ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අලුතෙන් සත්ව විශේෂයක් සොයා ගැනීමෙන් මේ ලෝකය තුළ නොමැකෙන නමක් තබන්නට ඔබට අදහසක් ඇත්නම් එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්න නියමතැන: ඔබේ නිවසේ සෝෆාව හෝ සැටිය යටයි එහෙම නැතිනම් ඔබේ ජනේලයේ දූවිලි පිරුණු පඩිය මතයි හොඳට පරීක්ෂා කර බලන්න. ඔබට පහසුවෙන්ම මෙතෙක් නොදැන සිටි, සොයා නොගෙන සිටි කෘමි විශේෂයක් සොයා ගැනීමට හැකිවේවි.
සෑම වසරකම විද්‍යාඥයන් විසින් අලුතෙන් විශේෂ 20,000ක් පමණ සොයා ගනු ලබනවා. ඔයින් බහුතරය අපෘෂ්ඨවංශිකයන්. එයිනුත් වැඩිකොටස ඒ කියන්නේ 10,000ක් පමණ කෘමීන්ය. අප ඔවුනට කැමැති වුණත් එහෙම නැතුව ඔවුන්ව පිළිකුල් කළත්, කෘමීන් තමයි සත්ව රාජධානියේ සාර්ථකත්වයේ සලකුණ. මෙතෙක් දැන සිටින සත්ව විශේෂ අතුරෙන් හතරෙන් එකක්ම කෘමීන්ය. මෙයට වෙනත් විධියකට කීවොත් පුදුම හිතේවි. කෘමීන් විශේෂ සංඛ්‍යාව මිලියනයක් විතර වෙන අතර තවත් මිලියන 4ක් 5ක් විතර සොයාගන්නත් තියෙනවා. සංසන්දනාත්මකව බලද්දී, මෙයට පරස්පරව පෘෂ්ඨවංශිකයන් ඇත්තේ විශේෂ 70,000ත් අඩුවෙන්. අපේ මේ ග්‍රහලෝකය මත ඕනෑම මොහොතක බැලුවොත් කෘමීන් ක්වින්ටිලියන( quintillion = ක්වින්ටිලියනක් කියන්නේ බිලියන බිලියනයකටයි) 10ක් තරම් සංඛ්‍යාවක් ජීවත් වන බව කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකයේ ජීවත්වන සෑම එක් පුද්ගලයෙකුටම කෘමීන් බිලියනකට වැඩියෙන් සිටිනවා කියන එකයි. කෘමීන් තමයි මුලින්ම ගොඩබිම ජයගන්නට සමත් වූ සතුන්, ඔවුන් ලොව සෑම මහාද්වීපයක් පුරාවට පැතිර ගොස් සිටිනවා. එපමණක් නොවෙයි, ඔවුන් නෂ්ටප්‍රාප්ත නොවන තරම්(extinction-proof). කෙටියෙන් කියතොත් ඔවුන් (කෘමීන්) තමයි මේ ලෝකයේ ඇවිදිමින් හෝ පියාඹමින් සැරිසැරූ වඩාත්ම සාර්ථක සත්ව වර්ගයය.
පාෂාණීභූත කුඩා වනාන්තරය
මේ ග්‍රහලෝකයෙන් මෙතෙක් සොයා ගනු ලැබූ පැරණි තම කෘමි ෆොසිල වසර මිලියන 410 ක් පැරණිය. ඔය කියන කාලයේ තමයි (මෙලොව පහළ වූ මුල්ම) ජීව විශේෂ ගොඩ බිම කරා ඇදෙන්නට පටන් ගත්තේ. මුලින්ම මේ ෆොසිල සොයා ගනු ලැබුවේ ස්කොට්ලන්තයේ රයිනි නම් ගම්මානයේ පිටිටනියක වැළලී තිබියදීයි. මෙය කැපී පෙනෙන තැන්පතුවක්. රයිනි චර්ට්ගල කියන්නේ එකක්(විශාල ෆොසිල එකතුවක්). වෙන වචනවලින් කියනවා නම් ඉතා සුවිශේෂී ආකාරයට සංරක්ෂිත ෆොසිල තැන්පතුවක්. මෙකී ෆොසිල සෑදී ඇත්තේ යමහල් මූලයකින් පැන නැගි උණු, ඛණිජවලින් පෝෂිත ජලය ගලා ආ විට එහි ගමන් මගෙහි වූ සියල්ල ක්ෂණිකව පාෂාණිභවනය වීමෙනුයි. චර්ට්ගල් ෆොසිල ජීවීන්ගෙන් පිරී ඉතිරී පවතිනවා. බොහොමයක් ඉතා කුඩා ශාක. එය, මුල්කාලයේ සන්ධිපාදිතයන්ගේ(arthropods) සත්ව උද්‍යානයකින් ද සමන්විතයි. සන්ධිපාදිකයො කියන්නේ කවචයන් අරක්නීඩාවන්(arachnids) මයිටාවන් සහ දුනුවල්ලන් වැනි තද පිටසැකිල්ලකින් යුත් සතුන්ටයි. එහෙත් 2004 දී අන්වීක්ෂයෙන් බලන පුරාජීව විද්‍යාඥයන්ට යම් දෙයක් දැනගන්න ලැබුණා. ඉතා හොඳින් රැකී තිබු මුඛ කොටස්. එවන් මුඛ කොටස් තිබිය හැකිවන්නේ කෘමීන්ටම විතර බව ඔවුනට වැටහුණා.
කෘමියෙකුගේ කීවාට ඕනෑම කෘමියෙකුගේ නොවෙයි. සොයා ගනු ලැබූ මුඛ කොටස් පුදුමහිතෙන තරමට නූතන පෙනුමකින් (මේ වනවිට දැකිය හැකි ලක්ෂණවලින්) සමන්විත වුණා. ඉන් තේරුම් යන්නේ රයින් චර්ට්ගල සෑදෙන අවස්ථාව වන විටත් කෘමීන් බොහෝම ඉහළ වර්ධනයක් ලබලා තිබුණා කියන එකයි. එය කෘමීන්ගේ ප්‍රභවය බොහෝ ඈතට යැවීමට සමත් වුණා.
කුමකින් ඒවා පරිණාමය වුණාද යන කාරණය ගැන කතා කරනවා නම් මුලින්ම හිතන්න තියෙන්නේ මිරියපෝඩාවන් ගැන තමයි(myriapods). මේ තමයි පත්තෑයෝ, හකරැල්ලෝ එහෙම අයත් කණ්ඩසම. ඔය තමයි කලින් හිතුව අන්දම.
remipede
දැන් නම් මේ සම්බන්ධයෙන් අවධානය යොමුවෙලා තියෙන්නේ රෙමිපීඩයන්(remipedes) ගැනයි. මොවුන් නම් වර්තමානයේ තනිකරම වෙරළබඩ ගුහාවල ජීවත්වන අන්ධ ජලචර කවචයන් පිරිසක්. ඔවුන්ගේ මොළයෙහි මෙන්ම ස්නායු පද්ධතියෙහි සහ ඔවුන්ගේ ප්‍රෝටීන බොහොමයක සමානකම් සියල්ල ගත් විට ඇස යොමුවන්නේ ආදි කාලීන පොදු පූර්වචයෙකු වෙතටයි. ඉන් හැඟෙන්නේ කෘමීන් පරිණාමය වුණේ මුහුදත් ගොඩබිමත් අතර ජලජමය මායිම් තුළ බවයි.
ගොඩබිම කරා ඇදී යාම
පෙර කී අදහස කෘමීන් සහ වෙනත් සන්ධිපාධිකයන් ගැන සිදුකරන ලද දැවැන්ත ජානමය අධ්‍යයනයකින් ද තහවුරු වෙනවා. එම අධ්‍යයන මගින් කෘමීන් තබන්නේ කවචයන් ගාවටය. ඔවුන්ගේ ආරම්භය වසර මිලියන 480කට පමණ පෙර යයි ද ඉන් සියුම්ව දැක්වේ.
ගොඩබිම ගණාවාස කිරීම දැඩි අභියෝගයක් වූයේය. විජලීකරණය(dehydration), ගුරුත්වයෙහි බලපෑම්, ආශ්වාස කිරිමට වාතය සහ දෛනිකව උෂ්ණත්වය හා සූර්යාලෝකය ආදිය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මුහුණ දීම ආදිය ඒ අභියෝගයන්ට ඇතුළත්. දැඩි පිටසැකිල්ල එහිදී යම් ආධාරයක් වන්නට ඇති නමුත් සැබෑ භෞමික කෘමීන් පරිණාමය වීම සඳහා වසර මිලියන ගණනාවක් ගත විය. අද සිටින වඩාත්ම ආදී විශේෂයක් වන පනින කෙඳිවල්ලන්ට (bristletails) ජීවත්වීම සඳහා අදටත් තෙත්පසක් අවශ්‍යෙවනවා. එහෙත් ගොඩබිම, මහඟු අවස්ථා ගණනාවක්ම සපයාදීමට සමත් විය. ගොඩබිමෙහි ආහාර සඳහා ඕනෑතරම් දේ තිබූ අතර මුහුදේදී තරම් විලෝපියන් ද නොවීය. කෘමීන්ගේ පරිණාමය නියමාකාරයට පටන් ගැනෙන්නේ වසර මිලියන 440කට පෙර විශේෂයන් විශාල සංඛ්‍යාවක් එකවර ඉස්මතු වීමත් සමගය. ඔන්න ඊළඟට ඇති වූ වර්ධනය ඔවුන්ට තවත් මට්ටමක් කරා ඔවුන්ව ගෙන යාමට සමත් වුණා. එනම් පියැඹීමයි. පොසිලගත පැරණිතම පියාපත වසර මිලියන 234ක් පමණක් පැරණි වුවද රයිනී සොයා ගනු ලැබූ මුඛ කොටස බොහෝ දුරට පියාඹන කෘමියෙකුගේ යයි කියන්න පුළුවන්. ඒ හන්දා අපට කියන්න පුළුවනි පියෑඹීම බොහෝ ආදී කාලයක සිට පරිණාමය වී තිබූ බව.
වසර මිලියන 200ක් තුළ, ටෙරසෝරයන්(pterosaurs =පියාසර කළ හැකි උරග වර්ගයට අයත් සතෙක්) ඉස්මතු වන තුරු අහසේ ආධිපත්‍යය පවත්වාගෙන ගියේ කෘමීන්ය. පියාපත් ඔවුනට ඉමහත් ගැම්මක් ලබා දුන්නේ, ඔවුනට ආහාර සහ සොයා ගැනීමට නව වාසස්ථානවල ගණාවාස පිහිටුවීමට විලෝපියන්ගෙන් බේරී සිටීමට සහ සිය ශරීර උෂ්ණත්වය පාලනය කිරිම පිණිස උපකාර වෙමිනුයි.
හෙට (ඉරිදා) මෙම ලිපියෙන් කෘමීන්ගේ ඊළඟ ප්‍රධාන පිම්ම ගැන කියවන්න.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE ARE THERE SO MANY TYPES OF CREEPY CRAWLY? පරිච්ඡේදය ආශ්‍රයෙනි.