ගෝලීය උණුසුම් වීම අඛණ්ඩව පැවතීම හේතුවෙන් ගොවීන් දෙයාකාරයක ගැටලුවලට මුහුණ පා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂකයෝ පෙන්වාදෙති. සාගින්න ලොවපුරා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව එක් අනතුරකි. සාමාන්‍ය ගෝලීය උණුසුම එන්ට එන්ට ම ඉහළ යද්දී ලෝකයේ ප්‍රධාන කෘෂිකාර්මික කලාප දෙකකම එකවර ව්‍යසනකාරී තාපය හා නියගය ඇතිවීමේ ඉඩකඩ අනෙක් අනතුරයි. මෙම අනතුරු හැඟීම සිදු කෙරුණු ප්‍රථම වතාව මෙය නොවේ. මෙයට කලින් මේ වසරේ ඔක්තෝබරයේ දී තවත් පර්යේෂක කණ්ඩායමක් වෙනස් ප්‍රවේශයක් යොදා ගෙන මේ පුරෝකතනය සනාථ කෙරෙන ප්‍රතිඵලයක් ඉදිරිපත්කළහ. ජීවිත මිලියන 50 ක් බිලිගන්නට ඇතැයි කියන 1875-78 දරුණු ගෝලීය නියං තත්ත්වය සහ මහා සාගතයට තුඩු දුන් ආකාරයේ තත්ත්වයක් දිගටම පවතින දේශගුණ විපර්යාසයන් හේතුවෙන් යළි ඇතිවීමේ හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායම අනතුරු හගවති.
තවද, පසුගිය ඔක්තෝබරයේදී ම වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ, ඉන්දියාවේ, චීනයේ සහ බ්‍රසීලයේ අති විශාල අන්දමින් අස්වනු හානි සිදුවීමට එකතුව මඟපෑදූ කලාපීය දේශගුණ විපර්යාස තුනක් යළි ඇති වීමේ අවදානම ගැන අවධානය යොමු කළහ. Science Advances සඟරාවට වාර්තාවක් සපයමින් ඔවුන් කියා සිටින්නේ උෂ්ණත්ව වෙනස් වීමේ වාර්තා සහ ඊට සම්බන්ධිත ගණිතමය හැකියාවන් පමණක් සොයා බැලීමෙන් ඔවුන්නිගමනයකට ට එළඹීමට සමත්වූ බවයි.
පසුගිය ශතවර්ෂයේ දී ෆොසිල ඉන්ධන දහනය බහුලව සිදු කිරීම සහ අනුශාංගිකව වායුගෝලයේ හරිතාගාර වායු ඉහළ යාමේ අනිටු ඵල ලෙස පෘථිවිය සෙල්සියස් අංශක එක(1C0) බැගින් සාමාන්‍යයෙන් උණුසුම් වී ඇත. “සෑම තැනකම උෂ්ණත්වය වැඩිවෙනවා නම් එකවර ස්ථාන දෙකකදී රත්වීමේ ඉඩකඩත් වැඩියි. ඒ වගේම දෙපොළක් වියළි නම් ඒ දෙපොළෙම උෂ්ණත්වය වැඩිවීමේ අවස්ථා තවත් වැඩියි“ එසේ කියා සිටින්නේ ස්ටැන්ෆර්ඩ්හි පෘථිවි බලශක්ති සහ පාරිසරික විද්‍යා පිළිබඳ විද්‍යාලයේ නෝවා ඩිෆෙන්බෝ ය. “ප්‍රධාන වශයෙන් බෝග සහ තෘණ වගා කරන කලාපවල ඓතිහාසික දත්ත සලකා බලන විට මිනිසුන් මූලික වී සිදුකළ දේශගුණ විපර්යාසයන්ට පෙර ස්ථාන දෙකක සමගාමීව දරුණු දේශගුණික තත්ත්වයන් ඇති වීමේ අවස්ථා අඩු බව පෙනී යනවා. ගෝලීය උණුසුම් වීමට ප්‍රතිචාර වශයෙන් දේශගුණ ස්වාරක්ෂක කලාපවල පරිහානියක් අපට දැනටමත් දැකනගත හැකියි” හෙතෙම වැඩිදුරත් සඳහන් කරයි.
මානව ඉතිහාසය තුළ අස්වනු පාළුවීම ඉමහත් ගැහැට ගෙන දෙන්නක් බව පැහැදිලිය. එහෙත් සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ කලාපයක එවැනි හානි පැමිණි විට වෙනත් කලාපයක අස්වනු ඉහළ යාමෙන් තත්ත්වය සමතුලනය වී යාමයි. 1875 දී ආසියානු මෝසම නිසි කලට නොපැමිණීමෙන් ඇති වූ ගෝලීය දුර්භික්ෂය දුර්ලභ සිද්ධියක් විය. එසේ ඇරඹි දුර්භික්ෂය එකල පාලකයන් වූ යුරෝපීය අධිකාරින්ගේ නොමනා පාලනයෙන් තවත් උග්‍ර අතට පෙරළිණ. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස ප්‍රධාන කෘෂිකාර්මික කලාප දෙකකට එකවර ද්විත්ව හානි පැමිණීම එතරම් සුලබ සිද්ධියක් නොවීය. ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන රටවල් දෙකක් සහ වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව යන රටවල එකම වසරක් ඇතුළත අඩු වර්ෂාපතනයක් මෙන්ම උෂ්ණත්වය ඉහළ යාමේ ඉඩකඩ අනුපාතය 1980 දී විස්සකට එකක් පමණක් විය. දැන් එය එකට හතක් දක්වා ඉහළ ගොස් ඇත. “ඉතින් කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්ද නිරන්තරයෙන් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපිට බලගතු සාක්ෂි තියෙනවා මෙයට බලපාන්නේ ගෝලීය උණුසුම්වීම ද කියලා” යනුවෙන් මහාචාර්ය ඩිෆෙන්ඩෝ කියයි.
දැනට කටයුතු කරන ආකාරයටම ක්‍රියා කරමින් දිගටම ෆොසිල ඉන්ධන දවන්නේ නම් විසිවන සියවසේ මැද දී සාමාන්‍යයෙන් අත්විඳි උෂ්ණත්වය සාමාන්‍යය බොහෝ කලාපවල බෙහෙවින් ඉක්මවමින් 75% කින් වැඩි වීමටත් ඉඩ ඇතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. 2015 පැරිස් සම්මුති ප්‍රතිඥා ඉටු කරා නම් 2100 වන විට ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2කට(2C0) වඩා අඩුවෙන් තබා ගැනීමටත්, එමෙන්ම එකිනෙකට වඩා වෙනස් කලාප දෙකකට එකවර සිදුවිය හැකි ද්විත්ව අභාග්‍යයන් මැඩ පවත්වා ගැනීමටත් හැකිවනු ඇති බවද ඔවුහු අදහස් කරති.
උෂ්ණත්ව අන්ත තවත් ඉහළ යයි
උෂ්ණත්වයේ අන්ත ගතහොත් එයම භෝග අස්වැන්න කෙරෙහි අවදානමක් ඇති කරයි. ලෝකයේ ප්‍රදේශ එන්ට එන්ට ම වැඩි සංඛ්‍යාවක් අස්වනු පාළුවීමේ අවදානමට ලක් වේ. එක් කලාපය තුළ එකවර සිදුවිය හැකි බහුවිධ අවදානම් ගැන වොෂින්ටන් සරසවි විද්‍යාඥයෝ සැලකිලිමත් වූහ. අධික සුළං, සැඩ කුණාටු, අභාග්‍යසම්පන්න නිවර්තන වාසුළි මෙන්ම පහළ ආර්ද්‍රතාව, ඉහළ උෂ්ණත්වයන් සහ මාරක ලැව් ගිනි අවදානම් ද අනතුරුව එකම වසරේ දී වෙනත් කලාපයක බලපැවැත්විය හැකි සාමාන්‍ය හෝ මදක් වෙනස් උපද්‍රවයන් ගැන ද ඔව්හු සොයා බැලූහ.
ගෝලීය උෂ්ණත්ව සාමාන්‍යය ඉහළ යාමත් සමගම ගොවීන් සහ ප්‍රජාවන් මුහුණ දීමට අපේක්ෂිත උපද්‍රව දැන් වෙනස් වීමට ආසන්න වී තිබේ. සියවස් ගණනාවක් මුළුල්ලේ සමාජයන් තීරණය ගනු ලැබුවේ ඔවුන් තුළ දැනටමත් අවබෝධයක් තිබෙන ඉඩකඩ හා හැකියාවක් පදනම් කරගනිමිනි. “ඒත් අපේ පර්යේෂණ හඟවන්නේ එම ඓතිහාසික ඉඩකඩ ඉදිරියට ද අඛණ්ඩව යන්නෙය යන්න ගතහොත් එය වර්තමාන හෝ අනාගත අවදානම නිවැරදිව පිළිබිඹු නොවන බවය” යයි මහාචාර්ය ඩිෆෙන්ඩෝ පෙන්වාදෙයි.
ලිපිය ප්‍රථමයෙන් පළ වූයේ Climate News Network සඟරාවෙහිය.
Physics world (agriculture) හී පළවූ Farmers face double trouble as world warms යන ලිපිය ඇසුරෙනි