පසුගිය වසර 800,000 තරම්වත් කාලයක නොතිබූ තරමට කාබන් ඩයොක්සයිඩ්(CO2) අපේ වායුගෝලයේ දැන් ඇත.
හවායි හී, මෞනා ලෝවා නිරීක්ෂණාගාරයේ ජාතික සාගර සහ වායුගෝලීය පර්පිපාලනය() මගින් සිදුකරණ ලද මැනුම් අනුව මැයි 11 සෙනසුරාදා හරිතාගාර වායු ppm415ක් ( parts per million = මිලියනකට කොටස්) මට්ටමට පැමිණියේය. මෙම නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම් මැන බලන්නේ 1958 සිටය. එහෙත්, අයිස් කඳන්(ice core) තුළ හිරවූ පුරාතන වා බුබුළු පරීක්ෂාවෙන් සිදුකෙරුණාවූ වැනි වෙනස් ආකාරයේ විශ්ලේෂණ පවතින හෙයින් වසර 800,000 දක්වා ආපස්සට දත්ත එම විද්‍යාඥයන් සතුව පවතී.
අයිස් සමවලදී, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම් පැවතියේ ppm 200ක පමණය. තවද අන්තර්ග්ලැසියර කාලවල – වර්තමානයේ අපේ ග්‍රහලෝකය පවතින්නේ අන්තර්ග්ලැසියර කාල ඡේදයකය — කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ppm 280 ක පැවති බව නාසා ආයතනය දක්වයි.
කෙසේවෙතත්, සෑම කතාවක මෙන්ම මේ කතාවේ ද දුෂ්ඨයන් ඇත: මනුෂ්‍යයෝ ෆොසිල ඉන්ධන දහනය කරති. එහි ප්‍රතිඵලයවන්නේ, දැනටමත් උණුසුම්වී ඇති අපේ ග්‍රහ ලෝකය තවත් උණුසුම් කරමින් තව තවත් කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු මුදා හැරීමයි. 19 වන සියවසේ සිට නැතිනම් පූර්ව-කාර්මික විප්ලව සමයේ සිට ගෝලීය උෂ්ණත්වයන් මේ වන විට ෆැරන්හයිට් අංශක 1.8කින්(සෙල්සියස් අංශක 1කින්) වැඩිවී ඇතැයි දේශගුණ විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය පැනලය මගින් පසුගිය වසරේ නිකුත් කළ විශේෂ වාර්තාවක දැක්වේ.
පිලඩෙල්පියාවේ, පෙන් සරසවියේ දේශගුණ විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන මයිකල් මෑන් පෙන්වා දෙන්නේ සෑම වසරකම වාතයේ ppm 3ක පමන තවත් කාබන් ඩයොක්සයිඩ් දැකිය හැකි බවයි. “ගණන් හදලා බලන්න. එතකොට කාරණාව පැහැදිලියි. දශකයකට මදක් වැඩි කාලයක් යනකොට අපි ppm 450 මට්ටම පන්නාවි” හෙතෙම සඳහන් කරයි.
(මෙහි) ප්‍රතිඵලයක් ලෙස ඇතිවන උණුසුම්වීම දැනටමත් පෘථිවිය තුළ විපර්යාසයන් ඇතිකිරීමට සමත් වී ඇත: ග්ලැසියර හැකිළීම, කොරල්පර හානිය, තාප තරංග සහ කුණාටු තීව්‍ර කිරීම එම ප්‍රතිඵල අතර වේ. තවද, ppm 450 මට්ටමට වැඩි කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ”අපගේ මේ ග්‍රහ ලෝකය, ආපසු හැරවිය නොහැකි, අන්තරයාදායක දේශගුණ විපර්යාසයන් තුළ හිරකර තබනු ඇති” යනුවෙන් මෑන් අනතුරු හඟවයි.
“CO2 මට්ටම් අඩුතරමින් ඊළඟ දශකය වන තුරුවත් දිගටම වර්ධනය වේවි. බාගවිට ඊටත් වැඩි කාලායක් වෙන්නත් පුළුවන්. මොකද මේ සම්බන්ධයෙන් ලොවපුරා ප්‍රමාණවත් අයුරින් ක්‍රියා කර නැහැනේ?” යනුවෙන් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ වායුගෝලීය විද්‍යා මහාචාර්ය ඩොනල්ඩ් වූබල්ස් පවසන අතර “දිඟු කාලීන වැඩිවීමට හේතුව මානව මූලික විමෝචන, විශේෂයෙන්ම ෆොසිල ඉන්ධන විමෝචන” බව පෙන්වාදෙයි.
කෙසේවෙතත්, වසර පුරා උස් පහත් වන කාබන් ඩයොක්සයිඩ් ශාක සිය ආශ්වාස රටාව වෙනස් කරද්දී වාර්ෂික කූටය කරා දැන් පැමින ඇති බව දක්වන වූබල්ස් වාර්ෂික සාමාන්‍ය අගය ppm 410 සිට 412 වීමට වඩා ඉඩකඩ ඇති බව සඳහන් කරයි. “මේකත් බොහොම ඉහල අගයක්” ඔහු කියයි.
“අන්තිම වතාවට වායුගෝලිය කාබන් ඩයොක්සයිඩ් මේ තරම් ඉහළ මට්ටමකට පැමිණියේ හෝමෝ සේපියන්වරු මිහිතලයේ පය ගසන්නට බොහෝ කාලයකට පෙරයි; අන්ටාක්ටික් අයිස් තලාව බෙහෙවින් කුඩාව පැවතුණි; මුහුදු මට්ටම් අද පවතිනවාට වඩා අඩි 65කින් ඉහලව තිබුණේ යයි ද මිචිගන් විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ධරණීයතා පාඨශාලාවේ පීඨාධිපති ජොනතන් ඕවපෙක් කියා සිටියි.
“ඉතින් ඉදිරි ශත වර්ෂ කිහිපය තුළ මුහුදු මට්ටම් ඉහළ යාම හා අයිස් තලා කුඩාවීම නොවැලක්විය හැක්කක්, ආපස්සට හැරවිය නොහැක්කක්” ඕවපෙක් අනතුරුහඟවයි, “ක්‍රියා කරන්නේ කොහොමදැයි හරිහැටි නොදැන පතොරම් පිරවූ පිස්තෝලයක් අතේ තියන් සෙල්ල්න් කරනවා වගේ වැඩක් මේක”.
Live Science හී පළවූ Carbon Dioxide Soars to Record-Breaking Levels Not Seen in at Least 800,000 years යන ලිපිය ඇසුරෙනි