ශුක්‍රාණුවක් (sperm) ගත කරන ජීවිතය ලෙහෙසි පහසු එකක් නොවේ. ගැබ් ගෙළ (ග්‍රීවය) සිට ඩිම්බය දක්වා වූ ස්ත්‍රී ප්‍රජනක පථය, ශුක්‍රාණු නම් මේ ක්ෂුද්‍ර ධාවකයන්ට සපයන්නේ විනාශයෙන් කෙළවර වන බාධක පිරි ධාවන පථයකි. වෙන වචනවලින් කියතහොත් හරියට ඉදිරියට පමණක් යා හැකි හොල්මන් නිවසකට බලෙන් ඇතුල් කළා සේ ය. ආපසු ඒමක් නැත. යා යුත්තේ ඉදිරියට පමණකි. එහෙත් ඒ මග හැම තැනකම මර උගුල්ය. ජීවිතය රැක ගන්නවාට වඩා මරණයට පත් වීම් සඳහා මං නම් බොහෝය. අම්ලයෙන් නැහැවී, ශ්ලේශමල ස්‍රාවයේ(mucus) පැටලී, ප්‍රතිශක්ති පද්ධතියේ (immune system) ප්‍රහාරයට ලක්වී ඇදී එන ධාරාවට හසු වී ගසා ගෙන ගොසින් බාගදා කුටියක් තුළ හිරවී ආදී වශයෙන් මේ ඕනෑම ආකාරයෙන් ශුක්‍රාණුවේ මරණය සිදු විය හැකියි.
එහෙත් මේ මාරක බාධක සියල්ල නොතකා එක වරකට මිලියන ගණනක් ශුක්‍රාණු ධාවකයෝ මේ පිහිණුම් තරගයට එක්වෙති. එය හුදෙක් ඉවසා දරා සිටීමේ (test of endurance) තරගයක් පමණක් නොව
(මේ ලිපිය කියවාගෙන යද්දී අපට පසුව පැහැදිලිවෙන අන්දමට) වේගය පිළිබඳ තරගයක් ද වේ. ආකෘති සහ පරිගණක විඩම්බන (computer simulations) යොදා ගනිමින් සිදු කරන ලද නව අධ්‍යයනයකින් සොයා ගනු ලැබ ඇත්තේ, බාධක මර උගුල්වලින් ගැලවී ගත හැක්කේ වඩාත් ජව සම්පන්න, වඩාත් කඩිසර ශුක්‍රාණුවලට පමණක් බවය.
ගර්භාෂ විවරයේ සිට පැලෝපීය නාල දක්වා වූ මග වැනි, ප්‍රජනන පථයේ පටු ස්ථානයක් වෙත ළඟාවෙද්දී ඉදිරියෙන් ඇදී එන ධාරාව වඩා වඩාත් වේගවත් වෙද්දී ධාවන තරගයේ ඊළඟ අදියර වෙත යාමට වරම් ලබන්නේ වඩාත්ම යෝග්‍ය ශුක්‍රාණු තරගකරුවන්ට පමණකි. විඩම්බිත(simulated) ස්ත්‍රී ප්‍රජනන පථයක් තුළ පිරිමින්ගේ මෙන්ම ගවයන්ගේ ශුක්‍රාණු පරීක්ෂාවට ලක් කර බැලීමෙන් පර්යේෂකයන් එළඹ ඇති නිගමනය වන්නේ, අවසන් ඉලක්කය කරා දුර්වල පිහිණුම්කරුවන් (ශුක්‍රාණු) ළඟාවීම වැළැක්වීම පිණිස දොරටු ආකාරයේ තද බද ඇති විය හැකි ස්ථාන (කෙණෙහුම් ලක්ෂ්‍ය) තිබෙන බවයි. මේවා පසු කරමින් නික්ම යෑම කෙතරම් අසීරුදැයි දැක්වෙන වීඩියෝ පටයක්ද පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එහි දැක්වෙන පරිදි ආකුංචය (stricture) යනුවෙන් හඳුන්වනු ලබන පටු මග හරහා යෑමට දඟලද්දී ඉදිරියෙන් එන ධාරාවෙන් යළි යළිත් ආපස්සට සේදී යන්නේ ගමනේ දුෂ්කරතාව මැනවින් ප්‍රදර්ශනය කරමිනි. වඩාත්ම පුදුමය එළවන සුළු කොටස වන්නේ සමනලයකුගේ පියාපත් සලන ආකාරට අනුව ශුක්‍රාණු චලනය වන ආකාරය යයි පර්යේෂකයෝ කියා සිටිති. (පර්යේෂකයන් විසින් සකස් කරන ලද වීඩියෝව නරඹන්න)
බිත්තියට ආසන්නව ගමන් කරමින් ඉදිරියට ඇදෙන ශුක්‍රාණුව ඉදිරියෙන් ගලා එන දියරය හෙවත් තරලයට හසුවී ආපස්සට සේදී ගොස් බිත්තියේ අනෙක් පැත්තට ගිය විට ක්‍රියාදාමය අනෙක් පැත්තේ සිට අරඹයි. කෙසේ වෙතත් අවසානය එතරම් සුබ නැත. බිත්තියට ආසන්නව ඇළී සිටිය හැක්කේ වඩාත්ම වේගවත්ව ශුක්‍රාණුවලට වන අතර ඉදිරියට ඇදීමේ වාසනාව හිමිවන්නේ එයිනුත් ටික දෙනෙකුට පමණකි. ඉතිරි අය සියල්ල ධාරාවට හසුවී ඉවතට ගසාගෙන යනු ලැබේ.
ජෛව විද්‍යාත්මකව ගත් කළ මෙම පටු සන්ධිස්ථාන යම් අර්ථයක්, ප්‍රයෝජනක් තිබිය හැකි නමුත් ඒවා පවතින්නේ මන්දැයි මේ වනතුරු පැහැදිලි අවබෝධයක් නැත. බාගවිට, දුර්වල ශුක්‍රාණු ඉවත්කර දැමීම පිණිස ස්ත්‍රී ප්‍රජනන පථයෙහි ඇති අනෙකුත් බාධක මෙන්ම මෙම පටු ස්ථානද එම කාර්යය සඳහාම පරිණාමය වී ඇතුවා විය හැකියි. නව පර්යේෂයේ කර්තෘවරු කල්පනා කරන්නේ මෙය පැහැදිලිවම සිදුවිය හැක්කක් බවයි. ‘මෙම ධූරාවලී ගත ව්‍යුහය ශුක්‍රාණු අතර තරගයක් ඇති කරවන අතර වඩාත් මන්දගාමී ශුක්‍රාණු හා සංසන්දනයේදී දරුණුතම තරගය හටගන්නේ වඩාත්ම චාලක ශුක්‍රාණු අතරේ යයි ඔවුහු සිය අධ්‍යයන වාර්තාවෙහි සඳහන් කරති. එසේ වතු දු වේගවත් ශුක්‍රාණු අතරේ වඩාත්ම වේගවත්ම ශුක්‍රාණුවට පවා අවසාන ඉලක්කය කරා යාමේ අවස්ථාව ඉතාමත් අඩුය.
දුර්වල ශුක්‍රාණුවල ගමන් මග අවහිර කිරීම පිණිස ස්ත්‍රීන්ගේ ප්‍රජනක අවයව තුළ පුදුමය දවන අන්දමේ විදග්ධ ක්‍රම ඇතැයි නව අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ නිව්යෝරක් නුවර කෝනෙල් විශ්වවිද්‍යාලයේ රසායනඥයෙකු වන අලිරේසා අබ්බාස් පෞරාඩ් ප්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් විසිනි. ශුක්‍රාණුවල පිහිණීමේ කුසලතා මින් අධ්‍යයන කර තිබුණ ද කොනල් විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ අධ්‍යයනයේදී විශේෂ සැලකිල්ල යොමු කෙරුණු අංශයක් වුණේ ඉහත සඳහන් ආකාරයේ පටු ස්ථානවලදී ශුක්‍රාණුවලට සිදුවන්නේ කුමක්දැයි හෙළි කර ගැනීමටය. “ක්ෂීරපායියන්ගේ මාර්ගය එක දිගටම එක සමාන නොවන බව පෙනී යනවා” අබ්බාස්පෞරාඩ් පෙන්වා දෙයි, “ඇතැම් ස්ථානවල එය කෙතරම් පටුද කියතහොත් ටික දෙනෙකු පමණක් ඉන් ඉදිරියට ඇදුනද වැඩි කොටස අසාර්ථක වනවා“
Science alert හී පළවූ The Female Body Has a Surprisingly Sophisticated Way to Block Weak Sperm යන ලිපිය ඇසුරෙන්.