සමනළයෙකු හෝ සමනළියක වීම අස්වාභාවික ද?

පසුගිය වසර දෙක තුන තුල අන්තර්ජාතික තලයේ වඩාත් ම මහජන අවධානය දිනා ගත් නිර්ප්‍රබන්ධ ගත් කතුවරයා ආචාර්ය යුවාල් නොආ හරාරි යැ’යි පැවසුව හොත් එය අතිශයෝක්තියක් නොවේ. ජෙරුසෙලම හීබෲ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කරන ඔහු පරිණාමය හා මානව ඉතිහාසය ඇසුරෙන් ලියු Sapiens: A brief history of Human Kind (1914), Homo Deus: A Brief History of Tomorrow (2016) 21 Lessons for the 21st Century යන ග්රන්ථ තුනම මානව ඉතිහාසය නව දෘෂ්ටි කෝණයකින් විමසුමට ලක් කරන ප්රයත්න වශයෙන් ද සැලකිය හැකිය. තම සමරිසි බව නො සඟවා පවසන ආචාර්ය හරාරි සම රිසි බව යනු ඇත්ත වශයෙන් ම අස්වාභාවික හැසිරීමක් නොවන බවද මේ ලිපියෙන් පෙන්වා දෙයි.
සමනලයෙකු හෝ සමනලියක වීම අස්වාභාවික ද?
–මහාචාර්ය යුවාල් නෝආ හරාරි
විද්‍යාඥයෙක් හා සමරිසි පිරිමියෙකු වශයෙන් මට වඩා වැදගත් වෙන්නෙ මිනිසුන් විසින් නිර්මාණය කල කතන්දර වලට වඩා ඒ කතාන්දර හා සහ යථාර්ථය අතර ඇති වෙනස දැන ගැනීමයි. මේ වෙනස පිළිබඳ අවබෝධය විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් ද හරි වැදගත්. මගේ යොවුන් වයසෙ දි මට කියා දී තිබුණු දෙයක් තමයි, පිරිමි ළමයි ආකර්ෂණය වෙන්නේ ගෑණු ළමයින්ට බව. සෑහෙන කාලයක් මම ඒක විශ්වාස කළා. ඒත් එය මිනිසුන් විසින් නිර්මාණය කළ හුදු කතන්දරයක් බවත් මං වගේ සමහර පිරිමි ළමයි තවත් ඒ වගේ ම පිරිමි ළමයින්ට ආදරය කරන බවත් තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. බොහෝ මිනිසුන් විශ්වාස කරන දේවල් වලට පටහැණි ව යන්න සිද්ධ වුනත් යථාර්ථය අවබෝධ කර ගැනීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍යයි.
මිනිහෙක් තවත් මිනිහෙකුට ආදරය කෙරුවොත් අහසේ ඉන්න මහා බලසම්පන්න පුරුෂයෙකුගේ ක්‍රෝධයට ඔවුන් ලක් වෙන බව ඇතැම් මිනිසුන් කියනවා. ඒත් මේකත් හුදෙක් මිනිස්සු හිතෙන් මවා ගත්ත කතන්දරයක් පමණයි. මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ආදරය කරනවා නම් ඒකෙන් අනිත් කාටවත් හිරිහැරයක් නැත්නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? අහසෙ ඔය ඉන්නවායැ’යි කියන කිසිම බලසම්පන්න මහා පුරුෂයකුට ඒ වගේ අහිංසක ආදරයකට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. බොහෝ විට පූජකයන්ට විතරයි ඒ වගේ දේවල් වලට කේන්ති යන්නේ.
විද්‍යාත්මක පර්යේෂණ සිද්ධ වෙන්නෙත් අර අන්දමට කල්පනා කිරීමෙන් තමයි. විද්‍යාඥයෙක් වශයෙන් මම නිරන්තරයෙන් අහන ප්‍රශ්නයක් තමයි යථාර්ථය මොකක්ද කියන එක. ලෝකය පිළිබඳ ව මිනිස්සු නිර්මාණය කර ඇති නොයෙක් කතන්දර පැත්තකින් තියල ලෝකය පිළිබඳ ඇත්ත යථාර්ථය මොකක්ද කියන ප්රශ්නය විමසමු. සමරිසියෙක් වශයෙන් මම තේරුම් ගත්ත එක දෙයක් තමයි මිනිස්සු කියන කතන්දරත් එක්ක යථාර්ථය ගැටෙන කොට හොඳ ම දෙය යථාර්ථය විශ්වාස කිරීම බව. මං හිතන විදියට ඒ පාඩම මා වඩා හොඳ විද්‍යාඥයෙකු බවට පත් කිරීමට හේතු වුනා.
මගේ ලිංගික නැඹුරුව ඇති සැටියෙන් තේරුම් ගැනීමට විද්‍යාව මට බෙහෙවින් උපකාර වුනා. සමරිසියෙකු වීම අස්වාභාවික බවත් ස්වභාවධර්මයට අවශ්‍ය වන්නේ පුරුෂයන් ස්ත්රීන්ට ආදරය කිරීම පමණක් බවත් සමරිසි අය ස්වාභාව ධර්මයේ නියාම වලට පටහැණි ව කටයුතු කරන අය බවත් බොහෝ විට මිනිසුන් කියනවා. ඒත් විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මේක අමූලික මුලාවක් බව මට තේරුම් ගියා. අස්වාභාවික හැසිරීමක් කියල දෙයක් ඇත්ත වශයෙන් ම ඇත්තේ ම නැහැ. මිහිපිට පවතින හැම හැසිරීමක් ම හැසිරීම කියන නිර්වචනයට අනුව ම ස්වාභාවිකයි. ස්වභාවධර්මයේ නියාම කඩන්න මිනිසුන්ට පුළුවන් කමක් නැහැ. ස්වාභාවධර්මයේ නියාම කියන්නේ මාර්ග නීති වගේ කඩන්න පුළුවන් දේවල් නෙවෙයි. මාර්ග නීතිවලට අනුව ආණ්ඩුවට කියන්න පුළුවන් ඔබට පැයට කිලෝමීටර් සීයක් ඉක්මවා යන වේගයකින් වාහනය පදවන්න බැහැ කියලා. ඔබ පැයට කිලෝමීටර් එක සිය විස්සක වේගයකින් ගියොත් පොලිස් භටයෙක් ඔබ ව නවත්තලා දඩ කොලයක් දෙන්න පුළුවන්.
ස්වාභාවධර්මයේ නියාම වලට අනුව නම් ඔබට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කරන්න බැහැ. ඒත් ඒ වේගය ඉක්මවා යන්න බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළොත් විශ්වයේ කොනකට වෙලා බලා ගෙන ඉන්න පොලිස් භටයෙක් ඔබ ව නවත්තල දඩ කොලයක් දේවි කියලා. මොකද අපි දැනට දන්නා අන්දමට ස්වභාවධර්මයේ එකී නියාමය කඩ කිරීම කිසි සේත් ම වෙන්න බැරි දෙයක් නිසා.
ඒත් කොහොම හරි ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කිරීමට ඔබ සමත් වුනොත් ඒකෙන් තේරුම් යන්නේ වේගය පිළිබඳ ස්වභාවධර්මයේ නියාමය අපි තවමත් හරියට අවබෝධ කර ගෙන නැති බවත් ඇතැම් සුවිශේෂ අවස්ථාවල දී ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කිරීමට ස්වභාවධර්මයේ නියාමයට අනුව ඉඩ සැලසෙන බවත් පමණයි. ස්වභාවධර්මය තුළ යමක් පවතින වා නම් ඒ හැම පැවැත්මක් ම ස්වාභාවිකයි. ඒ අනුව ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට ආදරය කිරීමත් ස්වාභාවිකයි. ස්වාභාවධර්මයේ කිසිම නියාමයක් මගින් එය තහනම් කර නැහැ.
මිනිසුන් අතර විතරක් නෙවෙයි සමරිසි බව බොහෝ සතුන් අතරත් පවතින දෙයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ළඟ ම ඥාති සත්ත්ව විශේෂය වශයෙන් සැලකිය හැකි චිම්පන්සීන් අතර සමරිසි හැසිරීම් නිරන්තරයෙන් දකින්නන්ට ලැබෙන දෙයක්. චිම්පන්සීන් අතර ඇති හැම ලිංගික හැසිරීමක් ම හුදෙක් චිම්පන්සි පැටවුන් බිහි කිරීම අරමුණු කර ගෙන කරන හැසිරීම් නොවෙයි. දේශපාලනික සම්බන්ධතා ගොඩ නගා ගැනීම, ඇඟෑලුම්කම් ඇති කර ගැනීම සහ ආතතිය අඩු කර ගැනීම වගේ දේවලටත් චිම්පන්සීන් ලිංගික හැසිරීම් යොදා ගන්නවා. ඉතිං ඒවා අස්වාභාවික දේවල් ද.?
ලිංගික හැසිරීම් පවතින්නේ හුදෙක් දරුවන් බිහි කිරීම සඳහා පමණක් ය කියන අදහස පූජකයන් විසින් නිර්මාණය කළ මිථ්‍යාවක්. ඇත්ත වශයෙන් ම මේක ‘ස්වාභාවිකයි’ අරක ‘අස්වාභාවිකයි’ වගේ සංකල්ප ජීව විද්‍යාවෙන් අර ගත්ත දේවල් නොවෙයි. ඒ සංකල්ප අර ගෙන තියෙන්නේ ක්‍රිස්තියානි දේවධර්ම වාදයෙන්. ස්වභාවය යන්න දේවධර්මයේ දී තේරුම් ගන්නේ දෙවියන්ගේ කැමැත්ත වශයෙනුයි. ක්‍රිස්තියානි දේව ධර්මවාදීන් තර්ක කළේ මනුෂ්‍ය ශරීරය දෙවියන්ගේ නිර්මාණයක් බවත් ඒ අනුව ශරීරයේ හැම අංගයක් ම ඉන්ද්‍රියක් ම දෙවියන් නිර්මාණය කළේ දෙවියන් විසින් නියම කළ කටයුත්තකට බවත්. ඒ තර්කයට අනුව දෙවියන් නියම කළ ආකාරයට පටහැණි ව ශරීරාංග භාවිතා කිරීම අස්වාභාවිකයි. ඒත් මේ සියල්ල මිථ්‍යා කතන්දර පමණයි. මිනිස්සුත් අනෙකුත් සත්ත්ව විශේෂත් දෙවියෝ නිර්මාණය කළ දේවල් නොවෙයි. සියලු සත්වයෝ ස්වාභාවික වරණයට අනුව පරිනාමණය වුණු ජීවියෝයි. ඒ පරිණාමයට විශේෂ අරමුණක් නැහැ. ඒ වගේ ම ශරීර වල තියෙන ඉන්ද්රිය වලටත් සුවිශේෂ අරමුණක් නැහැ. මිනිසුන් සහ සත්වයන් විසින් ශරීරාංග හා ඉන්ද්රියයන් භාවිතා කළ ආකාරය පරිණාමය තුළ දීර්ඝ කාලයක් තිස්සේ නිරන්තරයෙන් ම වෙනස් වෙලා තියෙනවා. මනුෂ්‍ය ශරීරයේ තියෙන කිසිම අංගයක් මීට අවුරුදු මිලියන සිය ගණනකට ඉස්සර ඒවා ජනිත වුන අවස්ථාවේ ඉටු කළ කටයුතු නොවෙයි දැන් ඉටු කරන්නේ. ශරීරයේ ඉන්ද්රියයන් පරිණාමය වෙන්නේ කිසියම් කටයුත්තක් ඉටු කිරීමට වුනත් පරිණාමය වුනාට පස්සේ ඒවා වෙනත් කටයුතු සඳහා අනුවර්තනය වීම මුලුමනින් ම ස්වාභාවිකයි. උදාහරණයක් වශයෙන් මුලින් ම පිහාටු ඇති වුණේ පුරාණ උරගයින්ගේ ශරීරය උණුසුම් කර තබා ගැනීම සඳහා. ඒත් පරිණාමයේ තවත් අදියරක දී පක්ෂීන් ඒවා භාවිතා කළේ පියැඹීම සඳහා. ඉතින් ඒක අස්වාභාවික දෙයක් ද? පූර්ව මානව යුගයේ දී ඇඟිලි අනුවර්තනය වුනේ අපේ ආදිතමයන්ට ගස් නැගීමට පහසු වෙන අන්දමටයි. ඒත් අද කාලයේ ගස් නගින්න භාවිතා කරනවාට වඩා අපි පියානෝව වාදනය කරන්න ඇඟිලි භාවිතා කරනවා. ඉතින් ඒක අස්වාභාවික ද?. අපිට කටවල් ඇති වුනේ ආහාර අනුභව කිරීමටයි. ඒත් පසු කාලයක දී කතා කිරීමටත් කට භාවිතා වුනා. ඉතින් ඒක අස්වාභාවික ද?
ඒ වගේ ම ලිංගික අවයව මුල් කාලේ ඇති වුනේ ප්‍රජනනය පවත්වා ගෙන යාම සඳහායි. නමුත් දැන් අපි ඒවා කුලුපග බව, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩනගා ගැනීම වැනි කටයුතු වලට යොදා ගන්නවා. ඉතින් ඒ්ක අස්වාභාවික වෙන්නේ කොහොමද?
නිරුවත දැකීම නිසා මිනීමැරුම් සිදු වුනා නමි ඉතිහාසය පුරාම ඒ වගේ සිදුවීම් ඇති වෙන්නට ඇත්තේ ඉතා ස්වල්පයයි. එහෙත් ආගමික අන්තවාදය නිසා මිනිසුන් මිලියන ගණනක් මරා දමන්නට ඇති. ඒ නිසා සමරිසි කම හරි නිරුවත ගැන හරි කරදර වෙනවාට වඩා අපි කරදර වෙන්න ඕනෑ ආගමික අන්තවාදය ගැනයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න