සියල්ලෙහි සුලමුල 20 : අප නිදන්නේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

Related image

 අප නිදන්නේ ඇයි?

මේ ලිපිය කියවා පැය (හෝ විනාඩි) කිහිපයක් ඇතුළත ඔබ සිහිකල්පනාවෙන් තොර, අවිනිශ්චිත කලාපයකට ඇතුල්වන බව නම් සිකුරුයි. ඒ කියන්නේ ඔබ නිදා ගැනීමට පටන් ගන්නා බවයි. ඉන් පසුව ගතවන පැය කිහිපය තුළ ඔබේ මොළය, එකිනෙකට බොහෝ සේ වෙනස් අවධි දෙකක් අතරේ කැරකෙන්න පටන් ගනී. ගැඹුරු නින්ද සහ සීඝ්‍ර අක්ෂි චලන නින්ද ( Rapid Eye Movement හෙවත් REM = ඇසිපිය වේගයෙන් සෙලවෙන). ඉතින් ඔය කාලයෙන් වැඩිවේලාවක් ඔබ අසිහියෙන් නොසිටින අතර සිහින දැකීම යන විශ්මිත නිශාචර අවධියට පිවිස සිටිනු ඇති. අපි අපේ ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම පමණ ගත කරන්නේ නිදාගෙනය. ඒ වුණත් පැහැදිලිව ම එය අපට අත්‍යවශ්‍යය. දිගු කාලයක් නිදි වැරුවොත් අප රෝගාතුර වේ. සෑම දිනකම පැය 24 පුරා අවදියෙන් තබා ගත් මීයන් සති තුනක් ඇතුළත මිය යන බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

Related image

කරුණු කාරණා එසේ වුවත්වසර හැටක ගැඹුරු අධ්‍යයනයන්ගෙන් පසුව වුවද එය(නින්ද)  කුමක් සඳහා  පවතින්නේ දැයි අපි නොදනිමු. අපේ ඒ නොදැනුවත් කමට හේතුව උත්සාහ නොදැරීම නොවේ. නින්දෙන් ඉටුවන කාර්ය භාරය ගැන නිද්‍රා විද්‍යාඥයෝ උපකල්පන නැතිනම් උපන්‍යාස ගණනාවක්ම ඉදිරිපත් කරති. මේවා (මෙම කාර්ය භාරයන්)අතුරු අන්තරාවන් සිදුවීමෙන් වැළකී සිටීමේ සිට ශක්තිය සංරක්ෂණය කරගැනීම, අපගේ ශරීර සහ මොළ අලුත්වැඩියා කර ගැනීම, අපගේ ප්‍රතිශක්ති පද්ධතිය සුසර කිරීම, තොරතුරු සැකසීම, හැඟීම් පාලනය කිරීම සහ ස්මරණය තහවුරු කිරීම දක්වා වූ පුළුල් පරාසයක් ගනී. මේවා එකිනෙක ගතහොත් ඒ සෑම එකකම ප්‍රබලතා මෙන්ම දුබලතා ද ඇත.

Related image

නින්ද ගැන පර්යේෂණවල යෙදෙන පර්යේෂකයන් බොහෝ දෙනා කියා සිටින්නේ නිදා ගැනීමට සම්බන්ධ කාර්යභාරයන් බොහෝමයක් පවතින බවත් එමෙන්ම මෙකී උපන්‍යාස සියල්ලම එක්තරා දුරකට සත්‍යවන බවත්ය. කෙසේ වෙතත්, පිළිගත් පැහැදිලි කිරීමක් නොමැතිකම හුදෙක්.  නින්ද ගැන පර්යේෂකණ පවත්වන අයගේ  හිත් කළකිරවීමට තුඩු දෙන  කාරණාවක්ම පමණක් නොවේ. එය, නින්දෙහි පරිණාමීය සම්භවය තෝරා බේරා ගැනීම බෙහෙවින් දුෂ්කර බවට පත්කර ඇත. නින්ද ඉතා පැරණි දෙයක් විය යුතුය. ක්ෂිරපායි සතුන්, පක්ෂීන්, උරගයන් සහ මත්සත්‍යයන් ඇතුළුව සංකීර්ණ ස්නායු පද්ධතියක් සහිත සියලු සත්වයෝ එය සිදු කරති. ඩයිනසෝරයන් නින්දට පුරුදුව සිටිය බව අපි දනිමු. 2004 වර්ෂයේදී චීනයේ පුරා ජීව විද්‍යාඥයන් වසර මිලියන 125 ක් පැරණි ඩයිනසෝර  අස්ථි සොයා ගත්හ. එම ඩයිනසෝරයාගේ හිස නමා තබාගෙන ඉදිරි ගාතය යට රඳවාගෙන තිබුණේ පියාපතක් යටට හොටය ගසාගෙන හරියටම කුරුල්ලෙකු නිදන ආකාරයටමය. කෘමීන්, ගෝනුස්සන්, පණුවන් සහ සමහර කවචයන් (crustaceans) ඇතුළුව සංකීර්ණ ස්නායු පද්ධතියක් රහිත සතුන් අතරේද නින්දට සමාන අවධිය හෙවත් අවස්ථා හඳුනාගැනීමට හැකියි.

නින්ද, ස්නායු සෛලවල ආවේණික ගුණාංගයක් පවා විය හැකිය. පෙට්රි දීසියක වර්ධන කෙරෙන නියුරෝන කණ්ඩායම් ස්වාභාවිකව නින්දට බෙහෙවින් සමාන තත්ත්වයකට එළඹෙති. ඒ නින්ද ඔවුනට අහිමි කළ විට ඒවා වේගයකින් සහ අහඹු ආකාරයෙන් ක්‍රියාකාරිවන්නේ අපස්මාර රෝගියෙකුගේ දැඟලිල්ලට සමාන කැලඹීමකිනි.

ස්නායු පද්ධතියක් නොමැති ක්ෂුද්‍ර ජීවීන් අතරේ පවා, සිය ශරීරාභ්‍යන්තරයේ පිහිටි ඝටිකාවෙන්(ඔරලෝසුවෙන්) මෙහෙයවනු ලබන ක්‍රියාකාරී සහ අක්‍රියාකාරී දෛනික චක්‍ර ඇත. මේ අනුව නින්දෙහි ප්‍රභවය මෙයට වසර බිලියන 4කට පමණ පෙර පෘථිවිය මත ජීවයේ උදාව සිදුවූ කාලය දක්වා දිවෙනවා විය හැකිය.

Related image

නින්දෙහි ආරම්භය සොයා යන ගමනෙහි දී තවත් බාධකයක් වන්නේ නින්ද යනු එකම වර්ගයක් නොව වර්ග දෙකක් වීමයි. ප්‍රථම එක හඳුන්වනු ලබන්නේ ගැඹුරු හෝ මන්දගාමී තරංග නින්ද ලෙසයි. එසේ හඳුන්වනු ලබන්නේ එම නින්ද සමස්ත  මොළය හරහා පැතිරෙන දීර්ඝ, කඩිසර නැති රැළි සහිත විද්‍යුත් ක්‍රියාකාරී තරංග මගින් එහි ස්වාභාවය නිරූපණය කරන හෙයිනි. දෙවැන්න (ලිපිය ආරම්භයේ සඳහන් කළ) සීඝ්‍ර අක්ෂි චලන හෙවත් REM නින්දයි. ඒක ඉතින් ඔය ඒකට දී ඇති නමින්ම කියැවෙන  විදිහ හැර වෙන විදිහක් වෙන්න බැහැ. එහි ගතිලක්ෂණ ගතහොත් අවදිව සිටීමට බෙහෙවින් සමාන මොළ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි. තවද එම නින්ද සතුව පැහැදිලි භෞතික ලක්ෂණද ඇත. අක්ෂිගෝල (ඇස්බෝල) ශීඝ්‍රෙයන් සෙලවීම සහ ඔබ දකින සිහින ඒ ආකාරයෙන් ඔබ රඟ දැක්වීමට් බලපාන්නේ යයි අදහස් කෙරෙන  මාංශපේශී ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කිරීම එම ලක්ෂණයයි.

නින්ද දැකිය හැක්කේ ක්ෂිරපායින් සහ පක්ෂීන් අතර පමණකි. මේ දෙපර්ශ්වයම පොදු පූර්වජයකු සිටියේ වසර මිලියන 300කට පමණ පෙරය. එයින් තේරුම් යන්නේ REM නින්ද ඊට කලින් පරිණාමය වූවක් බවයි. කෙසේ වෙතත්, ඔය කියන පොදු පූර්වජයාගෙන් තමයි REM-නින්ද රහිත උරගයන් හටගත්තෙත්. එහෙම නම් ඒ කියන්නේ පක්ෂීන් ද ක්ෂීරපායින්ද තරේ වෙන වෙනම ස්වාධීනව REM  නින්ද පරිණාමය වන්නට ඇති බවයි.

ඔබේ මනස රාත්‍රියට කෙහේද යන්නෙ?

තවත් කියයුත්තක්! REM නින්දේදී තමයි අප වැඩි පුරම සිහින දකින්නේ. නිද්‍රා විද්‍යාඥයන් සාපේක්ෂව වඩාත් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන්නේ සිහිනවල කාර්යභාරය සහ සම්භවය ගැන අවබෝධ කරගැනීමේදීයි. අවදියෙන් සිටිනා විට ලබන අත්දැකීම් සිහිනවල අන්තර්ගතයට බලපෑම් කළහැකි බව මුලින්ම යෝජනා කළේ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ය. ඔහු ඒවා හැඳින් වූයේ දිනයේ අවශේෂහැටියටයි. සිහින දැකීම ගැන ප්‍රොයිඩ්ගේ මත ගැන දැන් එතරම් උනන්දුවක් නැති නමුත් මෙම මතය – දැන් එය හැඳින්වෙන්නේ අඛණ්ඩතා උපන්‍යාසය ලෙසයි. – තවමත් බලපෑම් ඇතිකිරීමට සමත්.

සිහින යනු  අප අවදියෙන් ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් සේ පෙනී යනවා. ඒවා බොහෝ විට මෑතක අත්දැකීම් විශේෂයෙන්ම අලුත් අත්දැකීම් පිළිබිඹු කරනවා. නිදසුනක් දන්නවා නම් Tetris නැමැති ක්‍රීඩාව මුල්වරට කළ අයෙකු, දිගැටි හැඩැති දේ අහසින් බිමට පතිතවනු සිහිනෙන් දැකීමට ඉඩ තිබේ. අවදිවීමත් සිහින දැකීමත් අතර සම්බන්ධය මොළ පරිලෝකන (brain scanners) යොදා ගනිමින් ඍජුවම නිරීක්ෂණය කර තිබෙනවා. කලින් අවදිව සිටි කාලයේ අත්දැකීම් අතරතුර දකිය හැකිවූ ක්‍රියාකාරී රටා සිහින දැකීමේදී මොළය මගින් යළි රඟදක්වනු එම පරිලෝකන මගින් හෙළිවේ.

අත්දැකීම් අපේ සිහිනවලට රිංගන ආකාරය ගැන හෙට (ඉරිදා) ලිපියෙන් තවදුරටත් සලකා බලමු. නොවැරදීම කියවන්න

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE SLEEP?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.