මනසෙහි ඇබ්බැහිවීම්: කුතුහලය, විවෘතභාවය සහ දැනුවත් සංශයවාදය

Posted by

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය දක්වා  ඇත්තාහ. මේ කාරණා තුනම,  විධිමත් පාසල් අධ්‍යාපනය නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර උගන්වනු ලැබූ ඒවාය.  දැනුම, ඉගෙනුම සහ ජීවිතයේ අනෙකුත් අංග ගතහොත් ඒවා ගැන ජනතාවගේ අදහස් හැඩගැන්වීම්හිලා අද පවා පවුල, ආගම, සමපදස්ථයන්( – සාමාන්‍යයෙන් සම වයසේ, තත්ත්වයන් හා උනන්දුව ඇති අය), පොත පත,  ප්‍රවෘත්ති සහ විනෝදය සපයන මාධ්‍ය  සහ  පොදු ජීවන අත්දැකීම් ප්‍රධාන බලපෑම් මාර්ග වේ.  මේ ක්‍රියාදාමයේදී,  පාසල් අධ්‍යාපනය හෙවත් ශික්ෂණය යන සන්දර්භය තුළ  විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණය යන අංග තුණ වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඊට හේතු දක්වතොත්,  ඒවා  ගොඩ නැගී ඇත්තේ කැපී පෙනෙන හර පද්ධතියක් මත වීම ද, ඒවා  පොදුවේ සමාජය හරයන් පිළිබිඹු කිරීම හා එම හරයන්ට ප්‍රතිචාර දැක්වීම ද එමෙන්ම  හවුලේ පරිහරණය කරන සංස්කෘතික හරයන් හැඩගැසීමෙහිලා එන්ට එන්ට ම වැඩි වන බලපෑම් කිරීම ද සඳහන් කළ හැකිවේ.  සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගයන එමෙන්ම  මතවාදය දෙස සැක මුසුව බලන සමාජයක දැඩි සංවේදී තාවයක් දක්වන කාරණාවක් වන  හරයන් සහ ආකල්පයන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය(ශික්ෂණය)  දක්වන දක්වන සැලකිල්ලෙහි ‍ප්‍රමාණයටම  තරුණ පිරිසගේ පාසලෙන් ඔබ්බට  ඇති ජීවිතය සූදානම් කිරීමේදී ද විද්‍යාත්මක හරයන් ම‍ෙන්ම ආකල්ප  සැලකිල්ලට  ගත යුතුය.

මෙලෙසම, විද්‍යාව ගණිතය සහ  තාක්ෂණය හා සම්බන්ධව තරුුණ පිරිස් සිය පාසල් සමයේ දී වර්ධනය කරගැනීමට අවශ්‍ය චෛතසික කුසලතා ද ඇත. සුවිශේෂීව ම නොවුණත් මේවා අතරින් බහුතරය විධිමත් සහ අවිධිමත්  ඉගෙනුම යන දෙකටම මෙන්ම සමස්තයක් වශයෙන් සමාජය තුළ ජීවිත කාලයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය ගණිතමය හා තාර්කික කුසලතා ය. එක්ව ගත්කල මෙම හරයන්, ආකල්ප සහ කුසලතා මනසෙහි ඇබ්බැහි ලෙස සිතිය හැකිය. ඊට හේතුව ඒවා සියල්ල සෘජුවම පුද්ගලයෙකුගේ දැනුම හා ඉගෙනුම මෙන්ම සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති දෘෂ්ටියකින් සම්බන්ධවීමයි.

මේ ලිපිපෙළ මගින් විද්‍යා අධ්‍යාපනය යන සන්දර්භය තුළ  හරයන්,  ආකල්පයන් සහ කුසලතාවන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ. ලිපි පෙළෙහි මුල් කොටසින් හරයන් සහ ආකල්ප සම්බන්ධ විශේෂිත අංග හතරක් ගැන අවධානය යොමු කෙරේ: විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාව සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම්; පොදු සමජ වටිනාකම් වෙරගැන්වීම; විද්‍යාව සහ ගණිතය අවබෝධ කර ගනු වස් තමන් තුළම ඇති හැකියාව ගැන ජනතාවගේ ආකල්පයන්.

ලිපි පෙළෙහි දෙවැනි කොටසින් අවධානය යොමුකෙරෙන්නේ, ආගණනය සහ නිමානය(computation and estimation), මෑනවීම(හසුරුවීම) සහ නිරීක්ෂණය(manipulation and observation), සංනිවේදනය, සහ  නැගෙන තර්කවලට දක්වන  විචාරාත්මක ප්‍රතිචාර කෙරෙහිය.

කුතුහලය, විවෘතභාවය සහ දැනුවත් සංශයවාදය

‘විද්‍යාව ඵලදායිව  උගන්වන්නේ නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ  පොදුවේ යෝග්‍යතාවක් ඇති මානව ආකල්පයන් සහ වටිනාකම් වෙරගැන්වීමය’  යනුවෙන් පසුගිය සදුදා තතු ආරම්භ කළ මේ ලිපි පෙළ යටතේ පළ වූ ප්‍රථම  ලිපියේ අගට සඳහන් කළෙමු. එකී ආකල්ප හා අගයන් (වටිනාකම්) අතුරෙන් කුතුහලය,   නව අදහස්වලට විවෘත භාවය සහ දැනුවත් සංවාදශීලී බව පෝෂණය කරනු වස්  ගන්නා ප්‍රයත්නවල  දී විද්‍යා අධ්‍යාපනය බෙහෙවින් ඉහළ තැනක් හිමි කර ගනියි. අප ඒ අංශ වෙන වෙනම සලකා බලමු.

කුතුහලය :

විද්‍යාඥයන්ට  ශක්තිමත්ව වැඩීම සඳහා කුතුහලය  තෝතැන්නකි. ළමුන්  සම්බන්ධයෙන්ද එය එසේමය. දරුවන් පාසලට ඇතුළත් වන්නේ තමන් දකින  කියන සෑම දෙයක් ගැනම ප්‍රශ්න වලින් හිස පුරවාගෙන ය. විද්‍යාඥයන් ගෙන්  ඔවුන් වෙනස් වන්නේ එක අංශයකිනි: එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහා කලයුත්තේ කුමක්ද යන්න දැනගැනීමට මෙන්ම එම පිළිතුරු කොයිතාක් දුරකට හොඳ දැයි පරික්ෂා කර දැන ගැනීමට තවමත් ඔවුන් ඉගෙන ගෙන නැත. දරුවන්ගේ කුතුහලය පෝෂණය කරන එමෙන්ම ඵලදායී අන්දමින් සිය කුතුහලය යොමු කරන්නේ කෙසේදැයි දරුවන්ට උගන්වනු ලබන විද්‍යා අධ්‍යාපනය ශිෂ්‍යයන්ට මෙන්ම පොදුවේ සමාජයට සේවයක් සලසයි.

නව අදහස් වලට ඇති විවෘත භාවය :

විද්‍යාවේ වර්ධනය සඳහා සහ පොදුවේ  මනුෂ්‍යයන්ගේ කටයුතු සඳහා නව අදහස් අත්‍යවශ්‍යය.  හෙලිදරව්කරගැනීමෙන් නැතිනම්  සොයා ගැනීමෙන් ලබන  සන්තෘෂ්ටිය මෙන්ම ජීවිත කාලය පුරාවට බුද්ධිමය වර්ධනයේ තෘප්තිය භුක්ති විදීමට සංවෘත මනසක්(closed mind) ඇති පුද්ගලයෝ අසමත් වෙති. මෙම ලිපිපෙළ පැහැදිලි කරදෙන අන්දමට විද්‍යා අධ්‍යාපනයේ ඒකායන අරමුණ වන්නේ විද්‍යාඥයන් බිහිකිරීම කිරීමම නොවේ.  එහෙයින්,  මුලදී (දකින විට) ඔවුන් කනස්සල්ලට අධෛර්යට පත් කරන හෝ ඔවුන් පොදුවේ විශ්වාස කරන දේට පටහැනි යැයි පෙනී යන අදහස්, දැඩි අවධානයෙන් යුතුව සලකා බැලීමේ ඉමහත් වැදගත්කම අවබෝධ කරගැනීමේලා සියලුම ශිෂ්‍යයන්ට උපකාර කිරීමට විද්‍යා අධ්‍යයනයට හැකිවේ. අදහස් අතර පවතින තරඟකාරිත්වය (තරගය),  විද්‍යාව ඇතුළතත්,  විද්‍යාව හා සමාජය අතරත්,  සමාජය ඇතුළතත් ආතතියට හෙවත් සංක්ෂෝභයට  තුඩු දෙන ප්‍රධාන පෙළේ මූලයකි. විද්‍යාවේ ඉතිහාසයෙන් ගෙන එවන් ආතතිවල ස්වරූපය විද්‍යා අධ්‍යාපනය මගින් ලේඛනගත කළ යුතුවේ, තවද, එකිනෙකට පරස්පර හෝ එකිනෙක හා ගැටෙන අදහස්වලින් ලැබෙන තල්ලුවත්  එමෙන්ම පස්සට ඇදීමත් යන ක්‍රියාදාමයට හවුල්වීමෙන් තමන්ටත් පොදුවේ සමාජයටත් ඇති වැදගත්කම දැනගැනීමට විද්‍යා අධ්‍යාපනය ශිෂ්‍යයන්ට ආධාර විය යුතුය.

දැනුවත් සංශයවාදී භාවය:

Related image

විවෘතභාවය මෙන්ම සංශයවාදී බවෙන්ද(skepticism) විද්‍යාවේ ස්වභාවය නිරූපන වේ. නව සිද්ධාන්තයකට බරපතල ආකාරයට අවදානය යොමු විය හැකි නමුත්

එම සිද්ධාන්තය සාක්ෂි මගින් තහවුරු කළ හැකි බව නව මතයට ආවඩන්නන් විසින් දක්වනු ලැබීම,

ප්‍රශ්නයට අදාළ නොවන අනෙකුත් මූලධර්මවලට තර්කානුකූලව සමානුයෝගී වීම,

එහි ප්‍රතිවාදී සිද්ධාන්තවලට වඩා වැඩියෙන් කරුණුකාරණා පැහැදිලි කිරීමේ හකියාව සහ

නව දැනුම් කරා මග පැදීමේ විභවයකින් හෙවත් හැකියාවකින් යුක්තවීම

යන කාරණා  සපිරෙන තුරු ඊට(නව සිද්ධාන්තයට) පුළුල් ලෙස පැතිරුණු පිළිගැනීමක් ලබා ගැනීම දුෂ්කරය.

සෑම නව සිද්ධාන්තයක් සම්බන්ධයෙන්ම බොහෝ විද්‍යාඥයන් සංශයවාදී වන හෙයින් ඒ ආකාරයේ පිළිගැනීමක් වන්නේ සාමාන්‍යයෙන් සත්‍යාපනයේ (verification) සහ නිෂ්ප්‍රභ කිරීමේ (refutation) ක්‍රියාදාමයක්  තුළිනි.  එවන් ක්‍රියාදාමයකට, එහි අවසානය කරා ළඟා වීමට වසර ගණනක් හෝ ඇතැම් විට දශක ගණනාවක් පවා ගතවිය හැකිය. දැනුවත් නැතිනම් ක්‍රමානුකූල සංශයවාදයේ සමාජීය වටිනාකම දැන ගැනීමටත් එමෙන්ම විවෘත භාවය සහ සංශයවාදය අතර සිය සිත් වල යහපත් තුලනයක් වර්ධනය කරගැනීමටත් විද්‍යා අධ්‍යයනය සිසුන්ට උපකාරී වේ.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HABITS OF MIND නම්  12 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක  තවත් ලිපියකි මේ. ලිපි  සෑම සඳුදාවකම පළවේ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.