පොදු තේමා: පරිණාමය

Posted by
සමහර වැදගත් තේමාවන් විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය පුරාවට ව්‍යාප්තව පවතින අතර අප සලකා බලන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වේවා,  මනුෂ්‍ය ශරීරය වේවා, එසේත් නැතිනම් ධූම කේතුවක් වේවා  ඒ සෑම තැනකදීම ඒවා යළි යළිත් අපට හමුවෙයි. ඒවා, ශාස්ත්‍රීය ශික්ෂණයන්ගේ මායිම් අභිබවා යන එමෙන්ම සිද්ධාන්තයන්, නිරීක්ෂණ සහ සැලසුම් පැහැදිලි කිරීමේදී ඵලදායි බව  සනාථ වන අදහස්ය. එකී අදහස් කිහිපයක් ගැන මෙන්ම ඒවා විද්‍යාවට, ගණිතය සහ තාක්ෂණය කෙරෙහි කෙසේ යොදාගන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ ද මේ ලිපි පෙළ මගින් ඉදිරිපත් කෙරේ. මේවා පද්ධති, මොඩල,  ස්ථායි බව හා විපර්යාස සහ පරිමාණය යන මාතෘකා ඔස්සේ  සඳුදා දිනවල තතු ඔබට ගෙන එනු ඇත.

පරිණාමය(Evolution)

පරිණාමය පිළිබඳ පොදු අදහස අඩු තරමින්  පුරාණතන ග්‍රීසිය දක්වා වත් දිවෙන්නකි. ඒ පොදු අදහසින් කියැවෙන්නේ,  අතීතයේ ද්‍රව්‍ය සහ ස්වරූප තුළින් අඩු හෝ වැඩි පමණින් ක්‍රම ක්‍රමයෙන් එමෙන්ම පැහැදිලි කළ හැකි ආකාරවලින් වර්තමානය පැන නැංගේය යන්නය. සෞර ග්‍රහ මණ්ඩලය, පෘථිවියේ මුහුණත සහ  පෘථිවිය මත ජීව ස්වරූපයන් ඒවායේ මුල් තත්වයන් හී සිට පරිණාමය වූයෙත්, තවදුරටත් පරිණාමය වන්නේත් මේ ආකාරයටය. තරමක් ලිහිල් ආකරයට වුව,  පරිණාමය පිළිබඳ අදහස භාෂාව, සාහිත්‍යය, සංගීතය, දේශපාලන පක්ෂ, ජාතීන්, විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණික සැලැස්මට ද අදාළවේ. මෙකී ආකාර මානව ප්‍රයත්නයන් හී එක් එක් සෑම නව වර්ධනයක්ම පැන නැඟ ඇත්තේ ඒවාට පෙර පැවති ස්වරූපයන් තුළිනි. එමෙන්ම එකී කලින් ස්වරූපම පරිණාමය වී ඇත්තේ ඊටත් කලින් තිබූ ස්වරූපයන් ගෙනි.

Related image

භව්‍යතාවන්(Possibilities)

තල්මසුන්ගේ වරල්,  වවුලන්ගේ පියාපත්, මිනිසුන්ගේ අත්, සහ පූසන්ගේ පාද යන මේ සියල්ල පුරාතන, උරග පූර්වජයන්ගේ පාද වල පිහිටි එකම අස්ථි පෙලකින්  පරිණමය වු බවක් පෙනී යයි. අස්ථි පෙළ සඳහා ජානමය උපදේශන එහි තිබිණ. තවද, එම උපදේශන වල පරම්පරා ගණනාවක්ම තිස්සේ සිදුවූ වෙනස්කවල ස්වභාවික වරණයෙහි ප්‍රතිඵලයක් ලෙස වරල් හෝ පාද හටගත්තේය. ආලෝකයට සංවේදී අවයවයක් කලින් නොතිබී පුර්ණව සෑදුණු අක්ෂියක් හිටි අඩියේ පහල වූයේ නැත;  රෝද හතරේ වාහනයක් කලින් නොතිබී මොටර් රථයක් පහල වූයේ නැත; බලයන් සහ කක්ක්ෂයන් පිළිබඳව සිතුවිලි පරම්පරාවන්ගෙන් පසුව මිස  ගුරුත්වය පිළිබඳ සිද්ධාන්තය මතුවූයේ නැත.

ඊළඟට සිදුවන්නේ කුමක් ද යන්න මෙතෙක් සිදුවූ දෙයින් එක්තරා දුරකට  සීමාවෙයි. එහෙත් එය කොපමණ සීමිත ද? සීමාන්තික අදහසක් වන්නේ ‘ඊළඟට සිදුවන දෙය සම්පූර්ණයෙන්ම තීන්දු වන්නේ මේතාක් සිදුවූ දෙයිනි’ යන්නය. මෙම අදහස සැකයට ලක් කිරීම පිණිස තරමක් දුරට එකිනෙකට වෙනස් හේතු දෙකක් ඇත. බොහෝ ක්‍රියාදාමයන්  — තත්ත්වයන් හී මැකීයනසුළු කුඩා වෙනස්කම් පවා  ප්‍රතිවිපාකයෙහි හෙවත් ප්‍රතිඵලයෙහි විශාල වෙනස්කම් ඇතිකිරීමට හේතු වෙයි යන්න ඉන් එක හේතුවකි. අනෙක් හේතුව වන්නේ දේවල් වල පදනම වශයෙන් ඇති පරමාණුවල හැසිරීම තුළ කෙසේවත් භාවීකථනය කළ නොහැකි සසංම්භාවී සාධකයක් ඇත යන්නය. ඒ අනුව පෙනී යන්නේ වර්තමානය, ඊළඟට සිදුවිය හැකි භව්‍යතාවන් සීමා කළ ද එය සම්පූර්ණයෙන්ම තීරණය නොකරන බවයි.

සීඝ්‍රතාවන්(Rates)

ජනතාව සාමාන්‍යයෙන් පරිණාමය ගැන හිතන්නේ පැරණි සහ නව අවස්ථා  අතර අතරමැදි අවස්ථාවන් පෙළක්ම සහිතව   ක්‍රමයෙන් ඉදිරියට යන  පද්ධතියක් ලෙසටය. පරිණාමීය විපර්යාසයන් අවශ්‍යයෙන්ම මන්දගාමී යයි මෙයින් අදහස් වන්නේ නැත. අතරමැදි අවධි ඉතා සීඝ්‍රයෙන් සිදු විය හැකිවා පමණක් නොව හඳුනා ගැනීමට පවා අසීරු විය හැකියි. නිදසුනකට පිපිරීම් ගතහොත්, විදුලි කෙටීමේදී මෙන් විද්‍යුත් වේවා, මෝටරථ ඇන්ජින්වල මෙන් රසායනික වේවා, නැතිනම් තාරකාවල මෙන් න්‍යෂ්ටික වේවා  පිපිරීම්වල දී එක පිට එක විපර්යාසයන් සන්තතියක්ම සිදුවන්නේ නිරික්සන්නට පවා නොහැකි සිඝ්‍රතාවකිනි.

කෙසේවෙතත්, සිඝ්‍රතාව වුවමනාවට වඩා වැඩි ද යන්න රඳා පවතින්නේ කාලය තුළ දත්ත කෙතරම් සියුම්ව වෙන් කළ හැකිද යන්න මතය. නිදසුනක් සලකමු. වසර බොහෝ දහස්  ගණනාවක් පැවති යුගයක ජීවත් වූ  තරමක් දුරට දුර්ලභ ජීවීන්ගේ ෆොසිල එකතුවක් ගැන සැලකිල්ල යොමු කරන්න. මෙම නිදසුනේ දී වසර දහසක් තුළ සිදුවූ පරිණාමීය විපර්යාසයන් යථාතථ්‍යව නිරික්සනය කළ නොහැකි විය හැකිය.  තව ද සමහරක් පරිණාමීය විපර්යාසයන් සිදුවන්නේ පිනුම් පනිමිනි. උදාහරණයකට, නව ජීව විද්‍යාත්මක වර්ධනයන් පවතින ජාන අනුක්‍රමිකව යළිසැකසීම  මගින්ම පමණක් නොව එහෙත්  සමහරවිට ජානයක් හිටි අඩියේ නව ස්වරූපයකට විකෘතිවීම මගින් හට ගැනීමට හැකිය.  පරමාණුක පරිමාණයක දී ඉලෙක්ට්‍රෝන එක් ශක්ති අවස්ථාවක සිට තවත් අවස්ථවකට වෙනස්වන්නේ අතරමැදි අවස්ථවක් තිබිය නොහැකිවය. කෙසේවෙතත්,  ජානයට සහ ඉලෙක්ට්‍රෝනයට යන දෙකටම නව අවස්ථා, පෙර අවස්ථා මගින් සිමා වනු ලබන අතර පෙර අවසථාවෙන් පැහැඇදිලි කළ හැකිය.

අන්තර්ක්‍රියා(Interactions)

පරිණාමය හුදකලාව සිදු වන්නේ නැත. එක ජීව ස්වරූපයක් පරිණාමය වෙද්දී එය වටා අනෙකුත් ජීව ස්වරූප ද්ස එසේ වෙයි. එක් දෙශපාලන චින්තාවලියක් පරිණාමය වෙද්දී එය වටා දේශපාලන තත්ත්වයන් ද එසේ වෙයි. වඩාත් පොදුවේ ගත් කල,  දේවල් සහ අදහස් ප්‍රතිචාර දැක්විය යුතු පරිසරය,  ඇතැම්විට බාධා පමුනුවමින් හෝ ඇතැම්විට මගපාදමින් හෝ —  ඒවායේ විපර්යාසයන් ගතයුතු නිශ්චිත දිශාව දක්වමින්  පරිණාමය වෙද්දී පවා වෙනස් වේ. නිදසුනකින් දක්වන්නේ නම්, දිගුකාලයක් තිස්සේ ස්ථාවරව පවතින දේශගුණය එකවර හදිසියේ වෙනස් වුව හොත් ඊට මනාව හැඩගැසුණු(අනුගතවූ) විශේෂයන්  නෂ්ටප්‍රාප්තවීමට මග පෑදිය හැකිය. ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් පසුව යුරෝපයේ ඇතිවූ දැඩි ආර්ථික දුෂ්කරතා, දෙවන ලෝක සංග්‍රාමය  ඇතිකිරීමට මුල්වූ ෆැසිස්ටවාදීන්ගේ නැගීමට මග පෑදීය. ඒත්තු ගන්වනසුළු ප්‍රමාණාත්මක ස්වරූපයකට සාපේක්ෂතාව පිළිබඳ සිය අදහස් ඇතුල්කිරීමට, වක්‍ර අවකාශය(curved spaces) පිළිබඳව මෑතක වර්ධිත ගණිතමය අදහස් අයින්ස්ටයින්ට මගපෑදීය. විදුලිබලයෙහි ප්‍රවර්ධනය, දිගු දුර සංනිවේදනයේ සීඝ්‍ර ව්‍යාප්තිය පෝෂණය කළේය.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  COMMON THEMES  නම්  11 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි,  මේ.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.