ග්‍රහක ඝට්ටනයක් නොමැතිව වුවද ඩයිනසෝරයන් නෂ්ටප්‍රාප්තවන්නට ඉඩ තිබුණාද?

Posted by

මිහිපිටින් ඩයිනසෝරයන් නම් දැවැන්ත උරගයන් තුරන් කළ ඒ මහා නස්පැත්තියට පෙරාතුව ඔවුන් කල් ගෙවූ ආකාරය දෙස නව කෝණයකින් බැලීමෙන් නූතන දේශගුණ විපර්යාසයන් ගැනද විද්‍යාඥයන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරි විය හැකිය.

Related image

වසර මිලියන 66කට පෙර එක්තරා දවසක ග්‍රහංශුවක් හෙවත් ග්‍රහකයක් (asteroid)  ව්‍යසනකාරී ලෙස මහ පොළොවට කඩා වැටීමෙන් ඩයිනසෝර යුගය පිළිබඳ ග්‍රන්ථය හිටි අඩියේම වැසී ගියේ ප්‍රචණ්ඩකාරී ලෙසටය. ඒ මහා ව්‍යසනයෙන් ගැලවී අද වන තුරු මිහිපිට ගත කිරීමට ඉඩ ලැබුණේ ඩයිනසෝර පවුලේ එකම සාමාජිකයෙකුට පමණි. ඒ  පක්ෂීන්ය. එහෙත් මේ නස්පැත්තිය නොවෙන්නට ඩයනසෝරයන්ගේ ඉරණම කෙබඳු වන්නට ඉඩ තිබුණේද? ඔවුන්ගේ ක්ෂණික නෂ්ටප්‍රාප්තවීමකින් තොරව ක්‍රමයෙන් වදවී යාමට ඔවුන් ඉරණම් ගත වී සිටියේද?

මුල් කාලවලදී ඩයිනසෝරයන් ගැන පොදුවේ සැපයුණු චිත්‍රය අනුව ඔවුහු මේ මිහිපිට ගහකොළ පිරි,  පලබර, ගංගා ඇළ දොළ ගලා යන සුරපුරක් බඳු ස්ථානයක යහතින් ජීවත් වූහ. අඩු තමින්  අප වශ්වාස කළේ එහෙමය කියලා තමයි.

(ඩයිනසෝරයන් ගැන වීඩියෝව මෙතැනින් නරඹන්න)

එහෙත් 1980 ගණන්වලදී මේ චිත්‍රය වෙනස් විය. මහ පොළොවේ සරුසාර වෘක්ෂලතාදිය මේ දැවැන්තයන් ආහාරයට ගෙන අවසන්වීමෙන් පසුව ඇතිවූ කාන්තාර තත්ත්වය ඔවුන්ගේ විනාශයට හේතු වූයේද යන තර්කය ඇමරිකානු භෞතික විද්‍යාඥයෙකු වූ ලුවිස් වෝල්ටර් අල්වාරේස් සහ ඔහුගේ පුත් ලුවිස් අල්වාරේස්  ගෙන ආහ. ඔවුන් තර්ක කළේ ග්‍රහකයක් පොළොව මතට කඩා වැටීමේ මහ කැළඹිලිකාර විනාශය දැවැන්ත උරගයන් මේ මිහිපිටින් අතුගා දැමීමට හේතු වූ බවයි. භූ විද්‍යාත්මක සාක්ෂි සහ ෆොසිල සාක්ෂි එකතුවක් ද මේ පිය පුතු යුවල සිය මතය සනාථ කිරීමට පදනම් කර ගත්හ. වසර කිහිපයක් ගතවෙද්දී මේ මතය සනාථ කිරීමට ප්‍රබල සාක්ෂියක් මැක්සිකෝවේ  යුකටාන් අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් මතු විය. ඒ, ඩයිනසෝරයන්ගේ මළ ගම සලකුණු කරමින් ඇද වැටුණු ග්‍රහකයේ සුන්බුන් සොයා ගැනීමෙනි.

එතැන් පටන් කොට, පුරා ජීවවිද්‍යාඥයන් වැඩිදෙනාගේ ඇඟිල්ල දිගු වුණේ ග්‍රහක කඩාවැටීමටය. (කෙසේ වෙතත්, මේ තර්ක ඔස්සේ යමින් මෑතක අධ්‍යයන දෙකක් පෙන්වා දෙන්නේ යමහල් ද ඩයිනසෝර නෂ්ටප්‍රාප්තියට දායක වූ බවයි.) එය එසේ වුවත් පුරා ජීව විද්‍යඥයන් නගන ප්‍රශ්නයක් වන්නේ ග්‍රහකයක් මේ අන්දමට පෘථිවිය මතට කඩා නොවැටුණේ නම් සිදුවන්නේ කුමක්ද යන්නයි. මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම අභියෝගාත්මක වීමට බලපාන සාධකයක් වන්නේ ෆොසිල වාර්තාවල අසම්භන්ධිත ස්වභාවයයි. එය හරියට ඉතිරි වී ඇති පත් ඉරු කිහිපයක් පමණක් යොදා ගෙන වීර කාව්‍යයක කතා වස්තුව යළි ගොඩනැගීමට දරණ ප්‍රයත්නයක් බඳුය. නිසියාකාරව ෆොසිලයක් නිර්මාණය වීමට නම් ජීවියාගේ සිරුර   වැළලී, හුදකලාව සුදුසු පාරිසරික තත්ත්වයන් යටතේ දීර්ඝ කාලයක් තුළ  තිබිය යුතුය. එහෙයින්, ආදි කාලයේ සත්ව විශේෂයන්ගේ සංඛ්‍යාව සමග ගලපා බලද්දී ෆොසිල වාර්තාවල අඩු පාඩු සහ අගතීන් වෙනුවෙන් යම් ඉඩ හැඊමක් කිරීමට පුරාජීව විද්‍යාඥයන්ට(paleontologists) සිදු වේ.

ෆොසිල දළ ගණන් බැලීම්වලදී පෙනී යන්නේ කටිකාමය හෙවත් ක්‍රිටේෂීය යුගයේ අවසාන වසර මිලියන 17 දී උතුරු ඇමරිකාවේ බටහිර දිග ඩයිනසෝර විශේෂයන් හිඟ වෙමින් පැවති බවයි. එයින් ගම්‍ය කරන්නේ ග්‍රහක ඝට්ටනය සිද්ධ වුණේ ඩයිනසෝර බහින කලාව පටන්ගත්තාට පසුව බවයි. එහෙත් මහා නෂ්ටප්‍රාප්තියට ආසන්න කාලයේ එනම් මැස්ට්‍රිච්ෂියන් වකවානුවේද(Maastrichtian epoch) සූක්ෂමව තොරතුරු සෙවීම සඳහා ප්‍රමාණවත් ෆොසිල හමු වී නැත. මේ නැඹුරුව ගැන සොයා බැලීමට අධ්‍යයන ගණනාවක් මගින් උත්සාහ දරා ඇති අතර එවායින් සොයා ගනු ලැබ ඇත්තේ ද ඇමරිකාවේ බටහිර දිග ඩයිනසෝර විවිධත්වය අවසානය ළඟා වන තුරුම ස්ථාවරව පැවති බව හෝ වර්ධනය වීමක් පවා හෝ දැක්වෙන බවයි.  ඒ කියන්නේ එකවරම නෂ්ටප්‍රාප්ත වනතුරුම ඔවුන් යහතින් සිට ඇති බවයි.

Related image

එහෙත් මෙලෙස මතු වී ආ මත එකඟත්වයට මරු පහරක් වැදුනේ එංගලන්තයේ රෙඩිං විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ මනබු සකමොටෝ 2016 දී අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරමින් මහා නෂ්ටප්‍රාප්තියට වසර මිලියන දශ ගණනකට පෙර  සිටම අලුතෙන් සාමාජිකයන් එකතු වන වේගයට වඩා වැඩි වේගයකින් ඩයිනසෝරයන් මිය යමින් සිටියේ යයි  කියා සිටිමෙනි. මේ අනුව නම් ග්‍රාහක නස්පැත්තියට බොහෝ කාලයකට පෙර සිටම ඩයිනසෝරයන්ගේ ඇතැම් කණ්ඩායම්වලට ඔවුන්ගෙ ‘හොඳ කාලය’   අවසන් වී ගොස් තිබුණි.

මෙලෙස ඩයිනසෝරයන් මෙලොවින් තුරන්වීම පිළිබඳව ඇති වාද මෙන්ම විවාදවලට නව නැම්මක් එකතු කරමින් අලුත්ම අධ්‍යයනයකින් කියැවෙන්නේ ක්‍රිටේෂීය යුගය අවසානයේ මහා නෂ්ටප්‍රාප්තිය සිදුවන තුරුම ඩයිනසෝරයන්  ප්‍රබලව සිටි බවකි. මෙම කරුණු හෙළිව ඇත්තේ පුරාජීව විද්‍යාවට, නව මහා විඩම්භන යොදා ගනිමින් සිදු කළ පර්යේෂණවලදීය. “මෙහි ප්‍රතිඵල ඉතා වැදගත්. ඒ වගේම නව ක්‍රම සැලසුම් කරමින් ඒවා උපයෝගී කර ගැනීමද හොඳ දෙයක්” යයි නව අධ්‍යයනයේ කර්තෘ පුරාජීව විද්‍යාඥ ඇල්ෆියෝ ඇලසැන්ඩ්‍රෝ චියරෙන්සා කියා සිටී. එපමණක් නොව අධ්‍යයනයේ නවෝත්පාදක ප්‍රවේශය අපට අතීතයේ පාරිසරික කැලඹිලි වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමටත් එමෙන්ම නූතන දේශගුණුක විපර්යායන්ගෙන් අපේක්ෂා කළ හැකි දේ සියුම්ව විපරම් කර බැලීමටත් මග පාදයි.

 

National Geographic (online magazine, April 2019) හී පළවූ   Would dinosaurs have died without an asteroid strike? Here’s the science යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.