සැමට විදු නැන නුවණ – Science Literacy for All

ග්‍රන්ථ සාර සංග්‍රහය: ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය

 

ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය

නිඕල් ෆර්ගියුසන්

Civilization – The Six Killer Applications of Western Power by Niall Ferguson

බටහිර ලෝකය අප මත පැතිරූ ආධිපත්‍යයේ සම්භවය ගැන අපේ සමාජය තුළ ඇත්තේ විචාරාත්මක අවබෝධයකට වඩා දේශපාලනඥයන්ගේ කෝකටත් තෛලය බඳු පුහු අධිරාජ්‍ය විරෝධී වාගාලංකාර වලින් වැසුණු අඩු අවබෝධයක්. කලක් ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවි වල ඉගැන්නූ  සුපතළ බ්‍රිතාන්‍ය ජාතික  ඉතිහාසඥයෙකු වන ආචාර්ය නිඕල් ෆර්ගියුසන් 2018 දී ලියා පළ කළ Civilization – The Six Killer Applications of Western Power නමැති පොතෙන් විස්තර කරන්නේ සෑහෙන කලක් අවශේෂ ලෝකය මත ආධිපත්‍ය දැරීමට බටහිර ලෝකය සවිබල ගැන්වූ ගාමක බලවේග හයේ වැදගත්කම පිළිබඳවයි. දැන් කෙමෙන් අඩුවී යන බටහිර ලෝකයේ ආධිපත්‍ය සහ එය මුහුණ දෙන, අපට ද බලපාන අභියෝග පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හයයන මැයෙන් යුතු  ඒ පොත අපි මෙසේ සැකෙවින් කියවමු.

Related image

1.   සාපේක්ෂ දරිද්‍රතාවේ  සිට ලෝකාධිපත්‍ය කරා වසර පන්සීයක් තුළ බටහිර ජාතීන් දියුණු වුණේ කෙසේ ද?

මීට වසර පන්සීයකට පෙර පහළොස්වැනි සියවසේ දී ලොව පුරා සංචාරය කිරීමට අවස්ථාවක් ලැබුණු කෙනෙක් වර්ණනා කරනු ඇත්තේ යුරෝපය ගැන නොව පෙරදිග පැවති ශිෂ්ටාචාර ගැනයි. සමාජ සංස්කෘතික වශයෙන් මෙන් ම තාක්ෂණික වශයෙන් ද යුරෝපයට වඩා පෙරදිග එකල බෙහෙවින් ඉදිරියෙන් සිටියා. එකල යුරෝපය පැවතුණේ රටවල් අතර ඇණ කොටා ගැනීම් වලින් හෙම්බත් වු බොහොම පසුගාමී තත්ත්වයකයි.

බීජිංහි තහනම් නගරය වැනි විශිෂ්ට ගෘහ නිර්මාණ කටයුතු සඳහා චීනය අවශ්‍ය පුහුණු ශ්‍රමය එක්රැස් කරන විට යුරෝපය නිරන්තර ප්‍රචණ්ඩත්වය, වසංගත හා සනීපාරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නවලින් ඇලළී ගියා.

එහෙත් පහළොස්වැනි සියවස අවසන් වීමට ආසන්න ව යුරෝපය මිලිටරිමය සහ ආර්ථික වශයෙන් දියුණු වන්නට පටන් ගත්තා. ඊළඟ වසර 500 තුළ දියුණුවේ තරාදිය පෙර දිග සිට යුරෝපය පැත්තට කැපී පෙනෙන ලෙස බර වුණා.

මේ වෙනස් වීමට හේතු වූ එක් වැදගත් කාරණයක් වුණේ ඇතැම් බටහිර රටවල් තමන්ගේ ම වූ අධිරාජ්‍ය පිහිටුවීමයි. 1500 වන විට බටහිර රටවල් විසින් පාලනය කරනු ලැබුවේ මුළු පෘථිවි තලයෙන් 10% ක් සහ ලෝක ජනගහනයෙන් 16% ක් පමණයි. එහෙත් 1900 වන විට මේ ප්‍රමාණයේ අති විශාල වෙනස් වීමක් සිදු වුණා. ඒ අනුව පෘථිවි තලයෙන් සහ ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක් සහ ගෝලීය ආර්ථික නිෂ්පාදනයෙන් 79% බටහිර අධිරාජ්‍යවල පාලනයට නතු වුණා.

මෙසේ අනුක්‍රමයෙන් බටහිර ආධිපත්‍ය අනෙකුත් විෂය ක්ෂේත්‍ර වලට ද විහිදුණා. බටහිර ආගම සහ බටහිර විද්‍යාව ලොව පුරා ම පැතිරුණා.  උදාහරණයක් වශයෙන් ගත්තොත් ලොව පුරා ආර්ථික ක්ෂේත්‍රයේ මතවාදි ආධිපත්‍ය රඳා පැවතුණේ ඇඩම් ස්මිත්, කාල් මාක්ස් සහ ජෝන් මේනාඩ් කේන්ස් යන යුරෝපීයයන් තිදෙනාගේ මත වාද මතයි.

මේ ආධිපත්‍ය හා සමගාමීව බටහිර  ලෝකයේ ජීවන මට්ටම ද ලෝකයේ අනෙක් පෙදෙස් හා සසඳන විට විශාල වශයෙන් ඉහළ ගියා. 1990 වන විට සාමාන්‍ය ඇමෙරිකානුවෙකකු එකල විසූ සාමාන්‍ය චීනෙකුට වඩා හැත්තෑ තුන් ගුණයකින් පොහොසත් වී තිබුණා. ඒ කියන්නේ පහළොස්වැනි සිය වසේ පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමක්.

2.   අවශේෂ ලෝකය සිය ආධිපත්‍යට නතු කිරීමට හේතු වූ ගාමක බලවේග හයක් බටහිර ජාතීන් ඇති කරගෙන තිබුණා

සාපේක්ෂ දරිද්‍රතාවක සිටි මුළු ලෝකය ම තම ආධිපත්‍යට නතු කරගැනීමට හැකි වූ මට්ටමකට අතලොස්සක්  වූ බටහිර ජාතීන් වෙනස් වූයේ කෙසේ ද යන්න පිළිබඳව දිගු කලෙක සිට ඉතිහාසඥයන් නොයෙකුත් මතවාද ඉදිරිපත් කර තියෙනවා. ඇතමුන් තර්ක කළ අන්දමට එයට මූලික හේතුව වුණේ අවශේෂ ලෝකය යටත් කරගැනීම අරමුණ කරගත් බටහිර අධිරාජ්‍යවාදයයි. එහෙත් පෙරදිග පවා ඉතිහාසය පුරා විශාල අධිරාජ්‍යයන් තිබුණා. චීන අධිරාජ්‍ය සහ ඔටෝමාන් තුර්කි අධිරාජ්‍ය ඒවාට හොඳ උදාහරණයි. ඒ නිසා මේ තර්කය සහ අනෙකුත් එවැනි බොහෝ තර්ක ද බටහිර ආධිපත්‍ය බිහි වීම තේරුම් කරන ආකාරය බෙහෙවින් ම පටුයි.

සත්‍යය නම් සුවිශේෂ වශයෙන් හය ආකාරයක ආයතනික වර්ධනයන් ඇති කර ගැනීමට බටහිර ශිෂ්ටාචාරයට හැකි වීම මීට මූලික ව හේතු වූ බවයි. රටක දියුණුව සම්බන්ධයෙන් එරටේ සමාජීය ආයතන වැදගත් වන්නේ සමාජයේ බොහෝ කටයුතු මෙහෙයවන වටිනාකම් සහ ප්‍රතීයමාන බිහි වන්නේ එම ආයතන මගින් වීමයි. ඒ නිසා එකී ආයතන වල ඇති වෙන දියුණුව සමාජයක වෙනස් වීමට විශාල වශයෙන් බලපානවා. මේ වෙනස් වීමට තුඩු දුන්  හය ආකාරයක ගාමක බලවේග ( පරිගණක ලෝකයේ යෙදුමකින් කියනවා නම් කිලර් ඇප්ලිකේෂන් හය’) බටහිර ලෝකයේ ඉදිරි ගමනට හේතු වුණා. එම බලවේග හය නො තිබීම නිසා එකල අවශේෂ ලෝකයට පසුගාමී බවෙන් මිදීමට හැකි වුණේ නැහැ.

මේ ගාමක බලවේග හය අතරෙන් පළමු වැන්න වන්නේ තාක්ෂණික දියුණුව සමග ඇති වූ විවිධාකාර නිපදවීම් වලට අතිරේක ව මිලිටරිමය ශක්තිය වැඩිදියුණු කිරීමට ඉමහත් සේ දායක වූ සබුද්ධික විද්‍යාත්මක චින්තනයයි.

තවත් වැදගත්  ගාමක බලවේගයක් වුණේ තරගකාරීත්වය පිළිබඳ ජීව ගුණයයි. ඇත්ත වශයෙන් ම තරඟකාරීත්වය බිහි වීමට හේතු වුණේ යුරෝපීය රටවල් අතර පැවති නිරන්තර යුද්ධ සහ කල කෝලාහල නිසයි. මේ තරඟකාරී ජීව ගුණය පසු කලෙක නිදහස් වෙළඳ පොළ පදනම් කරගත් ධනවාදය වර්ධනය වීමට ද හේතු වුණා. ඉතිරි ගාමක බලවේග නොහොත් කිලර් ඇප්ලිකේෂන්වන්නේ දේපොළ අයිතිය, වෛද්‍ය කර්මය, වැඩ සදාචාරය සහ පාරිභෝගික සමාජයයි.

මේ ගාමක බලවේග හය බටහිර ලෝකයේ විවිධ රටවල විවිධ අවස්ථාවල දී ඇති වූ ඒවායි. එහෙත් ඒ සියල්ල මානව සමාජයේ දියුණුවට හේතු වූ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන නිදහස වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වූ ගෝලීය පරමාදර්ශ බිහි කිරීමට දායක වුණා. ඒ අතරම බටහිර ශිෂ්ටාචාරයේ අනෙකුත් නිෂ්පාදන වූ යුද්ධය කුරිරු ලෙස යාන්ත්‍රීකරණය වීම , ජනවර්ග සංහාරය සහ වහල් වෙළදාම කිසි සේත් ම ධනාත්මක දියුණු වීම් වශයෙන් අපට සැලකිය නොහැකි බව ද මතක තබා ගත යුතු යි. අනුකම්පා විරහිතතරගකාරීත්වය පිළිබඳ ජීවගුණය බටහිර බලය සහ ධනවාදයේ වර්ධනයට හේතු වුණා.

භූගෝලීය වශයෙන් බැලුවොත් යුරෝපය යනු රටවල් ගණනට කැබලි වූ මහද්වීපයක්. එහි ඉතිහාසයෙන් වැඩි කොටසක් පිරී තිබුණේ එසේ කැබලි වූ රටවල් අතර නිරන්තරයෙන් ඇති කරගත් යුද ගැටීම් වලින්. උදාහරණයක් ලෙස 1500 ත් 1799 ත් අතර මුළු කාලයෙන් 81% ක් ස්පාඤ්ඤය ද 53% ක් එංගලන්තය ද 52% ප්‍රංශය ද විවිධ යුධ ගැටුම් වල පැටලී සිටියා.

යුද කලාප වල ජීවත් වූ මිනිසුන්ට බෙහෙවින් ගොරතර ජීවිතයක් ගෙවීමට සිදු වූ නමුත් මේ නිරන්තර යුද්ධ පසුකාලීන බටහිර ආධිපත්‍ය බිහි කරලීමට අවශ්‍ය මූලික පදනම බිහි කළා. රටවල් අතර එකිනෙකාට එරෙහිව පැවති තරඟකාරී ගැටුම් නිසා වඩාත් කාර්යක්ෂම අවි ආයුධ හා යුද්ධෝපක්‍රම සංවර්ධනය කිරීමට බොහෝ යුරෝපීය රටවල් අවධානය යොමු කළා.  එහි  ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික දියුණුව බටහිර රටවල සංවර්ධන න්‍යාය පත්‍රයේ මුල් තැනක් ගත්තා.

ඊටත් වඩා තීරණාත්මක කරුණක් වුණේ යුද වියදම් සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමෙ අවශ්‍යතාව නිසා බැඳුම් කර වෙළඳ පොළ, ප්‍රසිද්ධ සමාගම් සහ බැංකු වැනි ධනවාදී මූල්‍ය ක්‍රමයකට අත්‍යවශ්‍ය ආයතන පිහිටුවා ගැනීමට පෙලඹීමයි. මේ අතර සිය බලය සහ බලපෑම පවත්වා ගැනීම පිණිස නිරන්තර අරගලයක යෙදුණු සමාජ කණ්ඩායම් ද සමාජය තුළ පැවති තරඟකාරී ජීව ගුණය තවත් තියුණු කළා.

යුරෝපීය රටවල් අතර පැවති තරගකාරීත්වය ලෝකයේ අනෙක් පෙදෙස්වල තම බලය පැතිර වීමට සහ ඒවායේ ඇති  සම්පත් සතු කර ගැනීමටත් යුරෝපියානු රාජ්‍යයන් මෙහෙයවනු ලැබුවා. යුරෝපීය ගවේෂකයෝ සහ වෙළෙන්දෝ නව වෙළඳ පොළවල් සහ වෙළඳ මාර්ග සොයමින් සාගර තරණය කළා. එසේ සොයා ගත් ප්‍රදේශවල ඇති සම්පත් අනුකම්පා විරහිතව සූරාකෑමට ද ඔවුන් කටයුතු කළා. සම්පත් ඩැහැ ගැනීමට ඇති ආශාව විසින් මෙහෙයවනු ලැබූ මිලිටරි බලය බොහෝ විට තමන්ටත් වඩා විශාල ස්වදේශික සමාජ ආක්‍රමණය කොට අත්පත් කරගැනීමට බටහිර රාජ්‍ය පෙලඹුවා. නිෂ්පාදන සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සපයා දීම නිසා මේ යටත් කර ගැනීම් යුරෝපීය සමාජවල ආර්ථික වර්ධනයට බෙහෙවින් හේතු වුණා. 

යුරෝපයේ පැවති මේ තත්ත්වය චීනයේ පැවති තදබල මධ්‍යගත පාලනයකට නතු, බාහිර තරගකාරීත්වයකට මුහුණ දීමට කිසි සේත් ම ඉඩ නො ලැබුණු,  ධූරානුක්‍රම(hierarchical) සමාජය සමග සසඳා බලමු. තරඟකාරී ලෙස සමාජය තුළ ඉහළ යෑමට අවස්ථාවක් නැති  විදේශීය රටවලට ව්‍යාප්ත වීම දිරිගැන්වීමේ වැඩ පිළි වෙල් වලින් තොර එවැනි සමාජ ප්‍රගතිහීන, අකාර්යක්ෂම සමාජ වශයෙන් පවතිනවා. බටහිර රටවල වර්ධනයට හේතු වූ තරඟකාරීත්වය නමැති අත්‍යවශ්‍ය ගාමක බලවේගය චීනයට තිබුණේ නැහැ. 

1.     විද්‍යාත්මක අවබෝධය වර්ධනය කර ගැනීම නිසා අනෙකුත් සමාජ අබිබවා යාමට බටහිර සමාජ වලට හැකි වුණා.

17 වන ශතවර්ෂය වන විට යුරෝපීය විද්‍යාර්ථීන් ස්වාභාවික ලෝකයේ රහස් සොයා ගැනීමට වැඩි වැඩියෙන් උත්සුක වුණා. ජීව විද්‍යාව, ගණිතය සහ තාරකා විද්‍යාව වැනි විෂයයන් බිහි වීමට හේතු වූ විද්‍යාත්මක විප්ලවය ආරම්භ වුනේ ඒ අනුවයි.

බටහිර ලෝකයේ විද්‍යාත්මක විප්ලවය ඇරඹීමට එක්තරා දුරකට හේතු වුණේ පහළොස් වැනි සිය වසේ දී ක්‍රිස්ත්‍රියානි ආගම ‍තුළ රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත වශයෙන් ඇති වූ කැඩී යාමයි. රෝමානු කතෝලිකයන්ගේ සම්ප්‍රදාය වූ හුදෙක් පූජකයන්ට පමණක් සීමාව තිබූ බයිබලය කියවීම අලුත් ප්‍රොතෙස්තන්ත ආගමට අයත් හැම කෙනෙකුගෙන් ම බලාපොරොත්තු වූ බැවින් ටික කලකදී ම යුරෝපීය ප්‍රොතෙස්තන්තවරුන් අතර සාක්ෂරතාව සැලකිය යුතු පමණින් ඉහළ ගියා. ඒ හා සමගාමීව මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීම නිසා පත පොත මගින් අදහස් පෘථුල ව පැතිර යාම ද සිදු වුණා.

මෙසේ පැතිර ගිය නව අදහස් තමන්ගේ රාජ්‍යවල දියුණුවට කොතරම් වැදගත් දැයි බටහිර රටවල පාලකයෝ නොවළහා තේරුම් ගත්තා. මේ සම්බන්ධයෙන් දිය හැකි හොඳ උදාහරණයක් නම් බොහෝ නව විද්‍යාත්මක හා සංස්කෘතික අදහස් පිළිගෙන ක්‍රියාත්මක කළ ප්‍රසියාවේ මහා ෆෙඩරික් රජ තුමායි. මෙ නිසා වෙනත් සමාජවල මෙන් පසුගාමී, අන්ධ ආගමික විශ්වාස මත පදනම් නොවී බුද්ධි වාදය මත පදනම් වූ ලිබරල් සමාජයක් ගොඩ නැගීමට ඔහු කටයුතු කළා. තම හමුදාව නැවත ගොඩ නැගීම සඳහාද ඔහු මේ විද්‍යාත්මක චින්තනය යොදා ගත්තා . එනිසා ඔහුගේ හමුදාව එකල තිබූ යුද හමුදා අතරින් ඉතා බලසම්පන්න එකක් බවට පත් වුණා.

බටහිර සමාජයෙන් බැහැර ලෝකයේ මෙකී වර්ධනයන් ඇති වුණේ නැහැ. උදාහරණයක් වශයෙන් විද්‍යාත්මක පරිකල්පනය සහ මුද්‍රණයන්ත්‍ර භාවිතය ඉස්ලාමික ඔටෝමාන් අධිරාජ්‍යයේ දී ආගමික පීඩනය විසින් මර්දනය කරනු ලැබුවා. ඒ අනුව ඔටෝමාන් අධිරාජ්‍ය තුළ නව අදහස් පැතිර යාමත් විද්‍යාත්මක දියුණුව ඇතිවීමත් මුලුමනින් ම ඇනහිටියා. එහි ප්‍රතිඵලය වුණේ වරක් ඉතා ප්‍රබල අධිරාජ්‍යයක් ව පැවති ඔටෝමාන් අධිරාජ්‍ය කඩා ගෙන වැටීමයි. විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගත් නවීන ප්‍රසියානු කාලතුවක්කු ලෝකය බියපත් කෙරුමට සමත් වූ අතරතුර ඔටෝමාන් හමුදා තවමත් ගල්බෝල විදින පරණ පන්නයේ කැනන් තුවක්කු භාවිතා කළා.

2.     පුද්ගලික දේපළ අයිතිය සහ නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ නියෝජන ආණ්ඩුක්‍රම මොඩලය වඩා ශක්තිමත් සමාජ බිහි කිරීමටහේතු වුණා.

දේශපාලනය හා සමාජ සංවිධානය පිළිබඳව බටහිර ලෝකය විසින් ඇති කල රාජ්‍ය මොඩල දෙකම ඇමෙරිකාව සොයා ගැනීම සහ යටත් විජිත කරණයට ලක් කිරීම තුළ මැනවින් පරීක්ෂාවට ලක් වුණා. බ්‍රිතාන්‍යයන් උතුරු ඇමෙරිකාවේ ද ස්පාඤ්ඤයන් දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේ ද එකිනෙකට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ආණ්ඩුක්‍රම ඇති කළා.

මේ ක්‍රම දෙක අතරින් වඩා සාර්ථක ක්‍රමය වූයේ කුමක් ද යන්න පිළිබඳ විවාදයක් අවශ්‍ය  වන්නේ නැහැ. විසිවැනි ශතවර්ෂය වන විට ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයකින් යුත් උතුරු ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලය බවට පත් වුණා. එහෙත් ඊට දකුණින් පිහිටි ජාතීන් ස්පාඤ්ඤයෙන් නිදහස් වීමෙන් පසු ද  ගත කළේ බෙහෙවින් අස්ථාවර කාල පරිච්ඡේදයක්.

ආරම්භයේදී ම උතුරු ඇමෙරිකාවේ පිහිටි බ්‍රිතාන්‍ය ජනාවාස තුළ ඉඩම් වල හිමිකම ඒවායේ පදිංචිය සඳහා පැමිණි අය අතර නිර්ලෝභී ව බෙදා දෙනු ලැබුවා. දරා ගත නොහැකි දුප්පත් කම නිසා බ්‍රිතාන්‍යයෙන් නිකුත් ව උතුරු ඇමෙරිකාවේ පදිංචියට ගිය අය පවා මේ නිසා ඉඩම් හිමියන් බවට පත් වුණා. මේ දේපළ හිමි කමත් සමග ඡන්දය දීමේ අයිතිය ද ඔවුන්ට හිමි වුණා. ඒ අනුව ජොන් ලොක් නමැති බ්‍රිතාන්‍ය දේශපාලන දර්ශනවාදියා ගේ අදහස් අනුගමනය කරමින් දේපළ හිමියන් නියෝජනය වන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උතුරු ඇමෙරිකානුවන්ට හැකිවුණා. මේ වර්ගයේ නියෝජන ආණ්ඩුක්‍රමයක ප්‍රධාන වාසිය වුණේ ජනපදවැසියන් අතර ආරවුල් සමගියෙන් නිරවුල් කරගැනීමට හැකි වීම සහ නීතියේ ආධිපත්‍යට ප්‍රමුඛත්වය ලබා දීමට හැකි වීමයි. පුද්ගලික දේපළ අයිතිය පිළිබඳ සංස්කෘතියත් සමග බිහි වූ තහංචි සහ වැළකුම් (checks and balances)  සහිත නියෝජන ආණ්ඩුක්‍රමය ඇමෙරිකානු එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට මූලික පදනම වුණා.

එහෙත් ස්පාඤ්ඤයන් රැජයූ දකුණු ඇමෙරිකාවේ එවැනි පරිණත ක්‍රමයක් ඇති වුණේ නැහැ. එහි ඉඩම් අයිතිය තිබුණේ වරප්‍රසාද ලත් අතලොස්සක් විසින් මෙහෙයවනු ලැබූ රජයටයි. බ්‍රිතාන්‍යයන් මෙන් නොව ස්පාඤ්ඤයන් තම යටත් විජිතවල පදිංචි බහුතරය වූ ස්වදේශිකයන්ට ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. මෙහි තේරුම නම් ආර්ථික වශයෙන් වැදගත් වු නමුත් ස්පාඤ්ඤ කොලනි වල විසූ පදිංචිකරුවන්ට දේශපාලන බලයක් නො තිබුණු බවයි.

ඒ නිසා අර උතුරු ඇමෙරිකානුවන්ට ඒසා  වැදගත් වූ ප්‍රජාතන්ත්‍රීය විධික්‍රම සහ ජීව ගුණය නිදහස ලැබීමෙන් පසුව වුවද දකුණු ඇමෙරිකානුවන්ගේ අභිලාෂ බවට පත් වුණේ නැහැ. ඒ වෙනුවට දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේ ඇති වුණේ ඒකාධිපතිත්වය, මර්දනකාරී මිලිටරි ආණ්ඩු, සිවිල් යුද්ධ, කුමන්ත්‍රණ සහ බලය අල්ලා ගැනීම පිණිස වරප්‍රසාද ලත් කණ්ඩායම් අතර ඇතිවූ ආරවුල් පමණයි.

නීතියේ ආධිපත්‍ය පවත්වා ගත හැකි දේපළ අයිතිය මත පදනම් නියෝජන ආණ්ඩුක්‍රමයක් ගොඩනගා ගැනීම බටහිර ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට හේතු වූ  ගාමක බලවේග වලින් වැදගත් එකක් ලෙස සැලකිය හැකියි.

3.     නූතන වෛද්‍යක්‍රමයේ දියුණුව බටහිර ශිෂ්ටාචාරය ව්‍යාප්ත කිරීමට මෙන්ම ලොවපුරා ජීවිත අපේක්ෂාව ඉහළ නැංවීමට ද හේතු වුණා.

නවීන වෛද්‍ය ක්‍රම වර්ධනය වීමට පෙර ජීවිතය යනු බෙහෙවින් ගොරතර දෙයක් වුණා. එකල ලෝකය පුරාම ජීවිත අපේක්ෂාව (life expectancy) පහළ මට්ටමක පැවතුණ අතර බොහෝ දෙනෙක් සාපේක්ෂ වශයෙන් අඩු වයසක දී මිය ගියා. සනීපාරක්ෂාව ගැන කිසි සැලකිල්ලක් නො තිබුණු මේ සමයේ යුරෝපය පුරා කොලරාව, මහමාරිය හා වසූරිය බහුලව පැවතුණා. උදාහරණයක් වශයෙන් මධ්‍ය කාලීන යුරෝපයේ ජනගහණයෙන් හරි අඩක් අකාලයේ මරණයට පත් වුනේ ‘කලු මරණය’ (black death) නමැති බියකරු වසංගතයෙන්.

එහෙත් දහඅට වැනි ශත වර්ෂය වෙන විට යුරෝපයේ ජීවිත අපේක්ෂාව ඉහළ යන්නට පටන් ගත්තා. විද්‍යාත්මක අවබෝධය සහ මහජන සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ඇති වූ දැවැන්ත දියුණුව, වඩාත් යහපත් සනීපාරක්ෂක විධිවිධාන සහ එන්නත් කිරීම වැනි රෝග වැළැක්වීමේ ක්‍රම හඳුන්වා දීමට හේතු වුණා. සියවස් ගණනාවක් යුරෝපයේ මාරාන්තික උවදුරක් වශයෙන් පැවති ටයිපොයිඩ් රෝගය විසිවැනි සියවස වන විට මුළු මනින් ම තුරන් කර දමනු ලැබුවා. අනෙකුත් ශිෂ්ටාචාර අබිබවා බටහිර ලෝකයේ  සෞඛ්‍ය තත්ත්වය සෑහෙන දියුණු මට්ටමකට ගෙන ඒමට මෙකී වර්ධනයන් පමණක් වූවද හේතු වුණා.

                        යුරෝපා මහද්වීපයේ සෞඛ්‍ය තත්වය මෙසේ යහපත් වූ නමුත් තම යටත් විජිත වල විශේෂයෙන් ම අප්‍රිකාවේ දී බටහිර ජාතීන්ට මැලේරියාව වැනි නව අනතුරුවලට මුහුණ දීමට සිදු වුණා. සිය යටත් විජිත ව්‍යාප්ත කිරීම පිණිස ඔවුන්ට මරණීය මැලේරියා රෝගය මර්දනය කිරීමට සිදු වුණා. ඒ අනුව බටහිර වෛද්‍යවරුන්ට රෝග පරීක්ෂා කරමින් ප්‍රතිකාර සොයා ගැනීමට හැකි පර්යේෂණාගාර බවට යටත් විජිත පත් වුණා.

රෝග සුව කිරීමේ නව ක්‍රම සහ වඩා හොඳ බෙහෙත් වර්ග සොයා ගැනීමත් සමග බටහිර අධිරාජ්‍ය වලට තම ආධිපත්‍ය තව තවත් යටත් විජිත වලට ව්‍යාප්ත කරමින් ඒවායේ සම්පත් උකහා ගැනීමට ඉඩ සැලසුවා. ඒ අනුව නවීන වෛද්‍ය ක්‍රම දියුණු කර ගැනීම  බටහිර ආධිපත්‍ය පැතිර වීමට උදව් කළ තවත්  ගාමක බලවේගයක් හෙවත්  ‘කිලර් ඇප්ලිකේෂන්’ එකක් වශයෙන් නම් කළ හැකියි.

වෛද්‍ය විද්‍යාවේ මේ දියුණුව බටහිර යටත් විජිතවාදීන්ට පමණක් නොව ඔවුන් විසින් යටත් කර ගනු ලැබූ ස්වදේශික ජනතාවටද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වුනා. උදාහරණයක් වශයෙන් ප්‍රංශ අධිරාජ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම යටත් විජිත ද ඇතුලත් ව මුළු අධිරාජ්‍ය පුරාම විසු වැසියන් ආවරණය වන සේ ව්‍යාප්ත කළ යුතුය යන ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඇත්ත වශයෙන් ම නිදහස ලැබීමෙන් කලකට පසු බොහෝ අප්‍රිකානු රටවල පැවති ජීවිත අපේක්ෂාවට වැඩි ජීවිත අපේක්ෂාවක් යටත් විජිත පාලන යුගයේ ඇතැම් අප්‍රිකානු රටවල තිබුණා. ඒ නිසා බොහෝ අය තර්ක කරන ආකාරයට පටහැණි ව යුරෝපීය අධිරාජ්‍ය ක්‍රමය තම යටත් විජිත තුළ ධනාත්මක බලපෑමක් ද ඇති කළා.

4.     පාරිභෝගික සමාජය බිහිවීම බටහිර රටවල ජීවන මට්ටම ඉහළ නැංවීමට රැඩිකල් ලෙස දායක වුණා.

දහඅටවැනි සියවසේ දී බ්‍රිතාන්‍යයේ රෙදිපිළි කර්මාන්තය තුළ ඇතිවූ නව වර්ධනයන් නිසා කාර්මික විප්ලවය ආරම්භ වුණා. කම්කරු ශ්‍රමයට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඉන්ධනයක් ලෙස ලාභදායක ගල් අඟුරු යොදා ගැනීමට හැකි වීම නිසා නිෂ්පාදන වියදම් අඩු කර ගැනීමේ චේතනාවෙන් මුල් කාලීන කර්මාන්ත හිමියෝ තාක්ෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළා.                                                                                

එහි ප්‍රතිඵලය විස්මය ජනක වුණා. තාක්ෂණික දියුණුව සමග බ්‍රිතාන්‍යයේ රෙදි පිළි නිෂ්පාදන හැකියාව ඉතා වේගයෙන් ඉහළ ගිය අතර කපු රෙදි මිල ශීඝ්‍රයෙන් පහළ ගියා.  රෙදි පිළි සැපයීමේ මේ විප්ලවය නිසා කවුරුත් වඩා නිරීක්ෂණය නො කළ දෙයක් ද සිදු වුණා. එනම් හිටි හැටියේ ලෝකය පුරා ජනතාව පහසු මිලට ලැබුණු නව රෙදිපිළි මිලට ගැනීමට පෙර නොවූ විරූ ලෙස උනන්දුවක් දැක්වීමයි. මේ ඉල්ලුම රෙදිපිළි කර්මාන්තයේ අති විශාල වර්ධනයකට හේතු වුණා.

එහෙත් මේ වර්ධනය රෙදිපිළි වලට පමණක් සීමා වූණේ නැහැ. පහසු මිලට ගත හැකි භාණ්ඩ ගණනාවක් ම වෙළඳ පොළට එවීමට කාර්මික විප්ලවය සමත් වුණා. දැරිය හැකි මිලට භාණ්ඩ ලබා ගැනීම නිසා වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට ජනතාව පෙලඹෙන වෙළඳ පොල පදනම් කරගත් ක්‍රියාශීලී  පාරිභෝගික සමාජයක් ද බිහි වුණා. බටහිර ශිෂ්ටාචාරයේ තවත් වැදගත් ගාමක බලයක් වුණේ එයයි. පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමේ වැඩි වීම යනු වැඩි වැඩියෙන් කර්මාන්ත ශාලා ඇති වීම, රැකියා අවස්ථා සුලබ වීම සහ කම්කරුවන්ට හොඳ වැටුප් ලබාගැනීමට හැකි වීමයි. මෙ නිසා වැඩි වැඩියෙන් භාණ්ඩ මිළදී ගැනීමට හා පාරිභෝජනය කිරීමට බටහිර කම්කරුවන් ද පෙලඹුණා.

මේ බටහිර පාරිභෝගික සමාජය හා සැසඳීමෙන් තරම් හොඳින් පසු කලෙක දී සෝවියට් සංගමය විසින් හඳුන්වා දෙනු ලැබූ කොමියුනිස්ට් ක්‍රමයේ අසාර්ථකත්වය විස්තර කිරීම අසීරුයි. මිලිටරි උපකරණ සහ බැර කර්මාන්ත සම්බන්ධයෙන් නම් කොම්යුනිස්ට් ක්‍රමයට බටහිර ලෝකය හා තරඟ කිරීමේ හැකියාවක් තිබූ නමුදු තම රටවැසියන් සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් නම් කොමියුනිස්ට් ක්‍රමය මුළුමනින් ම අසාර්ථක එකක් වුණා. කොමියුනිස්ට් ක්‍රමය යටතේ ද රටවැසියන්ට අවශ්‍ය වුණේ ද බටහිර වැසියන්ට අපහසුවකින් තොරව මිලදී ගැනීමට හැකි වූ ජීන්ස්, කොකා කෝලා , සංගීත තැටි යනාදියයි. මහජනතාවට අවශ්‍ය භාණ්ඩ නිපදවනවාට වඩා ඒකාධිකාරී කොමියුනිස්ට් ක්‍රමය යොමු වුනේ රාජ්‍යබලය පවත්වා ගැනීමට අවශ්‍ය කරන අවි ආයුධ වැනි නිෂ්පාදන වලට මුල් තැන දීමයි. ඉතිං ජනතාව ළඟ මුදල් තිබුනත් ඒ මුදල්වලින් අභිමත දේවල් මිළදී ගැනීමට නැත්නම් ජීවන මට්ටම ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. එනිසා ම මහන්සි වී ඵලදායී ලෙස වැඩ කිරීමට දිරිගැන්වීමක් ද ඇති වෙන්නේ නැහැ.

5.       පාරිභෝගික සමාජයේ බිහි වීම බටහිර රටවල ජීවන මට්ටම ඉහළ නැංවීමේ ලා  ගාමක බලවේගයක් වුණා.

වෙහෙස මහන්සි වී  වැඩ කිරීමටත් මුදල් ඉතිරි කිරීමටත් ප්‍රොතෙස්තන්ත ආගම යුරෝපීය මිනිසුන් දිරිමත් කළා.

යුරෝපීය ක්‍රිස්ත්‍රියානි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ  ඵලයක් ලෙස පහළොස්වැනි ශතවර්ෂයේ මුලදී බිහි වූ  නව ප්‍රොතෙස්තන්ත්‍රවාදී රාජ්‍යයන් සම්ප්‍රදායික කතෝලික රාජ්‍යයන් අබිබවා දියුණු වුණා. මෙයට මූලික හේතුවක් වුණේ ප්‍රොතෙස්තන්ත ආගමික වටිනාකම් වලට අනුව හැඩ ගැසුණු වැඩ සදාචාරයයි(work ethic). බටහිර ශිෂ්ටාචාරය වර්ධනය වී පොහොසත් වීමට එක ගාමක බලයක් වූයේ මෙකී වැඩ සදාචාරයයි.

ප්‍රොතෙස්තන්ත ආගම යනු දැනුම, සාක්ෂරතාව, සකසුරුවම සහ මහන්සි වී වැඩ කිරීම බෙහෙවින් අගය කල ආගමක්. මේ වටිනාකම් ආර්ථික සමෘද්ධිය සඳහා ඉතා තීරණාත්මක ලෙස දායක වුණා. ඒ හැර ප්‍රොතෙස්තන්ත ප්‍රජාව අතර එදිනෙදා  කටයුතු සිදු වුණේ විශ්වාසය හා අවංක බව පදනම් කර ගෙනයි. ඒ නිසා ව්‍යාපාර වලට වැදගත් වු ණය ගනුදෙනු බැංකු කටයුතු ආදිය විශ්වාස දායක ලෙස ඉටු කිරීමට සහ පවත්වා ගැනීමට හැකි වූණා. ආර්ථික වර්ධනයට එයද බෙහෙවින් දායක වුනා.

ප්‍රොතෙස්තන්ත වැඩ සදාචාරය මෙසේ ව්‍යාප්ත වීම තවත් වැඩදායක වැදගත් වර්ධන කිහිපයකට ම හේතු වුනා. උදාහරණයක් වශයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වූ ශ්‍රම බලකාය පෙරට වඩා ගතික ස්වභාවයකින් මහන්සි වී වැඩ කළා. මේ වැඩ සදාචාරය සමග සකසුරුවමින් කටයුතු කිරීමට ද  මුදල් ඉතිරි කොට ආයෝජන වල යෙදවීමට ද මිනිසුන් පෙලඹුණා.

මෙසේ මහන්සි වී වැඩ කරන සාර්ථක වීම අරමුණු කරගත් මිනිසුන් සහිත සමාජයක්ප්‍රොතෙස්තන්ත ආගම විසින් බටහිර රටවල බිහි කරනු ලබන අතර අනෙකුත් සමාජවල පැවති ආගමික විශ්වාස සහ වටිනාකම් ඒවා ඇදහූ අය ප්‍රගතිය කරා යොමු කිරීමෙන් වළක්වන සුලු ඒවා වුණා. උදාහරණයක් වශයෙන් චීනයේ කොන්ෆියුසියුස් දර්ශනය රටක ස්ථාවර බව ඉහළින් සැලකූ නමුත් මිනිසුන්ගේ දියුණු වීමේ අභිලාෂයට වඩා උනන්දුවක් දැක්වූයේ එකී ස්ථාවරත්වයට අවශ්‍ය සම්ප්‍රදායික සමාජ ධුරාවලිය ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීමයි. බටහිර සමාජය දියුණුව කරා යන අතර තුරු චීන ජන සමාජය එක තැන පල් වීමටත් අනතුරුව ගරාවැටීමටත්  එක් හේතුවක් වූයේ එයයි. මෑත කාලයේ දී චීනයේ ආර්ථික වර්ධනය ට හේතු වුයේ බොහෝ කලක් ප්‍රමාද වී හෝ බටහිර දියුණුවේ ඇතැම් ගාමක බලවේග අනුගමනය කිරීමට චීනයට හැකි වූ නිසයි.

6.     බටහිර ලෝකයේ ජයග්‍රහණ අනුකරණය කිරීමට අනෙකුත් බොහෝ ශිෂ්ටාචාර ද තැත් කළා.

සියවස් ගණනක බටහිර ආධිපත්‍ය දෙස ආපසු හැරී බලමින් බටහිර ලෝකයට ඒ සා විශිෂ්ට ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකි වූයේ ඇයි දැයි ලෝකයේ අනිකුත් ප්‍රදේශවල විසූ අය කල්පනා කලා. තමන්ගේ රටවල සාර්ථකත්වය සඳහා බටහිර ආභාෂය ලබාගත යුතුයැ’යි සිතු ඔවුන් බටහිර දියුණුවේ ගාමක බලවේග තම රටවල් වල ද ඇති කරගැනීමට තැත් කළා.

ඒ අනුව  දියුණු වීමේ අභිලාෂය ඇතිව බටහිරකරණය වීම අනුගමනය කළ ප්‍රථම ආසියාතික රට වූයේ ජපානයයි. දහනව වැනි සියවසේ අගභාගයේ දී  ජපන් නායකයෝ බටහිර මොඩලය මත පදනම් වී ජපන් සමාජය, සංස්කෘතිය සහ ආයතන පරිණාමනය කිරීමට ඉටා ගත්තා. මුලින් ම අතහැර  දැමූ දේවල් වලින් එකක් වුණේ සියවස් ගණනක් තිස්සේ භාවිතා වුණු පාරම්පරික ඇඳුම් ආයිත්තම්.  ඒ වෙනුවට ජපන් රාජ්‍ය නිලධාරීන්ට සහ හමුදා නිලධාරීන්ට බටහිර මෝස්තරයේ ඇඳුම් පැළඳුම් ඇඳ ගැනීමට නියම වුණා. මේ බටහිර දියුණුව පහසුවෙන් ළඟා කර ගැනීමට හැකි වූ බටහිර කාර්මික දැනුම, කර්මාන්ත ශාලා සහ පාරිභෝගික සමාජයක් බිහි කිරීමද ජපානයේ බටහිරකරණ සැලසුම් වලට ඇතුලත් වුණා.

විසිවැනි ශත වර්ෂය තුළ අනෙකුත් බොහෝ සමාජ ද  ජපානය අනුකරණය කරමින් බටහිරකරණය වැළඳ ගත්තා. විශේෂයෙන් දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු අග්නිදිග ආසියාවේ බොහෝ රටවල්  බටහිර කාර්මික කරණ මොඩලය සාර්ථකව අනුගමනය කළා. ඒ අතර තුර ඔටෝමාන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු තුර්කිවරු පාරම්පරික ඉස්ලාම් ආණ්ඩුක්‍රමය ප්‍රතික්ෂේප කරමින් බටහිර අනුකරණය කොට වඩා ප්‍රජාතන්ත්‍රීය ජාතික ආණ්ඩුක්‍රමයක් පිහිටුවා ගත්තා. එපමණක් නොව ඔවුන් සිය පාරම්පරික හෝඩියේ අකුරු වෙනුවට තුර්කි භාෂාව ලිවීම සඳහා බටහිර රෝමන් අකුරු යොදා ගත්තා.

එහෙත් මෙවැනි හැම උත්සාහයක් ම මුළුමනින් සාර්ථක වුනේ නැහැ. උදාහරණයක් ලෙස ජපන් ජාතිකයන්  සිය සමාජය බටහිරකරණයට ලක් කිරීමට තීරණය කළ විට කිනම් ක්ෂේත්‍ර වලින් සාර්ථකත්වයක් ලැබේවිදැ’යි ඔවුන් හරියටම දැන ගෙන සිටියේ නැහැ. ඒ නිසා ඔවුන් හැකි හැම ආකාරයකින් ම බටහිර අනුගමනය කිරීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලය වුණේ බටහිර ආකාරයේ අධිරාජ්‍යයක් ගොඩනැගීමට තැත් කිරීමෙන් 1945 දී යුදමය වශයෙන් අන්ත පරාජයකට ලක්වන තෙක් ම අසල්වැසි සමාජ මර්දනකාරී ලෙස මැඩපැවැත්වීමට ජපන් සමාජය කටයුතු කිරීමයි.

කෙසේ වෙතත් බටහිර ආකාරයේ සාර්ථකත්වයක් ළඟා කරගැනීමට චේතනාවෙන් බොහෝ ජාතීන් තමන්ගේ චිරාගත සම්ප්‍රදායයන් අතහැර  දමා බටහිර දියුණුවේ ගාමක බලවේග තම රටවල බිහි කර ගැනීමට තැත් කළා.

සිය දියුණුවේ ගාමක බලවේග බටහිරයන් විසින් අමතක කර දමමින් තිබෙන බැවින් බටහිර ආධිපත්‍යයේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිතයි.

මෙතෙක් අනෙකුත් ශිෂ්ටාචාර අබිබවමින් බලය හා සෞභාග්‍ය අත්පත් කරගත් බටහිර ලෝකයෙන් දැන් ඒ හැකියාව අනුක්‍රමයෙන් ගිලිහෙමින් යනවා. පසුගිය සියවස් පහ මුළුල්ලේ ම බටහිර ශිෂ්ටාචාරයේ සලකුණක් වූ ලෝකාධිපත්‍ය දැන් අවසන් වෙමින් යන බව බොහෝ අය විශ්වාස කරනවා.

මේ බිය සාධාරණයි. මෑතක ඇති වූ මූල්‍ය අර්බුද වලින් බටහිර ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුවුණා.ණය බර නිසා ආර්ථිකය කෙරෙහි පැවති මහජන විශ්වාසය බිඳ වැටීමටබොහෝ බටහිර රට වල්වලට මුහුණ දීමට සිදුවී ඇති අතර ආසියාව, සුවිශේෂ වශයෙන් චීනය විශාල ආර්ථික දියුණුවක් ලබා ගෙන තියෙනවා.

තමන්ට දියුණු වීමට මග සැලසූ මූලික ගාමක බලවේග මොනවාද යන්න දැන් බටහිරයන් ට අමතක වී තිබෙනවා.  එකල ආර්ථික සාර්ථකත්වයට මග පෑදූ වැඩ සදාචාරය බොහෝ ක්ෂේත්‍ර වලින් දැන් අතුරුදහන් වී තිබෙනවා. දැන් යුරෝපීයයන් ලෝකයේ අඩු ම කාලයක් වැඩ කරන ජනතාව බවට පත් ව තිබෙනවා. එකල සකසුරුවම සහ ඉතිරි කිරීමට පුරුදු ව සිටි බටහිරයන් දැන් ඒ වෙනුවට පහසුවෙන් ලබා ගත හැකි ණය ක්‍රම මත විශ්වාසය තැබීමට පුරුදු වී සිටිනවා.

වඩාත් ම කණගාටුදායක කාරණය බටහිර ආත්ම විශ්වාසය ගිලිහෙමින් තිබීමයි. 1960 ගණන් වල සිට බටහිර ඉගැන්වීම් වඩාත් නැඹුරු වූයේ කිසිදු ශිෂ්ටාචාරයක් අනෙකට වඩා උසස් නැත එනිසා හැම ශිෂ්ටාචාරයක් ම එක සමානව ඇගයීමට ලක් කළ යුතුය යන මතයේ පිහිටි සංස්කෘතික සාපේක්ෂතා වාදය (cultural relativism) දෙසටයි. මෙහි ප්‍රතිඵලය වුණේ බටහිර රටවල යොවුන් පරපුරට බටහිර ඉතිහාසය හා බටහිර ශිෂ්ටාචාරයේ ජයග්‍රහණ ගැන තුලනාත්මක අවබෝධයක් ඇති නොවීමයි. බටහිර කෞතුකාගාර, පාසල් සහ ජනමාධ්‍යය වැනි සංස්කෘතික ආයතන අනෙකුත් ශිෂ්ටාචාර ඇගයීමට දැක් වූ උනන්දුව තමන්ගේ ම ශිෂ්ටාචාරය ඇගයීමකට දැක්වූයේ නැහැ.

බටහිර බලයේ අනාගතය අඳුරු වූවද බටහිර ශිෂ්ටාචාරයේ බොහෝ ගුණාංග අවශේෂ ලෝකය විසින් මහත් අභිරුචියෙන් අනුගමනය කරන බව අප අමතක කළ යුතු නැහැ. බටහිර බලය ද ඉක්මවමින් අවශේෂ ලෝකය දියුණු වීම ඇරඹීමට හේතු වුණේ ඔවුන් ද බටහිර බලය ගොඩ නැගීමට හේතු වූ අර ගාමක බලවේග හෙවත් ‘කිලර් ඇප්ලිකේෂන්’ යොදා ගත් නිසයි.

සැකසුම: විජයානන්ද ජයවීර

thathu.com

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: