ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
මානවයා බහ තෝරපු වචන මොනවාද? II කොටස
සිදුවීමට හැකියාව ඇති තුන්වැනි කාරණාව තමයි භාෂාව ඉංගිත(gestures) හෙවත් අංගචලන ලෙස ආරම්භවීම. මේ සඳහා සාක්ෂි වානරයන්ගෙන් සපයා ගත හැකියි. වානරයන්, තොරතුරු දැක්වීම සඳහා හස්ත ඉංගිතයන් යොදා ගන්නා අතර සැලකිය යුතු ඉහළ මට්ටමක් දක්වා මානව සංඥා භාෂාව (ඔවුනට)ඉගැන්විය හැකිය. කෙසේවෙතත්, අප (ඉංගිත වෙනුවට) කථනයට මාරුවූයේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට ඔය කිව් ඉංගිතමය මොඩලය යොදා ගන්න අමාරුයි. හස්ත ඉංගිත වෙනුවට කතාවට මාරුවෙන්නට හේතුව එක්කෝ කළුවරේ ඒ ආකාරයට ඉංගිත මගින් සංවේදනය කිරිමට නොහැකි වීම හෝ නැතිනම් මෙවලම් භාවිතය සඳහා අත් යොදාගැනීමට උවමනා වීම වෙන්නැති.
ඉතින් අපි ඕක සිදුවුණු වකවානුව ගැන කතා කළොත් ආයෙත් කියන්න තියෙන්නේ නිශ්චිතවම දක්වන්න බැහැ කියන එක තමයි. ඒත් අපට දැනුවත් අනුමානයක් කරන්න පුළුවනි. අපගේ සමීපතම ඥාතීන්වන නියන්ඩර්තාල්වරුන් සතුව පූර්ණව වර්ධනය වූ භාෂාවක් තිබූ බව අපට සහසුද්දෙන්ම කියන්න පුළුවනි. ඔවුන්ටත් දිව වෙත, ප්‍රාවීරය(diaphragm) සහ පපුව වෙත මේ ස්නායුක සම්බන්ධක ම තිබුණා. අපේ හුස්ම ගැනීම සහ දුර්බෝධ ශබ්ද උච්චාරණය පාලනය කිරීමට අපට ඉඩ සලසන්නේ ඒවාය. නියැන්ඩර්තාල්වරුන් හා අපිට FOXP2 නම් ජානයේ එකම මාදිලිය හිමිව තිබුණා. මෙය කතනය සඳහා සංකීර්ණ චාලක ස්මරණ සෑදීම සඳහා අත්‍යවශ්‍ය වේ. FOXP2 ජාන මාදිලිය හටගත්තේ එකම එක් වරක් යයි සිතා ගතහොත්, මෙයට වර්ෂ 500,000කට පමණ පෙර හෝමෝ සේපියන්ස් සහ නියැන්ඩර්තාල් පරපුරවල් අපහරණය හෙවත් වෙන්වී යාමට කලින් කථනය (දෙපිරිසම අතර) තිබෙන්නට ඇත.
gene FOXP2
වඩාත් පැරණිතම ආදිතමයන් සම්බන්ධයෙන් නම් ෆොසිල වාර්තාවලින් මේ තරම් පැහැදිලි චිත්‍රයක් ලබාගැනීම අසීරුයි. හොමෝ හයිඩල්බර්ග් ජෙන්සිස් යුරෝපාකරයේ මතුවෙද්දී මෙයට වසර 600,000කට පෙර අපේ පරපුරේ අයට කතාව හුරුව තිබුණේ යයි සිතිය හැකිය. ෆොසිල ගත අවශේෂ පෙන්නුම් කරන්නේ ස්වරාලයට(voice box) සම්බන්ධ වූ බැලුමක් සමාන අවයවයක් ඔවුනට අහිමිව ගොස් ඇති බවයි. තම ප්‍රතිවාදීන් බිය ගැන්වීම පිණිස ගැඹුරු, මහා හඬ නැගීමට අනෙකුත් ප්‍රිමාටේස් සතුන්ට ඉඩ සලසන්නේ එම අවයවයයි.
සැබෑ මනුස්සයකු ලෙස කතා කිරිම
භාෂාව ඊටත් වඩා පැරණි වෙන්න පවා පුළුවන්. මනුෂ්‍යයන්ගේ වැනි ස්නායුක සම්බන්ධක රහිත ආදිතමයෙක් සොයා ගැනීමට නම් කාලය ඔස්සේ වසර මිලියන 1.6ක් ආපස්සට යන්න වෙනවා. එයින් හැඟවෙන්නේ බොහොම ආදි කාලයේ මානවයන්ට පවා භාෂණයේ හැකියාව තිබුණු බවයි. මූලභාෂාවක් පිළිබඳ උපකල්පනය මේ චිත්‍රය මදක් අවුල් කරන සුළුයි. භාෂාව ආරම්භ වූයේ ඉංගිතවලින් නම් හොමිනින්වරු ඊටත් කලින් පවා සංඥා භාෂාව යොදා ගන්න ඇති. විලෝම වශයෙන් ගතහොත් භාෂාව පටන් ගන්නේ සංගිතයෙන් නම් එවිට කථනයේ අනුවර්තන තියෙන්නේ ඇත්තේ සුවිශේෂී තොරතුරු ස්වල්පයක් සමග තල්මසුන්ගේ ගීතය වැනි යමක් නිපදවන්නට වෙන්න ඇති.
එය එසේ වෙනත්, හොමෝ හයිඩල්බර්ග්ජෙන්සිස් සහ නියන්ඩර්තාල් යන දෙපිරිසම සංකීර්ණ ආයුධ තැනුවා පමණක් නොව අනතුරුදායක වන සතුන් දඩයම් කිරීම ද කළා. මේ ක්‍රියාකාරකම් දෙකම අඩුම තරමින් යම් ආකාරයක හෝ භාෂාවක් නොමැතිව සම්භන්ධීකරණය කිරීම බොහොම අසීරු දෙයක්.
සමහරවිට හෝමෝ ඉරෙක්ටස් සම්බන්ධයෙන්ද මෙම කාරණාවම ප්‍රකාශ කරන්න පුළුවනි. ඔවුන්ගේ මොළය අපට වඩා හුඟක් කුඩා නැත. ඉන් තේරුම් යන්නේ බුද්ධිය සහ සංස්කෘතිය සඳහා ඉඩකඩ තිබුණ බවයි. ඔවුන්ගේ ගල් ආයුධ, ඔවුනට පෙර තිබූ ඕනෑම මෙවලමකට වඩා සංකීර්ණය. එහෙත් පැහැදිලිව පෙනෙන දේ තමයි ඔවුන්ගේ ආයුධ තැනීමේ කලාව යම් ආකාරයකට ඇණහිටි තත්ත්වයකට පත්වූ බව. විවිධ කාර්යයන් සඳහා යොදා ගත් අත් පොරෝ වසර මිලියනයක කාලයක් තිස්සේ වෙනස් නොවී එලෙසම පැවතුණා. මෙයිනුත් කියැවෙන්නේ ඔවුන් අතරේ පූර්ණ භාෂා දැනුමක් වර්ධනය වී නොතිබූ බවයි. එවැන්නක් තිබුණා නම් සංස්කෘතික හා තාක්ෂණික විපර්යාසයන් වේගවත් වන්නට ඉඩ තිබුණා. එහෙයින් ඔවුන් සතුව නූතන මානවයන්ගේ සියලුම භාෂා හැකියාවන් නොවුවත් ඉන් යමක් තිබෙන්නට ඇත. වෙන වචනවලින් කියතොත් මූලභාෂාවක් ඔවුනට තිබෙන්නට ඇත.
සතුන්ගේ කතාබහ සහ සතුන් සමග කතාබහ
බොහෝ සතුන් අතරේ සංනිවේදන පද්ධතියක් නැතිනම් ක්‍රමයක් තිබේ. එය භාෂාවක් සේ පෙණුනද තත්වාකාරයෙන් භාෂාවක් හා සමාන නොවේ. නිදසුනක් දක්වන්නේ නම් වර්වට් (Vervet) වඳුරන් අතරේ ඒ ඒ විලෝපියන්ට ගැලපෙන පරිදි අනතුරු හැඟවීමේ කෑගසීම් තිබුණි. ‘රාජාලියා‘ ගැන අනතුරු හඟවන හඬ ඇසෙත්ම එම වඳුරො ආවරණයන් සොයා වහා දුවයති. ‘දිවියා‘ ගැන අනතුරු හැඟවීම ඇසුණු විට වහා ආසන්නයේම ඇති ගසකට ගොඩවෙති. කෙසේ වෙතත් වර්වට් වඳුරන් අලුතෙන් අනතුරු හැඟනීමේ සංඥා හඬ නිපදවන්නේ නැති හෙයින් ඔවුන්ගේ සංඥා පද්ධතිය භාෂාවක් ලෙස ගත නොහේ.
මේ ආකාරයටම බොහෝ සත්ව විශේෂ, සංකීර්ණ ශබ්ද පෙළක්ම නිපදවති. කතා කිරීමට හැකි ගිරවු ඔවුන් කතා කරන්නේ කුමක්දැයි නොදනිති. එමෙන්ම අප ඔවුනට පවසන දෑ ද තේරුම් ගැනීමට ඔවුනට නොහැක. තවද, පක්ෂීන්ගේ හෝ තල්මසුන්ගේ ස්වර උච්චාරණය, සංකීර්ණතාව අතින් මනුෂ්‍යයන්ගේ කතනයට තකට තක තිබිය හැකි නමුත් සාමාන්‍යෙයන් ඒවායින් කියැවෙන්නේ එක්, ඉතාමත් සරල පණිවුඩයක් පමණකි: ‘මෙන්න මම මෙතැන ඉන්නවා. මට හොඳට ගයන්න පුළුවන්. ඉතින් මං මේ ජෝඩුවෙන්න කෙනෙක් හොයනවා‘.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT WERE THE FIRST WORDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.