සැමට විදු නැන නුවණ – Science Literacy for All

ග්‍රන්ථ සාර සංග්‍රහය: ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  –  බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්

— සැකෙවින් කියවමු

 Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson

ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆොලරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  –  බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල් වරට පළවෙන්නේ 2012 දීයි. ඇතැම් ජාතීන් පොහොසත් වෙන්නෙත් අනෙක් ජාතීන් දුප්පත් වෙන්නෙත් ඇයි? ඇතැම් ජාතීන් සෞභාග්‍ය සම්පන්න සහ සාධාරණ වන අතර තවත් ජාතීන් ඒකාධිපතීන්ගේ සහ කෑදර ආත්මාර්ථකාමීන්ගේ ග්‍රහණයට හසු වන්නේ ඇයි? යන ප්‍රශ්න ආමන්ත්‍රණය කරන  ඒ පොත මෙසේ සැකෙවින් කියවීම දේශපාලනික හා ආර්ථික ගතිකයන් පිළිබඳ ගෝලීය සහ ඓතිහාසික තලයේ ඔබේ වැටහීම තව මුවහත් කරයි.

 

Related image

  1. රටක් ධනයෙන් ආඩ්යවීම හෝ දුප්පත්වීම රඳාපවතින්නේ හුදෙක් එහි භූගෝලීය පිහිටීම හෝ සංස්කෘතිය හෝ එය සතු දැනුම් සංචිතය මත හෝ නොවේ.

මැක්සිකෝව සහ අමෙරිකා එක්සත් ජනපදය යන දෙරටේ දේශසීමාව නිසා දෙකට බෙදී ගිය නොගාලේස් නමැති එක්තරා නගරයක් තිබෙනවා.  නොගාලේස් නගරයේ අමෙරිකානු ඇරිසෝනා ජනපදයට අයත් අර්ධයේ ජීවත් වන්නන්ගේ ජීවන තත්ත්වය දේශසීමාවෙන් අනික් පැත්තේ පිහිටි  මෙක්සිකෝ නොගාලේස් සොනෝරා කොටසේ වෙසෙන අයට වඩා බෙහෙවින් ඉහළ මට්ට්මකයි පවතින්නේ. මැක්සිකානු  අර්ධයේ වෙසෙන අයට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් අමෙරිකානු අර්ධයේ වෙසෙන අයට ලබා ගත හැකි අතර ඔවුන් අතර අපරාධ සංඛ්‍යාවද සංසන්දනාත්මක ව ඉතා අඩුයි. අමෙරිකානු අර්ධයේ වෙසෙන අයගේ ආදායමද මෙක්සිකෝ අර්ධයේ නිවැසියන්ගේ ආදායම මෙන් තුන් ගුණයක්.

එවැනි වෙනසක් ඇති වීමට හේතු වන්නේ කුමක් ද? එවැනි අසමානකම් විස්තර කිරීමට සකස් කළ ඉතා බලගතු න්‍යායක් ලෙස මෙතෙක් භාවිතා වුණේ භූගොලීය හේතු පිළිබඳ කල්පිතයයි. එහෙත් භූගෝලීය වශයෙන් එකම තැනක පිහිටි  නොගාලේස් දෙ නුවර සම්බන්ධයෙන් එම න්‍යාය  කිසිසේත් ම ගැලපෙන්නේ නැහැ.

භූගෝලීය හේතු පිළිබඳ න්‍යාය මුල් වරට චිරප්‍රකට ලෙස භාවිතා කළේ දහඅටවෙනි සිය වසේ විසූ ප්‍රංශ දාර්ශනිකයෙකු වන මොන්ටෙස්කියු විසින්. ඔහු තර්ක කළ අන්දමට සමශීතෝෂණ කලාපයේ ජීවත්වීම හේතුකොට වෙහෙස වී වැඩකිරීම නිසා යුරෝපීයන් සහජ කුසලතාවන්ගෙන් පූර්ණ වූ අතර නිවර්තන කලාප වල ජීවත්වන මිනිසුන් උණුසුම් දේශගුණය නිසා බෙහෙවින් කුසීත, උදාසීන වුණා.

මේ න්‍යායම නූතන යුගයේ තවත් ආකාරයකින් ඉදිරිපත් කරමින් අප්‍රිකාව, දකුණු ආසියාව සහ මධ්‍යම අමෙරිකාව වැනි උණුසුම් ප්‍රදේශවල ආර්ථික වර්ධනය මෙතරම් මන්දගාමී  වී ඇත්තේ ඒ ප්‍රදේශවල ලෙඩ රෝග බහුලව පැවතීම සහ සාපේක්ෂ වශයෙන් නිසරු පසක් තිබීම නිසායයි තර්ක කරන අයද ඉන්නවා.

එවැනි අදහස් වල අතාර්කික බව තහවුරු වන්නේ එකම භූගෝලීය කලාපයක දෙකට බෙදුනු නොගාලේස් දේශ සීමාව දෙපැත්තේ ඇති සමාජයීය වෙනස නිසා පමණක් නොව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති වෙනසද බටහිර ජර්මනිය හා කලකට පෙර නැගෙනහිර යුරෝපීය රටවල් අතර තිබූ වෙනසද සිංගප්පූරුව, බොට්ස්වානාව, මැලේසියාව වැනි රටවල ඇති කර ගෙන තිබෙන දැවැන්ත ආර්ථික දියුණුව ද විමසා බැලූ විටයි.

එපමණක් නොවෙයි තවත් සම්ප්‍රදායික න්‍යාය දෙකක්ද මේ වෙනස සාධාරණීය කළ නොහැකිව අසරණ වී තියෙනවා. ඉන් පළමුවැන්න වන්නේ සංස්කෘතික බලපෑම පිළිබඳ කල්පිතයයි. ලෝකයේ අනෙක් ප්‍රදේශ හා සසඳන විට කාර්මිකකරණය අතින් බටහිර යුරෝපය මේ සා විශිෂ්ට දියුණුවක් ලබා ගැනීමට මූලික හේතුව බටහිර යුරෝපීය රටවල පැවැති ප්‍රොතෙස්තන්ත වැඩ සදාචාරය(Protestant work ethic)  නිසා බව ජර්මානු සමාජ විද්‍යාඥයෙකු වූ මැක්ස් වෙබර් පැවසුවා.

එහෙත් කොමියුනිස්ට්වාදී උතුර සහ ධනවාදී දකුණ වශයෙන් දෙකට වෙන්වන තෙක්ම සංස්කෘතික වශයෙන් එකම අන්දමට සමජාතීය වූ එකම අර්ධද්වීපයක පිහිටි කොරියාව දෙස බලමු. මේ දෙරට අතර ඇති පුළුල් අසමානතාවය සංස්කෘතික බලපෑම පිළිබඳ න්‍යාය මගින් පැහැදිළි ලෙස විස්තර කළ නොහැකියි. උතුර හා දකුණ අතර ඇති ඒ අසමානතාවයට මූලික හේතුව කැපීපෙනෙන ගැඹුරු සංස්කෘතික වෙනස්කම් නොව එකම රට දෙකට වෙන් කළ කෘත්‍රිම දේශ සීමාවයි.

මේ  සංස්කෘතික බලපෑම පිළිබඳ කල්පිතය හා සමාන ව යොදාගන්නා තවත් එක් න්‍යායක්වන්නේ නොදැවත්කම පිළිබඳ කල්පිතයයි. ඒ කල්පිතයට අනුව රටක දුප්පත් කම ඇති වන්නේ ආර්ථික වර්ධනය ධෛර්යයමත් කරන නිසි ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් එරටට නොමැතිවීම නිසයි.

මේ මතයට ප්‍රතිපක්ෂව ද ඉතා නිරවුල් ලෙස කරුණු ඉදිරිපත් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඇති සරල ම කාරණය නම් කාලාන්තරයක් තිස්සේ ම අප්‍රිකානු රටවලට සපයන ලද විදේශාධාර පමණක් නොව විශේෂඥ උපදෙස් මගින් ද ඒ රටවල තිරසාර වෙනසක් ඇති කිරීමට අපොහොසත් වී තිබෙන බව දැන් බොහෝ අය පිළිගත් සත්‍යයක් වී තිබීමයි.

එහෙත් ඒ සියල්ලටම වඩා ඒත්තුයන ලෙස ජාත්‍යන්තර අසමානාතාව විස්තර කළ හැකි න්‍යායක් අපට තියෙනවා. දැන් අපි අන්න ඒ න්‍යාය ගැන විමසා බලමු.

  1. රටවල් අතර ඇති ජීවන මට්ටම් වල වෙනස් කම් වඩා හොඳින් විස්තර හැක්කේ එම රටවල් අතර ඇති ආයතනික සම්ප්‍රදායේ ඇති වෙනස්කම් ඇසුරෙනුයි.

රටවල් අතර ඇති වත් පොහොසත්කම් පරතරයට හේතු විස්තර කිරීමට තැත් කළ පැරණි ගරුගාම්භීර න්‍යායන් මොහොතකට අමතක කරමු. සත්‍ය ඊට වඩා ඉතා සරලයි. ඇත්ත වශයෙන්ම රටවල් වල සාර්ථකත්වයට අන් සියල්ලට ම වඩා වැදගත් ම වෙන්නේ එකී රටවල දේශපාලනික හා ආර්ථික ආයතනවල ක්‍රියාකාරීත්වයයි.

ඕනෑම රටක දියුණුව තීරණය වන්නේ එම රටේ ආර්ථික චර්යාව මෙහෙයවන ව්‍යු සමස්ත ආර්ථික ආයතන පද්ධතියේ ස්වභාවය මතයි. මේ ආයතන පද්ධතියට දේපොළ පිළිබඳ නීති, නියාමන විධිවිධාන, මහජන සේවා වල කාර්යක්ෂමතාව සහ මූල්‍ය සම්පත් ලබා ගැනීමට ඇති පහසුව ද ඇතුළත් විය යුතුයි.

මේ කියන ආර්ථික ආයතන ඒවායේ අරමුණ අනුව අනත්ර්ග්‍රහනීය (inclusive) ආයතන සහ උදුරාගන්නා නොහොත් නිස්සාරක (extractive) ආයතන වශයෙන් ප්‍රවර්ග දෙකකට බෙදා දැක්විය හැකියි.

මේ අතරින් අන්ත්ර්ග්‍රහනීය ආර්ථික ආයතන ආර්ථික සාර්ථකත්වය උත්තේජනය කරවන අතර ඒවා සැලසුම් කර ඇත්තේම ආර්ථික ක්‍රියාකාරකම් වල පුළුල් සහභාගීත්වය ධෛර්යමත් කිරීම සඳහායි. ආර්ථික නිදහස පෝෂණය කිරීමද එම අන්තර්ග්‍රහණිය ආර්ථික ආයතන මගින් ඉටු කරන තවත් වැදගත් කටයුත්තක්.

උදාහරණයකට අමෙරිකානු එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වැනි රටවල වෙළඳ පොළ නියාමන නීතිරීති උද්ගත වී ඇත්තේ පුද්ගලික දේපළ පිළිබඳ නීති වල ආභාෂයෙන් මෙන්ම දියුණු බැංකු අංශයකින් සහ ශක්තිමත් මහජන සේවා අධ්‍යාපන පද්ධතියකින් ලැබුණු ආවේෂයෙන්.

සමාජයේ කොයි කාටත් එක සේ පොදු වූ නීතිරීති නිසා තමන්ට මහන්සියට සරිලන ප්‍රතිලාභ ලැබිය හැකි බවත්, වඩ වඩා නිර්මාණශීලී විය හැකි බවත් මෙන්ම අන් අය විසින් කඩා වඩා ගනු ලැබීමකින් හෝ කප්පන් දීමකින් තොරව තමන් උපයාගත් ධනසම්පත් සුරක්ෂිත කළ හැකි බවත්  එම රටවල මිනිසුන් අවබෝධකර ගන්නවා.

එයට ප්‍රතිවිරුද්ධව උදුරා ගන්නා නොහොත් නිස්සාරක ආයතන (extractive institutions) මගින් කරන්නේ සමාජය තුළ වෙසෙන අන් සියලු කණඩායම් වලින් ආදායම උපදවාගෙන තවත් සුවිශේෂ කණ්ඩායමක ඵල ප්‍රයෝජනය සඳහා සෘජුව හෝ වක්‍රව හෝ උදුරා ගැනීමයි. උදාහරණයක් වශයෙන් යටත්විජිත සමයේ ලතින් අමෙරිකානු රටවල ආණ්ඩු  සැකසී තිබුණේ ම ස්වදේශික ජනගහනය සංත්‍රාසයට පත් කොට ඔවුන්ගේ දේපොළ බුක්තිය යටත්විජිතවාදීන්ගේ යහපත පිණිස පැහැර ගැණීමටයි.  මෙයට අනුරූපව උතුරු කොරියාවේ කිම් පවුල් පාලනය පෞද්ගලික දේපල අයිතිය අහෝසි කොට මහජනතාව මර්දනය කරමින් තෝරාගත් වරප්‍රසාදිතයන් අතලොස්සක් අතර බලය සංකේන්ද්‍රණය කර ගත් නිස්සාරක පාලනයකට හොඳ උදාහරණයක්.  මතක තබාගත යුතු කරුණ වෙන්නේ ආර්ථික ආයතන මෙන් ම දේශපාලනික ආයතනත් අන්තර්ග්‍රහනීය (inclusive) හෝ නිස්සාරක(extractive)හෝ විය හැකියි.

අන්තර්ග්‍රහනීය දේශපාලනික ආයතන වල මූලික ස්වභාවය වන්නේ බහුත්වවාදී (pluralism) වීමයි. මෙයින් අදහස් කරන්නේ ජනසමාජය සංයුක්ත වී ඇති විවිධාකාර කණ්ඩායම් දේශපාලනික වශයෙන් නියෝජනය වීම නිසා ආයතනික බලය එම කන්ඩායම් අතර සැලකිය යුතු ලෙස බෙදී යාමයි. සත්‍යවශයෙන් ම අන්ත්ර්ග්‍රහනීය වීමට නම් අදාළ ආයතන මධ්‍යගතව පවත්වාගෙන යාම ද අවශ්‍යයි. බලය මධ්‍යගතවීමේ ප්‍රතිඵලය වන්නේ නීතියේ ආධිපත්‍ය පවත්වා ගැනීමට පහසු වීමයි.  එනිසා තමතමන්ගේ අධිමානය (superiority)පවත්වා ගැනීම පිණිස එකිනෙක කණ්ඩායම් අතර සටන් කරගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

දේශපාලනික ආයතන තුළ බහුත්වවාදය නොමැතිනම් නම් ඒවා ද සාමාන්‍යයෙන් නිස්සාරක ආයතන වශයෙන් සැලැකිය හැකියි.

අන්තර්ග්‍රහනීය දේශපාලනික ආයතන වල ඇති ප්‍රයෝජනය නම් එමගින් ජනසමාජයේ විවිධ කණඩායම් අතර බලය පිළිගත හැකි ලෙස බෙදා ගැනීමට හැකිවීමයි.  මේ නිසා බලවත් අතලොස්සකගේ සුඛවිහරණය පිණිස හැදෙන උදුරාගැනීම පරමාර්ථය කරගත් නිස්සාරක ආර්ථික ප්‍රතිපත්ති (extractive economic policies) ප්‍රතික්ෂේප කිරීමට හැකි වෙනවා. ඒ වෙනුවට ජ​න සමාජයේ හැම සාමාජිකයෙකුටම ප්‍රතිලාභ බුක්ති විඳීමටත් ආර්තික ප්‍රතිපත්ති දිරිගැන්වීමට හැකි වෙනවා.

එදිනෙදා ජන ජීවිතය හසුරුවාගැනීමේදී හා විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමේදී රටක ආයතන වලින් සිදුකරණ බලපෑම අතිශයින් තීරණාත්මකයි. එනිසා ජාතියක සාර්ථක අසාර්ථක භාවය ඇත්ත වශයෙන්ම ආයතනවල අභිලාෂය මත ගොඩනැගෙන්නක්.

  1. තීරණාත්මක සංසිද්ධියක ප්රතිඵලයක් වශයෙන් එකිනෙකට වෙනස් ආයතනික අභිලාෂ බිහිවිය හැකියි.

අන් කිසිම සිදුවීමකට වඩා මධ්‍යකාලීන සහ නූතන යුගයේ මුල් අවදියේදී යුරෝපය කෙරෙහි තදින් බලපෑ එක්තරා තීරණාත්මක සංසිද්ධියක් ඇති වුණා.  එනම් ‘කළු මරණය’ (Black Death) නමැති රුදුරු වසංගතයට මුලු යුරෝපය ම ගොදුරු වීමයි.  දාහතරවන සිය වසේදී ඈත පෙර දිග සිට වෙළඳ මාර්ග ඔස්සේ යුරෝපා මහාද්වීපයට අවතීර්ණ වුණ මේ බියකරු වසංගතයෙන් යුරෝපීය ප්‍රජාවෙන් හරි අඩකට කිට්ටු ප්‍රමාණයක් මරණයට පත් වුණා.

මේ දරුණු මනුෂ්‍ය විපත්තියට අතිරේකව, ඒ නිසා ඇති වුණු ආර්ථික පරිහාණිය ඉදිරි ශතවර්ෂ ගණනාවකට යුරෝපයේ ස්වභාවය හැඩගැස්විමේ ලා විශාල වශයෙන් බලපෑවා.

ඒනිසා අපට ඒ ‘කළු මරණ’ වසංගතය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ඉන් අදහස්වන්නේ දරුණු ව්‍යසනයක් වැනි කිසියම් තීරණාත්මක සංසිද්ධියක් ජාතියක, මහාද්වීපයක එසේත් නැත්නම් මුලු මහත් ලෝකයේම සමාජයීය-දේශපාලනික බලතුලනය මුලුමනින්ම කණපිට පෙරලා දමන සිදුවීමක් බවට පත්වීමයි.

මේ ව්‍යසනකාරී කළු මරණය පිවිසීමට පෙර යුරෝපා මහාද්වීපයේ සමාජ ආර්ථික ක්‍රමය හැඩගැසුණේ වැඩවසම් ක්‍රමය මගින් මෙහෙයවනු ලැබූ අතිශයින් ම පීඩාකාරී නිස්සාරක අභිලාෂ තිබූ ප්‍රභූ පාලන තන්ත්‍රවල මෙහෙයවීමෙන්.

එකල පැවති වැඩවසම් ක්‍රමය යටතේ ඉඩම්වල අයිතිය තිබුණේ රටේ රජතුමාටයි. ඔහු එම ඉඩම් තමන්ට අභිමත පරිදි රදළවරුන්ට පවරා දුන්නා. ඊට හිලව්වක් වශයෙන් රජතුමාට බදු හා සේවා සැපයීමටත් අවශ්‍ය වූ විට යුධකිරීම පිණිස සේනා සම්පත් සපයා දීමටත් රදළවරු කැප වුණා. රදළවරුන්ට පවරා තිබූ ඉඩම් වගා කරනු ලැබුවේ වැඩවසම් ක්‍රමයට ගොවිතැන් කළ අඳ ගොවීන් විසින්. තමන් ලබාගත් අස්වැන්නෙන් වැඩි කොටස බදු වශයෙන් සිය රදළ ස්වාමියාට ගෙවීමට මේ අඳ ගොවීන්ට සිදුවුණා. රදළ ස්වාමියාගේ කැමැත්තකින් තොරව වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීමට ගොවීන්ට අවසරයක් තිබුණේ නැහැ. හැරත් ගොවීන් කෙරෙහි අධිකරණ බලය පැවැත්වීමේ  පූර්ණ අවසරය තිබුණේද රදළ ස්වාමියාටයි.

කෙසේවෙතත් අවසානයේදී ‘කළු මරණ’ වසංගතය නිසා යුරෝපය පුරා අති විශාල ශ්‍රම හිඟයක් ඇති වුණා. මේ නිසා විශේෂයෙන් බටහිර යුරෝපයේ ඉතිරි වී සිටි අඳ ගොවීන් බදු බර අඩුකිරීම ඇතුළුව සිය අයිතිවාසිකම් ඉල්ලා සිටීමට මෙය ඉතාමත් ම සුදුසු අවස්ථාව බව තේරුම් ගත්තා.

එහෙත් නැගෙනහිර යුරෝපයේ දී එය එසේ සිදුවුණේ නැහැ. එහි විසු ගොවීන් බටහිර යුරෝපයේ ගොවීන් තරම් හොඳින් සංවිධානය වුණේ නැහැ. ඒනිසා එහි දී වැඩවසම් රදළයන්ට තම අඳ ගොවීන් පහසුවෙන් මෙල්ල කර ගැනීමට හැකිවුණා. ඒ අනුව බටහිර යුරෝපයේ මෙන් නොව නැගෙනහිර යුරෝපයේ ආයතන වඩ වඩාත් නිස්සාරක ප්‍රතිපත්ති අනුගමනය කරමින් ගොවීන්ගේ බදුබර තව තවත් වැඩිකිරීමට පෙළඹුනා.

මේ නිසා ‘කළු මරණ’ වසංගතය බටහිර යුරෝපීය සමාජයේ තීරණාත්මක සංධිස්ථානයක් ඇති කළ බව නිසැකයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නොබෝ කලෙකින් වැඩවසම් ක්‍රමය දියකර දැමීමටත් තම ආයතනවල නිස්සාරක අභිලාෂ හැකිතරම් අවම කිරීමටත් බටහිර යුරෝපයට හැකිවුණා. එහෙත් නැගෙනහිර යුරෝපය ගමන් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවටයි.

තීරණාත්මක සංධිස්ථානයකදී වෙනස් අභිලාෂ ඇති විභින්න(divergent) මාර්ග වලට ආයතන බෙදීයාම පිළිබඳ මේ ප්‍රපංචය හඳුන්වන විශේෂ යෙදුමක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ආයතනික ප්ලාවිතය’ (institutional drift) යන නමින්. මෙයින් තේරුම් යන්නේ අනෙත් ආකාර වලින් බොහෝ දුරට එක සමාන වූ රටවල ආයතන පවා පරස්පර අභිලාෂ මත එකිනෙකට වෙනස් දිශානතියන් බලා ද්විභේදනය වීමට ඉඩ ඇති බවයි.

‘කළු මරණ’ වසංගතයෙන් ශතවර්ෂ කිහිපයකට පසු එයට අනුරූප තීරණාත්මක බලපෑමක් ඇති කළ තවත් සංසිද්ධියක් ඇතිවුණා. එනම් ගෝලීය වෙළඳාම පුළුල් වීම සහ අමෙරිකා මහාද්වීපය බ්‍රිතාන්‍යයේ සහ ස්පාඤඤයේ යටත්විජිතකරණයට ලක් වීමයි.  එහෙත් ඒ සංසිද්ධි වලින් හැම යුරෝපීය රටකටම වාසි සැලසුණේ නැහැ.

  1. කාර්මිකකරණය කිරීම පිළිබඳ පුරෝගාමින් වූ එංගලන්තය වැනි රටවල ශ්‍රීකත්වය හේතු වුනේ සියවස් ගණනක සිට අණුක්‍රමයෙන් දියුණු කරන ලද අන්තර්ග්‍රහනීය ආයතන ක්‍රමයයි.

නූතන යුගයට පාදක වූ කාර්මිකකරණය ඇති වීමට තිබූ බාධක පළමු කොට ම බිඳ දැමූ එක්තරා සුවිශේෂ රටක් වෙයි නම් එය එංගලන්තයයි.  එංගලන්තය කාර්මිකකරණය කිරීමේ ක්‍රියාවලිය ඇරඹුනේ දාහත්වෙනි සිය වසේදීයි. දහනමවන සියවස වන විට එංගලන්තය ලෝකයේ සුපිරි බලවතෙක් බවට පත් වී තිබුණා

ඇත්ත වශයෙන් ම මෙය ප්‍රශ්න කළ යුතු දෙයක්. ඇයි එංගලන්තය?  ඊට මූලික හේතුව පසුකාලීනව අන්තර්ග්‍රහනීය ආර්ථික ආයතන බිහිකිරීමට මග පෑදූ එංගලන්තයේ පාර්ලිමේන්තුව වැනි දේශපාලනික ආයතන වල සෑහෙන කලක් තිස්සේ  සිදු වූ වර්ධනයයි.

මේ දේශපාලනික ආයතන වල සාර්ථක වර්ධනයට මුල් පදනම දැමුණේ බොහෝ කලකට පෙර සිටයි. 1215 දී මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් තැබීමත් සමගයි. රජු සහ රදළයන් අතර ඇති වූ මැග්නා කාර්ටා ගිවිසුම ඉංග්‍රිසි පාර්ලිමේන්තුවේ කලල බීජයයි. එහෙත් මේ සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක වූ වර්ධනය වුණේ 1688 සිදු වූ ශ්‍රේෂ්ඨ ඉංග්‍රිසි විප්ලවයයි.  ඒ විප්ලවයේදී  පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් දෙවැනි ජේම්ස් එළවා දමා තෙවැනි විළියම් රජ කමට පත් වුණා.  ඔහුට සහයෝගය දැක්වීම තුළින් රජුගේ බලය අඩු කොට තමන්ගේ බලය වැඩිකර ගැනීමට පාර්ලිමේන්තුවට හැකි වුණා.

රජු මෙන් නොව, ඉඩම් හිමියන්ගේ සහභාගිත්වයෙන් පමණක් තෝරාගනු ලැබුවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් වුණේ ඡන්දයකින්. ඒ නිසා එසේ ඡන්දයෙන් පත්වුනු පාර්ලිමේන්තුවට තම ඉඩම් හිමි චන්දදායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවුණා. එසේ කිරීමේ දී ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ ක්‍රියාශීලී සහභාගිත්වය ධෛර්යමත් කරන සුලු අන්තර්ග්‍රහනීය ආර්ථික ආයතන ගොඩනැගීමටත් පාර්ලිමේන්තුවට  සිදු වුණා.

එයට සමගාමීව පාර්ලිමේන්තුවේ මැදිහත් වීමෙන් නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි දේපොළ අයිතිවාසකම් ඉංග්‍රිසි නීති පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවා  කරනු ලැබුවා. එමගින් තහවුරු කළ ප්‍රබල දේපොළ ආරක්ෂණ නීති නිසා ආයෝජන සහ නවොත්පාදන නිරන්තරයෙන් දිරි ගැන් වුණා.

බැංකු ක්‍රමයද ඊට අනුගාමී ව පාර්ළිමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරණු ලැබුවා. එංගලන්ත මහ බැංකුව පිහිටුවන ලද්දේ 1694දියි. එකල එහි මූලික කටයුත්තක් වුණේ අවශ්‍ය අන්දමින් ආයෝජනය කිරීම පිණිස එංගලන්ත වැසියන්ට ණය ලබා දීමයි.

එංගලන්තයේ බදු ක්‍රමයද ඊට අනුව ප්‍රතිසංස්කරණය වුණා.  නිෂ්පාදන කර්මාන්ත දිරි ගැන්වීම පිණිස යපස් උදුන් වැනි නිෂපාදනයට අවශ්‍ය ඇතැම් භාණ්ඩ සඳහා බදු පැනවීම අහෝසි කරනු ලැබුවා. ඒ වෙනුවට ඉඩම් බදු ආදේශ කරනු ලැබුවා. රාජ්‍ය නිලධාරි තන්ත්‍රය පුළුල් කරනු ලැබූ නිසා සුරාබදු අයකිරීම වඩා කාර්යක්ෂම කර ගැනීමට ද හැකි වුණා. බදු ප්‍රතිපත්තියේ මූලික අරමුණක් වුණේ බදු මුදල් නැවත ආයෝජනය කිරීම තුළින් ආර්ථිකය උත්තේජනය කිරීමයි.

ඒ නිසා දහ අටවැනි සහ දහ නවවැනි ශතවර්ෂ වලදී එංගලන්තයේ යටිතල පහසුකම් කැපී පෙනෙන අන්දමින් දියුණු වුණා. පළමුවෙන්ම එංගල්තය පුරා ඇල මාර්ග ජාලයක් ගොඩනැගුණු අතර ඉන් පසු දුම්රිය මාර්ග ජාලයද ව්‍යාප්ත කරනු ලැබුවා. මේ පරිවහන ක්‍රම දෙක මගින් රට පුරා නිමි භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය පරිවහනය කාර්යක්ෂම කිරීමට හැකි වුණා.

මේ සියලු සාධක එංගලන්තය සීඝ්‍රයෙන් කාර්මිකකරණය කිරීමට සමත් වුණා. මේ වන විට විශාල පරිමාණයෙන් නිමි භාණඩ නිපදවීමට අවශ්‍ය හැකියාව එංගලන්තයේ කර්මාන්ත කරුවන් විසින් ගොඩනගනු ලැබ තිබුණා. එම භාණ්ඩ ලෝකය පුරා අලෙවි කරනු ලැබූ අතර එතුළින් ලැබුණු ඉමහත් ලාභය මගින් බදු ආදායම ඉහළ නැංවීමට හැකි වූ නිසා ආර්ථිකය නිරන්තරයෙන් ප්‍රතිපෝෂණය වුණා.

මෙසේ ධනවාදය එංගලන්තයේදී ඉතා හොඳින් වැඩ කළා. එහෙත් මේ ආර්ථික වර්ධනය සහ ඊට උදව් වූ යටිතල පහසු කම් නිසා එංගලන්තයේ ආයතන වඩ වඩා අන්තර්ග්‍රහනීය කිරීමට හැකි වූණේ කෙසේද?. ඊළඟට අපි ඒ ගැන සාකච්ඡා  කරමු.

  1. අන්තර්ග්රහනීය ආයතන වඩා සාදාචාරී යහපත් යුගයක් බිහි කිරීමට දායක වෙනවා

තවදුරටත් එංගලන්තය ම අපේ සිද්ධි අධ්‍යනය වශයෙන් සලකමු.  මූලික අන්තර්ග්‍රහනීය ආයතන නිසිලෙස ක්‍රියාත්මක වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ත්ර්ග්‍රහනීය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවීම හුදු අහම්බයක් නොවෙයි.

ඊට හේතුව අන්තර්ග්‍රහනීය ආයතන මගින් ආර්ථික වර්ධනය උත්තේජනය කරණවා පමණක් නොව කලක් ගතවන විට එහි ප්‍රත්‍යවර්ත්‍ය ප්‍රතිඵලයක් වශයෙන් අදාළ ආයතනයේ කාර්යක්ෂමතාව ද ඉහළ යෑමයි.

එංගලන්තයේ දේශපාලනික ආයතන වඩ වඩා බහුත්වවාදි වන විට ඒ හැම කණ්ඩායමකම පොදු අභිලාෂ සාක්ෂාත් කරගැනීම සහතික කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව එතෙක් අනෙකුත් ප්‍රබල කණ්ඩායම් සීමාව තිබූ අයුතු බලය නීතිය මගින් සීමා කිරිමට සිදුවුණා.

පියවරෙන් පියවර දහනමවෙනි සහ විසිවෙනි ශතවර්ෂවල මේ ආයතන වඩ වඩා අන්තර්ග්‍රහනීය ස්වභාවයක් ගත්තා. ධනය බලය කුමක් වුවද ඉඩම් හිමියන්ගේ ඒකාධිකාරය  ඉක්මවා ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ට ම එක සමාන ව ලැබෙන තෙක් ඡන්ද බලය ද සර්වජන බලයක් දක්වා පුළුල් වුණා.

ඡන්දබලය හිමි නො වූ බහුතරය විසින් නොකඩවා කරන ලද අරගල නිසයි අවසානයේ එසේ සර්වජන ඡන්ද බලය සැමට ලැබුණේ. මෙහිදී කම්කරු වර්ජන, සමාජ අසහනය, මහජන පෙත්සම් සහ උද්ඝෝෂන ව්‍යාපාර මේ අයිතිය දිනා ගැනීමේ ලා බෙහෙවින් දායක වුණා.

ඒ වන විට ඡන්ද බලය අහිමිව තිබූ අයගේ ඒ ජයග්‍රහණය හුදෙක් කිසිවක් නැති රික්තයක් තුළ ඇති වූවක් නොවෙයි. එක් පැත්තන් එංගලන්තයේ එවකට වර්ධනය ව තිබූ දේශපාලනික ආයතන බෙහෙවින් සම්මුතිකාමී ඒවා වුණා.  අනෙක් අතට ක්‍රමවත් ලෙස ආණ්ඩු කිරීම සහ රජයේ ස්ථාවර භාවය පවත්වා ගැනීම ප්‍රභුවරුන්ගේ අභිලාෂයන්ට ද අත්‍යවශ්‍ය දෙයක් වුණා. හැරත් මූල්‍යමය වශයෙන් මෙතරම් සාර්ථක වූ ක්‍රමයක් කඩා බිඳ වැටීමට ඉඩදීම කාගේ කාගේත් අභිලාෂ හා එකඟ වුණේ නැහැ. එනිසා ප්‍රචණ්ඩ විප්ලවයකින් පීඩා විඳීමට වඩා ඡන්ද බලය හිමි නො වූ අයගේ ඉල්ලීම් වලට කන් දී එකඟත්වයකට පැමිණීම සියලු දෙනාගේ ම හිතසුව පිණිස සිදු වූ දෙයක්.

මෙසේ සර්වජන ඡන්දය පුළුල්වීම දේශපාලන ආයතන තව තවත්  බහුත්වාදී වීමට හේතු වුණා. ඒ අනුව එම ආයතන නිරන්තරයෙන් ම බහු ජනතාවකගේ ආර්ථික අවශ්‍යතා නියෝජනය කිරීමට හැඩ ගැහුණා. එයට අනුරූපව ආර්ථික ආයතනද වඩ වඩා අනතර්ග්‍රාහී බවට පත් වුණා.

සර්වජන ඡන්දය සහ සාධාරණත්වය නමැති යන්ත්‍ර මෙසේ සෙමින් සෙමින් කැරකෙන්නට පටන් ගත් විට එම යන්ත්‍ර කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් බවට පත් වූයේ ජන මාධ්‍යයි.

බලසම්පන්න උදවිය සංනිරීක්ෂණයට ලක් කරමින් ජනමාධ්‍ය නිරන්තරයෙන් ම දේශපාලන සිදුවීම් ගැන ඡන්ද දායකයින්ට දැනුම් දුන්නා. කොටින් කිව්වොත් දේශපාලනික ක්‍රියාවලිය අන්තර්ග්‍රහනීය ආයතන මට්ටමින් නොකඩවා ඉටුකර ලීම ජනමාධ්‍ය මගින් සහතික කරනු ලැබුවා.

අත්ලන්තික් සාගරයේ එගොඩින් ද මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් දිය හැකියි.

විසිවෙනි ශතවර්ෂය එළඹීමත් සමග අමෙරිකා එක්සත් ජනපදයේ “චෞර සිටුවරු” (robber barons) ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සහ එක්සත් ජනපද වානේ සමාගම වැනි ඉතා බලගතු ඒකාධිකාරී ව්‍යාපාර ඇතිකරගෙන තිබුණා. එහෙත් ආර්ථික බලය තව තවත් ඒකරාශි කර ගැනීමට ඒ ‘චෞර සිටුවරු’ දැරූ වෑයම 1901 සිට 1921 දක්වා කාලය තුළ ජනාධිපති ධුර දැරූ තියඩෝර් රූස්වෙල්ට්, විලියම් ටෆ්ට් සහ වුඩ්රෝ විල්සන් විසින් ඒකාධිකාර විරෝධී නීති රීති සම්පාදනය කොට ව්‍යවර්ථ කරනු ලැබුවා

මේ ඒකාධිකාර විසින් බලය අනිසි ලෙස යොදා ගැනීමේ අවදානම ජාතික මට්ටමේ ප්‍රශ්නයක් බවට පත් වූයේ පුවත්පත් වල නොපසුබට උත්සාහයන් නිසයි.  ඒ පුවත්පත් සැපයූ තොරතුරු වලින් සන්නද්ධ වූ  මහජනතාව අනිසි ඒකාධිකාර පාලනය කිරීම පිණිස සුදුසු ප්‍රතිසංස්කරණ ඉල්ලමින් රට පුරා උද්ඝොෂණ කළා.

  1. රටක අධිකාරි බලය ඒකරාශී වීම බොහෝ විට එම රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.

සැම විටම නැණවත් නායකයෝ දරිද්‍රතාව වෙනුවට සෞභාග්‍යය ළඟා කර දීම පිණිස තම රටවල් මෙහෙයවනු ඇතැ’යි බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්.

එහෙත් අවාසනාවකට මෙන් සාමාන්‍යයෙන් දේශපාලනික ප්‍රභූවරු යනු බෙහෙවින් ආත්මාර්ථකාමී කල්ලියක්. මේ හේතුව රටක සංවර්ධනය කෙරෙහි බොහෝ විට අහිතකර ලෙස බලපානවා.

මේ ගැන හොඳ උදාහරණයක් මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය විමසීමෙන් දැන ගත හැකියි. 1445 ජර්මනියේ මේන්ස් නුවර දී උපත ලද මුද්‍රණ යන්ත්‍රය පහළොස්වැනි සියවස අවසාන වන විට ස්ට්‍රාස්බෝර්ග්, රෝමය, ෆ්ලොරන්ස්, ලන්ඩන්, බුඩාපේස්ට්, කැරකොව් වැනි ‍යුරෝපීය නගර වලට ද පැතිර තිබුණා.

එහෙත් යුරෝපයට නුදුරු ව පිහිටි ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ පාලකයෝ එය මුලුමනින් ම ප්‍රතික්ෂේප කළා. ඔවුන් මුද්‍රණ යන්ත්‍රය සැලකුවේ තමන්ගේ  අධිකාරී බලයට එල්ල වන තර්ජනයක් ලෙසයි. ඒ අනුව ඔටෝමාන් අධිරාජ්‍ය තුළ මුස්ලිම් ජනතාවට අරාබි බසින් මුද්‍රණ කටයුතු කිරීම තහනම් වුණා. 1727 වන තෙක් ම මේ තහනම පැවතුණා. තහනම ඉවත් කළ පසු ද රජය පිළිගත් ආගමික හා නීතිය පිළිබඳ විශේෂඥයන්ගේ පසුබිම් පරීක්ෂණයකින් තොරව කිසිවක් මුද්‍රණය කොට බෙදා හැරීමට කාටවත් ඉඩ ලැබුණේ නැහැ. මේ ප්‍රතිපත්තිය තුර්කියේ අධ්‍යාපනය කෙරෙහි කෙතරම් විෂම ලෙස බලපෑවේ දැයි කිව හොත් එකල එංගලන්තයේ සාක්ෂරතාව 40%-60% අතර වන විට ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ සාක්ෂරතාව පැවතුණේ 2%-3% දක්වා වූ ඉතා පහළ මට්ටමකයි.

ආර්ථික වර්ධනයට බාධා කරන තවත් වැදගත් කාරණයක් වන්නේ ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ (creative destruction)පිළිබඳ ව දේශපාලනික ප්‍රභූවරු දක්වන අනවරත බියයි.

‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ යනුවෙන් මෙහි දී අප හඳුන්වන්නේ කාර්යක්ෂමතාව වැඩි කරන නවෝත්පාදන හා නව සොයා ගැනීම් නිසා ආර්ථිකයේ ඇතැම් අංශ යල්පැන යාමයි. මහන මැසිම සොයා ගැනීම නිසා අතින් මැසූ පාරම්පරික ඇඟලුම් කර්මාන්තය අභාවයට යාම මේ සඳහා දිය හැකි උදාහරණයක්.

දහනමවැනි සිය වසේ මුල් කාලයේ ඔස්ට්‍රියාවේ රජකම් කළ පළමුවැනි ෆ්‍රැන්සිස් අධිරාජයා කාර්මික කරණයට බෙහෙවින් විරුද්ධ වූ අයකු ලෙස ප්‍රකට යි.  1811 වන තෙක් ම ඔස්ට්‍රියානු අධිරාජ්‍ය තුළ නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම තහනම් වූ අතර රට තුළ දුම්රිය සේවා හඳුන්වා දීමට ද සැලකිය යුතු විරෝධයක් ඇති වුණා. නව තාක්ෂණය තර්ජනකාරී විප්ලව වලට හෙතුවේයැ’යි යැයි ෆ්‍රැන්සිස් අධිරාජයා නිතරම බිය වුණා. ඒ හැර රජුට පක්ෂ ප්‍රභූවරු සතුව තිබූ සම්ප්‍රදායික කර්මාන්තවලට ද නව තාක්ෂණයෙන් අභියෝග එල්ල වෙතැයි බියක් ද තිබුණා.

කාර්මික විප්ලවය හා බද්ධ වූ ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ පිළිබඳ හුඹස් බිය නිසා ඔස්ට්‍රියාවේ සංවර්ධනය සෑහෙන පසුබෑමකට ලක් වුනා.

ඒ අනුව 1833 දී අනෙකුත් බොහෝ රටවල් යපස් උණු කිරීම පිණිස වඩා කාර්යක්ෂම ඉන්ධනයක් වූ ගල් අඟුරු 90% ක් ම උපයෝගී කර ගන්නා විට ඔස්ට්‍රියාව තවමත් පැරණි ක්‍රමයට අනුව යමින් ඒ සඳහා බෙහෙවින් අකාර්යක්ෂම දැව අඟුරු භාවිතා කළා. එය හරියට ම කාර්මික විප්ලවය ඔස්ට්‍රියාවට නො පැමිණියා වගේ දෙයක්. ඇත්ත වශයෙන් ම පළමුවැනි ලෝකය අවසානයේ ඔස්ට්‍රො-හන්ගේරියානු අධිරාජ්‍ය කඩා වැටෙන විට එහි පේෂ කර්මාන්තයෙන් වැඩි කොටසක් ම යුරෝපයේ අනෙකුත් රටවල තරම් කාර්මිකකරණය ට ලක් වී තිබුණේ නැහැ.

  1. නිස්සාරක ආයතන (Extractive Institutions) නිසා ඇතිවෙන දුර්විපාක කාලාන්තරයක් තිස්සේ ම පවතිනවා.

අන්තර්ග්‍රහනීය ආයතන කලක් යන විට වර්ධනය වන ආකාරය ගැන අප සාකච්ඡා කළා. ලෝකය පුරාම නිස්සාරක ආයතන වල වර්ධනය සිදුවන්නේත් ඊට සමාන ආකාරයකටයි. ඒවා හැඩ ගස්වන්නේත් දිග්ගස්සන්නෙත් චිරස්ථායී කරනු ලබන්නේත් ඓතිහාසික බලවේග විසිනුයි. වහල් ක්‍රමය හා සම්බන්ධ ආයතන සහ ඒවායේ අනවරත ඓතිහාසික බලපෑම විමර්ශනයට ලක් කළ විට මෙය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා.

දාහත්වැනි සියවසේ යුරෝපීය යටත්විජිතවාදීන් අප්‍රිකාවට සම්ප්‍රාප්ත වීමට පෙර  අප්‍රිකාවේ ද වහල් ක්‍රමය පැවතුණා. යුරෝපීයයන් වැඩි වශයෙන් ම අප්‍රිකාවට පැමිණියේ නව ලෝකයේ පිහිටි ඔවුන්ගේ උක්වතු වලට අවශ්‍ය  බලහත්කාර ශ්‍රමය දඩයම් කර ගැනීමටයි.

මෙසේ වහලුන් සොයා අප්‍රිකාවට පැමිණි විදේශිකයන්ට වහලුන් විකිණීමෙන් විශාල ධනයක් උපයා ගත හැකි බව ස්වදේශික පාලකයන් තේරුම් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානුවන් වහල් භාවයට පත් කිරීම වඩ වඩාත් වේගවත් වුණා. ගෝත්‍රික යුද්ධ වලදී අල්ලා ගත් යුද හිරකරුවන් සහ සමාජ අපරාධකරුවන් වශයෙන් නම් කළ අය නිතරම වහලුන් ලෙස විකුණුනා. ඇතැම් අප්‍රිකානු සමාජ වල දඬුවම් පැමිණ වීමේ එකම ක්‍රමය වූයේ ද සියලු ආකාරයේ වැරදි කාරයන් වහල්භාවයට පත් කිරීමයි.

වහලුන් මෙන් ම කපු වැනි අනෙකුත් අමුද්‍රව්‍ය සැපයීමේ හිලව්වට වෙළෙන්දෝ යුරෝපයේ සිට අප්‍රිකාවේ ස්වදේශික පාලකයන්ට අවි ආයුධ ගෙන්වා දුන්නා. එයින් සිදු වූ එකම දේ අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර ප්‍රචණ්ඩ ගැටුම් උසි ගැන්වීමට හැකි වීමයි.

ලෝක මට්ටමේ වහල් වෙළදාම 1807 දී තාක්ෂණික ව නතර වූ නමුත් අප්‍රිකාවේ දී එය දිගටම පැවතුණා. එකම වෙනස වුණේ එහි දී වහල්ලු යනු අභ්‍යන්තර හා බාහිර වෙළඳ පොළවල් වලට නිෂ්පාදනය කිරීම පිණිස වැඩ කිරීමට බල කරනු ලැබූ හුවමාරු භාණ්ඩයක් වීම පමණයි.

එහෙත් එයින් ඒ ක්‍රියාදාමය අවසන් වුණේ නැහැ. විසි වෙනි සියවසේ දෙවැනි භාගයේ දී අප්‍රිකානු නිදහස් අරගල ව්‍යාපාර බෙහෙවින් සාර්ථක වුණත් යටත් විජිතවාදීන් විසින් පිහිටු වන ලද පීඩාකාරී නිස්සාරක ආයතන දිගටම එසේම පැවතුණා.

එයට උදාහරණයක් වශයෙන් සියරා ලියොනය ගනිමු. එය දහනම වැනි සියවසේ මුල සිට 1961 දක්වා ම පැවතුණේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසයි. බ්‍රිතාන්‍ය රජුගේ නාමයෙන් එක් එක් ප්‍රදේශ පාලනය පිණිස  බ්‍රිතාන්‍යයයෝ ස්වදේශීය පරම ගෝත්‍රික නායකයන් පත් කළා.

වර්තමානයේ මේ පරම ගෝත්‍රික නායකයන් යාවජීව පාලකයන් ලෙස පත් කරන්නේ ඡන්දයකින් තෝරා පත් කර නොගත් ගෝත්‍රික අධිකාරිය නම් වූ ආයතනයක් මගිනුයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙන් ම රදළ පවුල් කිහිපයක සාමාජිකයන්ට පමණයි මේ  ක්‍රමය යටතේ පරම ගෝත්‍රික නායකයන් බවට පත් විය හැක්කේ.

මෙයින් කියවෙන්නේ කලින් තිබුණාක්  මෙන් ම දේශපාලන ක්‍රමය බෙහෙවින් නිස්සාරක වී ඇති බවයි.

ආර්ථික ක්‍රමයට සිදු වී ඇත්තේ ද ඒ හා සමාන වූ දෙයක්. 1949 දී බ්‍රිතාන්‍යයන් විසින් සියරා ලියොන් නිෂ්පාදන වෙළඳ මණ්ඩලය පිහිටවනු ලැබුවා. නිෂ්පාදන වල මිල උච්චාවචනය වීම් වලින් ගොවීන් ආරක්ෂා කරුණු වස් පිහිට වූ ආයතනයක් ලෙසයි එය හැඳින්වූයේ. එකම වෙනස ඒ සඳහා ගොවීන් විසින් කිසියම් ගාස්තුවක් ගෙවීමට සිදුවීමයි. අනුක්‍රමයෙන් වරින් වර ඉහළ නැංවූ මේ ගාස්තුව 1960 මැද භාගය වන විට ගොවීන්ගේ ආදායමෙන් භාගයක් පමණ වූවා.

නිදහස ලැබීමෙන් පසුව ද මේ ක්‍රමය අවසන් වුණේ නැහැ. ඇත්ත වශයෙන් ම 1967 දී අගමැති ධුරයට පත් වු සිආකා ස්ටීවන්ස්ගේ රජය ගොවීන්ගේ ආදායමෙන් 90% පමණ ම බදු වශයෙන් අය කළා.

මෙහි දී පැණ නගින තර්කානුකූල ප්‍රශ්නය වන්නේ නිදහස ලැබීමෙන් පසුව ද එවැනි නිස්සාරක ආයතන කඩා නොවැටුනේ ඇයි ද යන්නයි? ඊළඟට අපි ඒ ගැන සොයා බලමු.

  1. දරිද්‍රතාවේ විෂම චක්‍රය නිස්සාරක ආයතන (extractive institutions) වල ඵලයකි.

නිස්සාරක ආයතන සාමාන්‍යයෙන් බිහි වන්නේ රටක නායකයන් නිවැරදි සංවර්ධන ප්‍රයත්න වලට ප්‍රතිරෝධය දක්වමින් සිය බලය තහවුරු කර ගැනීමට වෙර දරන විටයි.  එහෙත් එය හුදෙක් ආරම්භය පමණයි. ප්‍රශ්නය වන්නේ නිස්සාරක දේශපාලනික ආයතන යනු ස්වයං චිරස්ථායී වන ආයතන වීමයි.

නිස්සාරක ව්‍යුහයක අරමුණ වන්නේ ම පාලන තන්ත්‍රය කෙරෙහි ප්‍රභූ පැලැන්තියේ ඇති ග්‍රහණය සුරක්ෂිත කර තබා ගැනීමයි. ඒ අනුව එම නිස්සාරක ව්‍යුහය ස්වාර්ථය පිණිස ම චිරස්ථායී කිරීම ද ප්‍රභූ පැලැන්තියේ අභිලාෂයයි.

උදාහරණයකට දහනව වැනි සියවසේ දී  අමෙරිකා එක්සත් ජනපදයේ වහල් ක්‍රමය පවත්වා ගෙන ගිය දකුණු දිග ප්‍රාන්ත රාජ්‍ය වල පැවති තත්ත්වය විමසා බලමු. එම ප්‍රාන්ත වල සුදු ජාතික ඉඩම් හිමි ප්‍රභූවරු දේශපාලනික හෝ ආර්ථික අයිතීන් හෝ නො තිබුණු කළු වහල් සේවකයන්ගේ ශ්‍රමයෙන් ඉමහත් ලෙස ලාභ ඉපද වූවා. එහෙත් 1865 ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසානයේ  උතුරු ප්‍රාන්ත රාජ්‍ය එකතුව දකුණ දිග ප්‍රාණ්ත පරාජය පසු වහල් ක්‍රමය නීති විරෝධි කර අහෝසි කර දමනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කළු මිනිසුන්ට ද ඡන්ද බලය හිමි වුණා.

එහෙත් දකුණු දිග ප්‍රාන්ත රාජ්‍ය වල ඉඩම් හිමි ප්‍රභූවරු වහල් බවින් නිදහස් වූ හිටපු වහලුන් තව දුරටත් ලාභ ශ්‍රමිකයන් වශයෙන් යොදා ගෙන ඔවුන් සූරා කෑමට සූදානම් වුණා. තම බලය තහවුරු කර ගැනීමේ අටියෙන් දකුණු ප්‍රාන්ත වල ඉඩම් හිමි පැලැන්තිය ඡන්දදායකයන් වීමට බලාපොරොත්තු වන අයට ඇඟ බදු සහ සාක්ෂරතා පරීක්ෂණ නියම කරා. එහි ඇත්ත අභිප්‍රාය වුණේ කාලාන්තරයක් තිස්සේ ම අධ්‍යාපනය ලබාගැනීමෙන් වළක්වන ලද කළු ජාතිකයන්ට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අහිමි කිරීමයි.[1]

මේ බල අසමතාවයේ ගතික ස්වභාවය 19වෙනි සියවසේ අගභාගයේ දී සහ 20වෙනි සියවසේ මුල භාගයේ දී පැන වූ ජිම් ක්‍රෝ (Jim Crow) නීති මගින් මනා කොට පෙන්නුම් කරනවා.  එම නීති මගින් වර්‍ණභේදී විසංගමනය(segregation) හෙවත් කලු හා සුදු ජාතිකයන්ට වෙන වෙනම පාසැල් සහ කල්ලන්ට වෙනම මගී  ආසන ආදී විවිධාකාර ලෙස වෙනස් කොට සැලැකීම් නීත්‍යනුකූල කරනු ලැබුවා.

පාලන තන්ත්‍ර මාරු වූ විට දී වූවද එවැනි නිස්සාරක ආයතන දිගින් දිගටම පැවතීම බෙහෙවින් අධ්‍යනයට ලක් ව ඇති විෂයයක්.  ඒ ප්‍රවණතාවය විසි වෙනි සියවසේ මුලදී ජර්මානු සමාජ විද්‍යාඥයෙකු වූ රොබර්ට් මයිකල්ස් විසින් හඳුන්වන ලද්දේ ‘කතිපයාධිකාරිත්වයේ යකඩ නීති’ (the iron law of oligarchy)යන නමිනුයි. මින් අදහස් කරන්නේ බලය ග්‍රහණය කර ගෙන ඇත්තේ එකම ප්‍රභූ කල්ලිය ද නැත්නම් වෙනත් ප්‍රභූ කල්ලියක් ද යන්න නො තකා සිය සුපුරුදු අකටයුතු නොකඩවා ම පවත්වා ගෙන යාමට කතිපයාධිකාරී ආයතන දක්වන ළැදියාවයි.

පශ්චාත් නිදහස් අරගල සමයේ අප්‍රිකාවේ ද ඇත්තට ම සිදු වූයේ ඒ හා සමාන දෙයක්. යුරෝපීයයන් විසින් එහි ගොඩ නැගූ නිස්සාරක ආයතන අදටත් ඒ ආකාරයෙන් ම  වාගේ ක්‍රියාත්මක වෙනවා. එවැනි ආයතන මගින් බලය ලබාගන්නා අය  ආයතනවල එම බලය තවදුරටත් තහවුරු කිරීමට ම කටයුතු කරන බව අමුතු වෙන් කීමට අවශ්‍ය නැහැ.

උදාහරණයකට සියරා ලියෝනයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ සිආකා ස්ටීවන්ස්ගේ හැසිරීම සලකා බලමු. සිය දේශපාලන විරුද්ධවාදියා ට ආධාර කළ මෙන්ඩි ගෝත්‍රිකයන් ගෙන් ඔහු එලව එලවා පලිගත්තා. මෙන්ඩි ගොත්‍රිකයන්ගේ නිජබිම් වූ ප්‍රදේශ වල සිට අපනයනන් පිටට යැවූ දුම්රිය සේවා විනාශ කොට ඔවුන්ගේ ආර්ථිකය කඩාකප්පල් කර දැමීමට ද ඔහු කටයුතු කළා. එයට අනුරූප ව ඔහු තව තවත් අධිකාරී බලතල ආරෝපණය කර ගත්තා. ඉතින් සියරා ලියෝනයේ  ජාතික ආයතන තව දුරටත් ජනතාව නියෝජනය කළ බව නම් සත්‍යයක් නොවෙයි.

  1. නිස්සාරක ආයතන තුළින් වර්ධනයක් ලබාගැනීම කළ නො හැක්කක් ද නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ එවැනි වර්ධනයක් තිරසර වර්ධනයක් නොවීමයි.

කොයි අතින් බැලුවත් පෙර පැවති සෝවියට් සමූහාණ්ඩුව අන්තර්ග්‍රහනීය දේශපාලන හා ආර්ථික ආයතන පරිපෝෂණය කළ ආණ්ඩුවක් වශයෙන් සැලකිය නොහැකියි.

ඒ එසේ වූවද ආරම්භයේ සිට 1970 ගණන් දක්වා ම ඇතැම් ක්ෂේත්‍ර තුළ සෝවියට් සමූහාණ්ඩුව ලබාගත් සාර්ථකත්වය අවිවාද ජනකයි. සෝවියට් සමාජය ද නවොත්පාදනශීලී සමාජයක්. ප්‍රථම ගගනගාමියා  අභ්‍යවකාශයට යැවීමට සෝවියට් සංගමය සමත් වූයේ එ් නිසයි. ඇත්ත වශයෙන් ම 1928 සිට 1960 දක්වා කාලපරිච්ඡේදය තුළ සෝවියට් ආර්ථිකය වසරකට 6% බැගින් වූ සැලකිය යුතු වර්ධන වේගයකින් දියුණු වී තිබුණා.

මේසා කැපී පෙනෙන දියුණුවකට එක් හේතුවක් වුණේ දිගු කලක් තිස්සේ මුළුමනින් ම ඌන සංවර්ධිත ව පැවති ප්‍රාන්ත කිහිපයකින් ම සෝවියට් සමූහාණ්ඩුවෙ සංයුක්ත වීමයි. එවැනි ඇතැම් සෝවියට් ප්‍රාන්ත රාජ්‍ය වල වැඩවසම් ක්‍රමය අහෝසි කර ඒ වන විට වැඩි කාලයක් ගත ව තිබුණේ නැහැ. ඒ අනුව එම ප්‍රාන්ත වල කෘෂිකර්ම ක්ෂේත්‍රයට වෙන් කර තිබූ සම්පත් බොහොමයක් ඥානාන්විත ලෙස වඩා ඵලදායී වූ කාර්මික ක්ෂේත්‍රයට ආයෝජනය කිරීමට සෝවියට් සමූහාණ්ඩුව සමත් වුණා.

එහි ප්‍රතිඵලය වුණේ ආර්ථිකය දැවැන්ත ලෙස වර්ධනය වීමයි. නිස්සාරක ආර්ථික ආයතන වලින් සමන්විත මෙවැනි ක්‍රමයකින් ඒ සා විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට හැකි වීම බැලූ බැල්මට ම විමතිය දනවන දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. සෝවියට් ක්‍රමය තුළ දේපළ අයිතිය ඉතා සීමිතයි. කම්මැළි කම්කරුවන්ට නියමිත දඬුවම වුණේ හිර ගෙදරයි. මේ  සියල්ලට ඉහළින් නිර්දය ජනක ඒක පාර්ශ්වීය ඒකාධිපතිත්වයකින් යුත් බෙහෙවින් නිස්සාරක දේශපාලනික ආයතන ක්‍රමයක් ද තිබුණා.

එහෙත් එවැනි නිස්සාරක ආයතන ක්‍රමයක් තුළ සාර්ථක කරගත් ආර්ථිකයක් තිරසර ආර්ථිකයක් බවට පත් නොවන බව අමුතු වෙන් කීමට අවශ්‍ය නැහැ. වරක් සිය ආයෝජන වඩා කාර්යක්ෂම භාවිතය පිණිස යෙද වූ පසු වර්ධනය තව දුරටත් ව්‍යාප්ත කිරීම පිණිස සෝවියට් සමූහාණ්ඩුවට වැඩි ඉඩ කඩක් තිබුණේ නැහැ. ඒ හැර සෝවියට් ආර්ථික ක්‍රමය නිර්ව්‍යාජ ලෙස ම නවෝත්පාදන බිහි කිරීම සහ ඒ මත ආර්ථික වර්ධනය ඇති කිරීම පිණිස  සැලසුම් කළ එකක් ද නොවෙයි.

මෙයට හේතු ඉතා පැහැදිලියි. නිස්සාරක ආර්ථික ක්‍රම සාමාන්‍යයෙන් ශ්‍රම ඵලය දිරි ගන්වන ආකාරයේ පාරිතෝෂික පිරිනමන ඒවා නොවෙයි. සෝවියට් පාලක පැලැන්තිය රටේ ආර්ථිකයට සහභාගී වන  බලවේග සිය අත්තනෝමතික අභිමතය පරිදි ඊනියා  ‘නිවැරදි’ කිරීමේ කටයුත්තේ නිරන්තරයෙන් නියැලී සිටියා. ඒ අනුව ඔවුන් අතින් වැරදි සිද්ධ වීම කිසි සේත් ම වැළැක්විය නොහැකියි.

උදාහරණයක් වශයෙන් 1956 දී සෝවියට් පාලකයෝ නව නිර්මාණ වල නිෂ්පාදන ඵල දායකත්වය අනුව නවෝත්පාදන පාරිතෝෂික ප්‍රදානය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එහෙත් මෙහි දී නිෂ්පාදන ඵල දායකත්වය යන්න ගණනය කළේ ආයතනයක සමස්ත වේතන පිරිවැය අඩු වන ප්‍රමාණය අනුවයි. මෙහි තේරුම වුයේ ශ්‍රම භාවිතය අවම කරන නවෝත්පාදන නිසා සේවකයන්ට ලැබෙන වේතනය අඩු වීමේ අවදානමයි. මන්ද නවෝත්පාදන නිසා වේතන පිරිවැය අඩු විය යුතු බැව් පාලක පැලැන්තිය නියම කළ නිසායි. ඒ නිසා නවෝත්පාදන බිහි කිරීම ගැන සෝවියට් සේවකයන් ඒ තරම් උනන්දුවක් දැක්වුයේ නැහැ.

නිස්සාරක ක්‍රම වල තවත් ලක්ෂණයක් වන්නේ ඒවායේ නායකයන් අප කලින් විස්තර කළ  ‘නිර්මාණශීලී විනාශකාරීත්වය’ (creative destruction)අධෛර්යමත් කිරීමයි. එයට හේතුව ආර්ථික වර්ධනයට කොයි තරම් වැදගත් විය හැකි වුව ද ඕනෑම ආකාරයක නවෝත්පාදනයක් පාලක පැලැන්තියේ සමාජ තත්ත්වයට, ස්ථාවරයන්ට හා වරප්‍රසාද වලට සෘජු තර්ජනයක් විය හැකි වීමයි.

අවසාන වශයෙන් කිව යුතු කරුණ වන්නේ නිස්සාරක දේශපාලන ක්‍රම ඇති රටවල ප්‍රභූ පැලැන්තිය තුළ ඇති අභ්‍යන්තර ගැටුම් නිසා අස්ථාවරත්වය හා අව වර්ධනය ඇති විය හැකි බවයි. එයට හේතුව වරක් අන් අය අබිබවා බලය තහවුරු කරගත් විට තමන්ට ලැබෙන ප්‍රතිලාභ හා කොල්ලකා ගත හැකි අති මහත් ධන ප්‍රමාණය ගැන දැනීමක් ඒ සියල්ලන්ට ම ඇති නිසායි. එවිට හැම කෙනෙකුට ම අවශ්‍ය වන්නේ කේක් ගෙඩියෙන් ලොකු ම කොටසයි.

  1. දරිද්‍රතාවේ විෂම චක්‍රය බිඳ දැමීම අපහසු දෙයක් වුණත් කළ නොහැකි දෙයක් නොවේ.

අවශ්‍යතාවක් ඇත්නම් නම් ඕනෑම සමාජයක ජීවන මට්ටම තිරසාර ලෙස වර්ධනය කර ගැනීමට හැකි බව අප දුටුවා. එහෙත් එයට මූලික කොන්දේසිය වන්නේ අන්තර්ග්‍රහනීය හා බහුත්වවාදී ආර්ථික හා දේශපාලනික ආයතන ක්‍රමයක පැවැත්මයි.

ඒ අනුව සෞභාග්‍යමත් අනාගතයක් ඇති කිරීම පිණිස කළ යුතු ව ඇත්තේ කුමක් ද? ඓතිහාසික වශයෙන් දැනටත් නිස්සාරක දේශපාලන හා ආර්ථික ආයතන වලින් පීඩනයට ලක් ව ඇති එහෙත්  ඒ ප්‍රවණතාවෙන් ගැලවීමට අවශ්‍ය කරන රටවල් විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද?

එහි දී ප්‍රථමයෙන් ම තේරුම් ගත යුතු කාරණය වන්නේ ඉතිහාසය නියතිවාදී (deterministic) නොවන බවයි. එයින් ඇත්තටම අදහස් කළේ සෑම විටම අනාගතය අතීතය විසින් හැඩ ගස් වනු ලබන්නේ නැති බවයි.

අප විසින් නිරීක්ෂණය කරන ලද පරිදි නිස්සාරක(extractive) සහ අන්තර්ග්‍රහනීය (inclusive) යන දෙවර්ගයේ ම ආයතන බිහි වන්නේත් පවතින්නේත් සමාජයක් තීරණාත්මක සන්ධිස්ථානයකට පිවිසි පසු අදාළ දේශපාලනික හා ආර්ථික ආයතනික ක්‍රමයේ ඇතිවෙන විතැන්වීම නිසායි. එහෙත් එම විතැන්වීම පූර්ව නිශ්චිත මාර්ගයක යන ගමනක් ද නොවේ. මන්ද විෂම චක්‍ර මෙන් ම යහපත් චක්‍ර ද එවැනි අවස්ථා වල දී කැඩී බිඳී යාමට ලක් විය හැකි නිසයි.

බ්‍රිතාන්‍ය සහ අවශේෂ යුරෝපය දෙස නැවත බලමු. ඇත්ත වශයෙන් ම සෑහෙන කලක් ඒවායේ ආයතන බොහෝමයක් නිස්සාරක ඒවා වුණා. කෙසේ වෙතත් ඒ රටවල් මුහුණ දුන්  තීරණාත්මක සන්ධිස්ථාන විසින් වඩා අන්තර්ග්‍රහනීය ආයතන ඇති කිරීම කරා එම රටවල් යොමු කරවනු ලැබුවා. එයින් ඇතැම් ඒවා රුදුරු ‘කළු මරණය’ විසින් ද තවත් බොහෝ ඒවා ධනවාදයේ  අනවරත පැතිරීම විසින් ද ඉදිරියට තල්ලු කරන ලද ඒවායි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ද සුදු සහ කළු මිනිසුන් අතර අයිතිවාසිකම් පිළබඳ ව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති අසමානකම් සමනය වීමෙන් පසු එතෙක් පැවති අන්තර්ග්‍රහනීය නොවන ආයතන සෙමින් සෙමින් අන්තර්ග්‍රහනීය ආයතන බවට පත් වුණා. තවත් බොහෝ යුතුකම් ඉටු වීමට ඇතත් 1950 ස් හා 1960 ගණන් වල දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් පෙන්වා දෙන ලද පරිදි ඒ වෙනස් වීම “සිදුවීමට නියමිතයි”.

දැන් ඉතින් කුමක් කළ යුතු ද? ඔව් අප විසින් කළ යුත්තේ අන්තර්ග්‍රහනීය ආයතන බිහි කිරීම  දිරි ගැන්වීම තුලින් ලෝකය පුරා ආර්ථික සමෘද්ධිය ව්‍යාප්ත කිරීමයි. කෙසේ වෙතත් ආසියාව සහ අප්‍රිකාව පුරා ප්‍රජාව සතු සම්පත් පැහැර ගන්නා  නිස්සාරක ආයතන අභියෝගයට ලක් කිරීමට විදේශාධාර මගින් ඇති කළ හැකි බලපෑම අල්ප බව අප වටහා ගත යුතුයි.

වඩා ධනාත්මක වෙනසක් ඇති කිරීමට නම් විදේශාධාර දැනට වඩා අර්ථවත් අන්දමින් භාවිතා කළ යුතුයි. ඒ අනුව කළ යුත්තේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් දැනට පිට මං කර ඇති කොටස්  සවි බල ගන්නවා සිය රටවල ඇති නිස්සාරක ආයතන ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට ඇති හැකියාව වැඩි කර ගැනීමට ආධාර කිරීමයි.

මේ සම්බන්ධයෙන් දිය හැකි හොඳ උදාහරණයක් වන්නේ බ්‍රසීලයයි. දේශපාලනඥයන් හා ආර්ථික විශේෂඥයන්ට වඩා බ්‍රසීලයේ වෙනස් වීම මෙහෙයවන ලද්දේ සවි බල ගැන්වූ (empowered)ඡන්ද දායක ජනතාව විසිනුයි. 1985 දී බ්‍රසීලයේ මිලිටරි ආඥාදායකත්වය පළවා හරින ලද්දේ බිම් මට්ටමේ ජනතා ව්‍යාපාරය මගින් මහජනතාව ඒකරාශි කිරීමෙන්. විශේෂයෙන් වෘත්තීය සමිති වලින් මෙහෙය වූ  සමාජ ව්‍යාපාර මිලිටරි ඒකාධිපතිත්වයට එරෙහිව පුළුල් සංධානයක් ගොඩ නැගීමට පෙරමුණ ගත්තා.

එසේ මිලිටරි ඒකාධිපතිත්වය බිඳ වැටීම මෑත කාලීන බ්‍රසීලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වුණා. ඒ අනුව වසර 2000 සිට මෙතෙක් (2012) දක්වා ලෝකයේ වැඩි ම වේගයකින් වර්ධනය වන ආර්ථික අතරින් එකක් බවට බ්‍රසීලයේ ආර්ථිකය පත් වුණා.

ඒ අනුව වර්තමානයේ ජාතීන්ගේ දේශපාලනික හා ආර්ථික අසමත් කමට දිය හැකි හොඳම විසඳුමක් වන්නේ එම රටවල ඇති නිස්සාරක ආයතන (extractive institutions|) අන්තර්ග්‍රහනීය ආයතන (inclusive institutions)බවට පෙරළීමයි.

සෞභාග්‍යය සහ දරිද්‍රතාව යන දෙකම ඉරණම විසින් තීන්දු කරන ලද ඒවා හෝ රටක සංස්කෘතිය හෝ භූගෝලීය පිහිටීම හෝ නිසා සිදු වන ඒවා නොවෙයි. ඇතැම් රටවල් අනෙකුත් රටවලට වඩා හොඳින් කටයුතු කිරීමේ හේතුව එම රටවල ආයතන ක්‍රියාත්මක වන ආකාරයයි. ආයතන වල මේ ආකාර ගත වීම ඓතිහාසික ව සිදු වන දෙයක්. ඇතැම් විට ඒ සඳහා සියවස් ගණනක් ගත වේ.  ජාතියක ආයතන වල ස්වභාවය, එනම් ඒවා අන්තර්ග්‍රහනීය ආයතන(inclusive institutions) ද නැතහොත් නිස්සාරක ආයතන(extractive institutions|)  ද යන කරුණ මත එම ජාතියේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙයි. නිස්සාරක ආයතන නිසා අමාරුවේ වැටී ඇති රටවල් නිසි ලෙස ඉලක්ක කිරීම තුළින් ඒ රටවල අන්තර්ග්‍රහනීය ආයතන ක්‍රමයක් බිහි කර ගැනීමට ආධාර කළ  හැකිය.  ඒ සඳහා දැඩි උත්සාහයන් අවශ්‍ය වේ. එහෙත් දරිද්‍රතාවේ විෂම චක්‍රය යනු නිසැක ලෙස ම කැඩිය හැකි දෙයකි.

සටහන


[1] 1870 ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 15 වැනි සංශෝධනයෙන් සහතික කරණ තෙක් ම කලු ජාතිකයන් ඡන්දය දීමෙන් වළක්වන විධිවිධාන ඇතැම් දකුණු ප්‍රාන්ත රාජ්‍ය අනුගමනය කළා.

සැකසුම: විජයානන්ද ජයවීර

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: