වොයේජර් යානා දෙකම දැන් අන්තස්තාරීය අවකාශයේ

නාසා ආයතනයේ දිගු දුර ගවේෂණ යානා අතුරෙන් දෙවැන්න වන වොයේජර් 2 අභ්‍යවකාශ යානය ද දැන් සුර්ය බලපෑමට යටත් හෙලිස්ගෝලයෙන්(heliosphere) ඉවත්ව අන්තස්තාරීය අවකාශයට(interstellar space) ඇතුල්ව ඇතැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් සළකුණු කරමින් වොයේජර් 1 යානය වැඩිම දුරක් ගමන් ගත් මානව වර්ගයාගේ දූතයෙකු විලසින් හෙලිස්ගෝලයෙන් ඉවත්ව අන්තස්තාරීය අවකාශයට ඇතුල් වූ ඒ ඓතිහාසික සංක්‍රමණය සිදු කළේ 2012 වර්ෂයේ දීය. වොයේජර් 2 යානයේ සංක්‍රමනය පසුගිය නොවැම්බර් 5 දා සිදු විනැයි කැලිෆෝනියාවේ පසදෙනාහි පිහිටි කැලිෆෝනියා තාක්ෂණ ආයායතනයේ වොයේජර් ව්‍යාපෘතියේ විද්‍යාඥ එඩ් ස්ටෝන් වොෂිංග්ටනයේ ඇමෙරිකානු භූ-භෞතික සංගම් රැස්වීමේ දී පසුගිය සඳුදා නිවෙදනය කළේය. දැන්(නිවේදනය කරන අවස්ථාවේ) වොයේජර් 1 යානය සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 21.6ක් දුරින් ද වොයේජර් 2 යානය කිලෝමීටර් බිලියන 18ක් දුරින් ද ඇත්තේය.
නව අභ්‍යවකාශ සීමාවට ඇතුල්වීමෙන් පසුව වොයේජර් 1 යානයෙන් ලැබුණාට වඩා වොයේජර් 2 යානයෙන් ලැබෙන සංඥා සාපේක්ෂව පැහැදිලි යයි ස්ටෝන් පවසයි. මෙම අඩවියට වොයේජර් 1 යානය මුලින් පිවිසි අවස්ථාවේ එහි සංඥා උච්චාවචනය වීම (උස් පහත්වීම) විද්‍යාඥයන්ගේ මොළ අවුල් කරන්නක් විය.
සෞර ග්‍රහ මණ්ඩලයේ සීමාවේ ඔබ්බෙන් පැනනගින අන්තරීක්ෂ කිරණවල(cosmic rays) යම් අඩුවක් පෙන්නුම් කරන අතර සූර්යයාගෙන් එන ආරෝපිත අංශු සංඛ්‍යාව බිංදුවටම ආසන්න බව වොයේජර් 2 යානයෙන් ලබාගත් දත්ත පෙන්නුම් කරයි. වොයේජර් 1 යානය හෙලිස්ගෝලයේ සීමාව හරහා යාමෙන් පසුව සූර්ය-සුළං උපකරණය ක්‍රියාත්මක නොවුණු නමුත් වොයේජර් 2 යානයේ මෙම උපකරණය තවමත් ක්‍රියාත්මකව පවතී. සූර්ය අංශු සංඛ්‍යාවෙහි කැපී පෙනෙන අඩුවක් සුළං උපකරණය මගින් ද පෙන්නුම් කෙරිණ. “නොවැම්බර් 5 දා ඒවා නැතුවම ගියා” ස්ටෝන් කියයි.

… අභ්‍යාවකාශ ගතකිරීමට ඔන්න මෙන්න කියා… වසර 41 කට පෙර
වොයේජර් 2 යානය හෙලිස්ගෝල ඉමේ මදක් ඝන කොටසක් හරහා ගමන් කළ බව මේරිලන්ඩ් හී පිහිටි, හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික භෞතික විද්‍යා පරීක්ෂණාගාරයේ රොබට් ඩෙකර් පවසයි. වොයේජර් ගවේෂණ යානා දෙකෙහි ගමන් මග ක්‍රමයෙන් විකාසනය වූ අන්දම කෙසේ දැයි සංසන්දනය කිරීමෙන් තාරක දෙකක් අතර අන්තස්තාරීය අවකාශය සැදුම් ගෙන ඇත්තේ කුමන මාධ්‍යයකින් දැයි යන්න ගැන පර්යේෂකයනට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගත හැකි වෙනු ඇතැයි ඩෙකර් පෙන්වා දෙයි.
වොයේජර් යානා දෙකම අභ්‍යවකාශගත කෙරුණේ 1977 වර්ෂයේ දී ය. මුලින් පිටත් වූයේ වොයේජර් 2 යානය යි. එහෙත් වේගවත් පරාචක්රයක්(trajectory) ඇති වොයේජර් 1 ඉක්මණින්ම සිය නිවුන් යානය පසුකර ගියේය. සිය චාරිකාවේදී යානා දෙකම බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් බැහැ දැක්කේ ප්‍රථම වරට මෙම වායු යෝධයන් දෙදෙනා සමීපව ගවේෂණයක යෙදෙමිනි. නාසා ආයතනය අනතුරුව වොයේජර් 2 යානයෙහි ගමන් මග වෙනස් කළේය. ඒ අනුව, වොයේජර් 2 යානය යුරෙනස් සහ නෙප්චූන් ග්‍රහයන් බැහැදැක්කේ එම ලෝක වල ප්‍රථම වතාවට එවැනි ගවේෂණයක් සිදු කිරීම සනිටුහන් කරමිනි.
Nature research (10th Dec, 2018) හී පළවූ Voyager 2 enters interstellar space after 41 years යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න