මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ධනවාදී ආර්ථිකයන් හී කෙන්ද්‍රයෙහි ඇත්තේ වෙළඳ පොළයි. වෙළඳ පොළ යනු භාණ්ඩ, සේවා සහ සම්පත් මිලදී ගන්නා සහ අළෙවි කරන කරළිය හෙවත් ස්ථානයයි. වෙළඳ පොළ ක්‍රියාත්මක වන්නේ සැපයුම සහ ඉල්ලුම සිද්ධාන්ත වලට අනුකූලවය. තවද, එය ක්‍රියාත්මක වීමට තරඟය ද අවශ්‍යය. එහෙයින්, වෙළඳ පොළ හුදු වෙළඳාම යන්නෙන් සුවිශේෂී කර දැක්විය හැකිය. වෙළඳාමට නම් දෙදෙනෙකුට වඩා අවශ්‍ය නොවේ. අඩු තරමින් එක් පාර්ශවයක හෝ තරඟයක් ඇතිවන පරිදි වෙළඳ පොළ සඳහා නම් අවම වශයෙන් තිදෙනෙකු අවශ්‍යය.
පරිමාණ වශයෙන් ගත් කළ වෙළඳපොළ පරාසයක් ගනී: බාගදා වෙලඳ කුටි කිහිපයක් පමණක් ඇති ප්රදේශබඩ ගොවීන්ගේ වෙළඳපොළ සිට; එකිනෙකා සමග තරඟකාරීව සමාන භාණ්ඩ අළෙවිකරන සිල්ලර වෙළඳසල් ගණ්නාවකින් හෙබි නාගරික සුපිරි වෙළඳ පොල හරහා; ගෝලීය පරිගණක ජාලවලින් සමන්විත අතථ්‍ය ලෝකයක් තුළ ක්‍රියාත්මක අන්තර්ජාතික භාණ්ඩ හෝ මුදල් වෙළඳපොළ දක්වා වූ පරිමාණයකි. මෙයට අමතරව, ශ්‍රම වෙළඳපොළ ද ඇත: නිදසුනක් දක්වන්නේ නම්, විදේශ ආයෝජකයන් තම රටෙහි කර්මාන්ත ශාලා ඉදිකිරීම දිරි ගන්වීමට ඇතැම් රජයන් උත්සාහ කරන්නේ වෙනත් තරඟකාරී රටකට වඩා ශ්‍රමිකයන්ට අඩු නෛතික ආරක්ෂාව සහ අඩු අයිතිවාසිම් සලසමිනි.
බන්ධන රහිත නිදහස්(අබාධිත) වෙළඳපොළ(free market) ගැන විශ්වාසය තබා සිටින අය කියා සිටින්නේ ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය ඔවුන් බවයි. ප්‍රමාණවත් ගුණාත්මක තත්ත්වයෙන් සහ පාරිභෝගිකයන් ඉල්ලා සිටින මිලකට භාණ්ඩ හා සේවාවන් සැපයීමට අපොහොසත්වන ආයතන නියත වශයෙන්ම පසෙකට තල්ලුවෙන අතර වඩාත් කාර්යක්ෂම වූ ඔවුන්ගේ තරඟකරුවෝ ශක්තියෙන් වැඩෙති. මෙය, (ලාභයක් උපයාගන්නා හෙයින්)නිශ්පාදකයාත් එමෙන්ම (තමන් ගෙවීමට සූදානම් මිලකට තමන්ට අවශ්‍ය දෑ ලැබෙන හෙයින්) පාරිභෝගිකයාත් යන දෙකොඨාශයටම වාසි සලසන බව අබාධ වෙළඳපොල මතධාරීහු ස්ථිරව පළකර සිටිති.
කෙසේවෙතත්, නිදහස් හෙවත් නිර්බාධ වෙළඳපොළ විවේචකයන් කියා සිටින්නේ නිදහස් වෙළඳපොළෙහි කාර්යක්ෂමතාවට සීමා ඇති බවයි. නිදසුනක් දක්වන්නේ නම් සැපයුම් හා ඉල්ලුම සිද්ධාන්ත, ඈත දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන සේවාවන් වැනි සමාජ අවශ්‍යතා සපුරාලීම අවශ්‍යයෙන්ම ඉටු කෙරෙන්නේ නැත; එමෙන්ම නිශ්පාදකයන් පරිසරය දූෂණය කිරීම ඉන් වළකාලන්නේ නැත; තවද පුද්ගලයන් අතාළොස්සක් අත ධනය ඒකරාශී වීම ඉන් වළකාලන්නේ නැත. මේවායේ දී සහ වෙනත් අවස්ථාවලදී සහනාධාර, රෙගුලාසි සහ බදු අයකිරීම් යන ස්වරූපයෙ යම් ආකාරයක රජයේ මැදිහත්වීමක අවශ්‍යතාව ගැන බොහෝවිට සමාජයන්ගේ එකඟතාව පළවේ