නව වසරක උදාව සාමාන්‍යයෙන් සළකුණු වන්නේ නෑ හිතවතුන්ගෙන් ලැබෙන සුබ පැතුම් පණිවුඩ වලින්ය. එහෙත් මේ සටහන නව වසර ආරම්භයේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරින් ලද, විද්‍යාඥයන් සතුටු ප්රමෝදයට පත් කළ ‘පණිවුඩයක්’ ගැනයි.
පණිවුඩයෙන් කියැවුණේ ගවේෂණ යානාවක් අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත්ම ඈතින් සාර්ථකව සිදුකල මෙහෙයුමක් පිළිබඳවයි. මෙ කතාව ඇරඹෙන්නේ ඇත්තටම වසර 13කට පෙරයි. ඒ , නාසා ආයතනය ‘නිව් හොරයිසන්’ (New Horizon) යනුවෙන් නම් කළ අභ්‍යවකාශ ගවේෂණ යානාවක් 2006 ජනවාරි 19 දා අභ්‍යවකාශගත කිරීමත් සමගයි. මේ මෙහෙයුමේ මුල් අරමුණ වුනේ එවකට පූර්ණ ග්‍රහ තත්ත්වයේ සිටි ප්ලූටෝ මිනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානාවක් මගින් අසළින් පියාසර කරමින්(fly by) අධ්‍යනයක යෙදීමයි. (යානය පිටත් වී මාස කිහිපයකට පසුව එනම් 2006 අගෝස්තුවේ දී ප්ලේටො ග්‍රහ තත්ත්වයෙන් පහතට හෙලනු ලබීය). නිව් හොරයිසන් 2015 දී හය මසක් තිස්සේ එම කාර්යය සාර්තකව ඉටු කළේ එම වසරේ ජූලි 2015 දා ප්ලුටෝ ට වඩාත්ම ආසන්නයෙන් පියාසර කරමිනි. ඉන් අනතුරුව එහි දෙවනි මෙහෙයුම ඇරඹුණි. ඒ අපේ ග්‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරෙහි පිහිටි ‘කුයිපර් තීරය’ (Kuiper Belt) යනුවෙන් හඳුන්වනු ලබන ආදී කල්පිත අයිස්මය ‘මිනි’ (කුඩා) ග්‍රහ වස්තු වඩාත් සමීපව අධ්‍යනය කිරිමයි. ඊයේ නව වසර උදාවේ දී ග්රීනිච් මධ්‍යන වේලාවෙන් හරියටම 0533 ට නිව් හොරයිසන් යානාවෙන් පණිවුඩය ලැබුණේ එම භාරධූර කාර්ය කරමින් සිටිය දීය.
මේරිලන්ඩ්, ජෝන්ස් හොප්කින්ස් හි පිහිටි මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පැය දහයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි ඒ මොහොතේ නිව් හොරයිසන් යානාව මගින් Ultima Thule නම් අයිස්මය අභ්‍යවකාශ පාෂාණයේ දහස් ගණන් ඡායාරූප ගැනිම ආරමභ කළේය. ඔවුන්ගේ නොඉවසිල්ලට හේතුවූයේ ඉතාමත් කුඩා අංශුවකින්(particle) පවා යානයෙන් නිකුත්වෙන සංඥවන්ට බරපතල හානි පැමිණිය හැකි නිසාය. ‘කුයිපර් තීරය’ යනු මෙයට වසර බිලියන 4.6කට පෙර සූර්ය ග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූ අවදියේ ඉතිරි වූ විවිධ ප්‍රමාණයේ සුන් බුන් වලින් පිරී පවතින ස්ථානයකි. Ultima Thule ද එවන් එකකි.
” අපේ යානාව යහපත් ආකාරයෙන් ක්‍රියා කරණවා. අප මේ දැන් අත්වින්දේ පෘථිවියට වඩාත්ම ඈතින් සිදුකල ආසන්නයෙන්ම පියාසර කර යාමක්’ ‘නිව් හොරයිසන් මෙහෙයුම් ක්‍රියාකාරි කළමණාකාරිණිය ඇලිස් බොව්මන් කියා සිටියි, “මේ දත්ත අපට සූර්ය ග්‍රහ මණ්ඩලයේ ප්රභවය ගැන හැදෑරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා”.
Ultima Thule පාෂාණය පිහිටියේ පොළවෙන් කිලෝමීටර බිලියන 6.5ක් ඈතිනි. ‘පණිවුඩය’ ලැබීමට පැය 10ක් වැනි කාලයක් විද්‍යාඥයන්ට බලාසිටීමට සිදුවූයේ මෙම අධික දුර නිසාවෙනි. යානාවෙන් ලැබුණු ඡායාරූප මුල් තොගය මේ සතියේ නිකුත් කිරීමට හැකිවුවත් සම්පූර්ණ දත්ත තොගය බා ගැනිමට මාස 20ක් වත් ගත වෙතැයි අපේක්ෂිතයි.
NASA සහ Guardian Science වෙබ් අඩවි ආශ්රයෙන් සකස් කෙරිණ