වීදිවල ජීවත්වීම ශීඝ්‍රයෙන් වයස්ගත වීම සඳහා බලපානවාදැයි අවබෝධ කර ගැනීම නිවාස අහිමි ප්‍රජාවට මෙන්ම රජයටද ප්‍රයෝජනවත් වනු ඇත
2013 වර්ෂයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පදිංචියට පැමිණෙන සෙර්ජියෝ ලැනාටා, නගරය පුරා විසිරී තිබෙන අවිධිමත් කූඩාරම් ජනාවාස දැකීමෙන් මවිතයට පත් වෙනවා. ඔහු පවසන්නේ තමා ‘බැලූ බැලූ අත නිවාස නැති අය‘ දුටු බවයි. ලැනාටා සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (University of California, San Francisco — කෙටියෙන් UCSF) ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඩිමෙන්ෂියා රෝග සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගත් ඩිමෙන්ෂියා රෝගීන්ගේත්, නිවාස අහිමි වයස්ගත ප්‍රජාවගේත් හැසිරීම් රටාවල සමානකම් ලැනාටාගේ නිරීක්‍ෂණයට ලක් වුණා. වසර ගණනාවක ඇවෑමෙන් පසු ලැනාටාගේ දැන් සූදානම, නිවාස අහිමි වැඩිහිටියන් අතර ඇල්සයිමර් රෝගය (අකාල වෘද්ධත්වය) ඇතුළු මොළයේ පරිහානියට හේතු වන රෝගවල රෝග ලක්ෂණ මුල් අවදියේදීම හඳුනාගෙන, මාර්ගවල ජීවත්වීමත් මෙම රෝග වැළඳීමේ අවදානමත් අතර සහසම්බන්ධයක් ඇත්දැයි අධ්‍යයනය කිරීමයි.
Serggio Lanata, MD.
මේ මාසයේදී ආරම්භ වීමට නියමිත මෙම අධ්‍යයනය සිදු වන්නේ නිවාස අහිමි වීමෙන් සෞඛ්‍යයට අත් විය හැකි බලපෑම් පිළිබඳව අවබෝධ කර ගැනීමට UCSF මගින් සිදු කෙරෙන වැඩපිළිවෙළට සමගාමීවයි. පීඩාවට පත් ජන කණ්ඩායම් පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂිකා මාගොට් කුශල් නායකත්වය දරන පර්යේෂණ කණ්ඩායම, 2013 වසරේ සිට කැලිෆෝනියාවේ ඕක්ලන්ඞ් ප්‍රදේශයේ වැඩිහිටියන් 350කට ආසන්න පිරිසක් නියැදි ලෙස යොදාගෙන, මෙම පිරිස ශීඝ්‍රයෙන් වයස්ගත වීමට බලපා ඇති සාධක හඳුනා ගැනීමට අධ්‍යයනයක නිරත වෙනවා. සහභාගීවූවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57ක් වුවත්, ඇමරිකාවේ වයස අවුරුදු හැත්තෑවත් අසූවත් අතර වියපත් පිරිස තරමටම ආඝාතය, හිටිඅඩියේ ඇදවැටීම්, දෘෂ්ටිමය ඌනතා, පාලනයකින් තොරව මුත්‍රා පිටවීම වැනි ආබාධවලට මුහුණ දෙනවා.
නිවාස අහිමි ප්‍රජාවට ආධාර කරන්නත් ඔවුන්ගේ සංඛාව පාලනය කරන්නත් වෙහෙසෙන දේශපාලඥයන්, ආර්ථිකවේදීන්, සෞඛ්‍ය සේවා සපයන්නන් ඇතුළු පිරිසගේ අවධානය මෙම අධ්‍යයනය කෙරෙහි යොමු වී තිබෙනවා. වාසස්ථාන නැති වීම ලොව සෑම රටකටම පොදු ගැටලුවක් වුවත්, කැලිෆෝනියාවේ තත්ත්වය ඉතාම බරපතළයි. ප්‍රාන්තයේ වාසය කරන 130,000ක් නිවාස අහිමිවූවන් අතරින් 70%ක්ම වීදිවල හෝ මිනිස් වාසයට නුසුදුසු ස්ථානවල ජීවත් වන්නේ ‘හිසට සෙවණක්’ නොමැතිවයි. මෙය නිව් යෝක් නගරයේ 5% සමග සන්සන්දනය කිරීමේදී ඉතා ඉහළ ප්‍රතිශතයක්. කැලිෆෝනියාවේ තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන, ‘සිලිකන් නිම්නය’ පිහිටි සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ නිවාස අහිමිවූවන් සංඛ්‍යාව දල වශයෙන් 28,200ක්.
නිවාස අහිමි ප්‍රජාව වයස්ගත වීම ඇමරිකා එක්සත් ජනපදය මුහුණ පා ඇති තවත් ගැටලුවක්. බොහෝ ප්‍රදේශවල නිවාස මිල ඉහළ යෑම නිසා 1954 සිට 1964 දක්වා කාල සීමාවේ ළදරු උපත් ක්ෂණිකව ඉහල ගිය ‘baby boom’ අවධියේ ඉපදුණු ‘baby boomers’ ලා අතර නිවාස අහිමි පිරිස් වැඩිපුර දක්නට ලබෙනවා. එහෙත්, බහුතරයක් රෝහල්, පොලිස් ස්ථාන සහ නිවාස අහිමි ප්‍රජාවට නවාතැන් සපයන ස්ථාන සතුව, වයස්ගත වන ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් සකස් වී නැහැ. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් අපට වැඩ පිළිවෙළක් තිබුණත්, ඩිමෙන්ෂියාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපට කිසිම අදහසක් නැහැ,”යි කුශල් කියා සිටියා. නිවාස නොමැතිකම වියපත් වීම ඉක්මන් කරවීමට බලපාන ආකාරය අවබෝධ කර ගැනීමෙන් රෝගීන්ට සහන සැලසීමත්, රජයේ මුදල් ඉතිරි කර දීමත් ඇය ඇතුළු පිරිසෙහි අරමුණයි.
ලැනාටාගේ අධ්‍යයනයේදී, අවම වශයෙන් නිවාස නොමැති වැඩිහිටියන් විසි දෙනෙකු යොදාගෙන, මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන, හැසිරීම් රටා වෙනස් කිරීමට බලපාන, (ලලාට කණ්ඩිකාවේ සහ ශංඛක කණ්ඩිකාවේ ඇති වන) ඩිමෙන්ෂියාව වැනි රෝග ලක්ෂණ ඇත්දැයි සොයා බැලීමට නියමිතයි. ඔහු ඇතුළු පිරිස මොළය ස්කෑන් පරීක්‍ෂාවන්ට ලක් කිරීම ඇතුළු විවිධ ක්‍රමවේදයන් මගින් නිවාස නොමැතිකම මානසික ආබාධ ඇති වීමට බලපානු ලබන ආකාරය අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරනවා. ලැනාටාට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබීම, මහා මාර්ගවල දූෂිත වාතයට නිරාවරණය වීම, දියවැඩියාවට නිසි ප්‍රතිකාර නොලැබීම, අධික රුධිර පීඩනය, අධික මත්පැන් භාවිතය වැනි මානසික ආබාධ ඇති කිරීමට දායක වන සාධක රැසකට නිවාස අහිමි ප්‍රජාව මුහුණ දිය හැකියි.
අධ්‍යයනයට සහභාගී වන පිරිසෙන් කරුණු විමසා බලා, මානසික ආබාධවල බලපෑමෙන් රැකියාවක නිරත වීමට හෝ රජයේ ආධාර ලබා ගැනීමට අපොහොසත් වීම ඔවුන් මහමගට ඇදවැටීමට බලපෑවාදයි සොයා බලන්නත් ඔහු අදහස් කරනවා. ඩිමෙන්ෂියා කාණ්ඩයට අයත් ඇතැම් මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ලද අත්දැකීම්වලට අනුව එසේ විය හැකි බවයි ඔහු පවසන්නේ. “එවැනි රෝගීන්ට පවුලෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණොත්, රැකවරණය නොමැති වීම නිසා මහමගට ඇදවැටීමේ ඉඩක් තිබෙනවා,” ලැනාටා පවසනවා. “ඔවුන්ව හසුරවා ගැනීම සංකීර්ණ වෙන්න පුළුවන්.”
සහභාගීවූවන් අතරින් අඩකට ආසන්න පිරිසක් හුදෙකලා වීමේ ලක්‍ෂණ පෙන්නුම් කරන අතර පිළිකා රෝගීන් සහ අනෙකුත් රෝගවලින් පෙළෙන්නන් මෙහි අහිතකර බලපෑම්වලට වැඩි වශයෙන් ගොදුරු වී සිටිනවා. ඉලක්කගත කණ්ඩායමෙන් 25%ක්ම දුබලතාවලින් පෙළෙන අතර එක්සත් ජනපදයේ වයස අවුරුදු 70ට වැඩි සාමාන්‍ය පුරවැසියන් අතරින් එම ගැටලුවට මුහුණ දෙන්නේ 10%ට අඩු ප්‍රතිශතයක්. පුවත්පත් වාර්තාවකට අනුව ඉලක්කගත කණ්ඩායමෙන් 10%ක් අවම වශයෙන් සය මසකට වරක්වත් කායික හෝ ලිංගික හිංසනයට මුහුණ දෙන බව කුශල් ඇතුළු පිරිසට හෙළි වුණා.
කැලිෆෝනියාවේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂකයකු වන කොකෝ ඔස්වාල්ඞ් පවසන්නේ නිවාස අහිමිවූවන් පිළිබඳ කුශල්ගේ අධ්‍යයනය සමාජයට මානුෂීය පණිවුඩයක් දෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි. “සමාජයක දියුණුව මනින්නේ වඩාත් පීඩාවට පත් වූ පිරිස් ගැන ඔවුන් දක්වන සැලකිල්ල මතයි. මම කනගාටු වන්නේ අපි මෙය රටේ සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගනිමින් සිටිනා බවක් ඇඟවෙන නිසයි.”
පරිවර්තනය සහ සැකසුම: අරුන්දි ජයසේකර
Nature 569, 467-468 (2019) හි පලවූ The devastating biological consequences of homelessness යන ලිපිය ඇසුරෙනි