දිනපතා අඩු මාත්‍රාවකින් ඇස්ප්‍රින් ගැනීමෙන් වයස්ගත වැඩිහිටියන්ට දිගුකල් ජීවත් වීමට ආධාර වන්නේවත්, ඔවුන්ගේ මුල්ම හෘදයාබාධය වළක්වා ගන්නට හැකිවන්නේවත් නැති අතර අභ්‍යන්තර ලේ ගැලීම් ඒ අවධානම ඔවුනට වැඩි කළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළි වේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව එක්ව සිදුකළ මෙම ඉම් සලකනු කෙරෙන අධ්‍යයනයේ වාර්තාව සැප්තැම්බර් 17 වැනිදා New England Journal of Medicine සඟරාවෙහි පළවිය.
අධ්‍යනයට පුද්ගලයන් 19,000 වැඩි පිරිසක් සහභාගී කරවා ගැණිණ. ඉන් අඩකට පමණ(9525 දෙනෙකුට) ඇස්ප්‍රීන් ලබාදෙනු ලැබූ අතර ඉතිරි අයට(9589 දෙනෙකුට) සැපයුනේ පරීක්ෂණය සඳහා යොදා ගන්නා පෙනුමෙන් ඇස්ප්‍රින්වලට සමාන ඖෂධ රහිත පෙතිය. තෝරාගනු ලැබූවන්ගෙන් වැඩි පිරිස වයස අවුරුදු 70 ට වැඩි අයයි. දිනපතා ඇස්ප්‍රින් මි.ග්‍රෑ. 100 ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී තිබුණි.
අනතුරුව වසර 5කට කිට්ටු කාලයකට පසුව මේ පිරිස ගැන පසු විපරමක් සිදුකෙරෙනු අතර එහිදී වෛද්‍යවරුන්ට පෙනී ගියේ ඖෂධ රහිත පෙත්ත ගත් අය සමඟ සසඳනවිට ඇස්ප්‍රින් ගත් අයගේ හදිසි හෘදයාබාධයකට හෝ ආඝාතය පිළිබඳ අවදානම අඩු කිරීමට හෝ ඩිමෙන්ශියාව හෝ ශාරීරික ආබාධ රහිතව වැඩි වසර ගණනක් ජීවත් වීමට හෝ ඇස්ප්‍රින් උපකාරී වී නැති බවයි. ලේ තුනී කරන ඖෂධයක් වන ඇස්ප්‍රින්වල සාමාන්‍ය ගුණය පෙන්නුම් කරමින්, ඇස්ප්‍රින් ගත් කණ්ඩායමේ අය වැඩිපුර අභ්‍යන්තර ලේ වහනය අත්විදීමට සිදුවූ බව වාර්තාවිය. ඖෂධ රහිත පෙත්ත ගත් අය අතර 2.7%ක්වු ප්‍රමාණ හා සසඳන විට, ඇස්ප්‍රින් ගත් අයගෙන් 3.8%ක් ආඝාතයේ සිට ආමාශයික ආන්ත්‍ර රුධිර වහනය (gastrointestinal bleeds) දක්වා වූ බරපතල වෛද්‍ය තත්ත්වයන්ට මුහුණදීමට සිදුවූ බව ද දැක්වේ.
“වසර 100කට වැඩි කාලයක් ඇස්ප්‍රීන් භාවිතයේ තිබුණේ වී නමුත් සෞඛ්‍ය සම්පන්න වයසක උදවිය තවත් කාලයක් ජීවත්වීමේ අදහසින් නිවාරක (රෝගාබාධ වළක්වා ගැනීමේ) පියවරක් ලෙස එය ගත යුතුද යන්න ගැන අප දැන සිටියේ නැහැ” යයි ජෝන් මැක්නීල් කියා සිටියේය. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ දී මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි. “ඒ කියන්නේ ලොව පුරා මිලියන ගණනක, සෞඛ්‍යසම්පන්න වයස්ගත අය වෛද්‍යමය හේතුවක් නොමැතිව ඇස්ප්‍රීන් ගනු ලබන අතර එසේ කරන්නේ කිසි තේරුමක් නොමැතිවයි. මොකද කිව්වොත් රුධිර වහනයවීමේ අවදානම මගහරවා ගැනීමට හිලව් වෙන්න සමස්තයක් වශයෙන් වාසියක් පෙන්නුම් කරන්නේ නැහැනේ” යයි හෙතෙම සඳහන් කරයි.
වෛද්‍යවරුන්ට පෙනී ගිය තවත් කාරණයක් වූයේ පර්යේෂණය පැවැත්වූ කාලය තුළ ඇස්ප්‍රින් ගත් අයගේ මරණ අනුපාතය(5.9%) ඖෂධ රහිත පෙත්ත ගත් අයට(5.2%) වඩා මදක් වැඩි බවයි. අතිරේක මරණ බොහොමයක් සිදුවීඉ අත්තේ පිළිකාව හේතුවෙනි. කෙසේවෙතත් පර්යේෂක කණ්ඩායම තවත් දත්ත විශ්ලේෂණය කරන තුරු පිළිකාව පිළිබඳ සොයා ගැනීම අර්ථ නිරූපණය කළ යුත්තේ ඉතා සැලකිල්ලකින් බව මේරිලන්ඩ් හි ජාතික පිළිකා ආයතනයේ ලෙස්ලි ෆෝඩ් කියා සිටීයි.
“මොවුන්ගේ සොයාගැනීම් අතරේ පුදුම එළවනසුලු සොයාගැනීම වූයේ ප්‍රධානකොටම ආමාශ පිළිකාව ඇතුළු පිළිකා රෝගය හේතුකොටගෙන සමස්ත මර්ත්‍යතා (mortality) අනුපාතයේ සුළු වැඩිවීමයි. මීට කලින් සිදු කළ පර්යේෂණවල දී එවැනි වැඩිවීමක් පෙන්නුම් කර නැහැ. තවත් සමහරක් අධ්‍යයන වලදී ආමාශගත පිළිකාව අඩුකර බවක් පවා පෙනී යනවා. මෙම අධ්‍යයනයේ කතුවරුන් නිවැරදිව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සම්පන්න වයසක උදවිය ගතහොත් අස්ප්‍රින්වල ප්‍රයෝජනය වැඩිම වුණොත් සීමිත බවයි, බොහෝ විට හානිදායක විය හැකි බව සහ එම හානිය වයස අවුරුදු හැත්තෑ තුනෙන් පසුව තවත් ඉහළ යන්නේය” යයි ස්වස්ථතා හ නිවර්තන සෞඛ්‍ය ලන්ඩන් පාසලේ ඖෂධව්‍යාධිවේදී මහාචාර්යවරයකු වන ස්ටීවන් එවන්ස් සඳහන් කරයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයීය ආඝාතය සහ ඩිමෙන්ෂියාව වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පීටර් රොත්වෙල් ප්‍රකාශ කර සිටියේ අධ්‍යනයේ ප්‍රතිඵල “සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වයස අවුරුදු 70 ඉක්මවූ වූවාට පසුව ඇස්ප්‍රින් ගැනීම ආරම්භ කිරීමේ වාසි හා අවදානම තුලනය කර බැලීම සඳහා වඩාත් විශ්වාසදායක සාක්ෂි සපයන” බවයි.
The Guardian මාර්ගගත පුවත්පතේ පළවූ Daily aspirin unlikely to help healthy older people live longer, study finds ලිපිය සහ livemint හී Daily aspirin does more harm than good: Study යන ලිපිය ඇසුරෙන් සකස්විණ.