ස්වභාව වාදියෙකු, සංනිවේදකයෙකු සහ සිනමාකරුවෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ නිර්මාණය කළ “Planet Earth” , “Blue Planet” වැනි ලෝක ප්‍රකට වාර්තා චිත්‍රපට නරඹා ඇත්නම් ඔහුගේ ඒ ගැඹුරු, කන්කලු හඬ ඔබටත් හොඳට පුරුදු ඇති වෙන්නට පුළුවන. එහෙත් ඔහු පෝලන්තයේ, කොටවයිස් හී දී දෙසැම්බර් මස 3දා පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධාන පෙළේ සමුළුව අමතා කළ කතාව වෙනදාසේ ම ගැඹුරු වුවද සිත් සසල කරවන සුළු එකකි.
“මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ගෝලිය පරිමාණයේ ව්‍යසනයකට අප මේ මොහොතේ මුහුණ පා සිටින්නෙමු” 200 ක් පමණ වූ රටවල නියොජිතයන් අමතමින් ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ සුපුරුදු ගැඹුරු හඩින් කියා සිටියේය, “වසර දහස් ගණනකින් මෙපිට අප හමුවේ ඇති බලවත්ම තර්ජනය එයයි: අප වහා වහා ක්‍රියාකාරී නොවුව හොත් ශිෂ්ටාචාරය බිඳවැටෙන දිනය, එමෙන්ම ස්වභාවික ලෝකයෙන් වැඩි කොටස නෂ්ටප්රාප්තවන දිනය වැඩි ඈතක නොවනු ඇත”
මේ ඉහළ පෙළේ සමුළුව කැඳවා තිබුණේ 2015 වසරේ දී පැරිස් නුවර පැවති දේශගුණ සමුළුවේදී ලෝකයේ රාජ්‍ය නායකයන් ලබාදුන් පොරොන්දු, ප්‍රතිඥා යථාර්ථයක් බවට පෙරළන්නේ කුමනාකාරයකට දැයි කතා බහ කර ගැනීමටය. පැරිස් සම්මුතිය අනුව ඉතිරි ශත වර්ෂය තුළ, ගෝලීය උණුසුම්වීම පූර්ව කාර්මික විප්ලව සමයට වඩා ශෙල්සියස් අංශක 2 ක නොඉක්මවන මට්ටමකට, ගෝලීය උණුසුම්වීමතබා ගනිමට උපකාරී වෙන අන්දමට වායු විමෝචන අඩුකෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට රටවල් 184ක් එකඟ විය. එසේවුව ද ලෝකයේ රටවල් බොහොමයක් එම මගට පිවිස නැත. දැනට පෙනී යන ආකාරයට නම් සිදුවිය හැක්කේ ගෝලීය උණුසුම් වීම සෙල්සියස් අංශක 4 දක්වා ඉහළ යාමකි.
මෑතක පළවූ එක්සත් ජාතීන්ගේ දේශගුණ වාර්තාවක දැක්වෙන පරිදි මේ ශත වර්ෂයේ දී ගෝලීය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5කට සීමා කළේ වුවද පෘථිවියේ නගර සහ පරිසර පද්ධති කෙරෙහි දරුණු බලපෑම් ඇති කළ හැකිය. ගංවතුර තත්ත්වයන් තවත් ඉහලයාම, ලොව පුරා දරුණු කාලගුණික තත්ත්වයන් ඇතිවීම, සාගර කොරල් පර 90% දක්වා විනාශයට පත්වීම, සතුන් සමූහ නෂ්ටප්රාප්තවීම සහ නිරතුරු ඇතිවන නියඟ හේතුවෙන් ගෙන එන ආහාර හිඟයන් පෙර කී දරුණු බලපෑම් අතරට එක්වෙයි. මෑතක නිකුත් වූ ඇමරිකා එක්සත් ජනපද දේශගුණ ඇගයීම් වාර්තාවක් මගින් ද මෙකී සොයාගැනීම් මෙන්ම දැනටමත් අප ළඟාවෙමින් සිටින දේශගුණ විපර්යාසවල අනතුර ද සනාථ කර ඇත.
” ලෝකයේ නායකයිනි, ඔබ පෙරමුණ ගතයුතුමය. අපේ මේ ශිෂ්ඨාචාරයේ අඛණ්ඩ පැවැත්ම මෙන්ම අපේ ජීවිත රඳා පවතින මේ ස්වභාවික ලොකයේ ඉරණම ඇත්තේ ඔබ අතේය” ඇටෙන්බරෝ සිය කතාව හමාර කරමින් ඉල්ලා සිටියේය.
Live Science හී පළවූ Sir David Attenborough Predicts the ‘Collapse of Civilization’ at UN Climate Summit ලිපිය ඇසුරෙනි