චීනයේ බෙයිජිං වේලාවෙන් ජනවාරි 3දා උදෑසන 10.26ට සඳ මත යානයක් ගොඩබැස්සවීම මිනිසෙකු සඳ මත පා තැබීම තරම් ලෝකාවධානය දිනා ගැනීමට සමත් වුයේ නැති නමුත් එය ද මානව වර්ගයා තැබු දැවැන්ත ඉදිරි පියවරක් බව නම් කිව යුතුමය. මන්ද, මිනිසුන් විසින් තනන ලද කෘතිම යානයක් මෙයට දශක 5 ට පමණ පෙර එනම් 1966 මුල්වරට සඳ මත සෙමින්ගොඩ බැස්සවීමේ සිට එදා මෙදා තුර සිදු කෙරුණු ගණුදෙනු සඳෙහි අපට ‘පෙනෙන’ පැත්තට සිමා වුණත් මෙදා පොටේ චීන ප්රයත්නයත් සමග තමයි මිනිසා ප්‍රථම වතාවට කෘතීම වස්තුවක් චන්ද්‍රයාගේ ‘අනෙක් පසට’ යොමුකෙරුණේ. එම කාරණාවට අමතරවව මේ ව්‍යායාමය තවත් හේතු නිසාවෙන් ද මානව සංහතියට බෙහෙවින් වැදගත් කමක් ඇතත් ඒ ගැන කතා කරන්න කලින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් තිබේ.
මොකක් ද මේ චන්ද්‍රයාගේ ‘පෙනෙන’ පැත්ත සහ ‘නොපෙනෙන’ පැත්ත?
පෘථිවිය වටා භ්රමනයවන පෘථිවියේ ස්වභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයාගේ අපට පෙනෙන්නේ එකම මුහුණතක් නැතිනම් එකම පැත්තක් පමණක් බව ඔබ දන්නවා ඇතිනේ? මීට බලපාන්නේ උදම් අගුල්ලෑම(tidal locking) යන සංසිද්ධියයි. මෙය සිදුවන්නේ යම් අභ්‍යවකාශ වස්තුවකට එය තම අක්ෂය වටා භ්රමනය වීමට හෙවත් කැරකීමට යන කාලයට සමාන කාලයක් එය වෙනත් වස්තුවක් වටා කක්ෂ ගතව පරිභ්‍රමනය වීමට වැයවන විටයි. ඉතින් චන්ද්‍රයා පෘථිවිය සමග උදම්ව අගුල්ලා ඇත්තේ චන්ද්‍රයාගේ භ්‍රමන කාලය එය පෘථිවිය වට පරිභ්‍රමනය වීමට යන දින 27.3 ක කාලය සමාන වීම නිසයි. එනිසා අපට සැමදාමත් දැකගත හැක්කේ චන්ද්‍රයාගේ එකම පැත්තයි. එයට අප ‘ඇතුල් පැත්ත’ හෝ ‘ආසන්න පැත්ත’ හෝ එහෙමත් නැතිනම් ‘එළිය පැත්ත’ යනුවෙන් සඳහන් කරන අතර, අනෙක් පස ගැන දක්වන්නේ ‘පිට පැත්ත’ හෝ ‘දුර පැත්ත’ හෝ ‘අඳුරු පැත්ත’ හැටියටයි. හැබයි, අපට නොපෙනෙනා නිසා අඳුරු පැත්ත කියා කීවාට, ඒ පැත්තටත් සූර්යාලෝකය දිගටම ලැබෙන බව අමතක නොකළ යුතුයි. (මේ සංසිද්ධිය දැක්වෙන වීඩියොවක් මෙතැනින් නැරඹිය හැකියි).
දැක නැතත් මේ නොපෙනෙන පැත්ත මුලින්ම ඡායාරූප ගත කිරීමට සෝවියට් ‘ලූනා 3’ යානයට හැකිවිය. එලෙසම, සඳ මතුපිටට යානා කඩා වැටීමට සැලැස්වුවත්, මුලින්ම සඳේ පෙනෙන පැත්තට සෙමින් යානාවක් සාර්ථකව ගොඩබැස්ස වූයේ 1966 දීය. ඒ සෝවියට් ‘ලුනා 9’ යානයයි. සෝවියට් දේශය එසේ දස්කම් දක්වද්දී, අමෙරිකා එක්සත් ජනපදය 1969 දී මුලු ලෝකයම මවිත කරවමින් මිනිසෙකු සඳ මතුපිටට ගෙනයාමට සමත් විය.
මානව වර්ගයාගේ මේ ඓතිහාසික ගමනේ තවත් සන්ධිස්ථානයක් මෙම චීන චැන්ග් ඊ4 ප්රයත්නයෙන් සළකුණු වෙයි.
දැන් නැවතත් චැන්ග් ඊ4 දෙසට හැරුනොත්, එය සඳ වෙත නෑගම් ගියේ මේ ලෝකයේ ශාක සහ සත්ව උරුමයන් රැගෙනයි. යාන්යේ කුඩා බඳුනක ගනගිය මේවා අතර අර්තාපල් සහ rockcress (Arabidopsis thaliana) නම් සපුෂ්පික ශාකයක බීජ මෙන්ම පට පණු බිත්තර ද විය. මේ පිටුපස ඇති අදහස වන්නේ ශාක, පට පණුවන්ට අවශ්‍ය ඔක්සිජන් සපයන අතර, පට පණුවන් ද ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් ශාක වලට අවැසි කාබන් ඩයොක්සයිඩ් හා (පටපණු) මල මගින් පෝෂක ද සපයනු ඇත යන්නයි. ශාක සාර්ථකව ප්රභාසංස්ලේෂනයේ යෙදෙමින් සඳ මතුපිට පරිසරයේ වර්ධනය වේ දැයි විද්‍යාඥයන් සොයා බලනු ඇත.”අපට ඕනෑ කරන්නේ සඳ මත දී බීජ වල ශ්වසනය සහ ප්‍රභාසංස්ලේෂනය ගැන අධ්‍යනය කරන්නයි” මේ අත්හදා බැලීමේ ප්‍රධාන සැලසුම්කරු ක්ෂී ගෙන්කින් කියා සිටියි. මේ ‘ජෛවීගෝල’ අත්හදා බැලීම සිදු කෙරෙන්නේ චීනයේ විශ්වවිද්‍යාල 28 ක සහයෝගයෙනි.
LIVE SCIENCE, BBC FOCUS ඇතුළු වෙබ් අඩවි කිහිපයක් ඇසුරෙන් තතු මාණ්ඩලිකයෙකු විසින් සම්පාදිතයි.