ඓන්ද්‍රීය ගොවිපොළ, වඩාත් ඉහළ විවිධත්වයක පාංශු ක්ෂුද්‍ර ජීවීන්ට හා කෘමීන්ට තෝතැන්නකි. මේ තත්ත්වය, ආහාර මගින් බෝවෙන මාරක ව්‍යාධිජනක තර්ජනයට මුහුණ දීමේදී මහත් පිටිවහලක් විය හැකි යයි නව අධ්‍යයනයක් හෙළි කරයි. Journal of Applied Ecology නම් සඟරාවට වාර්තාවක් සපයමින් අන්තර් ජාතික පර්යේෂකයන් පැහැදිලි කරන්නේ අසූචිවාසි ඊ කොලි(E.coli) බැක්ටීරියා වැනි ව්‍යාධිජනකයන් ගොවිබිම්වල පැතිරයාමෙන් ලොව පුරා දහස් ගනනකට මරණයත් සහ මිලියන ගණනකට ලෙඩරෝගත් ගෙන ඒමට හේතුවන බවයි. මේ හේතුව නිසා සිය ඉඩම්වලින් බඩවැටි පේළි සහ ජල පොකුණු වැනි ස්වභාවික වාසස්ථාන ඉවත් කිරීමට ගොවීහු පෙළඹී සිටිති. ඊට හේතුව, ඒවා වෙත ඇදී එන වල් සතුන් මෙන්ම ගොවිපළ ආශ්‍රිත සතුන් සිය මල මිශ්‍රිත ව්‍යාධිජනක මගින් අසළ ඇති බෝග වගාවන් අපිරිසිදු කරතැයි ගොවීන් අදහස් කිරීමයි. ගොවිබිම් පිළිබඳ මේ සරල දැක්ම ජෛවී විවිධත්වයකට තර්ජනයක් මෙන්ම පරාගනය වැනි වැදගත් පරිසර පද්ධති සේවාවන් අඩපණ කිරීමට ද හේතුවන නමුත් එම ක්‍රියාමාර්ගය ආහාරවල ආරක්ෂාව සුරැකීම අත්‍යවශ්‍ය පියවරක් ලෙස ඔවුහු දකිති.
එසේ වුවද, නව අධ්‍යයනය පෙන්නුම් කරන්නේ එහි අනික් පැත්තයි. ස්වභාවික වාසභූමි ඉවත් වන විට ඒ සමගම ක්ෂුද්‍රජීවීන් සහ පසෙන් ව්‍යාධිජනක ඉවත් කිරීමට ඇත්ත වශයෙන්ම උදව්වෙන ගොම කුරුමිණියා වැනි කෘමීන්ද ඉවත් වේ. පර්යේෂකයන් මේ නිගමනයට එළඹී ඇත්තේ, වාණිජ මට්ටමෙන් පවත්වාගෙන යනු ලබන බ්‍රොකොලි (මල්ගෝවා) කුඹුරු 70ක් සමීක්ෂණයට ලක් කිරීමෙන් පසුවය. පොළවට ආසන්නයේ වගා කෙරෙන එළවළුවක් නිසා බ්‍රොකොලි ආහාරවාසී ව්‍යාධිජනකවලට පහසුවෙන් ඇතුල් විය හැකිය. පර්යේෂකයෝ සාම්ප්‍රදායානුකූල ගොවිපොළ සහ ස්වාභාවික තත්ත්වයන් එලෙසම තබාගන්නා එමෙන්ම පළිබෝධ නාශක අවම ලෙස යොදා ගන්නා ඓන්ද්‍රීය කෘෂිකර්මාන්තය පවත්වාගෙන යන ඓන්ද්‍රීය ගොවිපොළ සංසන්දනය කර බැලූහ. ඌරන්ගේ මල, මෙකී බිම් කට්ටිවල ඉසීමෙන් ගොම කුරුමිණියන් ආකර්ෂණය කිරීමට ඔවුන් උත්සහ දැරූ අතර ඓන්ද්‍රීය ගොවිපොළ මෙම කෘමීන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැපයෙන බව පෙනී ගොස් තිබිණ. මෙම ගොවිපළ වලදී ගොම කුරුමිණියන් සුළු දින ගණනකදී ඌරු මලවලින් 90%ක් පමණම සුද්ධකරදමා තිබිණි. කුරුමිණියන් අඩුවෙන් ඇති සාම්ප්‍රදායානුකූල ගොවිපළවලදී මේ කාර්යය ඉටු කෙරුණේ වඩාත් මන්දගාමීවය. පර්යේෂකයන් මේවාගේ පසද පරීක්ෂාවට ලක් කළ අතර ඓන්ද්‍රීය වගා බිම් කැබලිවල පසෙහි වඩාත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඇති බව අනාවරණය විය. සාම්ප්‍රදායානුකූල ගොවිබිම් හා සැසදීමේදී මෙම ඉඩම්කඩම්වල පාංශු ක්ෂුද්‍ර ජිවී විවිධත්වය ඉහළ මට්ටමක පැවතිණ. මෙය ආහාර මගින් බෝවෙන ව්‍යාධිජනක පාලනයට පහසුවක් වෙන්නට ඇත.
හුදෙක් අප ද්‍රව්‍ය ඉවත් කරනවා විනා හානිකර ඊ කොලි බැක්ටීරියා මට්ටම් අඩුකිරීමේදී පාංශු බැක්ටිරියා සහ කුරුමිණියන් ඇත්තටම දායක වන්නේද සොයා බැලීම පිණිස පර්යේෂකයෝ පරීක්ෂණාගාර සම්පරීක්ෂණද පැවැත්වූහ. මෙම පරීක්ෂණවලදී පෙනී ගියේ පරීක්ෂාවට ලක් කළ පස් සාම්පලවල ඊ කොලි බැක්ටීරියා ව්‍යාධිජනක යටපත් කිරීමට ඇත්තටම කුරුමිණියන් සහ පාංශු බැක්ටිරියා යන දෙපාර්ශ්වයම දායක වන බවයි. පාංශු ක්ෂුදුජීවී වර්ග එකිනෙකා හා තරග කිරීමට පෙළඹෙති. පසෙහි ඊ කෝලි මට්ටම යටපත් කිරීමට බැක්ටීරියා වැඩි විවිධත්වයක් තිබීම උපකාරීවන බව එමගින් පැහැදිලි කරගත හැකියි. ගොම මැස්සාගෙන්ද මෙවැන්නක් ඉටුවන්නේ කෙසේද යන්න කිසිවෙකුත් නොදනී. එහෙත් වෙනත් පර්යේෂණ පෙන්නුම් කරන්නේ මේ කුරුමිණියන්ගේ ශරීරවල (ඔවුන් මල සම්බන්ධ සිය ක්‍රියාවලිය ඉටු කරද්දී) බැක්ටීරියා නසන ප්‍රතිජීවක ගුණ අඩංගුව තිබෙන්නට පුළුවන් බවයි.
තනිකර ඓන්ද්‍රීය කෘෂිකර්මය එකම විසඳුම යයි මින් අදහස් නොකරේ. ඒ වෙනුවට අධ්‍යයන සොයාගැනීම් හගවන්නේ ස්වාභාවික වාසභූමි හා වඩාත් ජෛවී විවිධත්වයෙන් යුතු ගොවිපොළ සරුපසකින් හා වැඩිකෘමීන් ප්‍රමාණයකින් යුක්ත විය හැකි බවය; මේ ස්වභාවික කසල ශෝධක පිරිසට ඊළඟට ව්‍යාධි ජනකයන්ට එරෙහි හොඳ සටනක් දිය හැකි බවයි. අනෙක් අතට ස්වාභාවික වාසභූමි ඉවත් කරන සාම්ප්‍රදායානුකූල ගොවිපොළ ව්‍යාධිජනක පැතිරීමට වඩාත් ගෝචර විය හැකිය. මේ අධ්‍යයනය ගොවිපොළ ජෛවී විවිධත්වය හා අපේ සෞඛ්‍යය අතර දැඩි සම්බන්ධයක් දක්වයි. “ආහාරවල සෞඛ්‍ය ආරක්ෂාව කියන්න් ගොවිපොළ ජෛවී විවිධත්වය මගින් පෝෂණය වන වැදගත් එහෙත් අඩුවෙන් ඇගයීමට ලක්වන පරිසර පද්ධති සේවාවක්” යයි පර්යේෂකයෝ කියා සිටිති.
ANTHROPOCENE (Daily Science) හි පළ වූ Organic agriculture could reduce the spread of food pathogens යන ලිපිය ඇසුරෙනි