සැමට විදු නැන නුවණ – Science Literacy for All

වයස්ගත වන ජනගහනයකට සත්කාරක සේවා සැපයීමේ අභියෝගය

නව වසරක් ආරම්භයේ අප අතරේ ඇති පුරුදු අතර වැඩිහිටියන්ට සැලකීමට විශේෂ වෙහෙසක් ගැනීම සඳහන් කරන්න පුළුවනි. අපේ මේ චර්යා බොහෝවිට සම්ප්‍රදායානුකූලයි. එහෙත් අප මෙ ලිපියේ සාකච්ඡාකරන්නේ වසර පුරා ඔවුන් රැකබලාගැනීමේදී මුහුණපාන අභියෝග සහ ඒවාට ලබාදිය හැකි නව තාක්ෂණික විසඳුම් ගැනයි.

 

සත්කාරක සේවා අවශ්‍යවන  වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළයත්ම ඊට සමගාමීව, සෞඛ්‍ය සත්කාරක සේවා සැපයීම සඳහා ලබාගැනීමට හැකි පුහුණු ශ්‍රමය සහ ලබාගත හැකි  සම්පත්වල හිඟයක් ඇතිවී තිබේ. වඩාත් විශෙෂිතව සඳහන් කරන්නේ නම් ‘මහලු වයස් සහාය අනුපාතය’ යනුවෙන් හැඳින්වෙන අනුපාතය පහළ වැටෙමින් පවතී. ‘මහලු වයස්  සහාය අනුපාතය’ යනු අවුරුදු 65 හෝ ඊට වැඩි සෑම පුද්ගලයකුටම සිටින වැඩකරන වයසේ ( අවුරුදු 20 සිට 64 දක්වා) අයවලුන්ගේ සංඛ්‍යාව අතර අනුපාතයයි. ක්‍රිස්තු වර්ෂ 2050 වන විට ආසියානු රටවල් හතක, යුරෝපීය රටවල් 24 ක සහ ලතින් ඇමරිකාවේ හා කැරිබියානු කලාපයේ රටවල් හතරක මෙම අනුපාතය සෑම 65 + එක් පුද්ගලයකුට වැඩ කරන වයසේ දෙදෙනකු ලෙස එලි පත්තෙන් පහළට වැටෙතැයි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහණ අංශය පෙන්වා දෙයි. මෙය ගෝලීය ආර්ථිකය කෙරෙහි වඩාත් පුළුල් බලපෑම් ඇති කරවන අතරම මෙවැනි අවාසිදායක මහලු වයස් සහාය අනුපාතයන්, රට රටවල්වල සෞඛ්‍ය සත්කාරක පද්ධති,  ඉහළ ප්‍රමිතියේ සත්කාරක සේවා සැපයීමේ හැකියාව සහ මෙකී සමාජයන් සදහා අනෙකුත් හරාත්මක කාරණා කෙරෙහි පීඩනයක් ඇති කරනු ඇත.

අතීතයේදී නම් බොහෝ සමාජයන්හි දී සාමාන්‍යයෙන් දුවෙකු හෝ ලේලියක (පුතෙකු ගේ බිරිය) ඇතුළු පවුලේ  සාමාජිකයෝ වයස්ගත දෙමාපියන්ට සත්කාරක සේවා සැපයූහ.  එසේ වුව ද, ලොව පුරා ස්ත්‍රීහු විශාල සංඛ්‍යා වශයෙන් ශ්‍රම බලකායට එක්වෙති. එමෙන්ම දෙවැනි පරපුර වෙනත් කුටුම්භයක වාසය කිරීමට තිබෙන ඉඩකඩ ද පුළුල් වී තිබේ. ඒ අතරම ජ්‍යේෂ්ඨයෝද වැඩි වැඩියෙන් තනිව ජීවත්වීම වැඩි වී තිබේ. නිදසුනක් දක්වතොත් 2010 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනගතව  වසන්නේ නැති වයස්ගත පුද්ගලයන්ගේ සියයට විසි අටක්(28%) කල් ගෙවූයේ තනිවමය. අවුරුදු 85 හෝ ඊට වැඩි පිරිස ගත්තොත් සංඛ්‍යාව සියයට 48 කි. මේ ප්‍රවණතාවය හුදෙක් අවශ්‍යතාවය නිසාම හටගත්තක් නොව බොහෝ ජේෂ්ඨයන් විසින් වැඩි කැමැත්තක් දක්වනු ලැබ ඇත්තේ තනි ව විසීමට ය. යුරෝපීය රටවල අවුරුදු 65 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් 40% කට වැඩි පිරිසක් එම තීරණයට එළැඹෙති. මෙම ප්‍රවණතාව ජපානය වැනි පවුල් එක්ව වසන කුටුම්භ මෙන්ම පවුලේ ම සත්කාරකයන් සහිත සම්ප්‍රදායන් ඇති රටවලට ද ව්‍යාප්ත වී තිබේ.

 

ජීවිතයේ පශ්චිම කාලය තම නිවසටම වී ගත කිරීමට කැමැති වන ජ්‍යෙෂ්ඨයන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහල යාමේ සංසිද්ධිය ප්‍රකට ව හඳුන්වනු ලබන්නේ ‘ස්ථානගතව වයසට යාම(aging in place) ලෙසය.  මොවුනට නිවසේම සහාය සේවා සැපයීමේ දිගටම පවතින අවශ්‍යතාව අභියෝග ඉස්මතු කරයි: ඒ අභ්යෝගය වනාහී  ශාරීරික  සහ/හෝ සංජානන හානිය හමුවේ පවා ස්වාධීනව ජීවිතය ගත කිරීමට සහාය වන්නේ කෙලෙසද යන්නයි.

මේ සඳහා තාක්ෂණය මගින් සැලසීමට  හැකියාව සහිත විසඳුම් බොහෝ ඒවා අතුරින් වැඩියෙන් බලාපොරොත්තු තැබිය හැකි විකල්පයන් අතරට ජංගම සෞඛ්‍යය නිරික්සුම (mobile health monitoring) ටෙලි සෞඛය (ඊ සෞඛ්‍ය ලෙස ද දැක්වේ) සහ විවිධ සහයක (assistive) තාක්ෂණ ඇතුළත් වේ. මේ ලිපියේ එම විකල්ප තුන ගැන කෙටියෙන් විමසා බැලේ.

දුරස්ථ රෝගී  නිරික්සුම් තාක්ෂණය ගතහොත්  ඒවා භාවිතා කරන අය පිළිබඳව තථ්‍ය-කාල තොරතුරු නිත්‍ය පදනමක් යටතේ හෝ අඛණ්ඩව  පවා ලබාදීමේ විභවය මෙම තාක්ෂණය සතුය. හුදකලාව හා පුද්ගල නිදහස අහිමිවී යාමේ බියෙන් ඇතැම් වයස්ගත වැඩිහිටියන් නිරික්සුම් උපකරණවලට ප්‍රතිරෝධයක් දක්වන බව  පර්යේෂණවලින් හෙළි වේ. අනික් අතට මෙම විකල්ප ආරක්ෂාව පිළිබඳ හැඟීමක් සහිතව ස්වාධීනව සිටීම ප්‍රවර්ධනය කරනා හෙයින් ජේෂ්ඨයන් අතර එන්ට එන්ටම වැඩියෙන් පිළිගැනීමට ලක් වේ. මන්ද,  යම් ආපදාවක් ඇති වුවහොත් කල් නොයවා උපකාර ලබාගත හැකි හෙයිනි. මෙලෙස දුරස්ථව සිට ලබා ගත හැකි සෞඛ්‍ය තොරතුරු විද්‍යුත් මාර්ගයෙන් වෛද්‍යවරයාගේ හෝ පවුලේ අය සමග බෙදා හදා ගත හැකිය. මෙම දුරස්ථ රෝගී නිරික්සුම් සහ සංවේදන තාක්ෂණයට. සුවිශේෂී  විවිධ විසදුම් අතරේ ග්ලූකෝස් නිරික්සුම් උපකරණ, ක්‍රියා නිරික්සුම් කිරීමට උපකාරවීමේ හැකියාව ඇති ඇඳුම් කට්ටල, ඖෂධ ගැනීම කළමනාකරණය කිරීමේ මෙවලම්, ඇදවැටීම් සොයා ගැනීමේ තාක්ෂණය සහ ගෝලීය ස්ථාන නිර්නයන  පද්ධති (GPS) නිරික්සුම් උපකරණ ද ඇතුළත් ය. මෙම මෙවලම් එක්කෝ ජංගම ඒවා විය හැකියි. නැතිනම් ජීවත්වන පරිසරයටම බද්ධ කළ ඒවා වන්නට ද පුළුවන.

Related image

ජෙෂ්ඨයන්ට නිවාස තුළ ස්වාධීනව ගත කිරීමට මෙන්ම බාහිර සත්කාරවල අවශ්‍යතා අඩු කරන එකිනෙකට සබැඳි තාක්ෂණයන් අතරට ඊ සෞඛ්‍ය හෙවත් ටෙලි සෞඛ්‍යය ඇතුළත් වේ. මෙහිදී වයස්ගත වැඩිහිටියන් අංකිතව හෙවත් (පොදු වහරේ  එන අන්දමට) ඩිජිටල් ආකාරයට සත්කාර සපයන්නන් (care providers), සෞඛ්‍ය අධ්‍යාපනය සහ හදිසි අවස්ථා සේවා සමග සම්බන්ධ කරයි. ටෙලි සෞඛ්‍ය සේවාව, සෞඛ්‍ය වෘත්තිකයන් සමග විවිධ අතුරු මුහුණත (interfaces)  යොදාගනිමින් සම්බන්ධ වීමට වයස්ගත වැඩිහිටියන්ට මග සලසයි.  වඩාත් ජනප්‍රිය අතුරුමුහුණත වන්නේ වීඩියෝ සමුළු ක්‍රමයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සත්කාර සපයන්නන්ට, රෝගියාගේ සෞඛ්‍යය තත්ත්වය දුර සිට ඇගයීමකට ලක් කිරීමට මෙන්ම දුරස්ථව රෝග විනිශ්චය කිරීමට ද, ප්‍රතිකාර මාලාවක් නිර්දේශ කිරීමට සහ සත්කාර සම්බන්ධීකරණයට හා අනෙකුත් සේවා සපයන්නන් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද ඉඩ සලසයි.  මීටත් අමතරව,  හැකියාවන් සීමා වීම හේතුවෙන් නිවසටම වී ජීවිතය ගත කිරීමට සිදුවන ජෙෂ්ඨයන්ට, යම් යම් දුෂ්කරතා සහිත දුෂ්කර ප්‍රදේශවල පදිංචි අයට, ප්‍රවාහන පහසුකම් අඩුවක් ඇති අයට ඊ සෞඛ්‍ය හා ටෙලි සෞඛ්‍ය වඩාත් පහසු සහ සාධාරණ අන්දමට ගුණාත්මක වෛද්‍ය සත්කාරක ප්‍රයෝජන ලබන්නට මගපාදයි.

මෙවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, අවධානය යොමු නොකළහොත් දිගටම පැවතීමට සහ වියදම් අධික සංකීර්ණතාවලට මඟ පෑදිය හැකි බොහෝ රෝගී තත්ත්වයන්ට හා රෝගාබාධවලට සම්බන්ධයෙන් කල්මරන්නේ නැතිව මැදිහත්වීමට හා සත්කාර කිරීමට අවස්ථාව සැලසේ. මෙම විසඳුම්,   වෛද්‍ය සත්කාර සපයන්නන් වෙත කෙලින්ම පැමිණෙන පිරිසෙහි ප්‍රමාණය මෙන්ම සමස්ත වශයෙන් ඇති වන වියදම අඩු කිරීම ද සත්කාර සපයන්නන් හා රෝගියා අතර සම්බන්ධතා කාලය වැඩි කිරීමට ද තුඩු දෙන බව පර්යේෂණ පෙන්නුම් කරයි.

Related image

මේ ආකාර නව තාක්ෂණ හමුවේ වුව ද සාපේක්ෂව සාකල්‍යවාදී  සත්කාරක උපාය මාර්ගයක් සැකසීමේ දී සරල එහෙත් ඵලදායී සම්ප්‍රදායානුකූල සහකාරක සේවා ද නොසලකා හැරිය නොහේ. — නිදසුන් දක්වතොත්,  ඇසීමට හා පෙනීමට ආධාරවන් තාක්ෂණ(ශ්‍රවනාධාරක, උපැස්), එහාමෙහා යාමට ආධාරක(සැරයටි,වෝකර් ආදිය) වැසිකිලියාම, ස්වස්ථතාව හා සුවපහසුව(කොට්ට, මෙට්ට ආදිය) යනාදී   ජීවිතයේ ගූණාත්මක බවට වැදගත් දායකත්වයක් සපයන බවපෙනී ගොස් ඇත. බෑවුම් වැටි, ගරාදි, තරප්පු ඔසවන(stair lifts), ගෙබිම වයනය යළි සැකසීම සහ නාන කාමරවල වෙනස්කම් සිදුකිරීම ආදිය සැපයිය හැකි ප්‍රතිසම(ඇනලොග්) විසදුම් අතරවේ. නිවසට පුද්ගලිකව  පැමිණ සපයන සේවාවන් කෙරෙහි  ජ්‍යෙෂ්ටයන්ගේ රැඳියාව, නිවසෙහි මේ ආකාර වෙනස්කම් සහ සාම්ප්‍රදායික සහකාර මෙවලම් එක්කිරීමෙන් අඩුවන බව පර්යේෂණ පෙන්නුම් කරයි.

සාමප්‍රදායානු කූල සහකාරක මෙවලම් සමග සාපේක්ෂව සලකා බලන කල වඩාත් නවීන ‘බුහුටි’ තාක්ෂන ප්‍රයෝජනයට ගන්නා සිඝ්‍රතාව අඩු බව පෙනී යාම පුදුමයට කාරණාවක් නොවේ. ඊට බලපාන හේතු අතර  සංසන්දනාත්මකව ගත් කල මූලික සහකාරක මෙවලම් මිළ දරා ගත හැකිවීම, සත්කාරක සේවා සපයන්නන් සහ ඒවා ලබාගන්නන් අතර එවැනි මෙවලම් ගැන වැඩි අවභෝධයක් තිබීම, භාවිතයේ පහසුවද වේ.

USING TECHNOLOGY TO IMPROVE CARE OF OLDER ADULTS නම් ග්‍රන්ථයේ Four challenges of an aging population and the role of technology යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: