ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ශෛලමය උල්කාෂ්මවල තුන්වැනි වර්ගයක් වන ඇකොන්ඩුයිට (achondrites) ගැන අපි ඊයේ කතා කළා මතක ඇති. ඇකොනොඩුයිට් යනු ගුරුත්වයේ බලපෑම යටතේ මූල ග්‍රහලෝක හෙවත් ළදරු ග්‍රහලෝක සෑදීම පිණිස ද්‍රව්‍ය එකට සමාහරණය වූ ග්‍රහ ගොඩනැගීමේ මුල් අවස්ථාවේ නිෂ්පාදනය බව පෙනී යන්නේ යයි අප එහිදී සඳහන් කළා. ඇකොන්ඩුයිට් කුඩා ප්‍රමාණයක් සතුව ඊටත් වඩා කැපී පෙනෙන . සම්භවයක් තියෙනවා. ඒවා කලක් චන්ද්‍රයාගේ හෝ අඟහරුගේ කොටස්!
උල්කාෂ්ම 20ක් ගත්තොත් ඉන් එකක් අයත් වන්නේ යකඩ කාණ්ඩයටයි. ඒවා වැඩිවශයෙන් සෑදී ඇත්තේ යකඩ සහ නිකල් වලිනි. එමෙන්ම ඒවා ග්‍රහලෝක නිර්මාණයෙන් පසුව ඉතිරිවූ අවශේෂයන් — මූල ග්‍රහයන්ගේ, (පසුව ඝට්ටනය වීමෙන් සී සී කඩ විසිරී ගිය) ලෝහ බහුල හරයන්ගේ සුන්බුන්. අපේ පෘථිවි ග්‍රහයා හරය(core), ප්‍රාවරණ(mantle) හා පෘෂ්ඨය හෙවත් කබොල(crust) ලෙස වෙන් වූයේ කෙසේද යන්න වටහා ගැනීමට මෙකී අභ්‍යවකාශ ලෝහ කුට්ටි අපට උපකාරී වෙයි.
උල්කාෂ්ම පුළුල් කාණ්ඩයක තුන්වැන්න වන ශෛල-යකඩ උල්කාෂ්ම වනාහි ශෛල (ගල්) සහ යකඩ අතරතුර පිහිටි එකකි. මේවා දුර්ලභ පාෂාණය. මේ ප්‍රවර්ගයට අයත්වන්නේ සියයට 1ක් පමණි. ඒවාද අසමත් ග්‍රහලෝකවල යකඩමය හරය සහ පිටත පාෂාණමය ස්ථරය අතර ඉමට ආසන්න වෙන්න අභ්‍යන්තරයෙන් හටගත් ඒවා බවත් පෙනී යයි.
උල්කාෂ්මයක් සොයා ගැනීම නම් පහසු කටයුත්තක් නො වෙයි. ඒවා සොයා ගැනීම සාපේක්ෂව වඩාත් පහසු පාලු, මුඩු තැන්වලදීය . මෙ අතින් ඇන්ටාක්ටිකාව විශේෂයෙන්ම ඵලදායිය. මන්ද එහි භූ දර්ශන ධවලය. එමෙන්ම ග්ලැසියර කැලතීමෙ දී ඒවා කඳු පාමුල ඒකරාශී වේ.
බලාගෙනයි, හිස මතට කඩා වැටෙන්න පුළුවන්!
ඔබට යම් හෙයකින් උල්කාෂ්මයක් හමු වුවහොත් බොහෝ වෙලාවට ඒක මීට වසර මිලියන හාරසිය හැත්තෑවකට පෙර කැඩීබිඳී ගිය විශාල ග්‍රහාංශුවකින් කොටසක් විය හැකියි.
උල්කාෂ්මයක් වැදී තුවාල සිදුවූ ඈන් එලිසබෙත් හොජස්
පේලියෝසොයික යුගයේ දෙවන සමය වන ඕඩොවිසියානු භූ සමයේදී කොන්ඩුයිට් මහා වර්ෂාවක් සේ මහ පොළොවට පතිත විය. ඉන් කැබලි බොහොමයක් තවමත් මිහිපිට ඇති අතර පෘථිවියට වැටෙන උල්කාෂ්ම වලින් බහුතරය අදටත් ඒවායින් සමන්විත වෙනවා. උල්කාෂ්ම ඉඳහිට පුද්ගලයන් මතටත් පතිත වුණත් ඉන් කිසිවකුත් මියගිය බවට සනාථ වෙලා නැහැ. 1954දී නොවැම්බරයේ එක්තරා දිනකදී ඇලබාමාවේ නිවසක වහලය අතරින් කඩා වැටුණු උල්කාෂ්මයක් ලී බඩු වල හැපී පොළාපැන ඈන් එලිසබෙත් හොජස් නැමැත්තියගේ සිරුරේ පැත්තක වැදී තිබෙනවා. ඉන් දරුණු තැලීම් ඇති වුණත් ඇය සම්පූර්ණ සුවය ලැබුවා. 1992 අගෝස්තු උගන්ඩාවේ එම්බේල් ප්‍රදේශයට උල්කාෂ්ම කඩා වැටුණේ වර්ෂාවක් වාගේ. ඉන් එකක් ගහකට වැටී අනතුරුව පිරිමි ළමයකු ගේ හිස මතට වැදුණු නමුත් අතුරු ආන්තරාවක් සිද්ධ වූයේ නැහැ.
චන්ද්‍රයාගේ සහ අගහරුගේ කොටස්
1960 -1976 අතරතුර කාලයේ ඇමරිකානු සහ සෝවියට් අභ්‍යවකාශ මෙහෙයුම් මගින් චන්ද්‍රා පාෂාණ 380ක් පෘථිවියට රැගෙන ආවා. එහෙත් මේ මිහිපිට ඇති එකම චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය මෙය නොවේ. ඝට්ටනය මගින් පෘෂ්ඨයෙන් පොළාපැන්නා වූ යැයි සිතිය හැකි චන්ද්‍ර පාෂාණ විශාල ප්‍රමාණයක් උල්කාෂ්ම ස්වරූපයෙන් මිහිතලය මතට පැමිණ තිබෙනවා. අඟහරු ග්‍රහයාද නිරතුරුව පෘථිවිය වෙත ගල් වීසි කරයි. රතු ග්‍රහයාගෙ අපේ දෝතට ගත හැකි කොටස් ලෙස උල්කාෂ්ම එකසිය තිහක් වැනි ප්‍රමාණයක් එන්නේ අඟහරු වලිනි. වඩාත්ම ප්‍රකට ඇන්ටාක්ටිකාවෙන් සොයාගනු ලැබූ ALH 84001ය. 1996 දී නාසා ආයතනය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ෆොසිල බවට පත් අඟහරු බැක්ටීරියාවක් එහි තිබූ බවයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ මෙම තොරතුරු වලින් අන්දේශිකයන්(aliens) සිටින බව සනාථ නොවන්නේ යයි විද්‍යාඥයන්ගේ ප්‍රජාව එකාවන්ව කියා සිටීමයි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DO METEORITES COME FROM? පරිච්ඡේදය ආශ්‍රයෙනි.