අපේ ආහාර පද්ධතියෙහි තවමත් ප්‍රමුඛත්වය උසුලන්නේ භෝග කීපයක් පමණයි

ගෝලීය වශයෙන් ගත් කළ භෝග විවිධත්වයෙහි වර්ධනයක් සිදු වෙමින් පැවතියත් තවමත්, ලෝක කෘෂිකර්මාන්තයෙහි ආධිපත්‍යය පතුරුවන්නේ භෝග වර්ග කිහිපයක් පමණක් බව PLOS One. සඟරාවට වාර්තාවක් සපයමින් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙති. අපේ මේ ග්‍රහලෝකය පුරා පසුගිය 60 වසර තුළ වගාකෙරුණු භෝගවල විවිධත්වයෙහි ඉහළ යාමක් පවතින බව සැබැවි. එහෙත් තවමත් අපගේ භෝගවලින් වැඩිම කොටස සැදුම්ලන්නේ ශාක වර්ග කිහිපයකින් පමණකි. මීට උදාහරණ වශයෙන් (කෘෂිකර්මාන්තය තුළ) ආධිපත්‍ය පතුරුවාගෙන සිටින භෝග කිහිපයක් විශේෂයෙන් ඔවුහු පෙන්වා දෙති: තිරිඟු, ඉරිඟු, සෝයා සහ වී. වර්තමානයේ මේ මිහිතලය මත වගා බිම්වලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක ඇත්තේ මේවාය. පර්යේෂණය සඳහා කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම ලොව පුරා උපමහාද්වීපික කලාප 22ක් හරහා ශාක කණ්ඩායම් 161ක දත්ත එකට එකතු කළහ. මේ දත්ත, 1961 සිට 2014 දක්වා දශක හයක් තුළ එක් රැස් කරන ලද ඒවාය. ඔවුන් පරීක්ෂාවට ලක් කළ කාල පරාසයය තුළ ආරම්භක වශයෙන් 1960 සිට 1970 ගණන්වල අග දක්වා භෝග විවිධත්වයෙහි දක්නට ලැබුණේ ඉතා සුළු වෙනස්කම් පමණය. එහෙත්, කෘෂිකර්මාන්තය කාර්මීකරණයට ලක්වෙද්දී 1980 ගණන්වල සීඝ්‍ර විවිධාංගීකරණ සමයක් දක්නට ලැබිණ. ලොව පුරා වගා කෙරෙන භෝග වර්ග සංඛ්‍යාවෙහි සීඝ්‍ර ඉහළ යාමක් මේ සමයේ දී පිළිබිඹු විය. කලාප අතර ගතහොත් විශාල වශයෙන් වෙනස්කම් තිබුණේ වී නමුදු නිදසුනක් දක්වතොත් පොලිනීසියාවේ එක් භෝගයක් අලුතෙන් එක්වෙද්දී, මධ්‍යම ඇමරිකාවේ ගොවීහු තමන් සාමාන්‍යයෙන් වගා කරන බෝග අතරට අලුත් භෝග 30ක් එක් කළහ. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන කාරණයක් වන්නේ ගෝලීය කෘෂිකර්මාන්තය මත සිය ආධිපත්‍යය පැතිරවීම අරඹමින් භෝග විශේෂ කිහිපයක් — ප්‍රධාන කොටම මුදල් බෝග — මුදුනට නැගීම ආරම්භ වුනේද විවිධත්වයෙන් පොහොසත් 1980 ගණන් ම වීමයි. පර්යේෂකයන්ට පෙනී ගියේ මේ යුගයේ දී තිරිඟු සහ සෝයා වැනි මුදල් බෝග ව්‍යප්තියට සහාය වශයෙන් එම බෝග වෙනුවෙන් විශේෂිත කෘෂිකාර්මික සහනාධාර සැපයීම ඊට අර්ධ වශයෙන් හේතු වූ බවයි. බෝග වර්ග කිහිපයක හැකියාව පමණක් එකතුකරගනිමින් කාර්මක කෘෂිකර්මානතය ව්‍යාප්ත වෙද්දී අද අප ජීවත්වන්නේ එම යුගයේ දායාදය උරුම කරගෙනයි. “ලොව පුරා විවිධ කලාපවල ගොවිපළ එන්ට එන්ටම එක සමාන බවක් පෙනෙන්නට පටන්ගෙන තිබෙනවා. එසේත් නැත්නම් භෝග සංයුතිය ගතහොත් එම කලාප ‘සමජාතිකරණයට‘ (‘homogenize’) ලක්වෙමින් පවතිනවා” යයි පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ ඇඩම් මාටින් පෙන්වා දෙයි. ජානමය වශයෙන් ගත් කල මේ ප්රමුඛ භෝග පැමිණෙන්නට ඇත්තේ එන්ට එන්ටම කුඩා වන සංචිතයකිනි. “භෝගවල ජානමය විවිධත්වය ගෝලිය වශයෙන් අහිමි වෙමින් පවතින බව පර්යේෂණ පෙන්නුම් කරනවා. කුඩා පරිමාණ ගොවිපොළවල් නැතිවී යාම, සහ දේශීය වශයෙන් අනුගත භෝග වර්ග හා පරම්පරා වෙනුවට වාණිජ මට්ටමින් ලබා ගැනීමට හැකි අඩු භෝග සංඛ්‍යාවක් යොදා ගැනීමෙන් මෙය සිදුවෙන්නේ” මාටින් පෙන්වා දෙයි. නිදසුනකට, උතුරු ඇමරිකාවේ ප්‍රධානතම භෝගය වන බඩ ඉරිඟු හටගන්නේ හුදු ජානමය මාදිලි හයකින් පමණි. ගෝලීය වශයෙන් ගතහොත් මේ විපර්යාසයන්ගේ බලපෑම වන්නේ කෘෂිකර්මාන්තය එන්ට එන්ටම ඒකාකෘතික වීමයි. මෙහි ප්‍රතිඵල හුදෙක් ලෝක ආහාර සංස්කෘතියට පමණක් නොව අපගේ ආහාර පද්ධතිවල නම්‍යශීලී බාවය සහ රෝගාබාධ, පලිබෝධ සහ දේශගුණ විපර්යාසයන්ට ඇති ප්‍රතිරෝධය කෙරෙහි ද දැනේ. උනන්දුවක් දනවන කාරණයක් ලෙස දක්වන්නේ නම් ලෝකය පුරා ඇතැම් භෝගවල සර්වත්රවර්තී බව පර්යේෂකයන් දකින්නේ දීර්ඝකාලීන වශයෙන් පෘථිවියෙහි මුහුණත වෙනස් කිරීමට මානවයන්ට ඇති හැකියාව විදහාපාන මානව මූලික භූවිද්‍යා යුගයේ (Anthropocene) සංකේතයක් ලෙසයි. භෝග, ඒවායේ සම්භවය ලද ප්‍රදේශවලින් ඉවත් කොට ලෝකය පුරා අති දැවැන්ත පරිමාණයෙන් ව්‍යාප්ත කිරීමට අපට ඇති හැකියාව මෙකී මානවමූලික යුගයේ සුවිශේෂී අංගයක් ලෙස පර්යේෂකයෝ සිය වාර්තාවෙහි සඳහන් කරති. මේ ඓතිහාසික ‘දායාදයෙන්’ මිදීමට නම් පර්යේෂකයෝ යෝජනා කරන්නේ ආර්ථික හේතු පමණක්ම සැලකිල්ලට නොගෙන ජනතාවට මෙන්ම අපේ මේ ග්‍රහලෝකයට යහපත් වන දේ වගාකිරීමට මහ පාදන පිළිවෙත් සැකසීමට රජයන් වගබලා ගත යුතු බවයි. “ලෝකයේ බොහෝ ප්‍රදේශවල කුඩා ගොවිපළ හිමියන් ලෝකයේ භෝගවල ජානමය විවිධත්වයෙන් විශාල කොටසක් ජනනය කර පවත්වා ගෙන යනවා. සුළු පරිමාණ ගොවීන්ට, විශේෂයෙන්ම ලෝකයේ සංවර්ධනය වන කලාපයේ සිටින අයට ලබාදෙන දේශපාලන හා ආර්ථික සහයෝගය, භෝග විවිධත්වය සංරක්ෂණය කිරීමෙහිලා ප්‍රධාන පියවරක් වනු ඇති” යයි මාටින් වැඩිදුරටත් පවසයි. Anthropocene – DAILY SCIENCE හී පළවු Global crops are growing more diverse, but just a few still dominate our food system යන ලිපිය ඇසුරෙනි |
ප්‍රතිචාරයක් ලබාදෙන්න