විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණුව සඳහා හොඳ ගුරුවරු අවශ්‍යයි

Posted by

කාල් සේගන් කිව් කතාවකින් ලිපිය අරඹමු. “සෑම ශිෂ්‍යෙයකුම ආරම්භය සපයාගන්නේ ස්වභාවිකව උපත ලැබු විද්‍යාඥයෙකු හැටියටයි”. ඔහු කීවා හරියයි ඔබ කුඩා දරුවෙකු සමග මද වේලාවක් ගතකරද්දී ඔබටම වැටහී යයි. එහෙත් ඉහළ පන්තිවල සාමාන්‍ය ශිෂ්‍යයන් අතුරෙන් එකෙකු සමග ටික වේලාවක් ගෙවන විට ඔබටම වැටහේවි සේගන් ඊළඟට කිව් දෙය හරියි කියලා: ” අපි ඊළඟට කරන්නේ  ඔහු  තුළින් අර විද්‍යාඥයා පන්නා දමන එකයි. විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ (කලින් තිබූ)  විමසිල්ල  සහ උනන්දුව එලෙසම තබාගෙන අසීරුවෙන් පද්ධතියෙන්  එළියට එන්නේ බොහොම ටික දෙනෙකුයි”. මේ තත්ත්වය වෙනස් කිරීමෙහිලා ගන්නා උත්සහයන්හිදී එන්ට එන්ටම වැඩියෙන් අවධානය යොමු වන්නේ ගුරුවරුන්, විශේෂයෙන්ම ඔවුන් පුහුණු කර ඇති ආකාරය සහ ඔවුන් ශිෂ්‍යයන් සමග අන්තර් ක්‍රියා කරන ආකාරය ගැනයි.

එක්සත් ජනපද ජාතික පර්යේෂණ සභාව (ජාපස) මගින් වර්ධනය කරගනු ලැබූ ඊළඟ පරපුරේ විද්‍යා ප්‍රමිතින්(Next Generation Science Standards)ශිෂ්‍යයන්ගේ විමසීමේ ස්වභාවය දිරිමත් කරන්නේ කෙසේද? ඔවුන්ගේ කුතුහලය සංසිඳවන්නේ කෙලෙසද? ඒවාගේම විද්‍යාත්මක සංකල්ප පිළිබඳ ඔවුන්ගේ වැටහීම ගැඹුරු තලයකට ගෙන යන්නේ කොහොමද? යන්න ගැන  මං සහ විධි දක්වා ඇත. මේ අතර, ගුරුවරුන් පුහුණු කිරීමේ නවතම ශිල්පක්‍රම තුළින් වැඩි අගයක් තබන්නේ ශික්ෂණ විද්‍යාව(pedagogy) සහ පන්තිකාමර භාවිතය, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය අධ්‍යාපනය (Science, Technology, Engineering and Mathematics – STEM. ලිපියෙහි මින් ඉදිරියට STEM වශයෙන් දැක්වෙන්නේ එයයි) වැඩිදියුණු කරන වෙනත් ක්‍රමයක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙනි. මේ ප්‍රවේශයන් දෙකම තමන්ගේම STEM අධ්‍යාපනය වර්ධනය  කර ගැනීමට උත්සාහ දරද්දී යොදා ගත හැකි මොඩල (ආකෘති) ලෙස අනෙක් රටවල් මගින් සලකුණු ලැබේ.

දැනට් පවතින උගැන්වීමේ ක්‍රම දිගුකාලයක් තිස්සේ පවතින්නේ හොඳින් තහවුරු කෙරුණු වාගලංකාරමත යයි කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන මහාචාර්ය ජොනතන් ඔස්බොන් පෙන්වා දෙයි. “බොහොමයක් ගුරුවරු දරන්නේ මං දන්නවා ඒත් නුඹලා දන්නේ නැහැ. ඉතින් මා මෙතැන ඉන්නේ එය නුඹලාට සංනිවේදනය කිරීමට සහ පැහැදිලි කිරීමටයයන ආකාරයේ මතයයක්. ඇත්තට්ම එය තමයි ප්‍රමුඛ මතය. ඉතින් ඒකෙ තිබෙන ගැටලුව තමයි ඒ මතය සාර්ථක නොවන බව අප දන්නා එක” මහාචාර්යවරයා වැඩිදුරටත් දක්වයි.

මේ මතවාදය සිසුන් විද්‍යා අධ්‍යාපනයෙන් ඈත් කර තබනවා පමණක් නොව සමාජයද පස්සට තල්ලු කරයි. 2013 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපද ජාතික විද්‍යා හා තාක්ෂණ කවුන්සිලයේ(US National Science and Technology Council) වාර්තාවක් පෙන්වා දෙන්නේ අපේ වර්තමාන අධ්‍යාපන මංපෙත්, ප්‍රමාණවත් තරම් විශාල එමෙන්ම හොඳින් පුහුණු කරන ලද විද්‍යා තාක්ෂණ ඉංජිනේරු සහ ගණිතමය ශ්‍රම බලකායක් ගොඩ නැගීම කරා  යොමු නොකෙරෙනබවයි. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත දැනුමක් (සාක්ෂරතාවක්) සහිත පොදු මහා ජනතාවක් බිහිකරීමට අපොහොසත් වීම ගැනද වාර්තාවෙන් අධ්‍යයන පද්ධතියට දෙස් පැවරේ.

මේ අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස  උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට අදහස් කරන සිසුන්ගෙන් අඩක්ම ද්විතීක අධ්‍යාපනය මගින් ඒ සඳහා  නිසියාකාරව සූදානම් කර්නි ලැබ නැතැයිද ඇමරිකානු පරීක්ෂණ කේන්ද්‍රය නම් අධ්‍යාපනික පරීක්ෂණ ආයතනයක වාර්තාවක් පෙන්වා දෙයි.

මේවා මෙසේ වෙද්දී, STEM උපාධිධාරීන් සඳහා ඉල්ලුම ඉහළ මට්ටමක පවතී. 2020 වන විට විද්‍යා පර්යේෂකයන් මිලියනයක් එකතු කිරීමට යුරෝපා කොමිසම 2011 දී ඉලක්කයක් නියම කරගත් අතර 2012 දී එවකට ජනාධිපති බරක් ඔබාමා 2025 මිලියනයක්   අලුතින් උපාධිධාරින් බිහිකිරීමේ ඉලක්කයක් නියම කළේය. මීට ප්‍රතිචාර වශයෙන් ද්විතීයික පාසල් බොහොමයක් සිය ගණිත හා විදයා අවශ්‍යතා වර්ධනය කරමින් තිබිණ. 1980 සිට පසුගිය වසර 20 තුළ ඇ.එ.ජ. උසස් පාසල්වල විද්‍යා සහ ගණිත අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූ ශිෂ්‍ය සංඛ්‍යාව 60%කින් ඉහළ ගියද එය හුදෙක් පද්ධතියට බරක් වූවා මිස අධ්‍යාපනය නංවාලීමට ඍජුවම බලපා නැත. ප්‍රතිඵලය වැඩිදියුණු කරගැනීමට නම් ගුරුවරයා කේන්ද්‍රීය ප්‍රවේශයක සිට සිසුන්ට, තමන්ටම සංකල්ප හැදෑරීමේ ක්‍රියාදාමයක යෙදීමට උපකාරී වන   ප්‍රවේශයක් ස්ථාපිත කිරීමට හැකිවන ලෙස පන්ති කාමරය තුළ වෙනසක් සිදු කළ යුතු යයි ලාභ නොලබන ප්‍රාරම්භන ආයතනයක් වන Next Gen Education විධායක අධ්යක්ෂ පීටර් මැක්ලරේන් පෙන්වා දෙයි. කලක් පාසලක සාමාන්‍ය විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකු වූ මැක්ලරේන් ඒ අවධියේ සිදුවූ සිදුවීමක් මෙසේ විස්තර කරයි.  “වායු ගැන පන්තියේ උගන්වන්න ගිය අවස්ථාවක මම සෙන්ට් කුප්ප්යකින් ටිකක් පන්තියේ විද්දා. පස්සේ මම ළමයින්ගෙන් ඇහුව ඔබලාට මොකක් හරි ගන්ධයක් දැනෙනවාද කියා. ළමයි බොහොම උනන්දුවකින් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒත් වායු අණුවලට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මං පහදල දෙන්න ගියා විතරයි ළමයින්ගේ උනන්දුව නැතිව ගියා”. අද ඔහු දක්වන්නේ මෙවන් අදහසක්. “මට ළමයින්ගෙන් අහන්න තිබුණේ සෙන්ට් සුවඳ පන්තිකාමරයේ කෙළවරටම යන්න හේතු වූයේ ඇයි කියලයි. ප්‍රශ්නය අහල සාකච්ඡාවක් ආරම්භ කරන්න තිබුණා”. එසේ කළේ නම් තමන්ගේ දැනුම භාවිත කරන්නත්.  විද්‍යාත්මක අදහස් වර්ධනය පිණිස පරිකල්පනය යොදාගන්නත් හැකිවන අන්දමට සිසුන් බලගැන්වෙන බව ඔහු පෙන්වා දෙයි. ඔහුට අනුව යමක් ගැන ඉගෙන ගැනීමට වඩා යමක් සොයා දැන ගැනීමයි වැදගත්.

ඊළඟ පරපුරේ විද්‍යා ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම වසර ගණනාවක් වැය වන රජයේ මූලිකත්වයෙන් ඉටු කෙරෙන ප්‍රයත්නයකි. එය, එක්සත් රාජධානිය ෆින්ලන්තය හා ජපානය ඇතුළුව රටවල් 10ක ප්‍රමිතීන්ද අර්ධ වශයෙන් පදනම් කරගත් ව්‍යාපෘතියකි. ඒ අතරම මෙම රටවලින්ම කිහිපයක් STEM අධ්‍යාපනය වැඩිදියුණු කරගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මොඩලයක් හැටියට එක්සත් ජනපදය වෙත යොමුවෙයි. මැඩචුසෙට් හි ටෆ්ට්ස් විශ්වවිදයාලයේ ඉංජිනේරු අධ්‍යාපනය සහ සමාජ කැපවීම සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙරිඩිත් පෝට්ස්මෝර් පවසන අන්දමට ලොව පුරා අධ්‍යාපනඥයන් විසින් එක්සත් ජනපද ප්‍රවේශය ගැන විමසීම් කරනු ලැබ ඇත. නිර්මාණශීලීත්වය නොමැතිකමින් STEM අධ්‍යාපනය ගැන ශිෂ්‍ය උනන්දුව හීනවී යද්දී  ඒ අයටත් අප මුහුණපාන ප්‍රශ්න කිහිපයක්ම දැනෙනවා ඇති” යයි  පෝට්ස්මෝර් කියයි. වැඩි වැඩියෙන් නිර්මාණශීලී නවෝත්පාදක විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් බිහිකිරීමේ මඟක් ලෙස ඊළඟ පරපුරේ විද්‍යා ප්‍රමිතිවල දක්වා ඇති අන්දමේ සමෝධානික ඉගෙනුම අධ්‍යාපනඥයෝ අනුදකිති. කෙසේ වෙතත් සමහරක් සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම පහසු නැත. සමහර පාසල් පද්ධති ගොඩ නැගී ඇත්තේ දැඩි ප්‍රමිතීන් යටතේය. නැතිනම් පන්තියක සංඛ්‍යාව විශාලය. මේ ආදී හේතු නිසා සිසුනට අවශ්‍ය වන මාදිලියේ අවධාරික නැතිනම් කේන්ද්‍රගත පෞද්ගලික නැඹුරුවකින් යුතු මගපෙන්වීමක් සැපයීමට ගුරුවරුන්ට අපහසුය. විද්‍යා ප්‍රමිතීන් වෙනුවෙන්, ජාතික පර්යේෂණ කවුන්සිලය, ජාතික විද්‍යා ගුරු සංගමය, සහ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය වැනි විශාල සංවිධානවල සහයෝගය ලැබෙන අතර කුඩා ආයතන ද උත්සාහ දරයි. පන්ති කාමරයේ විද්‍යාව උගන්වන ආකාරය වෙනස් කිරීම සඳහා නිව්ජර්සි, ප්‍රන්ස්ටන්හි වුඩ්රෝ විල්සන් ජාතික සහයෝගීත්ව පදනම එවැන්නකි. එම පදනම 2008 වසරේ සිට ගුරු අධ්‍යාපනය යළි හැඩ ගැස්වීම පිණිස ඇ.එ.ජ. විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් වැඩ කරයි. ඉන්ඩියානාපොලිස් එවන් එක් සරසවියකි. එහි විශේෂ වැඩසටහනක අධ්‍යක්ෂිකා ඩෙබොරා සැච්ස් එක් ප්‍රාථමික ප්‍රශ්නයකට විසදුම් සෙවීම පිණිස විද්‍යා  මෙම සහයෝගීත්ව පදනම එකතු වී ක්‍රියා කරන බව පවසයි. සාර්ථකත්ව්ය අත්පත් කර ගැනීම  සඳහා ගුරුවරුන් කළ යුත්තේ කුමක්ද? වැටහී ගිය එක් කාරණයක් වූයේ සංකල්ප පැහැදිලි කිරීමට උත්සාහ දරා ඊළඟට ඒවා යොදවන ලෙස කීම — ඇතැම් විට ඊටත් වඩා අයහපත් කාරණයක්වන ඒවා වැමෑරීමට සැලැස්වීම — සාර්ථක වන්නක් නොවේ. සිසුන් සැබෑ ලෝකයේ අභියෝගවලට මුහුණදෙන අන්දම නිර්ණය කරමින් වැඩ කිරීමට හැකි ව්‍යාපෘති ගුරුවරුන්විසින්  සැලසුම් කරනු ලැබීම්න් සිසුනට සංකල්ප පැහැදිලි කර ගත හැකිවේ. පදනම 1960 ගණන්වල ජනප්‍රියව පැවත්  සැලසුම් චින්තනය පදනම් කරගනිමින් තමන්ගේම ගුරු අභ්‍යාස ඇකඩමියක් ආරම්භ කිරීමට ක්‍රියා කර ඇත. මෙම් චින්තනයේ නැතිනම් සංකල්පයේ හරය වන්නේ හුදු සෞන්දර්යම අරමුණු කරගන්නේ නැතිව සැලසුම් තර්කානුකූල හා ගැටලු නිරාකරණයට මග පාදන්නක් විය යුතුයි යන්නයි.

 Nature (Outlook) හී පලවූ  Better teachers are needed to improve Sience education යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.