අප ගමන් බිමන් යන අන්දම වෙනස් කිරීමෙන් දේශගුණයට බලපෑම් ඇතිකරන විමෝචන අඩු කල හැකි බව නොදන්නා කෙනෙක් අද අප අතර නැති තරම්: වාහනයක් පදවාගෙන යනවාට වඩා පාපැදියකින් නැතිනම් පයින්ම ගමන් යන්න; ගුවනින් යනවාට වඩා රේල්ලුවෙන් යන්න හිතට ගන්න; මෝටර් රියක් භාවිත කරන්න ඕනෑම නම් විදුලි බලයෙන් ක්‍රියා කරන රියක් යොදා ගන්න. ඔහොම තමයි අපට උපදේශ ලැබෙන්නේ. ඒත් දැන් යුරෝපා සංගමයේ ආයතනයක් යෝජනා කර සිටින්නේ වඩාත් මතභේදාත්මක විසඳුමකි: දේශගුන විපර්යාසයන්ට තුඩු දෙන විමෝචන නතර කරන්න නම් ගමන් බිමන් අඩු කරන්න!
2011 සිට යුරෝපා සංගමයේ ස්තාවරය වූයේ ”සංචලනය පාලනය කිරිම හොඳ විකල්පයක් නොවෙයි” යන්නය. යුරෝපා සංගමයේ ජාතික විද්‍යා විද්වත් පර්ෂද නියෝජනය කරන යුරෝපීය විද්වත් පර්ෂද විද්‍යා උපදේශක සභාව(European Academies’ Science Advisory Council (EASAC) ප්‍රවාහනයෙන් සිදුවන විමෝචන ගැන වැදගත් වාර්තාවක් පසුගිය මාර්තු මාසයේ දී පල කළේය. යුරෝපා සංගමයේ ස්තාවරය ආපස්සට හැරවිය යුතු යයි වාර්තාව මගින් ප්‍රබල ඉල්ලිමක් කර තිබුණි.
අඩුම තරමින් මේ ගැන සංවාදය ආරම්භ කිරිමට දැන් කාලය එළඹ ඇත. එක්සත් රාජධානියේ වැඩියෙන්ම හරිතාගාර විමෝචන සිදුකරන මූලය ලෙස 2016 වසරේ දී ප්‍රවාහන අංශය බලශක්ති අංශය පරයමින් ඉදිරියට ආවේය. 2020 වනවිට යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් ද මේ සැතැපුම් කණුව කරා ළං වෙතැයි සිතිය හැක.
(ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන වෙනුවට) ඉතා සීග්‍රයෙන් විදුලි රිය වෙත මාරු වීම පවා පැරිස් දේශගුණ සම්මුතියේ ඉලක්ක සපුරා ගැනීම පිණිස ප්‍රමාණවත් නොවන බව එන්ට එන්ටම පැහැදිලි වෙයි. පූර්ව කාර්මික විප්ලව මට්ටම් වලට වඩා ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රෙඩ් අංශක 2 කට සීමා කිරීමට පැරිස් සම්මුතියෙන් යෝජනා විණ. “අපි හරි දේවල් ඔක්කෝම කරා වුනත් ඉලක්ක — විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන අංශයේ ඉලක්ක සපුරා ගැනීමට හැකියාවක් ඇතැයි පෙනෙන්නට නැහැ” යනුවෙන් යුරෝපීය විද්වත් පර්ෂද විද්‍යා උපදේශක සභාවේ හදිසි අවස්ථා අධ්‍යක්ෂ විලියම් ගිලට් පවසයි.
යුරෝපා සංගමයේ රටවල් ගතහොත් ප්‍රවාහන අංශයේ විමෝචනවලින් හතරෙන් තුනක්ම හට ගන්නේ මෝටර් රිය, බස්, සහ(භාණ්ඩප්‍රවාහනය කරන) බර වාහනවලිනි. මෙම අංශය විදුලි රිය භාවිතය දිරිගන්වන අතර ඒවායේ මිළ ද එන්ට එන්ටම අඩුවන නමුත් 2017 යුරෝපා සංගමයේ නව කාර් අළවියෙන් ඒවා හුදෙක් සියයට 1.5ක් පමනක් විය.
“බොහොම පැහැදිලි පණිවුඩයක් මෙතන තියෙනවා. අපි පැරිස් ඉලක්ක ගැන බරපතල ලෙස කල්පනා කරනවා නම් ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුම ද අඩුකර ගන්න ඕනෑ.” යයි එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හී දේශගුණ විපර්යාස පිළිබඳ ටින්ඩෝල් කේන්ද්‍රයේ කෙවින් ඇන්ඩර්සන් කියා සිටියි.
ඒත් ඉතින් එය සිදුකරන්නේ කෙලෙසද? වාහනවල යාම හවුලේ සිදුකිරීම් සඳහා ඇති (ජංගම දුරකතන) ‘ඇප්‘ උපකාරී වන බව පෙන්වාදෙන ඇන්ඩර්සන් කෙටි ගමන් සඳහා විදුලි යතුරු පැදි භාවිතයෙන් විශාල වෙනසක් ඇති කිරීමට සමත් වෙතැයි විශ්වාස කරයි.
හුදෙක් ප්‍රවාහනය මත බදු වර්ග පැනවීමම එතරම් ඵලදායී නොවන බව පෙන්වාදෙන ගිලට් විශ්වාස කරන අන්දමට අපට අවශ්‍යව ඇත්තේ ව්‍යාපාර සහ ආර්ථික වර්ධනයට හානි පමුණුවන්නේ නැති අදහස්ය . “විදුලි කාර් නිසාවෙන් ඇතිවන කාබන් පා සටහන අඩුකරගන්න පුළුවන් ඒවයේ බැටරි, ෆොසිල ඉන්ධන වැඩියෙන් දවමින් ආසියාකරයෙන් ගෙන්වනවාට වඩා යුරෝපයේ රටවලම තැනීමෙන්” ඔහු පෙන්වාදෙයි.
කාබන් වැය කිරිම සඳහා පෞද්ගලික සලාකයක් හෙවත් කෝටාවක් ලබාදීමත් සලකා බැලිය යුතු අදහසක් බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිසර විපර්යාස ආයතනයේ ටීනා ෆෝසෙට් පවසයි.
එක් එක් පුද්ගලයා සඳහා ගමනාගමනයේ දී වෙන වෙනම සීමා පැනවීම, ගැටලුව විසඳීම සඳහා සාධාරණතම ක්‍රමය විය හැකිය. මන්ද, වැඩියෙන්ම පොහොසත් අය තමයි වැඩියෙන්ම ගමන් බිමන් යමින් වැඩියෙන්ම විමෝචනවලට මගපාදන්නේ.
කෙසේවෙතත් දේශපාලකයන් මුහුණපාන අභියෝග නිසා, ගමනාගමනය සීමා කිරීමේ යෝජනා ඉක්මණින් ක්‍රියාවට නැංවේ යයි සිතීම අසීරුය. දේශගුණ විපර්යාසයන් සම්බ්න්ධයෙන් ක්‍රියා කරන්නැයි ඉල්ලමින් පසුගිය මාර්තු 16 දා පැරීසියේ දී පුද්ගලයන් දස දහස් ගනනකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්විණ. එහෙත් ඒ සති අන්තයේ ජාතික මාධ්‍යවල වැඩි ප්‍රවෘත්ති ආවරනය හිමිවූයේ, කාබන් විමෝචන අඩු කිරිමේ අරමුණින් ප්‍රංශ රජය ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව මාස ගණන් පවතින විරෝධතාවයටය.
New Scientist (International edition, March30th, 2019) හි පළවූ We must travel less to stop climate change යන ලිපිය ඇසුරෙනි