ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
කළු කුහර පැමිණෙන්නේ කොයිබින්ද?
අහස වලාකුළින් බර නැති අඳුරු රාත්‍රියක නිවසින් පිටතට විත් දුනුවායා (Sagittarius) රාශිය හෙවත් තාරකා මණ්ඩලය අහසේ කොයිබදැයි බලන්න. ඊට ඔබ්බෙන් කොහේ හෝ සැඟවී සිටින ඛගෝල අද්භූත දැවැන්තයා ගැන ඔබ බියක් ඇති කරගත යුතු නොවන්නේ එය ඉතා ඈතින් පිහිටා ඇති හෙයිනි. ඒ තමයි සුපිරිදැවැන්ත කළු කුහරය(Supermassive black hole). ඔබට එය දැක ගන්නට බැරි හේතු කිහිපයක්ම තිබෙනවා. එය දූවිලි වලින් වැසී ගොස් තිබීම ඉන් එකක්. තවද එය අතිශය කළු බව ඉතින් අමුතුවෙන් කිවයුතු නැහැනේ. එපමණක් නොවෙයි. ඒ මහා අපරූපියා තියෙන්නේ ආලෝක වර්ෂ 27,000ක් දුරින්. ( ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය ගමන් කරන වේගයවන තත්පරයකට කිලෝමීටර 300,000 වර්ෂයක් ඇතුළත ආලෝකය ගමන් කරන දුර = කිලෝමීටර් 9,500,000,000,000 යකි. එවිට ඔය කියන කළු කුහරට ඇති දුර කිලෝමීටර 9,500,000,000,000 x 27000කි) අපට දැක ගන්නට බැරි උනාට එය අපේ ක්ෂීරපථය ගැලැක්සියේ (මන්දාකිණියේ) මැද පවතින බව අපිට විශ්වාස කරන්න පුලුවන් .
අපට එතරම් විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ කෙළෙසද? අනික එය එතැනට පැමිණියේ කෙලෙස ද? මුලින් කියන්න ඕන දේ මුලින් කියලා ඉමුකෝ. කිසිකෙනෙකු කළුකුහරයක් කිසිදාක දැකලා නෑ. එහෙමනම් අප ඒවා ගැන දැනගන්නේ කොහොමද? ප්‍රශ්න වැලයි! කළුකුහරය බොහෝවිට සැලකෙන්නේ 20 වැනි සියවසේ සොයා ගැනීමක් හැටියටයි. හැබැයි ඉතිං ඔය අදහසේ සුලමුල 1783 තරම් ඈතකදී හොයාගන්න පුලුවනි. යෝක්ෂයර්හි පූජකවරයෙකු සහ ආධුනික දර්ශනවාදියකු වූ ජෝන් මිෂෙල් ලන්ඩනයේ රාජකීය සංගමයට (Royal Society) අනුමානයන් පිරි ලිපියක් ඉදිරිපත් කළේ 1783 වර්ෂයේදීය. මිෂෙල් උත්සාහ කරමින් සිටියේ (අද පවා තාරකා විද්‍යාඥයන්ට හිසරදයක්ව පවතින) තාරකා වල දුර සහ විශාලත්වය මනින්නේ කෙලෙසද යන ප්‍රශ්නය විසඳා ගැනීමටයි. මේ කාරණයේදී ඔහුගේ ආරම්භක ලක්ෂ්‍ය වුණේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ගේ ආළෝකය පිළිබඳ ලවක වාදයයි(corpuscular theory of light).
එම සිද්ධාන්තයෙන් කියැවුණේ ආලෝකය අල්පිෂ්ට හෙවත් ඉතාමත් කුඩා අංශු මගින් සෑදී ඇති බවයි. තාරකාවක් මගින් විමෝචනය කරන ආලෝකය එම තාරකාවේ ගුරුත්වය මගින් මන්දගාමී කරනවා විය යුතු යයි හෙතෙම තර්කකළා. මෙම මන්දගාමී වීමේ ප්‍රමාණය, තාරකාවේ ස්කන්ධය මැන ගැනීමට යොදාගත හැකි අතර ඒ අනුව පෘථිවියේ සිට දුරද මනින්නට යොදාගන්න පුළුවනි.
මිෂෙල්ගේ දීර්ඝ ලිපිය ලන්ඩන්යේ රාජකීය සංගමය මගින් පළ කෙරුණු Philosophical Transactions සඟරාවේ පළ වුණේ 1784 වර්ෂයේ දීය. ඔහුගේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ ප්‍රිස්ම යොදාගනිමින් පෘථිවියේ සිට මෙය මැනිය හැකි හැක්කේ කෙසේද යන්න කෙරෙහිය. මිෂෙල් තර්ක කළේ තාරකාව විශාලත්වයෙන් ප්‍රමාණවත් තරම් දැවැන්ත නම් එහිගුරුත්වය කොපමණ බලගතු ද යත් එහි ග්‍රහණයෙන් ආලෝකයටවත් බේරී ගත නොහැකි බවයි. මේ ආකාරයට ආලෝකය හිර කොට අල්ලා ගැනීමට නම් එම තාරකාවේ විශ්කම්භය (අපේ) සූර්යාගේ මෙන් 500 ගුණයක් පමණ විශාල වෙන්න ඕන. එවැනි වස්තුවක් පැවතියේ නම් එහි ආලෝකය කිසි දිනක අප වෙත නොපැමිණෙනු ඇත යනුවෙන් ඔහු සඳහන් කරා.
මේ මුළුමනින්ම නැවුම් අදහස මිෂෙල්ගේ ප්‍රධාන අරමුණට පිටස්තර වූ අතර එහෙයින් ඔහු එය පැත්තකට දැම්මා. ‘මං තවදුරටත් ඒක පිටි පස්සේ යන්නේ නම් නැහැ‘ යයි ඔහු ලිව්වා. මිෂෙල් කිව් වචනය එලෙසම රැක්කා. 1793 දී ඔහු මිය ගිය අතර මියයන තුරුම ඔහු නැවත ඔය අදහස සඳහන් කළ බවක් නම් වාර්තා වුණේ නැහැ.
ඔයිට වසර කිහිපයකට පස්සේ ප්‍රංශ ජාතික උගතකුවන පියරි සිමොන් ලාප්ලාසේ අතිශය විශාල තාරකාවල ගුණාංග ගැන මත පළ කරද්දී මිෂෙල් ගේ මතයම වගේ අදහසක් ඉදිරිපත් කළා. එම තාරකා වල ගුරුත්වාකර්ෂණය කොපමණ නම් බලවත් ද කිව්වොත් ‘ඒ වාගේ මතුපිටින් කිසිම ආලෝකයකට ගැලවෙන්න බැහැ. මේ අනුව, විශ්වයේ විශාලතම වස්තූන් අදෘශ්‍යමානයි.
ලාප්ලාස් මේ අදහස් තව දුරටත් ඉදිරියට ගෙන යාමට අදහස් කරන්න ඇති. ඒත් 1804 ඉදිරිපත්වූ නව සිද්ධාන්තයක් මගින් මේ අදහස් යල්පැන ගිය එකක් බවට පත් කෙරුනා. නව සිද්ධාන්තය මගින් ආලෝකයේ ස්වභාවය නිරූපණය කෙරුණේ අංශු ප්‍රවාහයක් හැටියට නොව තරංගයක් හැටියටයි. ඉතින් තරංගයක් නම් එය ගුරුත්වයේ බලපෑමකට අසුවන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ලාප්ලාන්ගේ අදහස වැළලී ගියේ.
ස්පැගෙටිකරණය(SPAGHETTIFICATION)

ස්පැගෙටි (SPAGHETTI) යනු නූඩ්ල්ස් වැනි රැල් සහිත පිටි කෑමකි. සිද්ධි ක්ෂිතිජය යනු (event horizon) කළු කුහරයක් වටා ඇතැයි සිතන ඉමකි. ඉන් ඔබ්බට ආලෝකය හෝ වෙනත් විකිරණ මිදී (බේරී) යා නොහැක. කළු කුහරය, එහි සිද්ධික්ෂිතිජයකරා පැමිණෙන ඕනෑම දෙයක් ඇතුලට ඇද ගනු ලබන අතර ඉන් පසු කිසිදා යළි දැක්මක් නැත. මේ ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ ස්පැගෙටිකරණය යනුවෙනි. ගුරුත්වය කෙතරම් ද කීවොත් නිම්නය වෙත පැමිණෙන (අභ්‍යවකාශ යානයක් වේවා, අභ්‍යවකාශගාමියෙකු වේවා) අවාසනාවන්ත වස්තුව ඉතා දිග රැහැනක් වන සේ අදිනු ලැබේ. ඉන් පසු කළු කුහරය එය ගිල දමනු ලබන්නේ කිසිවෙකු සිය තොල් අතරින් නූඩ්ල්ස් රැල්ලක් කට තුළට ඇදගනු ලබන්නාක් මෙනි.
ඉරිදා(හෙට) මේ ලිපියේ ඉතිරි කොටස පළ වෙයි. නොවරදවාම කියවන්න
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DO BLACK HOLES COME FROM?පරිච්ඡේදය ආශ්‍රයෙනි.