සැමට විදු නැන නුවණ – Science Literacy for All

මොළය සිතියම් ගත කිරීම: පසු (අපර) මොළය, මැද මොළය සහ පෙර මොළය

ස්නායු විද්‍යාඥයන් මොළය ප්‍රධාන කොටස් තුනකට බෙදන බවත්  මේවා විවිධ වර්ගවල කාර්යයන් ඉටු කරන බවත් අප ගිය සතියේ ලිපියේ සඳහන් කරා. එම කොටස් නම් පසු (අපර) මොළය(hindbrain), මැද මොළය(midbrain) සහ පෙර මොළය(forebrain) යනුවෙනි. අද ඒ ගන තවදුරටත් සලකා බලමු.

Related image

පසු මොළය

නමෙන්ම කියැවෙන පරිදි පසු මොළය පිහිටා ඇත්තේ හිස් කබලෙහි පිටුපස බෙල්ල ගාවම වගේ උඩින්ය. එය මොළයෙහි වඩාත්ම ප්‍රථමික පෞරානික කොටසයි. එහි මූලික පුරෝගාමි තත්ත්වය හටගන්නේ මුල්ම කාලයේ පෘෂ්ඨවංශිකයන් අතරේය. කෙනෙකු තමන්ගේ කටුසු මොළය‘(lizard brain) ගැන කතා කරන විට ඉන් අදහස් කෙරෙන්නේ මොළයේ මෙකී කොටසයි. අපව පණ පිටින් තබා ගැනීමට බලපාන හෙවත් ඉබේටම සිදුවන චර්යාවන් හුස්ම ගැනීම, අපගේ හෘද වස්තුවේ ගැස්ම පාලනය කිරීම සහ ගිලීම(swallow)  වැනි චර්යාවන් බොහොමයක් සම්බන්ධ වන්නේ මොළයේ මෙම කලාපටයි.

පසුපස මොළයේ වඩාත්ම වැදගත් කොටස වන්නේ මස්තිෂ්කයයි(cerebellum).  ඇතැම් අවස්ථාවල කුඩා මොළයේ ලෙසද හඳුන්වනු ලබන මොළයේ සෙසු කොටස්වලට වඩා වෙනස් බවක් පෙනෙන්නේ එය බෙහෙවින් කුඩා එමෙන්ම බෙහෙවින් සංයුක්ත පටක නැමිවලින් යුක්ත වීමයි. මොළයෙහි සම්පූර්ණ පරිමාවෙන් සියයට 10ක් පමණ නියෝජනය කරන්නේ එමගිනි. එහෙත් මොළයෙහි නියුරෝනවලින් සියයට 50ක් ම එහි අඩංගුය. ප්‍රධාන කාර්යභාරය වනුයේ ස්වේච්ඡාවෙන් කෙරෙන චලනයන් හා සමබරතාව පාලනය කිරීමයි. තවද, එය අපගේ සුවිශේෂී චාලක ක්‍රියා ඉගෙනීමට සහ කතා කිරීම උගෙනීමට සම්බන්ධ යයි කල්පනා කෙරේ. මස්තිෂ්කයයෙහි ඇතිවන ගැටලු හේතුවෙන්  දරුණු මානසික මෙන්ම චලන රෝගාබාධවලට මග පෑදිය හැකිය.

මැද මොළය

මැද මොළය ඇත්තේ ඔබේ මොළයේ පාදකයෙහිය.  මෙය කුඩා වුණත් අපගේ ශාරීරික ක්‍රියාකාරකම් බොහොමයකදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරන කලාපයකි.

එය ඇස්වල චලනය, නින්ද සහ උද්දීපනය (arousal) පාලනය කරන අතර අනෙකුත් මොළ ප්‍රෙද්ශවලට සංවේදන සහ චාලක තොරතුරු ලබා දෙයි. මැද මොළයේ ඉතාමත් වැදගත් ප්‍රධාන කලාපයක් වනුයේ substantia nigra යන කොටසයි. (එය එම නමින් හඳුන්වනු ලබන්නේ ස්නායු සම්ප්‍රේෂකයක් වන ඩොපමයින්වලින් සපිරි ප්‍රභාවයක් වන හෙයිනි) ඩොපමයින් පශ්චාත් මරණ පටකවලදී කළු පැහැයට හැරේ. චලනය පාලනය කිරීම පිණිස ඩොපමයින් අත්‍යවශ්‍ය වන හෙයින් substantia nigra චලනය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට උපකාරී වෙතැයි කියැවේ. මෙය, පාකින්සන් රෝගයේදී වෙව්ලුම, දැඩි බව සහ එහා මෙහා යාමේ අපහසුතා ඇති කරමින් බලපෑමට ලක්වන ප්‍රදේශයයි.  

පෙර මොළය

ඔබේ මොළයේ බොහොමත්ම විශාල කොටස පෙර මොළයයි. මනුෂ්‍යයන්ට සුවිශේෂී වූ හැකියාවන් බොහොමයක් හට ගන්නේ මෙම ප්‍රෙද්ශයේදී ය. අපේ ක්ෂීරපායි ආදිතමයන්ගේ පරිණාමයේදී ශීස්‍රෙයන් මෙම කොටස ප්‍රසාරණය විය. මෙය, තැලමසය(thalamus), හයිපොතැලමසය(hypothalamus),  ඇමිග්ඩලාව(amygdala) සහ හිපොකැම්පසය(hippocampus) යන අංගවලින් සමන්විතයි. තැලමසය තමයි මස්තිෂ්ක වාහිකය වෙත ඉහළ මට්ටමේ සැකසීම් සඳහා සංවේදන තොරතුරු යොමු කරන්නේ. සිරුරේ සෙසු කොටස්වලට බෙදා හැරිම පිණිස හයිපොතලමසය රුධිර ධාරාවට හෝමෝන මුදාහරියි. චිත්තාවේග සම්බන්ධයෙන් ක්‍රියා කරන මොළයේ කොටස තමයි ඇමිග්ඩලාව.  ස්මරණය සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන්නේ හිපොකැම්පසය යි.

පෙර මොළයේ වඩාත් පැහැදිලිව පෙනෙන කොටස තමයි මස්තිෂ්කය. මොළයේ ස්කන්ධය ගතහොත් ඉන් වැඩිකොටසකට වගකියන්නේ මස්තිෂ්කයයි. මස්තිෂ්කය දොකොටසකට හෙවත් අර්ධගෝල දෙකකට බෙදී ඇත. මේ බෙදීම සිදුව ඇත්තේ ගැඹුරු ඇලියකිනි. මස්තිෂ්ක වාහිකයේ රැළි ගැසුණු ස්තරයකින් වැසුණු මෙතැනදී තමයි සැලසුම් සකස් කෙරෙන්නේ, වචන හට ගන්නේ එමෙන්ම අදහස් ජනනය වන්නේ. එය තමයි අපගේ නිර්මාණාත්මක බුද්ධිය, පරිකල්පනය සහ සවිඤානකත්වයෙහි නිවහන.

ව්‍යුහාත්මකව ගතහොත්, මස්තිෂ්ක බාහිකය කියන්නේ කපාලය හෙවත් හිස් කබල ඇතුළෙහි නමන ලද ස්තර හයකින් සැදුම්ලත් එක් තනි පටක පත්කඩකි. එය පැතැලිකර දිග හැර බැලුවොත් වර්ග මීටර් 16ක ප්‍රමාණයක් ආවරණය වෙනවා. තොරතුරු බාහිකයට පැමිණෙන්නේ ත්,  පිටවෙන්නේත් නියුරෝන මිලියනයක් පමණ හරහාය. එහෙත් එහි අභ්‍යන්තර සම්බන්ධතා බිලියන 10කට වැඩියෙන් තියෙනවා. ඉන් අදහස් වෙන්නේ බාහිකය එහි කාලයෙන් වැඩිකොටසක් ගත කරන්නේ තමන් (එයම) සමගම කතා කිරීමටයි.

මස්තිෂ්කය කොටස් හෙවත් අර්ධගෝල දෙකකට බෙදෙන බව මේ ලිපියෙහි මීට ඉහත සඳහන් වුනා ඔබට මතක ඇති.  මේ එක් එක් අර්ධගෝලය තවදුරටත් ඛන්ඩිකා(lobes)  හතරකට බෙදෙනවා.පිටුපස ඇත්තේ දෘෂ්ටිය සඳහා කැපවුණු අපර කපාල ඛණ්ඩිකාවයි(occipital lobe). ඊට ඉහළින් ඇත්තේ පාර්ශ්වික ඛණ්ඩිකාවය(parietal lobe). චලනය, ස්ථානය, දිශානතිය, සහ ගණනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ එයයි. කන් සහ නළලේ දෙකෙළවර ශංඛක ඛණ්ඩිකා(temporal lobes) පිහිටා ඇත. ඒවා තමයි ශබ්දය හා කථන තේරුම්ගැනීම(සංජානනය) සහ ස්මරණයේ ඇතැම් අංග සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ. ලලාට ඛණ්ඩිකාව සහ පුරෝලලාට ඛණ්ඩිකාව(frontal and prefrontal lobes), නමින්ම පැහැදිලිවන පරිදි,  පිහිටා ඇත්තේ ඉදිරිපසට වන්නටය. වඩාත්ම ඉහළ මට්ටමින් වර්ධනය වී ඇත්තේ ද, මොළ කලාප අතුරෙන් වඩාත්ම මානුෂික” වන්නේ ද මේවා වන අතර වඩාත් සංකීර්ණ සිතුවිලි, තීරණ-ගැනීම, සැලසුම් කිරීම, සංකල්පගතකිරීම, අවධානය පාලනය කිරීම, සහ ක්‍රියාකාරී මතකය සම්බන්ධයෙන් ද ක්‍රියා කරතැයි සැලකේ.  තවද මේවා  පසුතැවිල්ල, සදාචාරය, සහ තද්වේදනය හෙවත් සහකම්පනය(empathy) වැනි සමජයීය චිත්තාවේග සම්බන්ධයෙන් ද ක්‍රියා කාරී වේ.

මොළයේ කලාප වර්ගීකරණය සඳහා තවත් මගක් වන්නේ සංවේදක බාහිකය සහ චාලක බාහිකය ලෙස වර්ගීකරණයයි. ඒවා පිළිවෙලින්, ඇතුළට එන තොරතුරු සහ පිටතට යන චර්යාව පාලනය කරයි.

අක්සන හෙවත් ආවේග වාහක(axons) මිලියනයක පමන පථයක් මගින් මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙක සමග සංනිවේදනයේ යෙදෙයි. මේ පථය callosum දේහය(corpus callosum) ලෙස හඳුන්වනු ලැබේ. අපස්මාර(මීමැස්මොර) රෝගයෙන් ඇතිවන ගැහෙමින් වෙව්ලීම පාලනය කිරීම සඳහා ඇතම්විට මෙම පාලමහෙවත් යාකිරීම කපා දමනු  ලැබේ. මෙම සම්බන්ධය ඉවත්කිරීමෙන්, ඒකාබද්ධවූ එක් අයෙක්යන හැඟීම වෙන්කර දැමීමට හැකිය. එවිට හරියට දැනෙන්නේ ශරීරය ස්වාධීනව සිතන මොළ දෙකකින්  පාලනය කරනු ලබන්නා සේය. මෙම සැත්කමට භාජනය වූ, දුම්බීමට ඇබ්බැහිව සිටි අයෙකු  වාර්තා කරන අන්දමට ඔහුගේ දකුණු අතින් දුම්වැටියක් ගැනීමට තැත් කරන විට ඔහුගේ වම් අත එය පැහරගෙන වීසි කර දමයි.

ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපේ මොළය ව්‍යුහාත්මකව ගොඩ නැගී ඇත්තේ. එසේ වුණත් එය ඇතුළේ සිද්ධවෙන්නේ මොනවා දැයි අවබෝධ කරගනු වස් තවත් වඩා  සමීපව, මොළය සැදුම්ලත්  සෛල මට්ටමින් සොයා බැලිය යුතුයි. අපි ලබන සතියේ එහෙම කරමු.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   Mapping the mind පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: