ඔරලෝසු නොමැති යුගයේ මිනිසුන් උදේට අවදි වුණේ කොහොමද?
වයස හෝ ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඔරලෝසුවලට අප කවුරුත් කැමතියි. නා නා විධ ස්වරූපයෙන් එමෙන්ම විවිධ හැඩ වර්ණ, පෙනුම ආදී වශයෙන් වෙළඳ පොළ පුරා විශාල ප්‍රමාණයක් ඔර්ලෝසු පිරී තිබීමෙන්ම ඒවායේ ජන ප්රියතාව මැනගන්න පුළුවනි. ඒ වුණත් ලෝකයේ කොතැනක හිටියත් ‘පෙන්නන්න බැරි’ ඔරලෝසු ජාතියකුත් තියනවා. ඒ තමයි සංඥා නගන ඔරලෝසු හෙවත් එලාම් ක්ලොක්(alarm clocks). හිමිදිරි ජාමයේ, සුන්දර සිහිනයක වෙළී සැනසිල්ලේ ඉන්නා විට හදිසියේම කන් බිහිරි කරමින් හඬ නගන මේ ඔර්ලෝසු වර්ගය කවුරුත් සලකන්නේ කන්කරච්චලයක් හැටියටයි. එහෙම වුණත් නින්දෙන් අවදිවීම ප්‍රධාන කොට කාර්ය කිහිපයකටම මේ සංඥා නගන ඔරලෝසු නැතුවම බැරි බව ඒ අයම වුණත් දන්නවා. ඔව්, පරම්පරා ගණනාවක අයත් දැන සිටියා. එහෙම නම් මෙතැන දී වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. සංඥා නගන ඔරලෝසු නිපදවන්න කලින් මිනිස්සු උදේට, තමන්ට ඕන වෙලාවට නැගිට ගත්තේ කොහොමද?
අද ලෝකයේ පරිගණක, සුපිරි පරිගණක, අභ්‍යවකාශයානා වැනි සුපිරි, සංකීර්ණ උපකරණ බහුලව භාවිත කළත්, ආදී කාලයේ දී වෙලාව කීම වගේ ක්‍රියාවක් වුනත් මහා අභියෝගයක් වුණා. පුරාණ ග්‍රීකයන් සහ ඊජිප්තු වැසියන් හිරු තැටි(Sun dial) සහ සිරි ලකුණ(Obelisk = ක්‍රමයෙන් සිහින් වූ චතුරශ්රාකාර ශිලා ස්ථම්භයක්) භාවිතා කරා. ඒවායේ කාලය සටහන් වුණේ හිරුගේ ගමන සමග වෙනස්වන සෙවනැලි මගිනුයි. ක්‍රිස්තු පූර්ව 1500 කට පමණ පෙර කාලයේ මානවයන් විසින් හෝරා යතුර(hour glass), ජල ඝටිකා(water clocks) සහ තෙල් ලාම්පු(oil lamps) භාවිතය පටන් ගැනුණා. හෝරාවන් ගතවීම ගණන් බැලුණේ වැලිවල, ජලයේ හෝ තෙල්වල චලනය අනුවයි.
මේ නිපැයුම් අතරේ මුලින්ම සංඥා නගන ඔරලෝසුවක මූලාකෘතියක් තනන්න ගත්ත උත්සාහයක් ලෙස ඉටිපන්දම් ඔරලෝසුව(candle clock) දක්වන්න පුළුවන්. ආදී කාලීන චීනයේ භාවිත වුණු මේ සරල උපකරණය ක්‍රියාත්මක වුණේ මෙහෙමයි: ඉටිපන්දමේ ඇණ සවිකර තුබූ අතර ඉටි දියවී යද්දී ඇණ ඉටිපන්දම සවි කර තියෙන ලෝහ තැටියට වැටෙන්නේ හඬක් නගමිනුයි.
එහෙත් ඒ වගේ දළ උපකරණ මත විශ්වාසය තබන්නට අසීරු බව වැඩි කලක් නොගොසින්ම පෙනී ගියා. එහෙයින් වඩාත් නිවැරදි, විශ්වාසවන්ත උපකරන නිපදවනතුරු මනුෂ්‍යයන්ට සිදුවුණේ ඊට වෙනස්, වඩාත් ස්වභාවික වේලාව සටහන් කිරීමෙ ස්වරූපයක් කෙරෙහියි: එනම් අපේ ශරිරයේ අභ්‍යන්තර ඝටිකාවයි(internal body clocks).
මානවයන්ගේ, නිදාගනීමේ සහ අවදිව සිටීමේ ස්වභාවික රටාවන්ට පාදකවන, සමස්ථිතිය(homeostasis) සහ ජීවවිද්‍යාත්මක දෛනික රටා (circadian biological clock) යනුවෙන් ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයන් දෙකක් තියනවා යයි ඔස්ට්‍රේලියාවේ
රාජකීය මෙල්බන් තාක්ෂණික විද්‍යා ආයතනයේ ජේෂ්‍යඨ පර්යේෂක මෙලින්ඩා ජැක්සන් කියනවා.
මොළයේ හයිපොතැලමස(hypothalamus) කොටසින් පාලනයවන්නාවූ සංඥා නිකුත්කිරීමේ ක්‍රියාදාමයක් වන සමස්ථිතිය පිටුපස ඇති ප්‍රධාන නියමය වන්නේ “අප අවදිව සිටින කාලය වැඩිවත්ම, වැඩිවත්ම නින්දට යාමට ඇති ප්‍රේරණය හෙවත් පෙලඹවීම හෝ නින්දට වැටීමේ හැකියාව වැඩි වීමය” යි ජැක්සන් පවසයි. “ඔහොම ඉතින් නින්දට වැටුනහම, නිදාගන්න තියන පෙලඹවීම රාත්‍රිය ගතවෙද්දී ක්‍රමයෙන් හීනව ගොස් දැන් අවදිවීමට කාලය හරියයි සංඥා කෙරෙනවා”.
මීට මතුපිටින් ඇති ජීවවිද්‍යාත්මක දෛනික රටා පාලනයවෙන්නේ ද හයිපතැලමසයේ සෛලවලින්මයි. මෙම ජීවවිද්‍යාත්මක දෛනික රටාව තමයි දිනය තුළ නිදිමත අවදි සහ නැගිට සිටින අවදි පාලනය කරන සමාන්තර නැතිනම් සමගාමී ක්‍රියාදමය. එම ක්‍රියාදාමය කෙරෙහි ආලෝකය සහ අඳුර ද බලපානවා. ඉන් අදහස් කෙරෙන්නේ සාමාන්‍යයෙන් උදෑසන ඇති එළිය සහ රාත්‍රියෙ අඳුරයි. ඉතින් නිදිවැද සිටින අඳුරු රාත්‍රිය පුරාවට ක්‍රමයෙන් නිදිමත පහව ගොස් අලුයම හිරු රැස් පතිතවෙද්දී නැගිට සිටින අවදිය ළඟාවු බව සංඥාවෙනවා. ඉතින් සංඥා ඔරලෝසු නොමති ඒ අතීත කාලයේ දඩයමේ යන්න, පලවල නෙලන්න යන්න, ගොවිතැන් වැඩට යන්න වශයෙන් දවසේ වැඩ අරඹන්න වෙලාව දක්වන්න ඇත්තේ එලෙස වෙන්න ඇතැයි ජැක්සන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
LIVE SCIENCE හී පළවූ How did people wake up before alarm clocks? ලිපිය ඇසුරෙනි