ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
චන්ද්‍රයා ඇත්තටම ග්‍රහලෝකයක් ද?
අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන් ගෙන් නම් අඩුවක් නැතැයි පසුගිය සතියේ සුලමුල ලිපියෙහි පළ කළා ඔබට මතක ඇති. එහිද සඳහන් කරා වගේ තාරකා මණ්ඩලය තුළ සමස්ත චන්ද්‍රයන්ගේ සංඛ්‍යාව 180 ඉක්මවනවා. ඒත් අපේ පෘථිවි ග්‍රහයා වටා කක්ෂගතව ඇති චන්ද්‍රයා ඒවා සියල්ල අතරින් සුවිශේෂීයි. අපේ චන්ද්‍රයා ඔය අතර විශාලතම එක නොවන බව ඇත්තයි. ඒ වගේම, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ ඇතැම් අයිස්මය චන්ද්‍රයන් මෙන් ජීවය පැවතිය හැකි තැනක් නොවන්නත් පුළුවන්. තරගයට සිටින තවත් චන්ද්‍රයන් හා සසඳන කොට අපේ චන්ද්‍රයා නතිනම් අපේ හඳ වඩාත් සීතල, වඩාත් නිසසල, සෞරග්‍රහ මණ්ඩලයේ සමහරක් චන්ද්‍රයන් සමග සසඳා බලනවිට කම්මැලි හිතෙන තරමටම විවිධත්වයකින් තොරව ගෝලාකාරයි. ඒත් ඉතින් ඔන්න සුල මුල හොයන්න ගියහම නම්වෙනත් කිසිම චන්ද්‍රයකු සතුව එතරම් චිත්තාකර්ශනීය, ප්‍රචණ්ඩකාරී සම්භවයක් පිළිබඳ කතාවක් තියෙන්නෙ නැතුව ඇති.
සෙනසුරු ග්‍රහයාගේ සිට ටිටෑන් චන්ද්‍රයා, එතකොට බ්‍රහස්පතිගේ චන්ද්‍ර ත්‍රිත්වය ගනිමේඩා, කැලිස්ටෝ සහ අයෝ වගේ දැවැන්ත චන්ද්‍රයන් සමග සසඳද්දී වාමනයෙකු වගේ දැනුනත් සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේම පස්වැනියට විශාල චන්ද්‍රයා, අපේ ග්‍රහයා වටා කක්ෂ ගත චන්ද්‍රයා තමයි. එහෙම බැලුවහම අපේ චන්ද්‍රයා විශාලත්වයෙන් සුළුපටු නැහැ. පෘථිවියේ විෂ්කම්භයෙන් හතරෙන් එකකටත් වඩා වැඩි විශ්කම්භයක් සහිත මේ චන්ද්‍රයා, එය කක්ෂගතව ඇති ග්‍රහලෝකයට සාපේක්ෂව චන්ද්‍රයාගේ ප්‍රමාණය ගතහොත් සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා අපේ චන්ද්‍රයා.
චන්ද්‍රයාගේ මේ අස්වාභාවික ප්‍රමාණය සැලකිල්ලට ගන්නා විට එහි සම්භවය ගැන මත පල කිරීමේදී යම් ගැටලු ඇති වෙනවා. මෙවන් වස්තුවක් අනෙකුත් චන්ද්‍රයන් සෑදුණු ආකාරයට හැදෙන්න විදිහක් නැහැ. අනෙක් ඒවා එක්කෝ හසුකරගත් හෙවත් අල්ලා ගනු ලැබූ ග්‍රාහක. එහෙම නැතිනම් සෞරග්‍රහ මණ්ඩලය බවට පත්වූ දුවිලි සහ වායු තැටියේ ශේෂයන්.
සුප්‍රකට විද්‍යාඥ චාල්ස් ඩාවින් ගේ පුත් තාරකා විද්‍යාඥ ජෝර්ජ් ඩාවින් 1879 දී මේ ගැටලුව විසඳාගැනීම සඳහා පිළියමක් ඉදිරිපත් කළා. ඔහුගේ අදහස් මෙහෙමයි: කලක් පෘථිවිය සහ චන්ද්‍රයා එකටම එක්ව තිබූ තනි ග්‍රහවස්තුවක්. ඒ තනි වස්තුව කොපමණ නම් වේගයෙන් භ්‍රමණය වුණාද කිව්වොත් වස්තුවෙන් ක්ෂණිකව කැඩී බිඳී ගොස් කැබැල්ලක් විසි වී මුල් වස්තුව වටා කක්ෂ ගත වුණා. මේ උණු වූ පාෂාණය අවසානයේ කුට්ටියක් ලෙස කැටි ගැසී චන්ද්‍රයා සෑදීම පිණිස ඝනීභූත වුණා. මේ මතය කාලයක් තිස්සේම ජනප්‍රියව පැවතුණා. වෙන එකක් තබා ඔය කිව් සිද්ධියෙන් කැලල ඇති වූ ස්ථානය ශාන්තිකර සාගරය කියලත් කලක් යෝජනා වුණා. කෙසේවෙතත් විසිවෙනි සියවස වනවිට ඔය මත යටපත් වුනේ කතාවට අදාළ ගණන් හිලව්වල පළලහිලව්වක් නිසයි. අලුතින් බිහිවූ පෘථිවියට තමන්ගේ කොටසක් ගැලවී විසිවී යාමට නම් හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් භ්‍රමණය වෙන්න ඕන. සෑම පැය 2කට වරක් වගේ සම්පූර්ණ රවුමක්, වටයක් කැරකෙන තරම් වේගයක් වෙන්න ඕන.
මහා ප්‍රහාරය.
ඩාවින්ගේ මතය සෙමින් පසුපසට ඇදී යද්දී ඒ වෙනුවට එතනට වෙනත් මතයක් ආවා. එය හදුන්වනු ලබන්නේ යෝධ ඝට්ටන උපන්‍යාසය ලෙසටයි. වෙනත් විදිහකට කිව්වොත් ‘මහ ප්‍රහාර‘යයි. (විශ්වය සම්බන්ධ සිදුවීම්වලදී මේ ‘මහා’ වචනය නිතර යෙදෙනව. විශ්වයේ සම්භවය සිදු වුණනේ ‘මහා’ පිපිරුම මගින් කියලයි කියන්නේ. ඒ වගේම ‘මහා’ හැකිලීම ගැනත් කතාවෙනවා — සංස්කාරක) ඔය පිටුපස කියන අදහස මෙහෙමයි. සෞරග්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන්ගෙන වසර මිලියන 50 ක් පමණ ගතවෙද්දී තෙයියා (Theia) නම් අඟහරු ග්‍රහයා ප්‍රමාණයේ වස්තුවක් පෘතුවිය හා ඝට්ටනය වෙනවා. අපේ ග්‍රහලෝකයේ පැත්තකට වැදි යන ආකාරයෙන් පහරක් එල්ල කළ මේ වස්තුව (පෘථිවිය හා) ගැටීමේදී සී සී කඩ වී ගියේ දුම් රොටුවක් සේ සුන්බුන් රාශියක් ඉහළ යවමිනි. ඒවා පසුව එකට එකතු වී චන්ද්‍රයා බවට පත්වුණා කියලා තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
චන්ද්‍රයාගේ සුලමුල ගැන තිබුණු අනෙකුත් පැහැදිලි කිරීම් වලට වඩා මහා ප්‍රහාරය සැලකිල්ලට ගන්නට ඕනෑය කියන්න තරම් කරුණු කාරණා මුලදී තිබුණේ නැහැ. එය යෝජනා වුණේ පිළිගැනීමට පුළුවන් තරමේ වෙනත් අදහස් එහෙමට නොතිබුණු නිසයි. එහෙත් තාරකා විද්‍යාඥයන් මුල්කාලයේ සෞරග්‍රහ මණ්ඩලය කෙබඳු වන්නට ඇත්ද යන්න ගැන සිය චිත්‍රය වඩා ඔපලද්දී ඔය තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. අපි දැන් දන්නවා ග්‍රහලෝක සෑදීමේදී දැවැන්ත ඝට්ටන වැදගත් සාධක වූ බව.
මහා ප්‍රහාරය තමයි දැන් වඩාත් පුළුල්ව පිළිගැනීමට ලක්ව ඇති පැහැදිලි කිරීම. ඒත් ඒකෙත් ප්‍රශ්න නැතුවාම නෙමෙයි. ඒ හන්දා සමහර තාරකා විද්‍යාඥයෝ ඩාවින්ගේ අදහසෙහි සංශෝධිත පිටපතක් දිසාවට ආපසු හැරෙන්නට පෙළඹිලා. මහා ප්‍රහාර න්‍යාය අනුව චන්ද්‍රයාගෙන් බහුතර කොටස ප්‍රභවය ලැබුවේත් තෙයියා වෙතින්. පෘථිවිය ඊට දායක කළේ කුඩා ප්‍රමාණයක ද්‍රව්‍ය පමණයි. එය එසේනම් චන්ද්‍රයාගේ පාෂාණ සහ පෘථිවියේ පාෂාණ සංයුතිය අතින් විශාල වශයෙන් වෙනස් යැයි කෙනෙකුට සිතන්නට පුළුවනි. (එහෙම නොවෙනවා නම් නොවන්නට පුළුවන් වන්නේ තවත් මහා සහසිද්ධියක් හෙවත් සම්පාතයක්() හේතුකොටගෙනයි: තෙයිසා සහ පෘථිවිය හරියටම එකම ද්‍රව්‍යයයකින් සෑදෙන්න ඕන.) ඒත් චන්ද්‍රයාගේ පාෂාණ විශ්ලේෂණයකින් නම් එවැන්නක් පෙන්නුම් කරන්නේ නැහැ.
ලිපියේ ඉතිරි කොටස හෙට(ඉරිදා). නොවැරදීම කියවන්න
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ IS THE MOON REALLY A PLANET? පරිච්ඡේදය ආශ්‍රයෙනි.