සියල්ලෙහි සුලමුල 11- පස් එන්නේ කොයිබින්ද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

පස් එන්නේ කොයිබින්ද?

පස්කඳු, පසට යටවෙනවා. මල දා නිදන්නේ පස් යටයි. මේ ආදී වශයෙන් අපේ දෙපතුල් යට ඇති පස ගැන උපේක්ෂාසහගතව සඳහන් කරන්න පුරුදුවෙලා හිටියාට පස,  කිසි දිනක  අපේ හදවත් තුළ කාව්‍යයමය සිතුවිලි පහළ කරන්නට සමත් වී ඇතිබවක් පේන්න නැහැ.  ඒත් හොඳින් පස දෙස බලන්න. එවිට ඔබට පෙනී යාවි පස යනු අලංකාරවත් දෙයක් බව. පස, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් නැතිනම් මතුපිටින් බොහොමයක් ආවරණය කරනවා. පස නොතිබෙන්නට අපේ මේ ග්‍රහලෝකය බොහොම වෙනස් තැනක් වන්නට තිබුණා. අතිශය අප්‍රසන්න තැනක් බවට පත්වන්නට තිබුණා.

පස් එකිනෙකින්, බොහෝ සේ වෙනස් වෙනවා.  ඒත් දළ වශයෙන් ගත් කල පස යනු ඝන ද්‍රව්‍ය සහ සිදුරුවලින් පනහට පනහසේ සෑදුනු දෙයක්. මෙකී ඝන ද්‍රව්‍යවලින් වැඩිකොටස කුඩා පාෂාණ කැබලි සහ ඊට එක් වූ ජිවී සහ අජීවී ඓන්ද්‍රීය ද්‍රව්‍යයයි. සිදුරු යන හිස් අවකාශයන් නොව විවිධ අනුපාතයන් යටතේ ජලයෙන් සහ වායුවලින් පිරී තිබෙන්නක්. මෙම සරල අංග උපාංග ලැයිස්තුව මගින් පසේ සංයුතිය හරියාකාරව දක්වන්න බැහැ. කෙසේ වෙතත්, පස නැමැති නිම කළ නිෂ්පාදනය ලබාගන්න පුළුවන් වෙන්නේ සංකීර්ණ එමෙන්ම ඉතා දීර්ඝ වට්ටෝරුවකට අනුව සැකසීමෙන් පසුව තමයි.

Related image

පස් බොහොමයක ආරම්භක ස්ථානය වන්නේ තනිකර පතුල් පාෂාණයි(bedrock). මෙය ජීර්ණයෙන්(weathering) ඛාදනය වී යන්නේ පෘෂ්ඨය මත එකතුවන්නාවූ එන්ට එන්ටම කුඩා වන කැබලි ජනනය කරමිනි. මෙහෙම බැලුවහම ජීර්ණය කියන එක ඉතා යෝග්‍ය වචනයක්. එය සිදුවන්නේ  සුළඟින්, වර්ෂාවෙන් සහ හිමකැට වැස්සෙන් (hail) මෙන්ම හිම වීමේ හා දියවීමේ (thawing) චක්‍ර මගින් ප්‍රහාරයට ලක්වී, පාෂාණ තවදුරටත් දුර්වල කිරීම හා බිඳ දැමීම හේතුවෙනුයි. උෂ්ණත්වයන් ඉහළ යද්දී සහ පහළ යද්දී ඇතිවන තාපමය ප්‍රසාරණය සහ සංකෝචණයෙන්ද ඒ හා සමාන බලපෑමක් ඇතිවෙනවා.

Related image

පාෂාණ, වැසි ජලයෙහි ඇති රසායන මගින්ද ක්ෂීණ වී යනවා. මේ රසායන ඇතැම් ඛණිජ දිය කර හරී. පසෙහි නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අවසාන වශයෙන් දවතොත් අපට ජීව විද්‍යාත්මක ජීරණය() සඳහන් කරන්න පුළුවනි.  ආරම්භක වශයෙන් නිරාවරණය පාෂණවල බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍රජීවීන් මගින් ගනාවාස පිහිටුවා ගනු ලබනවා. එම ජීවීන් විසින් දිරාපත් කරවනසුළු අම්ල පහ කරනු ලබනවා. ඊළඟට එන්නේ ලයිකන (lichens) සහ අල්ගේය. ඒවා භෞතිකව පාෂාණයට ඇළීම ඛාදනයට හේතුවන ප්‍රබල සාධකයක්. හාවායි හි දී නිසරු බිම්වලදී සිදු කළ සම්පරීක්ෂණවලින් හැඟවුණේ ලයිකන මගින් ජීර්ණය අඩු තරමින් 100 ගුණකින්වත් වේගවත්  කරන බවයි.

ජීව විද්‍යාත්මක ජීරණය

පරිණත පසෙහි ජීව විද්‍යාත්මක ජීර්ණය ඊටත් වඩා වැඩියි. අපෘෂ්ටවංශිකයන්ගේ ශ්වසනය, දිලීර සහ බැක්ටීරියා  මගින් පිටකරනු ලබන කාබන් ඩයොක්සයිඩ් පාංශු අංශු අතරේ ඒකරාශීවනවා. පස හරහා වෑස්සෙන වැසි ජලය කාබන් ඩයොක්සයිඩ් දියකර හරින්නේ කාබනික අම්ලය සාදමිනි. පාංශු ජීවීන් විසින් අනෙකුත් අම්ල නිපදවනු ලැබේ. පස ස්පොන්ජ් එකක් ලෙස ක්‍රියාකර පසට යටම තිබෙන පාෂාණය වැස්සෙන් පසු වැඩිවේලාවක් තෙත්ව තිබෙන වේලාව දීර්ඝ කරයි. ඒ කියන්නේ රසායනික ජීර්ණය බොහෝ වේලා යනතුරු පැවතිය හැකිය කියන එකයි. මේ අන්දමට ගත් කළ, පස එහිම නිෂ්පාදනවල උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

මුලදී ක්ෂුද්‍රජිවමය ජනාවාස පිහිටුවන්නන් පසෙහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා ගැම්මක් ගෙන ක්‍රියාත්මක වෙනවා. ඔවුන් විසින් ඉතිරිකර දමනු ලබන ද්‍රව්‍ය ලයිකන සහ ඇල්ගී මගින් ප්‍රයෝජනයට ගනිමින්  ක්‍රමක්‍රමයෙන් පාෂාණය සජීවී සහ අනතුරුව අජීවී ඓන්ද්‍රීය ද්‍රව්‍යවලින් ආවරණය කරයි. මේවා ප්‍රමාණවත්ව වර්ධනය වූ පසු පණුවන් සහ සන්ධිපාදිකයන් වැනි සාපේක්ෂව විශාල සතුන් එහි ඇතුල් වෙනවා. ඔවුන්ගේ හෑරිම ඓන්ද්‍රීය ද්‍රව්‍ය සහ ඛනිජ කණිකා එකට මිශ්‍ර කරන අතර විවර හෙවත් සිදුරුමය අවකාශ නිර්මාණය කරනවා. පණුවන් විසින් නිපදවනු ලබන ශ්ලේශමල ස්‍රාවය ද, ද්‍රව්‍ය  එකට අලවා තබන අතර එය ස්ථායි කරයි. ඔන්න ඉතින් ඔහොම තමයි පස බිහි වෙන්නේ.

සිරියාවන්තව වයසට යාම

පස ගොඩගැසෙද්දි සහ පරිණත වෙද්දී එය ස්තර හැටියට වෙන් වෙන්ව සෑදෙන්නට පුළුවන. එසේ ස්ථර සෑදෙන්නේ මුදුන්පස මුදුනේත් විවිධ යටිපස් ඊට යටින් ද වශයෙනි.  පරිණත පසක ජීවය සුලවව පවතිනවා. ඉන් එක ග්‍රෑමයක මිලියන 100ක තනි තනි බැක්ටීරියා සහ ආකි බැක්ටීරියා, මිලියන 10 ක වයිරස, සහ දිලීර 1000ක් අඩංගු වෙනවා. ඔය ඉතින් විශාල ජීවීන් සහ ශාකමුල් ගැන කියන්නෙම නැතුවයි. බැක්ටිරියාව පමණක් ගත්තත් විවිධ විශේෂ මිලියනයක් නියෝජනය කරනවා වෙන්න පුළුවනි. හැබැයි ඉතින් මෙය සිදුවෙන්න බොහොම කාලයක් ගතවෙනවා. ඒ ගැන හෙට(ඉරිදා) තවදුරටත් කතා කරමු. නොවැරදීම කියවන්න.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  WHERE DOES SOIL COME FROM? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.