ඔළුව ඇතුලේ මොනවද මේ සිද්ධ වෙන්නේ?
ඔබ මේ ලිපිය කියවන්න පටන් ගත්තා නම් ඔබට අපේ සුබ පැතුම්!
අප දන්නා වූ විශ්වය තුළ ඇති තොරතුරු සැකසීමේ වඩාත්ම සංකීර්ණ මෙවලමක ප්‍රෞඩ හිමිකාරයා ඔබයි. වැඩි හිටියෙකුගේ මොළයෙහි බර ගත්තොත් යාන්තම් කිලෝග්‍රෑම් 1.4ක් පමණ වෙන්නේ. ඒත් එහි බලය හිතාගන්නවත් බැරි තරම්. මොළයෙහි ස්නායු සෛල (nerve cells) බිලියන 80ක් තිබෙන අතර ඒවා අතර සම්බන්ධතා සංඛ්‍යාව ට්‍රිලියනයකට (මිලියන මිලියනයකට) ආසන්නයි. මේ සුපිරි කොම්පියුරටය, විඥානයේ සහ ස්මෘතියේ සිට බුද්ධියේ සහ නිර්මාණශීලීත්වය දක්වා සියලු ආකාර අංගෝපාංගවලින් සමන්විතයි. එහෙත් එහි දෝෂ සහ දුර්වලතා ද බොහොමයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ (පරිගණක සමග සැපයෙන ආකාරයට) භාවිත කරන්නන්ගේ උපදෙස් පතක් (Uසෙර් ඝුඉඩෙ) නොමැතිවීමයි. ඔළුව ඇතුලේ මොළයක් කියලා එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහේ (ලැබී ඇති මෙවලම ගැන වැටහීමක් නොමැතිව) භාවිත කරගෙන යනවා. එච්චරයි (පරිගණක භා|ෂාවෙන් කියනවා නම් ‘plug and play’). මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අප බොහොම දෙනෙකුට අපේ මොළය ක්‍රියාකරන ආකාරය ගැන නිසි අවබෝධයක් නැතුවා සේම මොළයෙහි සැබෑ හැකියාව හඳුනාගන්නත් බැහැ.
සමහරවිට මෙය පුදුමයට කාරණයක් නොවන්නත් පුළුවන්. මන්ද, අපේ මොළය හරියට අයිස් කඳක් (iceberg) හෙවත් පාවෙන අයිස් කට්ටියක් වගෙයි. අයිස් කුට්ටියේ ජලයට උඩින් තිබෙන කෙනෙකුට පෙනෙන කොටස ඔබේ සවිඥානක සම්ප්‍රජානනයයි. (දැනුවත්ව තේරුම් ගැනීමයි.) අනෙක් කොටස අවිඥානකයි. වැඩ ගොඩක් සිද්ධ වෙන්නේ මෙකී අදෘශ්‍යමාන, ජලයෙන් යටවී ඇති 90% කොටසේයි. එහෙත්, එම කොටස ඉටු කරන කාර්යයන් (වැඩ) සැඟවීමට එය ඉතා දක්ෂයි.
අප අවට ඇති ලෝකය ගැන ඔබේ සංජානනය හෙවත් හැඳිනගැනීම ගැන සැලකිලිමත් වෙන්න. උදාහරණයක් ගමු. අපේ දෑස් වීඩියෝ කැමරාවක් මෙන් ක්‍රියාකරමින් පිටත ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි බොහෝම විශ්වසනීය ආකාරයකට හසුකරගන්නවා පමණක් නොව ත්‍රිමාණ ටෙක්නිකලර් වර්ණයෙන් මොළය වෙත යැවේ යයි අනුමාන කිරීම නැතිනම් සිතා ගැනීම පහසුය. එහෙත් යථාර්ථය වන්නේ අප දකින දෙයින් බොහෙමයක්ම අපේ මොළය මගින් මවන ලද දේවල් — එනම් බොහොම සැලකිල්ලෙන් අංගෝපාංග ගලපන ලද යථාර්ථයේ භ්‍රාන්තියක් (hallucination of reality= මවා ගැනීමක්) පමණකි. මෙය ප්‍රායෝගිකව පැහැදිලිකර ගැනීම පහසුය. ඔබේ වම් ඇස වසාගෙන තදින් වම් පස දෙස බලන්න. මොකක්දෝ එතරම් පැහැදිලි නැති මස් ගුලියක් වගේ දෙයක් පේනවා නේද? ඔව්, ඒ ඔබේ නහයයි. එය සැමවිටම ඔබේ දර්ශන පථයට හසුව තිබුණත් ඔබ එය (ඒ ආකාරයට) සෑමවිටම නොදැක්කේ ඇයි? ඊට හේතුව එය එතරම් වැදගත් තොරතුරක් නොවන්නේ යයි තීරණය කරමින් ඔබේ මොළය එය සංස්කරණය කර ඉවත් කිරීමයි. ඇත්ත වශයෙන්ම, ඔබේ ඇස් නිරතුරුව ඒ මේ අත කැරකුණත් ඒ ගැන පවා ඔබට දැනුමක් නැත. මන්ද, (එසේ කැරකෙනවිට ඇසට හසුවන) අසම්පූර්ණ ඡායාරූප කොටස් සංකීර්ණ මෘදුකාංග යොදාගනිමින් සුමුදු අඛණ්ඩ චිත්‍රපටයක් බවට ඔබේ මොළය මගින් එකට බද්ධ කරනු ලැබීම හේතුවෙනි. ඔබ ‘දකින‘ දේ වැඩිකොටම ඔබේ මොළයෙහි ‘ගෙතීමක්“ වේ.
මේ වගේ පහසුවෙන් කළ හැකි අත්හදා බැලීම් කිහිපයක්ම මෙම ලිපි මාලාවට ඇතුළත් කර ඇත. අප සවිඥානකව දැන සිටින දේ යථාර්ථයෙන් කොපමණ නම් රැඩිකල් ආකාරයකට වෙනස්වේද යන්න ඒවායින් පැහැදිලි වේ. තවත් උදාහරණයක් ගමු. අපේ මතකයේ රැඳී තිබෙන අපේ මුල්ම ඒ කියන්නේ මතක කියනා පරණම සිද්ධිය ගැන බලමු. මට(ලිපියෙ ලේඛකයාට) මතක තිබෙන්නේ මගේ දෙවැනි උපන් දිනයත් එක්කම වගේ මගේ නංගි ඉපදිලා ඇයව රෝහලේ කුඩා ඇඳක තබා තිබෙන ආකාරයයි. ටික දෙනෙකුට අවුරුදු තුනට පා තැබූ අවධියේ සිද්ධි මතකයට නගා ගැනීමේ හැකියාව ඇතත්, මුල්ම මතකය රැඳෙන වයස සාමාන්‍ය තුනහමාරක් පමණ වේ. සමහරුන්ට අවුරුදු හය පමණ වනතෙක් සිද්ධි මතකයේ රැඳී තිබෙන්නේ නැත. එසේ නම් මා (ලිපියෙ ලේඛකයා) ළමාවියේ ස්මරණ ප්‍රවීඥයෙකු ද? එසේ යයි මම නොසිතමි. ඇත්තටම සිදු නොවූ දේවල් පිළිබඳ ස්මරණ නිර්මණය කිරීම කෙතෙරම් පහසු දෙයක්දැයි ව්‍යාජ ස්මරණය ගැන විශේෂඥයෙකු වන එළිසබෙත් ලොෆ්ටස් විසින් මනවා පෙන්වා දී ඇත. මට(ලිපියෙ ලේඛකයාට) ඒ සිද්ධිය බොහොමත්ම සැබෑ අත්දැකීමක් ලෙස මතක තිබුණත් මා දැන් සැකකරන්නේ එය, අනෙක් අයගේ කතා බහ සහ ඡායාරූප ආදිය පදනම් කරගෙන මගේ මනස පසු කලෙක නිර්මාණය කළ දෙයක් බවයි.
මෙය ප්‍රශ්න ගණනාවක් ඉස්මතු කිරීමට සමත් වෙයි. බොහොමයක් මිහිරි දේ සිදුවන මුල් ළමාවියේ කිසිවක් අපේ මතකයේ නොරැදෙන්නේ ඇයි? ඇතැම් සිද්ධීන් පමණක් අපගේ මනසේ ඇළී තිබෙන්නේ ඇයි? මතකය ක්‍රියාකරන අන්දම ගැන සිත වසඟ කරන මට්ටමේ පර්යේෂණ පෙන්නුම් කරන්නේ, එහි අරමුණ නැතිනම් කාර්යය වනුයේ අතීතය යළි මතකයට නැගීමට වඩා අනාගතය පරිකල්පනය හෙවත් සිතින් මවා ගැනීම විය හැකියි.
අපගේ නියුරෝන එකතුව ධුසර පදාර්ථ (Grey matter) වෙත තවතවත් ගැඹුරට එබී බැලීමට අවශ්‍ය තාක්ෂණය ස්නායු විද්‍යාඥයන් විසින් වර්ධනය කරනු ලබද්දී නිසැක යයි අප සිතා සිටි බොහොමයක් බිඳ වැටීමට පටන් ගනියි. සවිඥාන බව(being conscious) පිළිබඳ හැඟීම එමෙන්ම ස්වච්ඡන්දතාව(free will) පිළිබඳ හැඟීම පවා හුදු මායාවක් වීමට ඉඩ තිබේ.
මේ ලිපි මාලාව ඔළුව ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ යන්න පෙන්වාදීමෙන් පමණක් නවතින්නේ නැත. එය වැඩි දියුණු කර ගැනීමට මං ද මින් සැපයේ. වයසට යාම අභියෝගයට ලක් කිරීම, ඔබේ ස්මරණ ශක්තිය වර්ධනය කර ගැනීම, සහ ඔබේ සිහින යාවත්කාලීන කිරීම පිණිස මොළයේ බලය යොදා ගන්නේ කෙසේදැයි සොයා ගැනීමට ද ලිපි මාලාව මග පාදයි. තවද වඩාත් සතුටින් සිටීමට, ඖෂධ හෝ මත්ද්‍රව්‍යවල පිහිට නැතුව මනෝ ලෝකයට පිවිසීමට මං ද මින් ඔබට සොයා ගත හැකිය. ‘මගේ මොළය විවෘතයි‘ යනුවෙන් විසිවැනි සියවසේ මහා ගණිතමය මොළකරු පෝල් එර්ඩොස්(Paul Erdös) කියයි. එන්න, ලිපි පෙළ දිගටම කියවා ඔබේ මොළය විවෘත කරගන්න.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018) නම් ග්‍රන්ථයේ ප්‍රථම පරිච්ඡේදය වන MEET YOUR BRAIN ඇසුරෙනි