අප කාගේත් ජීවිත කාලය තුළ අපගේ සිරුරේ වෙනත් ඕනෑම කොටසකට වඩා අපේ මොළ විපර්යාසයන්ට ලක්වේ. මේවා පුළුල් ලෙස අවධි පහකට බෙදිය හැකිය. ඒ එක් එක් අවධිය, අපේ හැකියාවන් සහ චර්යාවන් කෙරෙහි බොහෝ සේ බලපායි.
මොළයේ සැකැසුණු පරිපථ සහ පරිපථ යළි සැකැසීම: ගැටවර විය
ගැටවර වියේ අය ආත්මාර්ථකාමීය. කිසි දෙයක් ගණන් ගන්නේ නැත. තර්කානුකූල නොවේ. නිතරම ඇවිස්සෙන සුළුය. එහෙත් ගැටවර මොළය ඇතුළත ගාලඝෝට්ටිය සලකන විට ඉතින් ඒක පුදුමයට කාරණාවක්ද? ගැටවර වියේ සිටින විට අපගේ මොළය සම්පූර්ණයෙන් වැඩී තියෙන්න පුළුවනි. ඒත් පරිපථ සකස් කිරීමේ වැඩ තවම අහවර වී නැත. ගැටවර වියේ ගති ලක්ෂණ වනාහි දැඩි ක්‍රියාකාරීත්වයෙන් යුතු ලිංගික හෝමෝනවල ප්‍රතිඵලයන් ලෙස පැහැදිලිකර දීමට මනෝවිද්‍යාඥයෝ පුරුදුව සිටියහ. එසේ වුවද වඩාත් මෑතක සිදු කෙරුණු අනුරූපණමය අධ්‍යයන හෙළිකරන්නේ ගැටවරවියේ සහ වයස අවුරුදු විසි ගණන්වල මුල් කාලයේ ඇතිවන ව්‍යුහමය විපර්යාසයන් ගැටවර අවධියේ මෙම කාලබලකාරී කාලපරිච්ඡේදය විස්තර කිරීමට සමත්වන බවයි. ගැටවර විය මස්තිෂ්ක ලෝප හෙවත් කප්පාදු රැළි ගණනාවක් ගෙන එන්නේ වයසින් අවුරුදු විසිගණන්වල මුල් කාලය වන තුරු සෑම වසරකටම සියයට 1ක් පමණ ඔවුන්ගේ මොළවල ධුසර ද්‍රව්‍යය අහිමි කරමිණි.
ළමාවියේ ක්ෂණිකව ඇතිවන වර්ධන රැල්ලේදී වුවමණාවට වඩා නිපදවන ලදුව, භාවිතයට නොගත් සම්බන්ධක ඉහත කී කප්පාදුව මගින් හීන කර දමනු ලබයි. මෙය ආරම්භ වන්නේ වඩාත් මූලික සංවේදක හා චාලක ප්‍රදේශවලින්ය. මුලින් පරිණත වන්නේ මේවායි. ඉන් අනතුරුව භාෂා සහ අවකාශ අනුස්ථිතිය හෙවත් නැඹුරුවට අදාළ කලාප සහ අන්තිමට ඉහළ සැකසුම් සහ කාරක ක්‍රියාකාරිත්වයන්ට අදාළ කලාපයි. අවසානයට පරිණත වන්නේ ලලාට ඛණ්ඩිකාවේ ඉස්සරහින්ම වාගේ ඇති පෘෂ්ඨපාර්ශවීය පූර්ව ලලාට බාහිකයයි. ආවේගයන්, විනිශ්චයන් සහ තීරණ ගැනීම පාලනය අදාළ වන්නේ මෙම කොට්ඨාශයටයි. සාමාන්‍ය ගැටවරයකු විසින් ගනු ලබන ලබන එතරම් දක්ෂ නොමැති තීරණ මේ මගින් පැහැදිලි කර ගත හැකියි. මෙම කොට්ඨාශය, මුහුණ දී සටන් කිරීම හෝ හැරී පළායාම යන ප්‍රතිචාරයන්ට මගපාදන ඇමිග්ඩල(amygdala)යන කොටසින් එවනු ලබන ආවේග සම්පන්න තොරතුරු පාලනය සීමාකිරීම හා සැකසීම සම්බන්ධයෙන් ද ක්‍රියා කරයි. විශේෂයෙන් ගැටවර වියේ ඇතිවන හදිසි කෝප තේරුම් ගැනීමට මෙය උපකාරී විය හැකිය.
ධූසර ද්‍රව්‍යය මෙලෙස අහිමි වුවද මොළයට ශ්වේත ද්‍රව්‍යය හෙවත් සුදු පදාර්ථ එක්කාසු වේ. මෙම මේදමය පටකය නියුරෝන වටකරන්නේ විද්‍යුත් ආවේග වඩාත් වේගයෙන් හැසිරවීමට සහ පෙර කී කප්පාදු කිරීමේ ක්‍රියාදාමයෙන් ගැලවීගත් නියුරෝන සම්බන්ධක ස්ථාවර කිරීමට උදව් කරමිනි. මෙකී විපර්යාසයන් වාසි සහ අවාසි යන දෙකම ගෙන එයි. ජීවිතයේ මේ අවධිය එන විට මොළය තවමත් නොමේරු නම්‍යශීලී ගතියක් දක්වයි. එහෙයින් අපගේ මොළ ඒ අවධියේදීත් ස්පොන්ජියකට ජලය උරාගන්නා ආකාරයෙන් ඉගෙනීමට යෝග්‍යය. අනෙක් අතට ආවේග පාලනය නොමැතිකම, මත්ද්‍රව්‍යවලට හා මත්පැන්වලට, දුම්බීමට ඇබ්බැහිවීම, අවදානම් ආකාරයට ලිංගිකව හැසිරීම වැනි අවදානම්කාරී චර්යාවන්ට මෙය මග පෑදිය හැකිය.
අප මෙහි ධනාත්මක පැත්ත දෙසට හැරුණොත් ගැටවරයන් වැඩිහිටි භාවයට සහ ස්වාධීන බව කෙරෙහි වේගයෙන් යොමු වෙද්දී ඔවුන්ගේ මොළ යහපත් සැකසුම් යන්ත්‍ර ලෙස සකස් කර ගැනීමේ දළ හැකියාවද ඔවුහු ඉදිරියට රැගෙන යති. මේ කාලයෙන් වැඩිම ප්‍රයෝජනයක් ඔවුන් ලබාගන්නේ යෞවනයේ ජවය මුළුමනින්ම පාහේ ඉගෙනීමට හා නව අත්දැකීම් ලබා ගැනීමට යොදා ගැනීමෙනි. එහෙත් ඔවුන් එයට කැමැති වුණත් නැතත් ඔවුන්ගේ තීරණ ගැනීමේ පරිපථ තවමත් සෑදෙමින් පවතිද්දී ඔවුන්ගේ මොළ තවදුරටත් ආරක්ෂා කරගත යුතුව ඇත. ඔව්, අඩුතරමින් (බැහැරින් නොව) තමන්ගෙන්මවත් ආරක්ෂා කර ගත යුතුව ඇත.
කුස තුළ වැඩෙන කලලය සමග කතා කිරීමේ ප්‍රතිලාභ
භාෂා ඥානය අත්පත්කරගැනීම නැතිනම් ප්‍රතිග්‍රහණය ආරම්භ වන්නේ ප්‍රසූතියට කලින්ය. අලුතෙන් මෙලොවට බිහිවන දරුවාට විදේශීය භාෂාවක් වෙනුවට, සිය දේශජ භාෂාව අසන්නට ලැබෙන විට වඩාත් තදින් කිරි උරා බොයි. දරුවා ප්‍රසූත කිරීමට පෙර තුන් කල් ගැබිණි අවධි තුනෙන් තුන්වැනි අවධියේදී භ්‍රෑණයා (ගැබෙහි දරුවා) සමග කතා කිරීම, ඔබගේ කටහඬ (පසුකලෙක) හඳුනා ගැනීමට උපකාරි වෙයි. එසේ වුවද ගැබෙහි සිටින දරුවා, භාෂා කිහිපයකටම නිරාවරණය වීමෙන් අනාගත භාෂා කුසලතාවන් කෙරෙහි බලපෑමක් ඇති වේය යන්න ගැන ඍජු සාක්ෂි නොමැත. (දරුවා තුළ) භාෂාඥානය වර්ධනය වීමේදී වඩාත්ම වැදගත් සාධක වන්නේ ප්‍රසූතියෙන් පසුව මව දරුවාට කොපමණ කතාකරන්නේද යන්න මෙන්ම ඔවුන්ගේ වාක් කෝෂයෙහි සංකීර්ණතාව යන්න සහ ඒවා දරුවාගේ අවධානය කොපමණ හොඳින් ඇදගන්නේද යන්නය.
ගැබ තුල දී උගෙනුම
පූර්වප්‍රසව සමය අවසානයේ අත්දැකීම් සත්තකින්ම වැදගත්ය. එමෙන්ම සාමාන්‍ය පරිදි මොළය වර්ධනයට ද සමහරවිට අත්‍යවශ්‍යය. ගැබ්දැරීමේ විසිදෙවැනි සිට විසි හතරවැනි සති වලදී පරික්ෂණාත්මකව ඉගෙනීම අනාවරණය කර ගත හැක. මේ අවස්ථාවේ භ්‍රෑණයා ශබ්දයකට හෝ ස්පර්ශයකට ප්‍රතිචාර දක්වන නමුත් නැවත නැවතත් කළොත් එය නොසලකා හරින්නේ පරිචනය හෙවත් පුරුදුවීම යන සරල ආකාරයේ ස්මරණයෙනි. සති තිහේ පමණ සිට භ්‍රෑණයා වඩාත් සංකීර්ණ ආකාරයේ ස්මරණයක් වන තත්ත්වාරෝපණය උගෙනීමට හැකිය. එබීමක් සංඥා කරන ශබ්දයක් වැනි අභිමත උත්තේජනයක් යමක් සිදුවන්නට යන බවට සළකුණක් ලෙස ඉගෙණීම මින් අදහස් කෙරේ. යම් විශේෂිත සංගීත ඛණ්ඩයක්, මවගේ කටහඬ හෝ සුවඳ පිළිබඳ භ්‍රෑණයගේ ස්මරණයන් සෑදෙන්නට පටන් ගන්නේ තිස් දෙවැනි සතියේ පටන් බව සහ එය උපතින් පසුවද පවතින බව පෙණි ගොස් ඇත.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ YOUR BRAIN THROUGH THE AGES පරිච්ඡේදය ඇසුරෙනි