ග්‍රන්ථ සාර සංග්‍රහය: 21 වැනි සියවසට පාඩම් 21ක් – සැකෙවින් කියවමු
කියැවීමේ පුරුද්ද අප අතරින් ඈත් වෙතැයි ඇතැමුන් සැක සංකා පළකරන අතරම අනෙක් අතට, කියැවීමට ඇති දේවල් නම් එහෙමට අඩුවක් පෙන්නුම් කරන්නේ නැහැ. පත්තර, සඟරා නම් කොපමණ ද? ග්‍රන්ථ පළකිරීමේ වැඩි වීමක් මිස අඩුවක් නම් දකින්නට නැහැ. අන්තර්ජාලයේ ආගමනයත් සමග කියැවීමට ඇති දේ සංඛ්‍යාවෙන් පමණක් නොව විවිධත්වයෙන් ද බොහෝ සේ වැඩිවෙලා. මේ අතරවාරයේ කියවන ප්‍රජාවගේ කතාව මොන වගේ ද? ඒ ගැන නිශ්චිත යමක් කිව නොහකි තරමට අදහස්, මත විවිධයි. වැඩිදෙනෙකු කියා සිටින්නේ ‘කියවන්න නම් ආසයි, ඒත් ඉතින් ඒකට වෙලාව හොයාගන්න එක තමයි ප්‍රශ්නය‘ කියලයි. තවත් සමහරුන් අවඥාවෙන් වගේ ප්‍රශ්න කරන්නේ ‘කියවන්න තරම් දේවල් අද තියනවා ද?’ යනුවෙනුයි. ‘වෙලාවත් තියනවා, ආශාවත් තියනවා, ඒත් කෝ පොතපත ගන්න සල්ලි?’ කියලා තවත් පිරිසක් අහනවා.
මේ සියල්ලන්ටම පාහේ සාධාරණ පිළියමක් හැටියට තමයි තතු අදින් පටන් ගෙන සෑම සිකුරාදාවකම “ග්‍රන්ථ සාර සංග්‍රහය” පළ කරන්න තීරණය කළේ. ලෝකයේ ප්‍රධාන පෙළේ කතුවරුන්ගේ නවතම කෘතිවල අඩංගු කරුණු මෙහිදී පාඨකයනට සංක්ෂිප්තව ඉදිරිපත්කෙරෙනවා. ඉන් ලබන ඵලය ඔබව තවදුරටත් ඒ මග ඔස්සේ ඉදිරියට ගෙනයාමට රුකුලක් වෙතැයි අප විශ්වාස කරනවා. සෑම සිකුරාදවකම නොවැරදී කියවන්න තතු ‘ග්‍රන්ථ සාර සංග්‍රහය‘.
21 වැනි සියවසට පාඩම් 21ක් – සැකෙවින් කියවමු
21 වැනි සියවසට පාඩම් 21ක් – යුවාල් නෝආ හරාරි
21 Lessons for 21’st century by Yual Noa Harari
21 වැනි සියවසට පාඩම් 21ක් (21 Lessons for 21`st century) යන මැයෙන් ඉතිහාසඥයෙකු වූ ආචාර්ය යුවාල් නෝආ හරාරි විසින් 2018 දී පළ කළ පොත මෑතක දී ලෝක ප්‍රජාව අතර ඉමහත් අවධානයකට ලක් වූ පොතක්.
නිර්දය වෙනස් වීම් සමග අවිනිශ්චිත අනාගතයක් පිළිබිඹු කරන මෙවන් යුගයක ආණ්ඩු මෙන් ම තනි තනි පුද්ගලයන් ද 21 වැනි සියවසට බලපාන නොයෙකුත් තාක්ෂණික, දේශපාලනික හා සමාජයීය ප්‍රශ්න පිළිබඳ අවුල් වියවුල් වල පැටලී තියෙනවා. බිය ගන්වන සුලු ලෙස බුද්ධිමත් වන පරිගණක, ගෝලීයකරණය, වසංගතයක් වූ ව්‍යාජ ප්‍රවෘති (fake news) වැනි නූතන සංසිද්ධි ගැන අප ප්‍රතික්‍රියා දැක්විය යුත්තේ කෙසේ ද?
යුවාල් නොආ හරාරි මේ අපූරු යුගයේ ඇතිවෙන අමුතු තත්වයන් ට මුහුණ දීමට හැකි වන පාඩම් කිහිපයක් සිය පොතෙන් අපට කියා දෙනවා. ඉන් වැදගත් ම හයක් මේ කෙටි කියවීමේ ද සාකච්ඡා කර බලමු.
-
පරිගණක තාක්ෂණය අපේ මූල්‍ය, ආර්ථික හා දේශපාලනික ක්‍රම කඩා ඉහිරවයි.
ප්‍රකට දේශපාලන දර්ශන තුනක් විසි වෙනි සිය වස පුරාම ලෝකයේ ආධිපත්‍ය සඳහා සටන් කළා. ඒවා නම් කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය සහ ලිබරල් වාදයයි. ඒ අතරින් පැහැදිලි ජයග්‍රාහකයා වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් ව්‍යවසාය සහ පුද්ගල නිදහස උත්කර්ෂයට නංවන ලිබරල් වාදයයි. එහෙත් බටහිර ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය 21 වෙනි සියවසේ දී ඇතිවෙන නව තත්ත්වයන්ට ඔරොත්තු දේවි ද?
කෙසේ වෙතත් ඒ පැනයට සාධනීය පිළිතුරක් දීම පිණිස අවශ්‍ය කරන මග සලකුණු නම් එතරම් සුබ නැහැ – එ් අසුබ බවට වැඩියෙන් ම වග කිව යුත්තේ තොරතුරු තාක්ෂණයේ දැන් සිදුවන මහා විප්ලවයි.
තාර්කිකව බැලුවොත් 1990 දි පමණ සිට අන් කිසිම බලවේගයකටත් වඩා පරිගණක තාක්ෂණය විසින් අපේ ලෝකය පරිනාමණය(transform) කරනු ලැබ තියෙනවා. ඒ නිසා ඇති ව තිබෙන බලපෑම අතිශය දැවැන්තයි. එහෙත් මේ පරිවර්තනකාරී නව්‍යකරණය (innovation) නිසැක ලෙස වටහා ගැනීමට බොහෝ දේශපාලනඥයන් අසමත් වී තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ සාධනීය මෙහෙයවා ගැනීමක් සමාජය තුළ ඇති කිරීමට ඔවුන්ට ඇති හැකියාව ද ඉතා අල්පයි.
උදාහරණයකට ලෝකයේ මූල්‍ය ක්‍රමය අර ගනිමු. අපේ මූල්‍ය ක්‍රමය පරිගණක ජාල විසින් දැනටමත් කෙතරම් කුරිරු ලෙස දුරවබෝධ කරනු ලැබ තිබේ ද කිව හොත් එය ක්‍රියා කරන ආකාරය තේරුම් ගත හැක්කේ මුලු ලෝකයේ ම මනුෂ්‍යයන් අතරින් අතලොස්සකට පමණයි. 21වෙනි සියවස ඉදිරියට යාමත් සමග කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) වැඩි දියුණු වූ විට මූල්‍ය දත්ත වලින් කිසිදු අවබෝධයක් මනුෂ්‍යයන්ට ලබාගත නොහැකි මට්ටමකට මුහුණ දීමට අපට සිදු වේවි. මේ තත්ත්වය නිසා අපේ දේශපාලනික ක්‍රියාවලිය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ඇත්ත වශයෙන් ම සිත කලඹන සුලුයි. නිකමට හිතා බලන්න – අනාගත ආණ්ඩුවලට ඒවායේ අය වැය හෝ බදු ක්‍රමය ගැන අනුමැතිය ඇල්ගොරිතම (algorithm) ආඥාවකින් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වුන හොත් ඇති වන තත්ත්වය.
අවාසනාවකට මෙන් විසි එක් වැනි සිය වසේ බොහෝ දේශපාලනඥයින් ගේ න්‍යාය පත්‍ර තාක්ෂණය නිසා සිදුවන මේ විදාරණය(disruption) ආමන්ත්‍රණය කිරීමට මුල් තැනක් දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් 2016 ඇමෙරිකානු මැතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හිලරි ක්ලින්ටන් හෝ එන්න එන්න ම වැඩි වෙන වැඩ ස්වයංකාරීකරණය (automation) නිසා ඇතිවිය හැකි රැකියා අහෝසි වීම ගැන කිසිදු සාකච්ඡාවකට අවතීර්ණ වුණේ නැහැ. විදාරණීය තාක්ෂණය(disruptive technology) යන්තම් හෝ සාකච්ඡාවට ලක් වුණේ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් සම්බන්ධ අපවාදයේ දී පමණයි.
මේ කුරිරු නිශ්ශබ්දතාවයේ බැම්ම සම්ප්‍රදායික ආණ්ඩු කෙරෙහි තවදුරටත් විශ්වාසය නො තැබීමට බොහෝ ඡන්ද දායකයින් පොලඹවමින් තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය, ගෝලීයකරණය සහ යන්ත්‍ර ඉගනුම (Machine Learning)) රජයන නව නිර්භය ලෝකයක තමන් තවදුරටත් වැදගත් නොවනු ඇතැ’යි යන හැඟීම බටහිර ලෝකයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි රටවල ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන් අතර මුල් බැහැ ගෙන යනවා. තවත් ප්‍රමාද වීමට පෙර ‘ඒ නො වැදගත් වීමේ බිය’ තවමත් තමන් සතු මොන යම් දේශපාලන බලයක් හෝ වියරුවෙන් මෙන් පාවිච්චි කර පෙන්වීමට තරම් ඔවුන් බලාපොරොත්තු සුන් වූ මට්ටමකට පත් කර තිබෙනවා. ඔබ එකඟ නැද්ද? එහෙනම් 2016 ඇති වූ දේශපාලන භූමිකම්පාව දෙස නැවත බලන්න. එදා එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් (Brexit) සහ අමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය ගැනීම යන දෙකම ලෝකය සහ එයට අධිපති ලිබරල් දේශපාලන ක්‍රමය විසින් තමන් අතහැර දමනු ලැබ ඇතැ’යි යන බිය නිසා සාමාන්‍ය මිනිසුන් විසින් ඇති කරනු ලැබූ දේශපාලන අවුල් කිරීම් නොවෙයි ද?.
තමන්ගේ ශ්‍රමය ආර්ථික ප්‍රභූ පෙළැන්තිය විසින් සූරා කනු ඇතැ’යි විසි වෙනි සියවසේ විසූ සාමාන්‍ය කම්කරුවෝ බියට පත් වුණා. එහෙත් අද කාලයේ මහජනයා වඩාත් බිය වී ඇත්තේ කිසිසේත් ම ශ්‍රමය අවශ්‍ය නොවන ඉහළ-තාක්ෂණික ආර්ථිකයක සිය ශ්‍රමයට වටිනා කමක් නැති වීමෙන් බලාපොරොත්තු කඩවීමට ඇති ඉඩ කඩ පිළිබඳවයි.
-
ස්නායු විද්‍යා ක්ෂේත්‍රයේ නවතම සොයා ගැනීම් අපේ රැකියා අත්පත් කර ගැනීමට පරිගණක වලට ඇති පෙර නොවූ විරූ හැකියාව කදිමට පෙන්නුම් කරයි.
හැම ක්ෂේත්‍රයක ම පාහේ කටයුතු මේ විසි එක් වැනි සියවසේ දී රොබෝ විද්‍යාව(Robotics) සහ යන්ත්‍ර ඉගෙනුම මගින් සැලකිය යුතු පරිවර්තනයකට ලක් කරන බවට බොහෝ විශේෂඥයෝ එකඟ වෙනවා. එහෙත් මේ පරිවර්තනයේ ස්වරූපය කුමක් විය හැකිදැ’යි අපට තවම කල් තියා දැන ගැනීමට නොහැකියි. ඉදිරි විසි වසර තුළ බිලියන ගණනක මහජනතාවට තමන් තවදුරටත් ආර්ථික වශයෙන් සමාජයට වැදගත් නොවන බව හැඟේවි ද? නො එසේ නම් ස්වයංකාරීකරණය නිසා හැම දෙනාට ම නව පන්නයේ රැකියා වර්ග ඇති වී සෞභාග්‍ය උතුරා යයි ද?
සර්වසුබවාදීන් මෙහි දී හුවා දක්වන්නේ මේ තත්වය මීට පෙර දහනම වෙනි සිය වසේ කාර්මික විප්ලවය බිහි කළ නව යන්ත්‍ර සූත්‍ර නිසා දැවැන්ත රැකියා විරහිත භාවයක් ඇතිවෙන බවට තිබූ භීතියට සමාන වූ එකක් බවයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඒ කාර්මික විප්ලවය නිසා අවලංගු වී ගිය හැම රැකියාවක් වෙනුවෙන් ම තාක්ෂණය නව රැකියා අවස්ථා සම්පාදනය කළ බැවින් එය පදනමක් නැති භීතියක් වූ බවයි.
එහෙත් අවාසනාවකට මෙන් විසි එක් වැනි සිය වසේ දී නව තාක්ෂණය මිනිස් සේවා නියුක්තිය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑමට හැකි බව ඒත්තු යන හොඳ හේතුවක් තියෙනවා.
මනුෂ්‍යයන්ට ඥානික(cognitive) සහ ශාරීරික (Physical) යනුවෙන් හැකියා දෙවර්ගයක් තියෙනවා. මීට පෙර කාර්මික විප්ලවයේ දී මිනිසුන් ගේ අත්දැකීම වූයේ ශාරීරික හැකියා පිළිබඳ තරඟයක දී නම් නිසැකව මිනිස් බලය බෙහෙවින් ඉක්මවා යාමට යන්ත්‍ර සූත්‍ර වලට හැකි බවයි. එහෙත් මිනිසුන්ගේ ඥානික හැකියාව හා තරඟ කිරීමට පුළුවන් කමක් ඒ යන්ත්‍ර සූත්‍ර වලට තිබුණේ නැහැ. කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල යොදා ගත් කායික ශ්‍රමය එකල පවා යම් පමණකට යාන්ත්‍රික ස්වයංකාරීකරණය ට පරිවර්තනය වෙමින් තිබුණා. එහෙත් එ් හා සමගම හුදෙක් මනුෂ්‍ය ඥානික හැකියාව මගින් ම පමණක් ඉටු කළ හැකි අධ්‍යනය, විශ්ලේෂණය, සැලසුම් කිරීම සහ සංනිවේදනය වැනි ක්ෂේත්‍රවල නව මිනිස් රැකියා රැසක් ඇති වුණා.
එහෙත් මේ විසි එක් වැනි සිය වසේ දී එවැනි ඥානික හැකියා පදනම් වූ රැකියා සඳහා පවා තරඟ කිරීමට තරම් නූතන පරිගණක මෙවලම් හපන් වී තිබෙනවා.
ස්නායු විද්‍යාඥයන් විසින් මෑතක දී සොයා ගත් පරිදි අපේ බොහෝ තේරීම්, මනාප සහ ආවේග බොහෝ අය සිතන පරිදි අප සතුව ඇතැ’යි හැඟෙන ස්වච්ඡණ්දතාව (free will) වැනි මායාවී මනුෂ්‍ය චිත්ත සන්තානයක් තුළින් උද්ගත වන ඒවා නොවේ. ඒ වෙනුවට ඇත්ත වශයෙන් ම එවැනි මනුෂ්‍ය ඥානනයක් (human cognition) බිහි වන්නේ ම විවිධාකාර සම්භාවිතා(possibilities) එක් ක්ෂණයකින් ගණනය කර බැලීමට අපේ මොළයට ඇති අතිශයින් විස්මය ජනක හැකියාව නිසායි.
ස්නායු විද්‍යාඥයින්ගේ මේ නව පරිඥානය(insight) අපේ සිත් කළඹවන සුලු ප්‍රශ්නයක් මතු කරනවා. අවසානයේ දී නීතිය සහ බැංකු කටයුතු වැනි ‘මනුෂ්‍ය අන්තර්ඥානය’ (human intuition)අත්‍යවශ්‍ය වූ ක්ෂේත්‍ර වල නියැලි වෘත්තිකයන් පවා පරයා කටයුතු කිරීමට පරිගණිකගත කෘත්‍රිම බුද්ධියට හැකි වේවි ද? ඔව්! එය සිදුවීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. වරක් කිසි සේත් ම අවබෝධ කර ගත නොහැකියැ ’යි සිතූ ‘මනුෂ්‍ය අන්තර්ඥානය’ යනු වෙනත් කිසිවක් නොව අපට හුරු පුරුදු රටා හඳුනා ගනිමින් සහ අපට අභිමුඛ වන බහුවිධ සම්භාවිතා අතිශය වේගයකින් ගණනය කර බලන අපේ ම ස්නායු ජාලය බව පරිගණක විද්‍යාඥයෝ දැන් දන්නවා.
ඉතිං මේ විසි එක් වැනි සිය වසේ දී උසාවියක නඩුවක් තර්ක කරන නීතිඥයෙක් ඇත්තටම කරන්නේ රැවටීමක් ද නැද්ද යන්න දැන ගැනීමට හෝ කිසියම් ගනුදෙනු කරුවෙකුට ණයක් දිය යුතු ද නැද්ද වැනි බැංකු තීරණයක් හෝ ගැනීමට හෝ පරිගණකයකට හැකි වේවි. වෙනත් වචන වලින් කිව හොත් ඥානික වශයෙන් ඉතා තද අවධානයක් අවශ්‍ය කරන රැකියා පවා තව නුදුරු කලෙක දී පරිගණකමය ස්වයංකාරීකරණයෙන් ගැලවෙනු ඇතැ’යි සිතිය නොහැකියි.
-
දෙපැත්තකට බෙදී ඇති සංක්‍රමණිකයන් පිළිබඳ විවාදය යුරෝපීය සංගමය කඩා ඉහිරවීමට තර්ජනය කරයි.
ලෝකය මෙතරම් කුඩා යැයි මීට පෙර කිසි කලෙක හැඟී ගොස් නැහැ. අපේ මුතුන් මිත්තන් ට තුන් හිතකින් වත් හිතා ගත නොහැකි වු වෙනස් වීම් දැන් විසි එක්වැනි සියවස විසින් කැඳවනු ලැබ තිබෙනවා. උදාහරණයක් වශයෙන් ලෝකය පුරාම වෙසෙන මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් සංක්‍රමණිකයන් බවට පත් කිරීමට ගෝලීයකරණයට හැකි වී තිබෙනවා. අවාසනාවකට මෙන් එම හැකියාව ම ගැටීම් සඳහා ද නව අවස්ථා විවර කර දී තියෙනවා.
සුරක්ෂාව හා වඩා හොඳ රැකියා සොයමින් අන් රටවල ජනතාව අපේ දේශ සීමා තරණය කරන විට ඔවුන් පිටුවහල් කිරීමට, ඔවුන් හා අභිමුඛ වීමට හෝ ඔවුන් අනුගත නොහොත් සමාග්‍රහණය(assimilate) විය යුතුයැ’යි බල කිරීමට අපට ඇති හදිසිය අපේ දේශපාලනික දෘෂ්ටිවාද සහ ජාතික අනන්‍යතා බරපතළ ලෙස පරීක්ෂාවට ලක් කරනවා.
සංක්‍රමණිකයන් පිළිබඳ මේ අභියෝගය යුරෝපය සම්බන්ධයෙන් සුවිශේෂයෙන් අදාළ වෙනවා.
විසිවැනි සියවසේ දී යුරෝපීය සංගමය පිහිටුවීමේ ලා එක් අභිප්‍රායක් වූයේ ප්‍රංශය, ජර්මනිය සහ අනිකුත් යුරෝපීය ජාතීන් අතර තිබූ සංස්කෘතික වෙනස්කම් ජය ගැනීමයි. එහෙත් උත්ප්‍රාසය (irony) වන්නේ යුරෝපීය පුරවැසියන් සහ මැදපෙරදිගින්, අප්‍රිකාවෙන් පැමිණි සංක්‍රමණිකයන් අතර ඇති සංස්කෘතික වෙනස ප්‍රතියෝජනය (accommodate) කරගැනීමට අසමත් වීම නිසා ඒ සුපිරි දේශපාලන ව්‍යාපෘතිය කඩා වැටීමට ඇති හැකියාවයි.
උදාහරණයකට මැදපෙරදිග සිට විශාල වශයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් නිසා අනන්‍යතාවය සහ සහනශීලී රිස්සීම පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් යුරෝපීයයන් අතර අමිහිරි විවාදයක් ඇතිවී තිබෙනවා.
ආගන්තුක රටකට පැමිණෙන සංක්‍රමණිකයන් එම රටේ සංස්කෘතිය හා අනුගත වීමට නොහොත් සමාග්‍රහණය වීමට තැත් කළ යුතුයැ’යි පෘථුල පිළිගැනීමක් තිබුනත් මේ කියන සමාග්‍රහණය කොයි තරම් දුරකට කළ යුතු එකක් ද යන්න බෙහෙවින් විවාදයට තුඩු දෙන කාරණයක්. ඇතැම් යුරෝපීයයන් සහ දේශපාලන කණ්ඩායම් තර්ක කරණ ආකාරයට නව සංක්‍රමණිකයන් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් වල සිට ආහාර සම්බන්ධ තහංචි ද ඇතුළුව කලින් ඔවුන් සතුව පැවති සංස්කෘතික අනන්‍යතා සහමුලින්ම අතහැර දැමිය යුතුයි. මේ යුරෝපීයයන් කියන අන්දමට ගැඹුරු ලෙස පීතෘමූලික හා ආගම්වාදී වූ සංස්කෘති වලින් පැමිණෙන සංක්‍රමණිකයන් යුරෝපයේ ලිබරල් සමාජ ක්‍රමය තුළට සංක්‍රමණය වූ විට ඔවුන් යුරෝපීය සංස්කෘතියේ ඇති ස්ත්‍රීවාදී හා අනාගමික ප්‍රතිමාන අනුව හැඩ ගැසිය යුතුයි.
එයට ප්‍රතිපක්ෂව සංක්‍රමණ ලැදි යුරෝපීයයන් පෙන්වා දෙන අන්දමට අතිශයින් පුළුල් පරාසයක වටිනාකම් සහ ගති පැවතුම් වලින් යුත් විවිධාකාර ස්වදේශිකයන්ගෙන් යුරෝපය දැනටමත් සමන්විත යි. එ බැවින් බොහෝ යුරෝපීයයන් ට පවා ආගන්තුක කිසියම් වියුක්ත යුරෝපීය අනන්‍යතාවයකට අනුගත විය යුතුයැ’යි යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් ඉල්ලා සිටීම අසාධාරණයි. ක්‍රිස්තියානි බ්‍රිතාන්‍යයන් අතුරින් වැඩි කොටසක් පල්ලියට නොයන කල මුස්ලිම් සංක්‍රමණිකයන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත යුතුයැ’යි බලාපොරොත්තු වීම විහිළුවක් බවද ඔවුන් කියනවා. ෆිෂ් ඇන්ඩ් චිප් වෙනුවට බොහෝ බ්‍රිතාන්‍යයන් සති අන්තයේ ඉන්දියානු ආපන ශාලා වල ඉන්දියානු රස මසවුළු බුදින විට පන්ජාබ සංක්‍රමණිකයෙකු ඔවුන්ගේ ඉන්දියානු ව්‍යංජන වෙනුවට බ්‍රිතාන්‍යයන් ගේ ෆිෂ් ඇන්ඩ් චිප් ආහාරයට කැමති විය යුත්තේ මන්දැ’යි ඔවුන් ප්‍රශ්න කරනවා.
අවසානයේ දී සංක්‍රමණිකයන් සමාග්‍රහණය වීම පිළිබඳ ප්‍රශ්නය ගැන හරි පිළිතුරක් සොයා ගැනීම අසීරුයි. එනිසා මේ විවාදය සංක්‍රමණ විරෝධී ෆැසිස්ට්වාදීන් සහ සංස්කෘතික සිය දිවි නසා ගැනීමකට යුරෝපය යොමු කරතැ’යි චූදිත සංක්‍රමණ ලැදි අය අතර සිදුවන අභිමුඛ වීමක් ලෙස රාමු ගත කිරීම වැඩකට නැති දෙයක්. එ් වෙනුවට මේ දෘෂ්ටි කෝණ දෙකට ම යම් වලංගුතාවක් ඇති බැවින් සංක්‍රමණය පිළිබඳ ප්‍රශ්නය මීට වඩා සබුද්ධික ලෙස සාකච්ඡාවට ලක් කළ යුතුයි.
-
අප මුලා කරන උපක්‍රමික හැසිරවීම්වලට අල්කේඩා වැනි ත්‍රස්ත්‍ර කල්ලි හරි රුසියෝයි.
මේ 21වැනි සියවසේ ත්‍රස්ත්‍රවාදීන් තරම් වෙනත් කිසිවෙක් මනෝමය ක්‍රීඩා වලට දක්ෂ නැහැ. 2001 වසරේ 9/11 සිදුවීමෙන් පසු යුරෝපීය සංගමය තුළ වසරකට දළ වශයෙන් 50ස් දෙනෙක් වත් ත්‍රස්ත්‍රවාදීන් අතින් මරණයට පත් වෙනවා.
එහෙත් ඉහත කී සංඛ්‍යාව හා සැසඳූ විට ඒ කාලය තුළ රිය අනතුරු වලින් යුරෝපයේ 80,000කුත් අමෙරිකා එක්සත් ජනපදයේ 40,000කුත් මියගොස් තියෙනවා. මේ අනුව තාර්කිකව බැලුවොත් ත්‍රස්ත්‍රවාදයට වඩා මහා මාර්ග අපේ ජීවිත වලට බලවත් තර්ජනයක් එල්ල කරන බව පෙනෙනවා. ඉතින් රිය පදවනවාට වඩා බටහිර වැසියන් අතරින් බොහෝ දෙනෙක් ත්‍රස්ත්‍රවාදයට මේ තරම් බිය ඇයි?.
ත්‍රස්ත්‍රවාදය යනු බලාපොරොත්තු සුන් වූ දුර්වල කණ්ඩායම් විසින් යොදා ගන්නා උපාය මාර්ගික උපක්‍රමයක්. සතුරාට බරපතළ ද්‍රව්‍යමය විනාශයක් කිරීමට තරම් ත්‍රස්ත්‍රවාදීන් බලගතු නොවන බැවින් ත්‍රස්ත්‍රවාදීන් බලාපොරොත්තු වන්නේ සතුරාගේ හිත් තුල බිය ඇති කිරීමෙන් දේශපාලනික වෙනසක් ඇති කර ගැනීමයි. ත්‍රස්ත්‍රවාදීන් විසින් මරා දමනු ලැබ ඇත්තේ ඉතා අඩු මිනිසුන් සංඛ්‍යාවක් නමුත් ඔවුන්ගේ ව්‍යාපාරය අතිශයින් ක්‍රෑර ලෙස සඵලදායක වූ එකක් බව විසි එක්වැනි සියවස පෙන්වා දී තියෙනවා.
අල්කේඩා ත්‍රස්ත්‍රවාදීන්ගේ 9/11 ප්‍රහාරයෙන් ඇමරිකන් ජාතිකයන් 3000 කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වුනත් අමෙරිකාවේ මිලිටරි බලයට එයින් කිසිදු බලපෑමක් ඇති වුණේ නැහැ. අල්කේඩා ප්‍රහාරයෙන් පසුවත් ප්‍රහාරයට පෙර ඇමෙරිකාවට තිබූ යුධ භට, නැව් සහ යුද්ධ ටැංකි සංඛ්‍යාව ම තිබුණා. ඒ හැර රටේ සංනිවේදන පද්ධතියට, මහාමාර්ග හා දුම්රිය මාර්ග වලට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. එහෙත් තට්ටු ගණනින් උස වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් දෙබිඩි ගොඩනැගිල්ල ඇඟ කිලිපොළා ගෙන බිඳ වැටෙන ආකාරය ජනමාධ්‍යයෙන් පුන පුනා දක්වන විට ඇති වන සංත්‍රාසය ත්‍රස්ත්‍රයන්ට එරෙහිව ප්‍රමාණය ඉක්මවන ප්‍රතිප්‍රහාරයක් සඳහා මුලු ඇමෙරිකානු ජාතිය ම මානසික ව එක්සත් කළා. ත්‍රස්ත්‍රවාදීන්ට අවශ්‍ය තිබුණේ ද මැද පෙර දිග දේශපාලනික හා මිලිටරිමය කුණාටුවක් ඇති කිරීමටයි. එය ඔවුන් ඉටු කර ගත්තා. ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ජෝර්ජ් බුෂ් ත්‍රස්ත්‍රවාදයට එරෙහිව ඇෆ්ගනිස්ථාන යුද්ධ්‍ය දියත් කළා. එහි අනිසි ඵල විපාක අද පවා කලාපීය දේශපාලනයේ දක්නට පුළුවන්.
ඉතින් ඉතා සුලු මිලිටරි මෙවලම් කිහිපයකින් සමන්විත වූ මේ දුර්වල ත්‍රස්තවාදී කණ්ඩායමට ලෝකයේ බලගතු ම රට ඒ සා විසමානුපාතික(disproportional) හෙවත් ප්‍රමාණයට නො තරම් ප්‍රතිප්‍රහාරයක් සඳහා පොලඹවා ගැනීමට හැකි වුනේ කෙසේ ද?.
මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අල්-කේඩා වැනි ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම් සිදු කරන කටයුතු හරියට අර පිඟන් සාප්පුවකට කඩා වැදී රූං ගාමින් වේගයෙන් සැරිසරන නිල මැස්සා කළ දේ හා සමාන කළ යුතුයි. නිල මැස්සෙකුට පිඟන් සාප්පුවක ඇති පිඟන් බිඳ දැමීමට අවශ්‍ය වූ නමුත් පීරිසියක් වත් සොලවා ගැනීමට ශක්තියක් තිබුණේ නැහැ. එහෙත් නිල මැස්සාට කදිම අදහසක් පහළ වුනා. මේ සාප්පුවේ දැවැන්ත ගොනෙක් හිටියා. ගොනාගේ කණ අස්සට රිංගා රූං හඬින් මොර ගා කරදර කළොත් වියරු වැටී නිල මැස්සා මරා දැමීමට උත්සාහ කරන ගොනා අතින් පිඟන් ටික පොඩි පට්ටම් වී යන්නන්ට පුළුවන්. ඒ හා සමානව ඉස්ලාම් අන්තවාදී නිල මැස්සා ද ජය ගත්තා. අමෙරිකා එක්සත් ජනපදය නමැති ගොනා බියෙන් සහ කෝපයෙන් ඇලලී ගොස් මැද පෙර දිග නමැති පිඟන් සාප්පුව කුඩු පට්ටම් නළා. ඒ නිසා ඇති වූ මුග්ධ සංහාරයේ අනිටු ඵලයක් ලෙස මූලධර්මවාදීන් ට විරාජමාන වීමට හැකි වී තිබෙනවා.
ඉන් 21 වැනි සියවසට දෙන පාඩම නම් බලසම්පන්න ආණ්ඩු පමණට වඩා ප්‍රතික්‍රියා දක්වන විට ත්‍රස්ත්‍රවාදීන් ජය පැන් බොන බවයි.
ත්‍රස්ත්‍රවාදය සමග සටන් කිරීමට අවශ්‍ය නම් ත්‍රස්ත්‍රවාදීන් ට කළ හැකි කිසිම දෙයකින් වත් අප පරාජයට පත් නො කළ හැකි බව අප තරයේ වටහා ගත යුතුයි.
-
විසි එක් වැනි සියවසේ මනුෂ්‍යයන් අප හිතනවාට වඩා බෙහෙවින් අඥානයි.
සියවස් ගණනක් තිස්සේ ලිබරල් සමාජය සබුද්ධික ව කල්පනා කිරීමට සහ කටයුතු කිරීමට පුද්ගලයන්ට ඇති හැකියාව ගැන විශාල වශයෙන් විශ්වාසය තැබුවා. ඇත්ත වශයෙන් ම නූතන සමාජය සංවිධානය වී ඇත්තේ ම වැඩිහිටි මනුෂ්‍යයෙක් යනු සබුද්ධික නිදහස් පුද්ගලයෙකි යන විශ්වාසය පදනම් කර ගෙනයි. උදාහරණයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ද රට වෙනුවෙන් කළ යුතු කුමක්දැ’යි වඩා හොඳින් දන්නේ ඡන්දදායකයායි යන සංකල්පය මතයි. නිදහස් වෙළඳ පොළ මත පදනම් වූ අපේ ධනවාදී ක්‍රමය ද ගොඩනැගී ඇත්තේ ද ‘පාරිභෝගිකයා නිවැරදියි’ යන මතයේ පිහිටායි. අපේ ලිබරල් අධ්‍යාපන ක්‍රමය ද ශිෂ්‍යයන්ට කියන්නේ ස්වාධීන චින්තනයේ නිරත වනු යනුවෙනුයි.
එහෙත් සබුද්ධික ව කටයුතු කිරීමට අප සතු හැකියාව පිළිබඳ මේ තරම් විශාල විශ්වාසයක් තබා ගැනීම මේ විසිඑක් වැනි සිය වසේ සිදු විය හැකි බරපතළ වැරැද්දක්. එයට හේතුව අද ලෝකය වැඩ කරන්නේ කෙසේ දැයි තනි පුද්ගලයෙක් වශයෙන් හරියටම අවබෝධ කරගැනීමට තරම් නූතන මිනිසාගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසායි.
ගල් යුගයේ ජීවත් වූ මිනිස්සු සතෙක් දඩයම් කරන්නේ කෙසේ ද, සතෙකුගේ හමෙන් ඇඳුමක් තනා ගන්නේ කෙසේ ද සහ ගිනි මැලයක් ගසා ගන්නේ කෙලෙස ද වැනි දේවල් ඉතා හොඳින් දැන ගෙන හිටියා. එහෙත් නූතන මිනිසාගේ ස්වයංපූරිත(self-sufficient) බව ඊට වඩා බොහොම අඩුයි. ප්‍රශ්නය වෙන්නේ අපේ සියලු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂඥයන් මත යැපීමට අපට සිදු වුණත් ගල් යුගයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ට වඩා පුද්ගලයෙක් වශයෙන් මම බොහෝ දේවල් දන්නෙමි’යි යන වැරදි කල්පනාවක් අප ළඟ තිබීමයි.
උදාහරණයක් ලෙස ගත්තොත් ඔබ සිපර් (zipper) එකක් ක්‍රියාකරන ආකාරය දන්නේ දැයි එක පරීක්ෂණයක දී සහභාගි වූ අයගෙන් විමසුවා. සියලු දෙනා ම පාහේ ඔවුන් එය දන්නා බව ඉතා විශ්වාස දායක ලෙස පැවසුවත් සිපර් එක වැඩ කරන්නේ කෙසේදැ’යි සවිස්තරව පහදා දෙන ලෙස ඉල්ලූ විට මේ හුරුපුරුදු එදිනෙදා මෙවලම හරියටම ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න ගැන බොහෝ දෙනෙකු දැන ගෙන හිටියේ නැහැ.
ඉතිං විසි එක් වැනි සිය වසට මින් ලැබෙන පාඩම කුමක් ද? විද්‍යාඥයන් ඇතැම් විට “දැනුම් මායාව” (knowledge illusion) යන යෙදුම භාවිතා කරනවා. මේ දැනුම් මායාවේ ගොදුරක් බවට ට නූතන මිනිසා බොහෝ විට පත් වෙනවා. තමන් බොහෝ දේවල් දන්නා බව කෙනෙකු ඇත්ත වශයෙන් ම අදහන්නේ අන් අය සතුව ඇතැ’යි තමන් සිතන දැනුම ද තමන් ළඟ ද ඇති දැනුමක් ලෙස සැලකීමට අප බොහෝවිට පෙලඹෙන නිසයි. සිපර් එකක් වැඩ කරන අන්දම ඇත්තටම නො දන්නා අයෙකුට වූවද සිතෙන්නේ වෙනත් අය ඒ බව දන්නවා විය හැකි බැවින් තමන් ළඟ ද එම දැනුම තිබෙන බවයි.
දැනුම් මායාවේ ප්‍රතිඵලය වන්නේ ඡන්ද දායකයන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි පුද්ගලයන් ලෝකය ඇත්ත වශයෙන් ම කොයි තරම් සංකීර්ණ දෙයක්දැ’යි වටහා ගැනීමට අපොහොසත් වීම සහ එම සංකීර්ණත්වය පිළිබඳ දැනුවත් නොවීමයි.
ඒ නිසා කාලගුණ විද්‍යාව ගැන කිසිම දෙයක් නො දන්නා පුද්ගලයන් දේශගුණ විපර්යාසය පිළිබඳ ප්‍රතිපත්ති යෝජනා කරන අන්දමත් යුක්‍රේනය හා ඉරාකය පිහිටා තිබෙන තැන් ලෝක සිතියමක දැක්වීමට නොහැකි දේශපාලනඥයන් එම රටවල ගැටුම් විසඳීම පිණිස බලසම්පන්න යෝජනා ඉදිරිපත් කරන අන්දමත් අප බොහෝ විට දැක තියෙනවා.
ඉතින් ඊළඟ වතාවේ දී යම් කිසිවකු ඔබට ඔහුගේ මතය පවසන විට අදාල විෂයය ගැන ඔහුට ඇත්තේ කෙබඳු දැනුමක්දැ’යි ගැඹුරින් හාරා අවුස්සා බලන්න. එවිට ඔහුගේ නොදැනුවත්කම ගැන ඔබට පුදුම හිතේවි.
අපට ලෝකය තේරුම් ගත නොහැකි නම් හරි සහ වැරදි අතර ඇති වෙනස් කම් පැවසීමට අපට කෙසේ හැකි වේවිද?
-
විසි එක්වැනි සියවසේ පාසල් තම ශිෂ්‍යයන්ට තොරතුරු ලබා දීම අඩුවෙන් කොට වැඩි වැඩියෙන් විචාරාත්මක චින්තන හැකියාව ලබා දිය යුතුයි.
මෙය ලියන අවදියේ ඉපදුනු දරුවෙක් වසර 2050 වන විට වයස අවුරුදු තිහක් පමණ වෙන අතර 2100 වන විට ද ඔහු හෝ ඇය ජීවත් වනු ඇතැ’යි අපට බලා පොරොත්තු විය හැකියි. එහෙත් ඊළඟ සියවස දක්වා සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට මේ දරුවාට උදව් විය හැක්කේ කිනම් ආකාරයක අධ්‍යාපනයකින් ද?
විසි එක් වෙනි සිය වසේ දරුවන් සාර්ථක සමර්ථ වැඩිහිටියන් බවට පත් කිරීමට නම් අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන රැඩිකල් ලෙස නැවතත් සිතා බැලිය යුතුයි. වෙනත් අන්දමකින් කිව හොත් අප මෙතැනට ගෙන ආ පාසලට ම අප එතනට ගෙන යා නොහැකියි.
අද කාලයේ පාසල් වැඩි අවධානයක් යොමු කරන්නේ තොරතුරුවලින් සිය ශිෂ්‍යයන්ගේ ඔලු පිරවීමටයි. එහෙත් ඒ ක්‍රමය වඩා ගැළපෙන්නේ දහනව වැනි ශත වර්ෂයටයි. මන්ද එකල තොරතුරු යනු බෙහෙවින් විරල සම්පතක් වූ බැවිනුයි. පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ මහජන පුස්තකාල යන මේ කිසිවක් එකල තිබුණේ නැහැ. ඒ හැර තිබුණු තොරතුරු ටිකට ද විවිධාකාර වාරණයන්ට ලක් වීමට සිදු වුණා. බොහෝ රටවල ආගමික හා කතන්දර පොත් හැරෙන්නන්ට කියවීමට තරම් වෙනත් සුදුසු දේවල් සංසරණය වුණේ නැහැ. අනතුරුව නූතන පාසල් ක්‍රමය ඇරඹූ විට ඉතිහාසය, භූගෝලීය විද්‍යාව සහ ජීව විද්‍යාව වැනි විෂය සම්බන්ධ අත්‍යවශ්‍ය කරුණු කියා දීමට තිබූ අවධාරණයත් සමග පාසල බොහෝ අයට ඉමහත් සෙතක් සලසන තැනක් ලෙසට සැලකුණා.
එහෙත් විසි එක් වැනි සියවසේ ජීවන රටාව එකලට වඩා බෙහෙවින් වෙනස්. ඒ අනුව බැලුවොත් නම් අපේ අධ්‍යාපන ක්‍රමය දැන් වැඩකට ගත නොහැකි ලෙස යල් පැණ ගිය එකක්.
අද ලෝකයේ තොරතුරු වැහි වැහැලා. හරියට ගංවතුරක් වගේ. ඕනෑවටත් වඩා තියෙනවා. අද කාලයේ බොහොමයක් ආණ්ඩු තොරතුරු වාරණය කරන්න මැදිහත් වෙන්නේ නැහැ. ලෝකය පුරාම වෙසෙන බොහෝ මිනිසුන්ට ස්මාර්ට් ජංගම දුර කථන තියෙනවා. ඔවුන්ට ඒ මගින් දවස පුරාම වුණත් විකිපීඩියා විශ්වකෝෂය පරිහරණය කරන්න, ටෙඩ් කතා අහන්න සහ අන්තර් ජාලය හරහා විවිධ පාඨමාලා ඉගෙන ගන්න පුළුවන්.
අද කාලයේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නය තොරතුරු හිඟ කම නොව වැරදි තොරතුරු හෙවත් දුස්තොරතුරු වලින් නොමග නො යාමයි. සමාජ මාධ්‍ය පරිහරණය කරන හැම අවස්ථාවක ම කොයි තරම් ෆේක් නිව්ස් (fake news)හෙවත් ව්‍යාජ පුවත් අපට හමු වෙනවා ද යන්න අප දන්නවා.
මේ දැවැන්ත තොරතුරු අධිභාරය මැද පාසල් තවදුරටත් සිය සිසු දරුවන්ගේ උගුරෙන් පහළට තව තවත් තොරතුරු ම ඔබන්නට තැත් නො කළ යුතුයි. ඒ වෙනුවට විසි එක් වෙනි සිය වසේ පාසල සිසු දරුවන්ට ඉගැන්විය යුත් ඔවුන් වෙත දිනපතා ගලා එන අති මහත් තොරතුරු සම්භාරයෙන් වැඩක් ඇති දේවල් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. වැදගත් තොරතුරු සහ අදාළ නැති තොරතුරු, ව්‍යාජ පුවත් අතර වෙනස හඳුනා ගන්නේ කෙසේ ද වැනි කරුණු දරුවන් ඉන්තේරුවෙන් ම ඉගෙන ගත යුතුයි. විසි එක් වෙනි සිය වසේ එක් වැදගත් ලක්ෂණයක් වන්නේ පමණටත් වඩා තොරතුරු අපේ අත පොවන හරියෙන් තිබුනත් නිරවද්‍ය තොරතුරු මොනාවාදැ’යි දැන ගැනීමට අපට විශේෂ හැකියාවක් අවශ්‍ය වීමයි. ඒ හැකියාව ලබා ගත හැකි වන්නේ විචාරශීලී චින්තනය හා තොරතුරු සාක්ෂරතාවට මුල් තැනක් දෙන අධ්‍යාපන ක්‍රමයකින් පමණයි.
සැකසුම: විජයානන්ද ජයවීර