අතිරේක තොරතුරු ඇතුලත්කර යාවත්කාලීන කර ඇත.
සෙවල පුස්වලට මොළ නැතුවාට ඒවා මෝඩත් නැහැ
ලෝකයේ පුදුම එළවන සුළු ජීව විශේෂ අතරට සෙවල පුස්(slime mold) ද අයත්වෙනවා. බොහෝ කාලයක් තිස්සේ ඒවා දිලීර ලෙස වැරදියට වටහාගෙන තිබුණා. දැන් ඒවා වර්ග කෙරෙන්නේ ඇමීබා වර්ගයක් හැටියටයි. ඒක සෛල ජීවීන් හැටියට සෙවල පුස්වලට නියුරෝන හෝ මොළයක්වත් නැහැ. ඒ වුණාට ඒවාට තම පරිසරය ගැන ඉගෙනීමේ හැකියාවක් තිබේද එමෙන්ම ඒ අනුව සිය චර්යාවන් හැඩ ගස්වා ගැනීමට හැකිවේද යන්න ගැන දැන් දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන් අතර මහා විවාදයක් පවතිනවා. ඒත් Scientific American සඟරාවේ 2019 ජූනි කලපයේ වාර්තා කර ඇති අන්දමට නම් ඔය විවාදය දැන් නතර කළ හැකියි. අඩු තරමින් ප්‍රංශයේ විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ජිව විද්‍යාඥවරියක සහ එරට දකුණු දිග පෝල් සැබටියර ටවුලවුස් විශ්වවිද්‍යාලයේ සත්ව සංජානන පර්යේෂණ මධ්‍යස්ථානයේ කණ්ඩායම් නායිකා, චර්යා ජීවවිද්‍යාඥ ඕඩරි ඩසුටෝර් නම් හිතන්නේ එහෙමයි.
(සංකීර්ණ තීරණ ගැනීමට සෙවල පුස්වල හැකියාව දැක්වෙන විඩියෝවක් සහ එහි අනුපිටපත(ඉංග්‍රීසියෙන්) මෙතනින් බලන්න)
ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායමට දක්වන අන්දමට නම් න්‍ය්ෂටි බිලියන ගණනක් සහිත තනි සෛලයකින් සමන්විත වන මේ ජෙලැටීනිය ප්‍රාක්ථම ජීවීන්ට මොළයක් නැනත් ඇතැම් අවස්ථාවල ඔවුනට වඩා සංකීර්ණ ජීවී විශේෂ මෙන් වඩාත් විදග්ධ ආකාරයට හැසිරෙනවා. “සෙවල පුස්වල තමන්ගේම පෞරුෂයක් තියනවා. කියලා අපට කියන්න බැහැ. මන්ද, එහෙම ප්‍රකාශ කළොත් මිනිස්සු සිත් තැවුලට පත්වෙන්න පුළුවන්නේ” යයි ඩසුටෝර් කියා සිටින්නීය. එසේ වුවද මේ දැවැන්ත සෛල සතුව බෙහෙවින් සංකීර්ණ චර්යාවන් ඇති අතර තීරණ ගැනීමේ දී වෙනස් ආකාරයන් ප්‍රදර්ශනය කරනවා.
එක්තරා සුවිශේෂී සෙවල පුස් විශේෂයක (Physarum polycephalum) මාදිලි තුනක් ආහාර සෙවීමට තැත් කිරීමේදී (ආහාර සෙවීමේ) වේගය සහ (ආහාර තෝරා ගැනීමේ) නිරවද්‍යතාව යන දෙක අතර තුලනයක් ඇති කර ගන්නේ කෙසේද යන්න ගැන ඩසුටෝර් සහ ඇගේ සගයෝ උනන්දු වුණා. මේ මාදිලි තුන තෝරා ගැනුනේ ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලිනි. පර්යේෂකයන් මුලින් සිදුකළේ මේ මාදිලි තුනටම විවිධ ගුණවලින් යුතු ආහාර ප්‍රභව සැපයීමයි. අනතුරුව ඒ ඒ මාදිලිය ආහාර වටලා ගිල දමමින් පරිභෝජනය කිරීම සඳහා තෝරා ගන්නේ කුමන වර්ගයද යන්න පර්යේෂකයන් නිරීක්ෂණය කළා. තමන්ට හමුවන ආහාර කුමක් වුවත් නොසලකිමත්ව අහඹු ලෙස තෝරා ගනිමින් ඉතා වේගයෙන්ම ක්‍රියා කළේ ජපානයේ මාදිලියයි. තේරිමට වැඩිම වේලාවක් ගත්තේ ඕස්ට්‍රේලියානු මාදිලියයි. ඒත් ඒවා තෝරා ගත්තේ හොඳම ආහාර වර්ගයයි. ඇමරිකානු සෙවල පුස් තීරණ ගැනීමේදී ජපාන මාදිලියට වඩා සාපේක්ෂව වැඩි වේලාවක් ගත්ත ද ඕස්ට්‍රේලියානු මාදිලියට වඩා වේගවත් විය. තවද ඇමරිකන් මාදිලියද මනාපය දැක්වූයේ ඉහළම තත්ත්වයේ ආහාරවලටය. ආහාර නම් මොකක් වුණත් කමක් නැත යන්න පිළිගන්නා වේගවත් ජපන් සෙවල පුස් සම්පත් හිඟ සහ තරඟකාරිත්වය වැඩි ස්ථානවලදී අනෙක් අයට මඳ වාසි දායක තත්ත්වයක් අත් කරගන්නවා. ඕස්ට්‍රේලියානු මාදිලිය වඩා ගැලපෙන්නේ සම්පත් ගහණ පරිසරයන්ටය. ඒවායේදී කල්වේලා අරගෙන තීරණ ගැනීමෙන් පෝෂණමය වශයෙන් වැඩි වාසියක් අත්කර කර ගත හකි බව පර්යේෂකයෝ පසුගිය පෙබරවාරි මාසයේ Proceedings of the Royal Society B හී වාර්තා කර තිබුණා. ඇමරිකානු මාදිලියට නම් ඔය පරිසරයන් දෙකෙහිදී යහතින් හිටිය හැකියි.
මොළයක් නැතිනම් ජපාන සෙවල පුස් මාදිලිය ආහාර කරා ඉක්මණින්ම ආවේ කොහොමද? මෙය සොයාබැලීම සඳහා පරීක්ෂකයෝ වටාරමක් හෙවත් අවුල් සහිත ගමන් මාර්ගයක් යොදාගෙන(ලිපියේ චිත්‍රය බලන්න) එවැනි මගක් ඔස්සේ සෙවල පුස් ඉක්මණින් ඉලක්කය කරා ළඟවෙන්නේ කොහොමද කියලා පරීක්ෂාවක් කරා. මුලින්ම සෙවල පුස් කළේ ඒවායේ පහුරු (පරීක්ෂන මාර්ගයේ) සෑම කොරිඩෝවක් වෙතම විහිදුවීමයි. ඔය ආකාරයට මුළු වටාරමම සිතියම් ගත කෙරුනා, ඉන් අන්තුරුව පුස් කළේ ආහාර සොයා ගැනීමට අපොහොසත්වූ පහුරු ආපසු ඇදීමයි. එමගින් එක්තරා ආකාරයක බාහිර මතකයක් පිළිබඳ සෙවල පියමගක් ඉතිරි කර තැබීමයි. වටාරමේ අතැම් කොරිඩෝවල් අහිරුණු මං බව සෙවල පියමග මතක් කරනවා. ඒ අනුව නැවත නැවත ඒ කොරිඩෝවල යන්නේ නැතිව ඉතා කෙටිම මගකින් අහාර වෙත ඉක්මණින් ළඟාවීමට මේ අනුව සෙවල් පුස් වලට හැකිවෙනවා.
සංකීර්ණ තීරණ ගැනීමට සෙවල පුස්වලට ඇති හැකියාව උරගා බැලීමේ පර්යේෂණ
එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ සෛදාන්තික හා පරිගණක ජීව විදයාඥයකු වන ජේම්ස් මාර්ෂල් පෙන්වා දෙන පරිදි ඉතාමත් සරල ජීවීන්ගේ තීරණ ගැනීමේ හැකියාවක් ගැන සිදු කෙරමින් පවතින අධ්‍යයනවල සොයා ගැනීම් සම්භාරය එන්ට එන්ටම වර්ධනය වන අතර මෙම සොයා ගැනීම් මගින් පරිසර විද්‍යාත්මක මානයක් ඒවාට එකතු කර තිබෙනවා. මාෂල් මෙම පර්යේෂණයට සහභාගි වූ අයෙකු නොවේ. “හුදෙකලාව සිටින්නේ නම් නිවැරදි තීරණ ගැනීම සඳහා කල්වේලා ගැනීම ප්‍රඥාගෝචරයි. අනෙක් අය සමග තරග කරද්දී නම් නිවැරදිම නොවුණත් ඉක්මන් වීම වාසි දායක විය හැකියි” යයි ඔහු පෙන්වාදෙනවා.
Scientific American හී පලවූ Slimy Smarts යන ලිපිය ඇසුරෙනි