දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම: සිදුවිය හැක්කේ පාලනයක් රහිත වෙනසක් ද?

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.
2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකිය, ඉදිරියට යන්නේය.
මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් ද? අප තව කළ යුත්තේ කුමක් ද? වඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු ද? ආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.
සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.
සිදුවිය හැක්කේ පාලනයක් රහිත වෙනසක් ද?
ඇන්ටාක්ටිකාවේ යෝධ Thwaites glacier ග්ලැසියරය වේගයෙන් දිය වී යයි. ග්‍රීන්ලන්තයේ Jakobshavn සහ Zachariae Isstrom ග්ලැසියර වලටත් අත්වී ඇත්තේ ඒ ඉරණම තමයි. දේශගුණ විද්‍යාඥයන් විමතිය පළ කර සිටින්නේ මේ ග්ලැසියර ඒවායේ ‘තීරණාත්මක ඉම’ පසුකර ඇත්ද යන සැකයෙනි. ‘තීරණාත්මක ඉම’ (tipping points) කියන්නේ ඉන් ඔබ්බට කුමක් කළත් හානිය ආපසු හැරවීමට නොහැකිව දිගටම සිදු කෙරෙන අවස්ථාවයි. ඉතින්, මේ ග්ලැසියර තුන පමණක් වුව සම්පූර්ණයෙන් දිය වී ගියහොත් එයම පමණක් ලෝකයේ මුහුදු මට්ටම මීටර 2 කට වඩා වැඩියෙන් ඉහළ යාමට බලපානු ඇත.
දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය(Intergovernmental Panel on Climate Change) අනතුරු හඟවන්නේ සීඝ්රයෙන් සිදුවන උණුසුම්වීම, පෘථිවියේ ප්‍රධාන පද්ධතිවලට ඒවායේ ‘තීරණාත්මක ඉම’ අභිබවා යාමට තුඩු දෙන බවටයි. එම පැනලය එය දකින්නේ, දේශගුණ විපර්යාසය පිළිබඳ දරුණුතම පැතිකඩ ලෙසටයියි. දේශගුණ විපර්යාසයන්, 2007 වර්ෂයේ දී එක්තරා ප්‍රවේශ ලක්ෂ්‍යයක් හෙවත් එළිපත්තක් (a threshold) පැන්න බව එක්සත් රාජධානියේ එක්ස්ටර් විශ්ව විද්‍යාලයේ ටිම් ලෙන්ටන් කියා සිටියි. ඒ ගිම්හාන සමයේ ආක්ටික් මුහුදේ අයිස් දියවීම වේගවත් වූ අවස්ථාවෙයි. මෙහිදී බියවීමට ඇති කාරණය වන්නේ අයිස් ආවරණය අඩු වී ගිය විට මේ(ආක්ටික්) සාගරය වැඩියෙන් උෂ්ණත්වය අවශෝෂණය කිරීම හේතුවෙන් සීත සෘතුවේ යළි හිම මිදීම (winter refreeze) වැළ කී යා හැකි වීමයි. එසේ වුවහොත්, මේ පද්ධතිය අනවරත නැතිනම් සදාතන පසුබෑමක් තුළ හිරවී යයි.
අවදානමට මුහුණ පා ඇත්තේ මේ පද්ධතිය පමණක් නොවේ. ඵෙතිහාසිකව ගතහොත්, උෂ්ණත්වයන් ඉහළ යද්දී ධ්‍රැවවල මුහුදු අයිස් ප්‍රමාණයන් වෙනස් වීම සාගර සංසරණය පෙරළීමකට තුඩු දෙයි. අපට අළුතෙන් පෙරළීමක් ඇති වුවහොත් ජලගුල්ම ප්‍රවාහය (the Gulf Stream) අහිමිව යාමට එය හේතුවන අතර ආසියානු හා බටහිර අප්‍රිකානු මෝසම් බිඳ වැටීමට බලපායි. මෙය බිලියන ගණනක ජනතාවගේ ජීවිත වලට බලපාන්නකි. මේ වනතුරු නම් මුහුද අයිස්වල වාර්ෂික විපර්යාසයන් සමස්ථ ගෝලීය සාගර සංසරණයට බාධා පමුණුවා නැත. එහෙත්, අත්ලාන්තික් කොටස කැපී පෙනෙන ආකාරයෙන් දුර්වල වී ඇත. ඉන් හැඟී යන්නේ එය එහි ‘තීරණාත්මක ඉම’ වෙත සෙමින් ළංවන බව යයි ලෙන්ටන් කියයි. ගැටළුව වී ඇත්තේ මෙයයි: තීරණාත්මක ඉම් ඇති බවට ඵෙතිහාසික සාක්ෂ්‍ය ඕනෑ තරම් ඇති නමුත් අනතුරු හැඟවීමේ සංඥා මොනවා දැයි අපි නොදනිමු. අපි නිදසුනකට සයිබීරියාවේ සහ උතුරු ඇමරිකාවේ නිත්‍ය තුහිණ (the permafrost) අතර සිර වී ඇති මීතෙන් ගැන සැලකිල්ල යොමු කරමු. මේ දෙකම මෙම සියවසේ දී සීඝ්රයෙන් දිය වී යාමට (හිමහරණයට) නියමිතයි. මීතෙන් යනු ප්‍රබල හරිතාගාර වායුවකි. එය CO2 තරම් දිගු කාලයක් වායුගෝලයේ රැඳී පවතින්නේ නැති නමුත් එකවරම එක ගොන්නට විශාල ප්‍රමාණයක මීතේන් වායුව මුදා හැරුණොත් පාලනයකින් තොර උණුසුම්වීමකට මුලපිරිය හැකිය. මේ මොහොතේදී ද, නිත්‍ය තුහිණ අතරින් මීතේන් මුදා හැරෙමින් පවතින නමුත් එය සිදුවන්නේ සුළු වශයෙන් හෙයින් එය අළුත් තත්ත්වය ද නැතිනම් සාමාන්‍ය දෙය ද යන්න කිසිවෙකුත් නොදනී.
පාලනයකින් තොර විපර්යාසයන් තවම විද්‍යාමානව නොමැති යයි සිතා අප කොහොමටවත් බිය සැක දුරු කරගත යුතු නොවේ. ජීව විද්‍යාත්මක හා රසායනික පද්ධති සම්බන්ධයෙන් සිදු කළ සම්පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ තීරණාත්මක ඉම කරා ළඟා වෙද්දී එම පද්ධති බෙලහීන බවක්, උදාසීන බවක් දක්වන්නේය යනුවෙනි. තවද පද්ධති කෙරෙහි ක්ෂණික බලපෑමක් පෙන්නුම් නොකරම තීරණාත්මක ඉම පසුකර යන බවක් ද පෙනී යයි.අවාසනාවකට මෙන් මෙය අවිනිශ්චිතතා බහුල, එමෙන්ම අවදානම් ඊටත් වඩා විපුල ක්ෂේත්රයකි.
වගකිව යුත්තේ CO2 ද?
කාබන් ඩයොක්සයිඞ්(CO2), පෘථිවි වායුගෝලයෙන් සමන්විතවන්නේ සියයට 0.04 ක් පමණකි. එහෙත් ඣ2 මහත් බලයක් ඇති කුඩා අණුවකි. මෙය පිටුපස ඇති යාන්ත්‍රණය ගැන අපි වසර 150 කට වැඩි කාලයක් මුළුල්ලේ දැන සිටින්නෙමු.
ඇතැම් පෝටෝන(photon) ගැටුණු විට කාබන්ඩයොක්සයිඞ් වල පරමාණු තුන කම්පනය වන බව ජෝන් ටයින්ඩොල් විසින් සොයා ගනු ලැබූවේ 1861 දීය CO2වලින් එල්ලවන බාධාවකින් තොරව සූර්යයාගෙන් එන පෝටෝන වායුගෝලය හරහා කෙළින්ම ගමන් කරයි. එහෙත් එම පෝටෝන පෘථිවි පෘෂ්ඨය කරා පැමිණි විට ආපසු පොළා පනින්නේ අධෝරක්ත පෝටෝන ලෙසය. වෙන වචන වලින් කියතොත් තාපය ලෙසය.
ආපසු වායුගෝලය හරහා ගමන් කරනු වෙනුවට මෙකී පෝටෝන CO2 මගින් අවශෝෂණය කරනු ලබන අතර ආපසු මුදා හැරේ. එහෙත් මෙවර ඒවා අහඹු දිශාවන්ට විසිරී යයි. ආපසු අභ්‍යවකාශය වෙත යනවාට වඩා මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි තාප ප්‍රමාණයක් වායුගෝලය තුළ රැඳෙන අතර හරිතාගාර ආචරණය(greenhouse effect) හෙවත් බලපෑම නම් මෙයයි. එය දෙපැත්ත කැපෙන කඩුවක් බඳුය. එක් අතකින් පෘථිවිය මත ජීවය පෝෂණය කරන අතර අනෙක් අතට සීඝ්‍ර ගෝලීය උණුසුම්වීමට හේතු වෙයි.
අනෙකුත් හරිතාගාර වායු — මීතේන්, නයිට්‍රස් ඔක්සයිඞ්, ක්ලොරෝෆ්ලුරොකාබන් (CFCs), ඕසෝන් හා ජලය ක්‍රියා කරන්නේ ද ඒ ආකාරයටමය. මේ අතුරෙන් ජලය බෙහෙවින් බහුලව ඇති නිසා වැඩිකොටම තාපය හිරකොට තබා ගන්නේ ජල වාෂ්පය. එහෙත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ ජල අන්තර්ගත ප්‍රමාණය කෙළින්ම වැඩි කරන්නේ නැත. කෙසේවතුදු, අපි ගල් අඟුරු, ස්වභාවික වායු සහ ඛනිජ තෙල් යන ස්වරූපයෙන් ෆොසිල ලෙස ගබඩා වී ඇති කාබන් පොළොව කැන උඩට ගන්නෙමු. අප ශක්තිය නිපදවීම පිණිස ඒවා දවන විට CO2 සහ මීතේන් මුදා හරින්නෙමු. යම් ප්‍රමාණයක් CO2 ශාක මගින් උරාගෙන ආපසු පසට එක් කෙරේ; තවත් සමහරක් සාගර මගින් අවශෝෂණය කෙරේ. තවත් CO2 ප්‍රමාණයක් වාතයට නිරාවරණය වූ විට CO2 සමග ප්‍රතික්‍රියා දක්වන පාෂාණ වල ගබඩා වේ. එහෙත් මෙකී ස්වභාවික ක්‍රියාදාමයන්ට, අප හරිතාගාර වායු මුදා හරින වේගයට සරිලන සේ තම කාර්යයන් ඉටු කළ නොහැක.
අවසාන නරක ආරංචිය CO2 වල අසාමාන්‍ය ආකාරයේ, අධික ආයු කාලයයි. CO2 වලට වායු ගෝලයේ වසර දහස් ගණනක් රැඳී සිටිය හැකිය. ඉතින් අප නිපදවන CO2 සෑම අංශුවක්ම වායුගෝලීය සාන්ද්‍රණයට එක්වන අතර පෘථිවියෙහි වැස්ම ඝන කිරීමට දායක වෙයි. “අපට උෂ්ණත්වය අඩු කර ගැනීමට අවශ්‍ය නම් දැවැන්ත මට්ටමකින් වායුගෝලයෙන් CO2 ඉවත් කිරීමේ ක්‍රමයක් සොයා ගත යුතුවේ,“යයි එක්සත් රාජධානියේ රෙඩින් විශ්ව විද්‍යාලයේ එඞී හෝකින්ස් පෙන්වා දෙයි, “එතෙක් අපට කිරීමට ඇත්තේ වඩාත් උණුහුම් ලෝකයකට අනුගත වීමට හුරුවීමයි”!
ප්‍රතිචාරයක් ලබාදෙන්න