නාගරික ප්‍රදේශවල අපිරිසිදු වාතය මනුෂ්‍ය ශුක්‍රාණු මත බලපෑමක් ඇති කරනවා විය හැකියි. නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ඉතා කුඩා දූෂක අංශු ආශ්වාස නොකරන මියන්ට වඩා එම අංශුවලට නිරාවරණය වූ මීයන්ගේ ශුක්‍රාණුවල ගුණය හෙවත් තත්ත්වය අඩු අතර ශුක්‍රාණු නිපදවීමද අඩු බවයි.
පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ මගින් විමෝචණය කෙරෙන දූෂක ශ්වසන ගැටළු, පිළිකාව, සහ ළමා කාලයේ වැඩීම බාල කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටළු ගණනාවකටම සම්බන්ධවේ. කෙසේවෙතත්, PM2.5 ලෙස හඳුන්වනු ලබන මයික්‍රොමීටර 2.5ට අඩු මෙම දූෂක අතුරෙන් ඉතාමත්ම කුඩා අංශු ලොව පුරා එන්ට එන්ට වැඩිවෙන පුරුෂ වඳ අනුපාතිකයන්ට ද දායක වන්නේ දැයි යන්න තවම අපැහැදිලිය. බ්‍රසීලයේ, සාවො පවුලෝ විශ්වවිද්‍යාලයේ එලේන් කොස්තා සහ ඇගේ සගයෝ අධ්‍යයනය සඳහා මීයන් කණ්ඩායම් හතරක් යොදා ගත්හ.
පර්යේෂකයන් පිරිස මී කණ්ඩායම් තුනක් ඔවුන්ගේ ජීවිතවල විවිධ අනුපාතවලට PM2.5 දූෂක වලට නිරාවරණය කළහ. සිව්වෙනි කණ්ඩායම නිරාවරණය කෙරුණේ පිරිසිදු කෙරුණු වාතයටයි. මියන් සුහුඹුළන් (adults) බවට පත්වීමෙන් පසුව කොස්තා ඇතුළු පිරිස උන්ගේ ශුක්‍රාණු වර්ධනය විශ්ලේෂණය කර බැලූහ. පිරිසිදු වාතය ආශ්වාස කරන මීයන් හා සසඳද්දී PM2.5 ට නිරාවරණය කෙරුණු මීයන්ගේ ශුක්‍රාණු නිපදවන වෘෂණවල ඇති නල පරිහානියට පත් වීමක් පෙන්නුම් කළේය.
උපතට පෙර සහ පසුව දූෂක වලට නිරාවරණය වූ මීයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව බෙහෙවින් අඩු බව පෙනී ගියේය. කෙසේවෙතත්, ශුක්‍රාණු වල ගුණාත්මක බව කෙරෙහි වැඩිම බලපෑම ඇතිවන්නේ උපතින් පසුව දූෂක වලට නිරාවරණය වූ මීයන් බව ද අනාවරණය විය. DNA පරීක්ෂණ ද පෙන්නුම් කළේ වෘෂණමය සෛල කෘත්‍යයන්ට අදාල ජානවල ක්‍රියාකාරිත්වයෙහි විපර්යාසයන් ඇතිවන බවයි. “මහා නගරවල වායු දූෂණය පාලනය කිරීම පිණිස මහජන සුබසිද්ධියට අදාල ප්‍රතිපත්ති ආණ්ඩු මගින් සකසනු ලැබීමේ අවශ්‍යතාව අධ්‍යනයේ සොයාගැනීම් මගින් පෙන්නුම් කරනු ලබන්නේ” යයි කොස්තා පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අධ්‍යනය පිළිබඳ කරුණු නිව් ඕලීන්ස් හි අන්තෝසර්ග සංගමයේ සමුළුවකට ඉදිරිපත් කෙරිණ.
කෙසේවෙතත්, ගුණාත්මක අතින් අයහපත් වායු තත්ත්වය සහ පිරිමින්ගේ වඳබව අතර යම් සම්බන්ධයක් ඇත්නම් ඒ ගැන අවබෝධ කරගනු වස් තව දුරටත් මේ ගැන සොයා බැලීම් සිදු කළ යුතු යයි ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ ෆ්‍රෑන්ක් කෙලී පවසයි. ගැබ්ව ඇති යාන්ත්‍රණ පරීක්ෂාකිරීමේ දී සතුන් යොදාගෙන සිදු කෙරෙන අධ්‍යයන ප්‍රයෝජනවත් නමුත් (ඒවායේ) ප්‍රතිඵල අවශ්‍යයෙන්ම මනුෂ්‍යයන් කෙරෙහි ද එකලෙස බල පාන බවක් හැඟවෙන්නේ නැතැයි කෙලී වැඩිදුරටත් පෙන්වා දෙයි.
New Scientist (2019-03-30) සඟරාවෙහි පළවූ Air pollution may reduce sperm quality යන ලිපිය ඇසුරෙනි