ඔබේ මොළය හඳුනාගන්න: අපගේ ධුසර පදාර්ථ පිළිබඳ ඉතිහාසය කෙටියෙන්

Posted by

මේ මහා පොළොව මත අප වඩාත්ම බුද්ධිමත් සත්වයන් බවට පත්වූයේ කෙලෙසද? අපගේ විශේෂයේ (species) ඉතිහාසය ගැන ආපසු හැරී බලද්දී, සරල වානරයන්ගේ සිට සිතන්නට හැකි මනුෂ්‍යයන් බවට පත්වීමේ චාරිකාව විස්තරාත්මකව ගලපා ගත හැකිය. තවද, අප මුලින්ම අපේ සිතුවිලි හැඩ ගැස්වීමට පටන් ගත් සැටි, අපගේ දෘෂ්ටිමය පරිකල්පනය පුබුදුවන්නට පටන් ගත් හැටි, අතීතය සහ අනාගතය ගැන අප මුලින්ම සිතන්නට පටන් ගත් කාලය සහ අප මුලින්ම අපේ සිත් රවටා ගන්නට පටන් ගත් සැටි වැනි පැහැදිලිව කැපී පෙනෙන මානව හැකියාවන්ගේ සම්භවය සොයා බලා තහවුරු කර ගැනීමට ද අපට හැකිය.

 

මානවයන්ටම සුවිශේෂී වූ,  අපගේ අතිවිශේෂ සංජානන හැකියාවන් අපට ලැබුණේ කෙසේද යන්න පැහැදිලි කිරීම පිණිස ජනයා බොහෝ කාලයක් තිස්සේ රහස් වට්ටෝරු සෙවූහ. මේ සම්බන්ධයෙන් මෑතක දී අවධානය යොමුවුණේ (මොළයෙහි) ප්‍රමාණය ගැනය. මෙහි දී අදහස වුණේ මොළය ප්‍රමාණයෙන් විශාලවීම තමයි එම සුවිශේෂී සංජානන  හැකියාවන්ට මුල යන්නයි. කෙසේ වෙතත් එවන් රහස් වට්ටෝරු නැති බව පැහැදිලිය. ඒ වෙනුවට, අපගේ මේ සුවිශේෂී හැකියාව හට ගන්නට ඇත්තේ මොළයේ විවිධ ප්‍රදේශ නැතිනම් කලාප යළි සංවිධානය කර ගැනීම සහ එම කලාප ප්‍රසාරණයවීම, වර්ධනයවීම මගින් විය හැකියි.

සිතීම සඳහා මෙවලම්

අනෙකුත් වානර පරම්පරාවන් අතරේ සිදුවූ දේවල් වලින් ඔබ්බට ගොස්  අපේ ආදිතමයන්ගේ පරම්පරාවේ පරිණාමය වේගවත් කෙරුණේ කුමකින්ද?  තවද මෙය නව චින්තන පරම්පරාවකට තුඩු දුන්නේ කෙසේද? දෙපයින් ඇවිදගෙන යාම හැරුණුකොට අපේ ආදිතමයන් පැහැදිලිවම වානර ආකාරම විය. එමෙන්ම චිම්පන්සින් ඇතුළු අනෙකුත් ප්‍රිමාටේස් සතුන්ට තිබෙන්නට ඇත්තේ (ගෙඩි, ඇට තළා ගැනීම පිණිස පොළවෙන් ගල් අහුලා ගැනීමේ හැකියාව  වැනි) ආයුධ/මෙවලම් භාවිතා කිරීමේ සීමිත හැකියාවක් විය හැකියි. එහෙත් අද කෙන්යාව වශයෙන් හැඳින්වෙන ප්‍රදේශයේදී,  මෙයට වසර මිලියන 3.3කට පෙර මේ දේවල් වෙනස්වන්නට විය. තමන් අවට දැකගත හැකි වූ ස්වභාවය (ස්වභාවධර්මය) තිබෙන ආකාරයෙන්ම උපයෝගී කර ගන්නවා වෙනුවට හොමිනින්වරු(homonins) ස්වභාවය වෙනස් කිරීමට හැඩ ගැසීම පටන් ගන්නේ එක් ගලක් අමෝරා ගෙන,  තවත් ගලක කොණ කඩා හැර ගනිමින්  එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් ගලෙහි තියුණු මුවහත් අග්‍රය මස් කැපීමට යොදාගනිමිනි.

එක් ආයුධයක් යොදා ගනිමින් තවත් වඩාත් ප්‍රයෝජනවත් මෙවලමක් තැනීමට අදහස් කිරීම සංකල්පමය වශයෙන් ඉදිරි පිම්මක් විය. එසේ වුවද, එම ආයුධය සෑදීම පිණිස දක්වන ලද සුහුරුකම සහ චාලක පාලනය(dexterity and motor control) අනෙකුත් වානරයන් අතරේ නොතිබුණේය යන කාරණාවද ඒ හා සමානව වැදගත් කමක් උසුළයි. මේ හැකියාවන් අතරට දෑතේ සමායෝජනය හැකියාව ඒ කියන්නේ එක් අතකින් එක් දෙයක් කපද්දී අනෙක් අතින් තව දෙයක්කිරීමේ හැකියාවද ඇතුළත්ය. මෙය චිම්පන්සීන් විසින් ප්‍රගුණ කරනු ලැබීමට අසාර්ථකව උත්සාහ දරණ චලිතයකි. එහෙත් එවන් පිබිදීමක් තිබිය දී පවා ඇපේ මුතුන් මිත්තන් ඉදිරියට ඇදුනේ මන්දගාමීවය.

ඉන් වසර මිලියනයකට පමණ පසුව, හොමෝ ඉරෙක්ටස් එනතුරු ප්‍රගතියෙක් ඇති නොවීය. හේතු ගණනාවක් නිසාම හෝමෝ ඉරෙක්ටස් වැදගත් කමක් උසුලයි. පුළුල ලෙස ගත් කළ වර්තමාන මානවයන්ට තිබෙන ශරීරයට සමාන ශරීර තිබීම පමණක් නොව ඔවුන් ජීවත් වූයේ ඔවුන්ට පෙර සිටි අයට වඩා, වඩාත් විශාල සමාජ කණ්ඩායම් වශයෙනි. සාර්ථක ප්‍රජා ජීවිතයක් ගතකිරීමට නම් සහයෝගිතාව මෙන්ම, තමන් කිසිවක් කැපනොකර තමන්ට යමක් බලාපොරොත්තුව බොරුකාරයින් හඳුනාගැනීමට හා දඬුවම් කිරීමට හැකියාවද අවශ්‍ය වේ. එවැනි අභියෝග මගින්,  ලැජ්ජාව හා ව්‍යාකූල බව වැනි  සංකීර්ණ චිත්තවේග හෙවත් හැඟීම් උත්තේජනය කරණු ලබන්නට ඇත. එය එකම අදහසටක ක්‍රියා කිරීමේ චින්තනයකට හෙවත් අනුගාමීවන්නට මග පාදන්නට ඇත. එහෙත් හෝමෝ ඉරෙක්ටස් විශේෂයෙහි චින්තනයේ කැපී පෙනෙන ලක්ෂණය ඇත්තටම සටහන් වන්නේ  ඇකියුලියන් අත් පොරව (Acheulean hand axe) යනුවෙන් හඳුන්වනු ලැබූ තවත් මෙවලමක සම්භවය තුළය. මෙයට වසර මිලියන 1.5කට පමණ පෙර  මෙවැන්නක් නිර්මාණය සඳහා ගත් ඒ ප්‍රථම ප්‍රයත්නය බොහෝ දුරට දළ ස්වරූපයක් ගත්තේය. එහෙත් ඊළඟ වසර මිලියනය තුළ ඒවා වඩාත් තුනී බවක්,  වඩාත් සමමිතික හැඩයක් ගත්තේ වඩාත් ක්‍රමානුකූලව වැඩ කිරීමට මග පාදමිනි.

මේ අන්දමින් යම් අරමුණක් කරා යාම  කුඩා ක්‍රියාකාරකම් මාලාවක් ලෙස පෙළ ගැස්වීම ධූරාවලිගත චින්තනයේ(hierarchical thinking) පටන් ගැන්ම දක්වයි. ක්‍රියාකාරකම් කුඩා කැබලිවලට කැඩීම හා ඒවා පෙළ ගැස්වීම අද අප වැඩකරන ආකාරයට කෙතරම් අත්‍යවශ්‍යද, කෙතරම් කේන්ද්‍රීයද   කියතහොත් එය හැර වෙනත් ක්‍රමයක් ගැන සිතීම පවා උගහටය. තේ කෝප්පයක් පිළියෙළ කිරීම වැනි සුළු කටයුත්තක් පවා අප සැලසුම් කරන්නේ ඒ ආකාරයට නොවේද? එහෙත් ඇකියුලියන් අත්පොරොවේ පසුකාලීන වඩා දියුණු කරන ලද නව අවස්ථාව තුළ,  මෙකී වඩාත් සංකීර්ණ ආකාර කෙරෙහි අපේ මුතුන් මිත්තන් සිත් වර්ධනය කර ගැනීමේ හැකියාව අපට දැකගත හැකියි.

ධූරවලීගත චින්තනය මානව සංජානනයේ තවත් වැදගත් අදියරක් හා සම්බන්ධයි:භාෂාව.  එය,  විවිධ වූ බොහෝ සිතුවිලි ක්‍රියාදාමයන් මත රඳා පවතින කොපමණ නම් සංකීර්ණ පද්ධතියක්ද කීවොත් එහි සම්භවයන් පරිණාමයේ විශාලතම අභිරහස ලෙස ද දක්වා ඇත. ඒත් ඇතැම් සාක්ෂිවලින් දැක්වෙන්නේ භාෂා හැකියාව වර්ධනය කර ගැනීමේදී මෙවලම් හැසිරවීමේ හැකියාව උත්ප්‍රේරකයක් වන්නට ඇති බවයි. සුවිචාරන වචන ප්‍රකාශ කිරීම() පිණිස තොල්වල හා දිවෙහි යථාතථ්‍ය චලනය අවශ්‍යවේ. එහෙත් මේවා සිදු කිරීමට චිම්පන්සීන් හා අනෙකුත් ප්‍රිමාවේස් සතුන්ට උගහට නමුත් අපේ මුතුන් මිත්තන්ගේ ආයුධ  තැනීමේ හැකියාව මොළයේ චාලක පාලනයට අදාළ ප්‍රදේශ වර්ධනයට මගපෑදීය. එම ප්‍රදේශ කථනය සඳහාද පසුව අනුයුක්ත කෙරිණ. තවද, පෙර කී අත් පොරව තැනීම සඳහා යොදාගනු ලැබූ අනුක්‍රමිකව සිතීමේ හැකියාව අද අප වාක්‍ය තේරුම් ගැනීම සහ ගොඩනැගීම සඳහා යොදා ගන්නා චින්තනයට සමානය.

 

ලිපියේ ඉතිරි කොටස ලබන බ්‍රහස්පතින්දා කියවමු.    

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ  ප්‍රථම පරිච්ඡේදය වන  A BRIEF HISTORY OF YOUR GREY MATTER ඇසුරෙනි

    

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.