ජීවිතය යන්න අර්ථ දක්වන්නෙ කෙසේද යන අසීරු ප්රශ්නය තාරීය-ජීව විද්‍යාව(Astrobiology) මතුකරයි. පෘථිවියට ඔබ්බෙන් ඇති ජීවිතය ලෙස අප ඇත්තටම නිශ්චිත වශයෙන් සොයන්නේ කුමක්ද? මීට පිළිතුරු වශයෙන්, සුලබ ප්‍රවේශයක් වන්නේ ජීවිතයේ ගති ලක්ෂණ ලැයිස්තුගත කිරීමයි. ඒවා අතරට ප්‍රජනනය, වර්ධනය, පරිවෘත්තිය හරහා ශක්තිය උපයෝගී කරගැනීම, සංවේදීවීම මගින් පරිසරයට ප්‍රතිචාර දැක්වීම, පරිණාමීය අනුවර්තන සහ සෛල හා ව්‍යවච්ඡේදන වල සංවිධිත ව්‍යූහය ඇතුළත්වේ. අවාසනාවකට මෙන්, මේ ආකාරයට ජීවිතය අර්ථ දැක්වීම හේතු කිහිපයක් නිසා අසතුටුදායක වේ.
මුලින්ම කිව හැක්කේ මෙකී ලැයිස්තු මගින් විස්තර කරනු ලබන්නේ ජීවිතය කුමක්ද යන්නට වඩා ජීවිතයෙන් ඉටු වන්නේ කුමක් ද යන්නයි. දෙවනුව, මෙකී ගති ලක්ෂණ බොහොමයක් ම අපට පමණක් සුවිශේෂී ඒවා නොවේ.
- ජීවිතයට, සෛල වැනි ව්‍යුහමය පිළිවෙලක් ඇත. ඒත් ලවණ(ලුණු) ස්ඵටිකද පිළිවෙලකට හැඩ ගැසී තිබේ.
- අප දන්නා සමහර විවාහක ජෝඩුවලට දරුවන් නැත. එහෙත් ඔවුන් සජීවය. සමාන කරතොත් ප්‍රජනනය කිරීමේ හැකියාව නැතත් (බූරුවෙකුට දාව වෙළඹකට උපදින) කොටලුවන්(mules) ජීවත් වන්නා සේය.
- වෘද්ධිය සහ සංවර්ධනය ජීවත් වන දේවලට අදාළ වේ. එහෙත් පැතිරී යන ගින්නක් ද වැඩෙයි; වැඩි දියුණු වෙයි.
- සකල ජීවයම පරිවෘත්තීය ක්‍රියාවට භාජනය වේ. එහෙත් අපේ මෝටර් රථ ද පරිවෘත්තිය ක්‍රියාවට භාජනය වෙයි.
- ජීවිතය එහි පරිසරයට, වටා පිටාවට, ප්‍රතිචාර දක්වයි. රසදිය පිරි උණකටුව ද එසේම පරිසරයට සංවේදීය.
මීට විකල්ප වශයෙන් සමහර විද්‍යාඥයෝ තාපගති විද්‍යාව(thermodynamics) යොදාගෙන ජීවිතය විග්රහ කිරීමට තැත් කරති. ඒ කියන්නේ තාපය හා ශක්තිය මෙන්ම පදාර්ථයට එහි ඇති සම්බන්ධතාව යොදාගනිමිනි. මෙසේ ඔවුන් තැත් කරන්නේ, සෛල සහ ප්රවේණි ද්‍රව්‍ය (genetic material) වැනි ස්ථායි ව්‍යුහයන්, පරිවෘත්තීය අපද්‍රව්‍ය සහ තාපය මගින් නිපදවනු ලබන එන්ට්‍රොපිය(entropy) එක පෙලට තිබීම ජීවිතයේ හරය බව යෝජනා කිරීමෙනි. එන්ට්‍රොපිය යන්න මදක් විස්තරාත්මකව සලකා බලමු. ඇතැම්හු එන්ට්‍රොපිය යනු ‘අපිළිවෙල'(disorder) ලෙස දැක්වීමට තැත් කරති. එහෙත් එන්ට්‍රොපිය අපිළිවෙල නොව, පරමාණු වේවා හෝ අණු වේවා පදාර්ථ අතර ශක්තිය විසිරීමේ නිශ්චිතතම මිනුමයි.
කෙසේවෙතත් ජීවීන් සහ අජීවීන් අතර වෙනස පැහැදිලිව තෝරාබේරා ගැනීමට තවම තාප ගති විද්‍යාව සමත්ව නැත. ජීවය කොතැනක තිබුණත් ඊට ජිනෝමයක් (genome) තිබිය යුතු විය හැකියි. ජිනෝමය යන්නෙන් අදහස් කරන්නේ පිටපත්කිරීමෙ සුළු දෝෂ සහිතව වුවත් උරුමයෙන් ලැබෙන නිශ්චිත සැලැස්මකි. මේවා ජීවියෙකුට පූර්වජයෙකුගෙන් පරිණාමය වීමට ඉඩ සලසන අතරම පරිවෘත්තීය වැනි ජීවිතයේ වෙනත් ගති ලක්ෂණ සඳහා වට්ටෝරුවක් සපයයි. පුද්ගලයන්ගේ ගති ලක්ෂණයන්ගේ වරණය මගින් ඇතිවන අනුයාත හෙවත් එකක් නෑර එකක් පරම්පරා තුළ ජනගහන යන්ගේ ඇතිකරවන විපර්යාසයන් පරිණාමයයි. ඔව් පරිණාමය වැදගත්ය. මන්ද ජීවයේ විවිධත්වය සහ කලින් ලයිස්තු ගත කළ ජීවයේ ගති ලක්ෂණ වල හැඩහුරුව සකසන්නේ කෙසේද යන්න පැහැදිලි කළහැකි එකම ක්‍රියාදාමය පරිණාමය නිසාවෙනි.
පරිණමයේ වැදගත් බව සැලකිල්ලට ගනිමින් තාරීය ජීවවිද්යාඥයෝ “ඩාර්වීනියානු පරිණාමයට හැකියාවක් ඇති, ස්වයංව තිරසාර කෙරුණු රසායනික පද්ධතියක් ” ලෙස බොහෝවිට ජීවය විග්රහ කරති. එහෙත් අපට ජීවය සොයා ගැනීම පිණිස සම් පරීක්ෂණයක් සැලසුම් කිරීමට අවශ්‍යනම් මේ විග්‍රහය උපකාරයක් නොවන්නේය. ධනාත්මක අනාවරණයක් සඳහා අපට පරිණාමය සිදුවන තුරු බලා සිටීය යුතුද? “ජීවය වනාහී පරිණාමය මගින් එහි ගති ලක්ෂණ වැඩිදියුණු කරණු ලැබූ, ජිනෝම අන්තර්ගත, තිරසාර කළ රසායනික පද්ධතියකි” යන්න වඩාත් හොඳ අර්ථ නිරූපණයකයැයි වොෂින්ග්ටන් විශ්වවිද්‍යාලයේ පෘථිවි සහ අභ්‍යවකාශ විද්‍යා මහාචාර්ය ඩේවිඩ් සී. කැට්ලින් පවසයි.
දාර්ශනිකයෙකු වන කැරොල් ක්ලේලන්ඩ් සහ විද්‍යාඥ ක්‍රිස්ටෝපර් චයිබා පෙන්වාදෙන්නේ ජීවය යන්න විග්රහ කර දැක්වීමට අප දරන උත්සාහයන් හරියට 17 වන සියවසේදී විද්‍යාඥයන් ජලය විග්රහ කිරීමට දැරූ උත්සාහයන් වැනිය යනුවෙනි. ඒ අවධියේ දී ජලය සැලකුණේ වර්ණයක් නැති, ගඳ සුවඳක් නොමැති ඇතැම් උෂ්ණත්වවලදී උතුරන එමෙන්ම මිදෙන දියරයක් හැටියටයි. පරමාණුක වාදය (atomic theory) නොමැති නිසා ජලය යනු එක් ඔක්සිජන් අනුවකට එක් වුණු එක් එක් අණුවක හයිඩ්රජන් පරමාණු දෙකකින් සමන්විත අණු එකතුවක් බව කිසිවෙකුත් දැන සිටියේ නැත.
ජීවය අර්ථ දැක්වීමේදී ඇතිවන ප්‍රශ්න බොහෝමයක් ලඝුවන්නේ ජීවය පිළිබඳව අපට ඇත්තේ එකම එක උදාහරණයක් පමණක් යන්නටය. ඒ පෘථිවිය මත ජීවය පමණයි. පෘථිවිය පාදක කරගත් ජීවීන් සියල්ල පරම්පරාගත තොරතුරු සඳහා නියුක්ලෙයින් අම්ලය ද, ජෛවී රසායනික ප්‍රතිචාර සීග්‍රතාව පාලනය පිණිස ප්‍රෝටීනද, ශක්තිය ගබඩා කිරීමට අනන්‍ය පොස්පරස් ද අන්තර්ගත අණු ද යොදාගත යුත්තාහ. බැක්ටීරියාවක් වේවා දැවැන්ත නිල් තල්මසකු වේවා ඇත්තේ එකම මූලික ජෛවී රසායනය වේ. ඒ නිසාවෙන් මේ මිහිතලය මත ජීවයේ කුමන ලක්ෂණ සුවිශේෂී වේද එමෙන්ම ‘ජීවය’ වශයෙන් පිළිගනු ලැබීමට පොදුවේ කුමණ් ගුණ අවශ්‍ය වන්නේ ද යන්න වෙන් කොට දැක්වීම අසිරුය. අපට පෘථිවියෙන් පිටත ජීවය සොයා ගැනීමට හැකිවුවහොත් මේ ප්‍රහේලිකාව විසඳීම පිණිස තාරීය ජීව විද්‍යාවට උපකාර කළ හැකි වනු ඇත.
ASTROBIOLOGY – A Very Short Introduction by David C. Catling (Oxford Press 2013) ග්‍රන්ථයේ What is life? යන කොටස ඇසුරෙනි