ලාභදායී එමෙන්ම බහුලව ලබා ගත හැකි සංශුද්ධ කාබන් සැපයුමක් විවිධාකාර ප‍්‍රයෝජන සඳහා සොයා ගත හැකි යයි දැන් මැඩ්රිඩ් හී තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇල්බර්ටෝ ඇඩනාඩෙස් අදහස් කරයි. ඔහු ඊට පදනම් කර ගන්නේ නැනෝ තාක්ෂණයෙහි, වානේ නිෂ්පාදනයෙහි සහ මෝටර් රථ ටයර සඳහා පිරවුම් ද්‍රව්‍යයක් ලෙස දැනටමත් මේ මූලද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් ඇත යන්නයි. ‘‘අළුත් වෙළඳ පොළ වුණත් විවෘතයි” ඔහු කියා සිටිියි. එහෙත් ප‍්‍රථම අවශ්‍යතාව වන්නේ නිපදවනු ලබන කාබන් ඉහළ ප‍්‍රමිතියකින් යුක්ත විය යුතු බවයි. මීතේන් පැලීමේ කණ්ඩායම විශ්වාස කරන්නේ ඔවුන්ගේ කාබන් 90% සංශුද්ධ වශයෙනි. ප‍්‍රතික‍්‍රියාකාරයෙහි රසායනික වෙනස්කම් ඇති කිරීමෙන් හෝ තව දුරටත් කාබන් ශුද්ධ කිරීමෙන් මෙම තත්ත්වය තවත් වැඩි දියුණු කර ගත හැකි යයි ඔවුහු අපේක්ෂා කරති.
එසේ නම් හයිඩ‍්‍රජන් කර්මාන්තයට පිම්මේ ඉදිරියට යා හැකිද? බාගදා පුළුවන. විශේෂයෙන්ම ගැටළුවේ සෙසු කොටස් ක‍්‍රමයෙන් ලිහීගෙන යාම හමුවේ මෙය යථාර්තයක් විය හකියි. නිදසුනක් වශයෙන්, මෙතනෝල් වැනි පහසුවෙන් හැසිරවිය හැකි ඉන්ධන බවට හයිඩ‍්‍රජන් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යාඥයෝ අත්හදා බලමින් සිටිති. ( ජනවාරි 10 දා තතු ලිපියේ සූර් කාර් කොටස බලන්න). එය සංකීර්ණ කාර්යයක් මෙන් පෙනී යා හැක. එහෙත් ඇබැනාඬේස් පෙන්වා දෙන්නේ පොළොවෙන් කැණ ගත් සැටියේම ඛනිජ තෙල් වුවද ‘වැඩක් නැති’ ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකි බවයි. ‘‘අප ඇත්තටම යොදා ගන්නේ බොර තෙල් ද? නැහැනේ. අප ඒවා පෙට‍්‍රල් හා ඞීසල් බවට හරවනවා.’’ හෙතෙම පවසයි.
වඩාත් වියදම් අඩු හයිඩ‍්‍රජන් තාක්ෂණය ලබා ගත හැකි බව හා බැටරි සම්බන්ධයෙන් වර්තමානයේ ඇති සීමා සැලකිල්ලට ගනිමින් ටොයොටා, හුන්ඩායි සහ හොන්ඩා යන සමාගම් ඉන්ධන ෙසෙල වලින් බල ගැන්වෙන මෝටර් රථ යළි වෙළඳ පොළට නිකුත් කර ඇත. 2015 වර්ෂයේ දී යුරෝපා සංගමය හයිඩ‍්‍රජන් සංචලන යුරෝපා ව්‍යාපෘතිය (Hydrogen Mobility Europe project) දියත් කළේ හයිඩ‍්‍රජන් පිරවුම්හල් ජාලයක් යුරෝපය පුරා පිහිටුවීමේ අභිප‍්‍රායෙනි. හයිඩ‍්‍රජන් බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථ වාහන සඳහා එක්සත් රාජධානියේ රජය සුළු සහනාධාර සපයයි. කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු එරික් ක්‍රොයිසෙට් අදහස් කරන්නේ විදුලිබල සහ හයිඩ‍්‍රජන් මෝටර් රථ විවිධ වෙළඳ පොළ සඳහා යොදා ගත හැකි බවයි. සමහර විට විදුලිබල වාහන නගර අභ්‍යන්තරයේ ගමන් බිමන් සඳහා සහ හයිඩ‍්‍රජන් යොදා ගන්නා රථ දුර ගමන් සඳහා වශයෙනි. ‘‘කෙනෙකු මිළදී ගන්නේ එම තැනැත්තාගේ අවශ්‍යතාවට ගැලපෙන වාහනයක් ’’ හෙතෙම පෙන්වා දෙයි.
ස්වභාවික වායු වලින් හයිඩ‍්‍රජන් පාදක ඉන්ධන නිපදවීමේ දි නිර්මාණය වන පෙළඹවීම් හෝ දිරිගැන්වීම් ගැන සෙස්සෝ එතරම් උනන්දුවක් නොදක්වති. පුනර්ජනනීය විකල්පයන් සෙවීමේ අපගේ ප‍්‍රයත්නවලින් අපව වෙනතකට යොමු කරමින් තාක්ෂණය අනාගතයේ දි ෆොසිල අධෝව්‍යුහය වෙත අපව වඩාත් යොමු කිරීමට ඉඩ ඇති බවට පාරිසරික ආරක්ෂක අරමුදලේ (Environmental Defense Fund) දේශගුණ විද්‍යාඥ ඉලිසා ඔකෝ අනතුරු හඟවයි. මේ ආයතනය ගෝලීය උණුසුම්වීම ගැන සංවිධානාත්මක ව්‍යාපාර මෙහෙයවන ලාභ නොපතන, නිව්යෝක් නුවර පදනම් කරගත් සංවිධානයකි. එපමණක් ද නොව, ස්වභාවික වායු ගෙන යනු ලබන නල මාර්ග මීතේන් වායු සැලකිය යුතු ප‍්‍රමාණයක් කාන්දු කරන බව දන්නා කරුණකි. මීතේන් කාබන්ඩයොක්සයිඞ් වලට වඩා බෙහෙවින් ප‍්‍රබල හරිතාගාර වායුවකි. ‘‘ අප මේ කාන්දුවීම වළක්වා නොගන්නා තාක් කල් කෙටි කාලයේ මීතේන් පැලීමෙන් හයිඩ‍්‍රජන් ලබා ගැනීමේ වාසිය, කාන්දුවන මීතේන් හේතුවෙන් ඇතිවන ගෝලීය උණුසුම්වීම මගින් මග හැරී යාමට පුළුවන් බව ඇය පෙන්වා දෙයි.
NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) CHAPTER 10 Powering the Future හි GOING CLEAN යන කොටස ඇසුරෙනි