැකිවේ.
තවත් අදහසක් JP Aerospace අනුග්‍රහයෙන් ඉදිරිපත් වී ඇත. බලගතු රොකට්ටු යොදා ගනිමින් දැවැන්ත අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීම මේ යෝජනාවෙන් ඉවත දැමේ. ඒ වෙනුවට අතිදැවැන්ත V හැඩගත් (ආරෝහන) ගුවන් යානයක් මඟින් බඩු භාණ්ඩ හා අභ්‍යවකාශ මගීන්න්, ස්ථාවරව පාවෙන ‘අඳුරු අහස් මධ්‍යස්ථානය’ (Dark Sky Station) වෙත ගෙන යනු ලැබේ. මේ පාවෙන මධ්‍යස්ථානය පිහිටුවනු ලබන්නේ පෘථිවි මට්ටමෙන් අඩි 140,000 ඉහළිනි. එතැන සිට අයන (ion) එන්ජින් වලින් බලගැන්වෙන කක්ෂගත ආරෝහන ගුවන් නැවක් මගින් ගමනේ ඉතිරි කොටස නිමාවට පත්කෙරේ. මුල් අරමුදල් ලැබුණේ ඇ.එ.ජ. ගුවන් හමුදාවෙනි. ඔවුන්ගේ බ්ලොගයේ තවමත් එහි ප්‍රගතිය අවධානයට ලක් කෙරේ
ඉතින් මේ විකල්ප මගින් රොකට්ටු අහිමි කොට වෙනත් දෙයක් ආදේශ කරනු ලැබේවිද? වඩා ආසන්න අනාගතයක් ගැන හිතුවොත් Aerospace ගුවන් නැව් බාගවිට සාර්ථක අභියෝගයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. එහෙත් මෙහිදී ඔවුනට තනි ගමනක් යාමට ඉඩ ලැබෙතැයි සිතිය නොහේ. මන්ද පෞද්ගලික රොකට් කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර තරගකාරීත්වය නාවොත්පාදාන පණ ගන්වයි. සමාගම් ප්‍රචාලක වැඩිදියුණු කරමින් ද්‍රව්‍ය සඳහා යන වියදම් කපා හරිද්දී බඩු යැවීමේ පිරිවැය අඩු වෙමින් පවතී. ඉදිරි දශක වලදී වියදම් තවදුරටත් අඩුවෙනු ඇත. රොකට්ටු නම් තවත් බොහෝ කාලයක් පවතින බව බොහෝ දුරට ස්ථිරය. බාගදා අප දන් සිටින්නේ එවායේ නියම ගමන ආරම්භ කළ අවස්ථාවේ විය හැකිය.
SPACE.com වෙබ් අඩවියේ පළවූ Will We Ever Stop Using Rockets to Get to Space? යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න