මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ලෝකයේ අද වඩාත්ම ප්රමුඛ ආර්ථික ක්‍රමය වන්නේ ධනවාදයයි. එය පදනම්ව ඇත්තේ ප්රාග්ධනය මතයි. මෙහිදී ප්රාග්ධනය යනු තව තවත් ධනය නිශ්පාදනය කිරීම සඳහා යොදවා ගත හැකි ධනයයි. සාමන්‍යයෙන් මෙසේ උපයාගනු ලබන්නේ යම් ව්‍යාපාරයක ධනය යෙදවීමෙනි. ධනවාදී ආර්ථිකයක දී නිශ්පාදනයේ, බෙදාහැරිමේ සහ හුවමාරුකිරීමේ ප්‍රධාන මාර්ග පුද්ගලයන්ගේ හෝ සමාගම්වල හෝ පෞද්ගලික අයිතියට යටත්ය. ධනවාදීන්ට– එනම් ප්රාග්ධනය අයිතිය හිමි තැනැත්තන්ට එකිනෙකා සමග විවෘත තරඟයක යෙදෙමින් සිය දේපළ ( සංකල්ප සාර සංග්‍රහය 95: දේපළ (Property) බලන්න) ලාභ ජනනය කිරීම සඳහා යොදා ගැනීමේ නිදහස ඇත.
ධනවාදය වර්ධනය වූයේ දහ අට සහ දහ නවවැනි සියවස්වල කාර්මික විප්ලවය සමයේ දී ය. ඊට පෙර අවධිවල තරඟය බොහෝවිට සීමා කර තිබුණි. නිදසුනක් දක්වතොත්, ඇතැම් භාණ්ඩ වෙලඳාම් කිරීමේ හෝ නිශ්පාදනය කිරීමේ අයිතිය බොහොවිට රැඳී තිබුණේ රජු වෙතය. මෙය අකාර්යක්ෂම ඒකාධිකාරයන් බොහොමයකට මග පෑදිය. මේ අසතුටුදායක තත්ත්වය (පසු කලෙක ඉමහත් ප්‍රසිද්ධියට පත්) ඇඩම් ස්මිත් විසින් විවේචනයට ලක් කෙරිණ. The Wealth of Nations නම් සිය ග්‍රන්ථය හරහා ඔහු තර්ක කළේ සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ස්වයං යහපත පතා ක්‍රියා කිරීමට නිදහස ඇත්නම් එහි සමුච්චිත බලපෑම ලෙස සමස්තයක් හැටියට මුලු සමාජයටම වාසි සැලසෙන බවයි.
ධනවාදයේ ආරක්ෂකයන් හැටියට ඇඩම් ස්මිත්ගේ අනුගාමිකයන් තර්ක කරන්නේ ධනවාදය වඩාත්ම කාර්යක්ෂම ආර්ථික ක්‍රමය බවයි. ඊට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මිළ ගණන් පහළින් ද ගුණාත්මක බව ඉහලින් ද තබාගැනීමට තරඟකාරිත්වය මගින් නිශ්පාදකයන්ට බලකිරීමක් කරන ලබන බවයි. ව්‍යාපරයකට ධනය ආයෝජනය කිරීමෙදී තම ධනය අවදානමකට ලක් කරගන්නා හෙයින් ධනවාදීන්ට ඉහළ ප්රතිලාභ හිමිවීම සාධාරන බව ස්මිත්ගේ අනුගාමිකයෝ වැඩිදුරටත් කියා සිටිති.
මීට ප්රතිවිරුද්ධව, ධනවාදයේ විචාරකයන් කියා සිටින්නේ ධනවාදී ක්‍රමයක් ඇතුළත ධනය ආයෝජනය කරන ධනවාදීන් මෙන්ම ශ්‍රමිකයන්ද එක සේ අවදානමට ලක්වන බවයි. මන්ද තමන් සේවය සපයන සමාගම බංකලොත්ව ගියොත් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිව යන හෙයිනි. ධනවාදී ක්‍රමයක් තුළ සමාගමක තර්කානුකුල අරමුන වන්නේ හැකි තරම් සාර්ථක ලෙස තරඟ කිරීමෙන් ප්‍රතිවාදීන් ව්‍යාපරයෙන් අතුගා දැමිමයි; ඒ අනුව එමගින් ඒකාධිකාරයක් පිහිටුවා ගැනීමෙන් සිය සමාගමේ නිශ්පාදනයන්ට හිතුමතේ මිළ නියම කිරීමටත්, නිශ්පාදනයේ ගුණාත්මක බව ගැන සැලකිලිමත් නොවීමටත් හැකිය. මේ තත්ත්වය මග හරවා ගනු වස් ඒකාධිකාරයන් පිහිටුවා ගැනීම වළක්වනු පිණිස බොහෝ රටවල් විශේෂිත නීති මෙන්ම, සමස්තයක් වශයෙන් ගත් කල සමාජයේඑ යහපත පිණිස ආර්ථික නිදහස සීමා කෙරෙන තවත් නොයෙකුත් නිතිරීති සම්මත කරගෙන ඇත.