Post Capitalism: A Guide to Our Future
by Paul Mason
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්
කතෘ: පෝල් මේසන්
පෝල් මේසන් සම්මාන ලාභි ලේඛකයෙක්, විද්‍යුත් මාධ්‍යවේදියෙක් සහ සිනමා කරුවෙක්. කලක් ඔහු චැනල් 4 රූපවාහිනියේ ආර්ථික පුවත් සංස්කාරක වශයෙන් ද කටයුතු කළා. 2016 වසරේ පළ වූ හොඳම පොත් 10න් එකක් ලෙස පොල් මේසන් ගේ මේ Post Capitalism: A Guide to Our Future (පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශනයක් )පොත බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් නම් කරනු ලැබුවා.
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශයක්
සැකෙවින් කියවමු
හැඳින්වීම
අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි.
එහෙත් පෝල් මේසන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණ අවසානයි. උදාහරණයකට MP3 සහ ඊ-පොත් වැනි භාණ්ඩ නිපදවන නව තොරතුරු තාක්ෂණය ගෙන බලන්න. කිසිදු වියදමකින් තොරව පිටපත් කොට නැවත බෙදා හැරීමට හැකි ආකාරයේතොරතුරු භාණ්ඩ නිසා සම්ප්‍රදායික ධනවාදී ආර්ථික ක්‍රමය තුළ බරපතළ ආතතියක් ඇති වී තියෙනවා.
ධනවාදය කඩා වැටෙන්නේ ඇයි? බොහෝ විට එය තවත් වැඩි කලක් නො පවතින්නේ ඇයි? වැනි කරුණු සාකච්ඡා කරමින් සහයෝගිතාව මත පදනම් වෙන පශ්චාත් ධනවාදී සමාජයක් ඇති කර ගැනීමේ හැකියාව ගැන කතුවරයා කරන පැහැදිලි කිරීම මේ සැකෙවින් කියැවීමේ දී අවධාරණය කෙරෙනවා.
-
නව ලිබරල්වාදී ධනවාදය ගරා වැටීමට බොහෝ කොට හේතු වන්නේ ආඥප්ති (fiat money)මුදල් සහ මූල්‍යමයකරණයයි(financialization).
බටහිර ලෝකය පුරා පවතින නූතන වර්ගයේ ධනවාදය හඳුන්වන්නේ නව ලිබරල්වාදී ධනවාදය නොහොත් නව ලිබරල්වාදය යන නම් වලින්. නව ලිබරල්වාදයට අනුව සමාජයකට වර්ධනීය සෞභාග්‍යයක් ළඟා කර ගත හැක්කේ එම සමාජයේ පුරවැසියන්ට නිදහස් වෙළඳපොළක් තුළ ස්වාර්ථකාමී ලෙස සිය පුද්ගලික අභිවෘද්ධිය ඉටු කර ගැනීමට ඉඩ සැලසීමෙන්.
කෙසේ වෙතත් මේ නව ලිබරල්වාදය දැන් අසාර්ථක වී ගෙන යනවා. ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයට(OECD)[1] අනුව ඉදිරි පනස් වසර තුළ බටහිර රටවල ආර්ථික වර්ධනය බෙහෙවින් මන්දගාමී වන අතර ජන කොටස් අතර අසමානතාව 40%කින් පමණ ඉහළ යාමට ඉඩ තියෙනවා. ඒ ඇයි?
මේ තත්වයට දායක වන එක් ප්‍රධාන සාධකයක් වන්නේ බහුල ලෙස ආඥප්ති මුදල් භාවිතා කිරීමයි. ආඥප්ති මුදල් (fiat money) යනුවෙන් හැඳින්වෙන්නේ රන් හෝ රිදී සංචිත මගින් වටිනාකම තහවුරු නො කරන ලද රජයේ අභිමතය පරිදි මුද්‍රණය කරන ලද ව්‍යවහාර මුදල් වලටයි. ආඥප්ති මුදල් වල භාවිත වටිනාකම මුළුමනින් ම රඳා පවතින්නේ හුදෙක් ඒවා නිකුත් කරන රට අනුවයි.
නව ලිබරල්වාදී ආර්ථික සිය මූල්‍යමය අර්බුද වලට විසඳුම් සොයන්නේ මේ ආඥප්ති මුදල් යොදා ගැනීමෙනුයි. උදාහරණයක් වශයෙන් 2009 ආර්ථික ව්‍යසනයේ ඵලයක් ලෙස 2015 දී ග්‍රීසිය සහ ස්පාඤ්ඤ වැනි යුරෝපා සංගමයේ සාමාජික රටවල මූල්‍ය අර්බුද ඇති වුණා. එවිට යුරෝ මුදල් ඒකකය භාවිතා කරන එකී ආණ්ඩු වලට ණය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා යුරෝපා මධ්‍යම බැංකුව යුරෝ ට්‍රිලියන 1.6 ක නෝට්ටු මුද්‍රණය කළා.
තමන්ට නැවත ගෙවා ගැනීමට තියෙන අමාරු කම නො සලකා ආණ්ඩුවලට තව තවත් ණය වීමට ආඥප්ති මුදල් ඉඩ සලසනවා. ඒ නිසා මුල්‍ය අර්බුද විසඳීමට ආඥප්ති මුදල් යොදා ගැනීමේ නව ලිබරල් භාවිතාව අවුරුදු ගණනක් ගත ව ගියද නැවත නැවතත් අනුගාමී ආර්ථික අර්බුද උද්ගත කිරීමට හේතු වෙනවා.
නව ලිබරල්වාදයේ ගරා වැටීමට තවත් එක් හේතුවක් වූයේ 1980 ගණන් වල දී ආරම්භ වූ මූල්‍යමයකරණය (financialization)යි. මූල්‍යමයකරණය යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රම බලකායේ එක තැන පල්වෙන ආදායම බැංකු ණය මගින් ඌණපූරණය කිරීමයි.
ඒ අනුව ණයවරපත් (credit cards), බැංකු අයිරා, උකස් කිරීම්, අධ්‍යාපන ණය, නිවාස ණය, වාහන ණය ආදිය නව ලිබරල්වාදී ලෝකය තුළ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් බවට පත් වුණා. මෙසේ කලක් ගත වන විට මුදල් ඉපදෙන්නේ ම මේ ණය වලින් ලැබෙන පොලියෙන්. එබැවින් මේ අන්දමේ බැංකු ණය යනු ඇත්ත වශයෙන් ම සමාජයේ ගැවසෙන මුදලින් වැඩි ප්‍රමාණයක් මවා ගත් මුදල් බවට පත් කිරීමේ ප්‍රභවයයි.
-
නව ලිබරල් වාදයේ ගරා වැටීමට හේතු වෙන තවත් වැදගත් කරුණු දෙකක් වන්නේ ගෝලීය අසමබරතා (global imbalances) සහ තොරතුරු තාක්ෂණයයි.
ආඥප්ති මුදල් සහ මූල්‍යමයකරණය නිසා වර්තමාන ධනවාදී ක්‍රමය තුළ බරපතළ ප්‍රශ්න උද්ගත වී තියෙනවා. එහෙත් නව ලිබරල්වාදයේ ගරාවැටීමට හේතු වන තවත් ප්‍රබල කාරණා දෙකක් තියෙනවා.
ඉන් පළමුවැන්න ගෝලීය අසමබරතා නොහොත් රටවල් අතර භාණ්ඩ අපනයනය හා ආනයන සහ සේවා හා ආයෝජන අතර ඇති වෙනසයි. අපනයනය කරනවාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වීම නිසා අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ බොහෝ රටවල් වෙළඳ ශේෂයේ හිඟයක් ඇති රටවල් ලෙස සැලකෙන අතර වැඩියෙන් අපනයනය කරන ජර්මනිය, අරාබියේ ඛනිජ ඉන්ධන නිපදවන රටවල්, චීනය, ජපානය ඇතුළු බොහෝ ආසියාතික රටවල් වෙළඳ ශේෂයේ සැලකිය යුතු අතිරික්තයක් ඇති රටවල් ලෙස ගැනෙනවා.
මේ අසමබරතාව වඩ වඩා ණය ගැනීමට වෙළඳ ශේෂයේ හිඟයක් ඇති රටවලට බල කරනවා. 2008 ඇති වූ මූල්‍ය අර්බුදයට මූලික ව හේතු වූයේ එයයි. එවකට ග්‍රීසිය සුවිශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබුණා. නමුත් ඒවා ගෙවා දැමීමට තරම් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට ග්‍රීසියට ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා ආර්ථිකයේ තදබල අරපිරිමැසුම් (austerity) වැඩපිළිවෙළකට යාමට ග්‍රීසියට සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ දහස් සංඛ්‍යාත ජනතාවක් රැකියා විරහිත භාවයටත් නිවාස අහිමි වීමටත් ලක් වීමයි.
2008 ඇති වූ ඒ මූල්‍ය අර්බුදය නව ලිබරල් වාදය තිරසාර දෙයක් නොවන බවටත් ඒ නිසා ගෝලීය අසමබරතාව සම්බන්ධයෙන් යමක් කළ යුතු බවටත් කළ ප්‍රබල අනතුරු ඇඟවීමක්.
නව ලිබරල්වාදය අසමත් වීමට තවත් එක් හේතුවක් වන්නේ තොරතුරු තාක්ෂණ විප්ලවයයි. නව ලිබරල්වාදය බිහිවුණේ ම දේපොළ අයිතිය පදනම් කර ගෙනයි. එහෙත් තොරතුරු පදනම් කරගත් නව ලෝකයේ දේපළ අයිතිය යන්න එන්න එන්න ම නො වැදගත් වී යන සාධකයක්.
උදාහරණයකට විකිපීඩියාව නමැති අනතර්ජාලගත විශ්වකෝෂය ගෙන බලමු. විකිපීඩියාවේ වටිනාකම නිගමනය වෙන්නේ එනිසා ලැබෙන ලාභය, ආදායම හෝ එ තුළින් එක් රැස් වූ මූල්‍යමය වටිනාකමක් මත හෝ නොවෙයි. තවත් වැදගත් කාරණයක් වන්නේ විකිපීඩියාවට අයිතිකරුවෙක් නොමැති වීමයි. ඇත්ත වශයෙන් ම බැලුවොත් විකිපීඩියාව සියල්ලන්ට ම අයිති දේපළක්.
මේ විකිපීඩියාව වැනි තොරතුරු භාණ්ඩ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයේ ලාභය පදනම් කරගත් මූලික අභිලාෂයෙන් හා තදින් ගැටෙනවා. අනාගතයේ දී විකිපීඩියාව වැනි තවත් බොහෝ නිෂ්පාදන අපට දැක ගන්නට ලැබේවි.
කෙටියෙන් කීවොත් වැදගත් සාධක හතරක් නිසා නව ලිබරල්වාදය අසමත් වී තිබෙනවා. ඒ සාධක නම් ආඥප්ති මුදල් (fiat money) , මූල්‍යමයකරණය (financialization), ගෝලීය අසමබරතාව(global imbalances)සහ තොරතුරු තාක්ෂණ විප්ලවයයි(information technology revolution).
-
ධනවාදයේ ඓතිහාසික ගමන චක්‍රාකාරවයි. එහෙත් වර්තමානයේ එහි සිදු වන වෙනස්කම් මින් පෙර සිදු නොවූ විරූයි.
ඔබ කවදා හෝ නිකොලායි කොන්ඩ්රාටීෆ් (Nikolai Kondratieff) ගැන අසා තිබෙනවාද? ඔහු විසිවැනි සියවසේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ සිටි දැවැන්තයෙක්.
පුරා වසර අටක් සෝවියට් පාලනය යටතේ මොස්කව් හි සිරකරුවෙකු වශයෙන් ගත කළ පසු කොන්ඩ්රාටීෆ් අවසානයේ 1938 දී මරණ දණ්ඩනයට ලක් වුණා. ඔහු කළ වරද අර්බුදයක දී කඩා වැටෙනවාට ධනවාදය පවතින තත්ත්වයන්ට උචිත අන්දමට යළි හැඩ ගැසෙන බව පෙන්වා දීමයි.
කොන්ඩ්රාටීෆ් තර්ක කළ අන්දමට ධනවාදී ආර්ථික චක්‍ර හරියට ඓතිහාසික උදම් වගෙයි. ඔහු පෙන්වා දුන් අන්දමට මේ හැම ධනවාදී ආර්ථික චක්‍රයක් ම ක්‍රියා කරන්නේ වසර 25ක් පමණ වන කාලයක ඉහළට නැගීමක් සහ තවත් වසර 25ක පමණ කාලයක් පහළට රූටා යාමක් ද ද සහිතවයි. ඉහළට නැගීමට හේතු වන්නේ දියුණු තාක්ෂණය සහ සාර්ථක ආයෝජනයි. කෙසේ වෙතත් පහළට රූටා යාමේ ප්‍රතිඵල වන්නේ ආර්ථික අවපාතය, රැකියා විරහිත භාවය, බංකොලොත් වීම් සහ ණය ලබා ගැණීමට හෝ දීමට නොහැකි වීමයි.
ධනවාදය එහි අවසාන අර්බුදයට එළඹ සිටින්නේයැ’යි කාල් මාක්ස් පළ කළ ප්‍රකාශය සමග කොන්ඩ්රාටීෆ් එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු පෙන්වා දුන්නේ ධනවාදය එයට නිසර්ගයෙන් ම සිදු වන ආකාරයට තවත් චක්‍රයක ඉහළ පහළ යාමක නිරත වන බවයි.
කොන්ඩ්රාටීෆ්ගේ න්‍යාය උපයෝගී කර ගත් ඔස්ට්‍රියානු ජාතික ජෝස්ප් ස්චුම්පීටර් නමැති ආර්ථික විද්‍යාඥයා කොන්ඩ්රාටීෆ් චක්‍ර ගැන තමන්ගේ ම වූ න්‍යායක් ඉදිරිපත් කළා. පසු කාලීන ආර්ථික විද්‍යාඥයන් ඒ න්‍යාය වැඩිදුරටත් දියුණු කළා. ඒ අනුව ධනවාදයේ ඉතිහාසය තුළ එවැනි ආර්ථික චක්‍ර හතරක් එනම් 1790 සිට1848 දක්වාත්, 1840 සිට1890 ගණන්වල මැද භාගය දක්වාත්, 1890 ගණන් වල මැද භාගයේ සිට 1945 දක්වා සහ 1945 සිට 2008 දක්වාත් උද්ගත වූ බවට බොහෝ ආර්ථික විද්‍යාඥයන් එකඟ වුණා.
මේ හතරවැනි ආර්ථික චක්‍රය ඉහළ නැගීමේ ආරම්භය බොහෝ දුරට සනිටුහන් කළේ 1947 දී ට්‍රාන්සිස්ටරය හඳුන්වා දීමත් සමගයි. එහෙත් ඉන් අවුරුදු ගණනාවකට පසු 1973 අරාබි රටවල් ඛනිජ තෙල් සම්බාධක හඳුන්වා දීමත් සමග බටහිර ආර්ථිකය පසුබෑමකට හෙවත් අවධමනයකට(recession) ලක් වුණා. එය ආර්ථික චක්‍රයේ පහළට රූටා යාමේ ආරම්භය ලෙස සැලකිය හැකියි. 1945 සිට ම බටහිර ආර්ථික කිසිදු පසුබෑමකට ලක් නොවී තිබුණු නමුත් 1973 සිට 2008මූල්‍ය අර්බුදය සිදු වන තෙක් වූ කාලය තුළ ආර්ථික අවධමන හයක් බටහිර ලෝකයේ සිදු ව තිබෙනවා.
කෙසේ වුණත් මේ රටාවේ කිසියම් කැඩීමක්1990 ගණන් වල දී හතරවැනි චක්‍රය අවසන් වීමට ආසන්න ව සිදු වුනා. ඊට හේතුව නව අන්තර්ජාල තාක්ෂණය, ජංගම සංනිවේදනය සහ වඩා ජාලගත වූ ගෝලීය වෙළඳ පොළක් වැනි පස්වැනි ආර්ථික චක්‍රයකට උචිත මූලිකාංග බිහි වීමයි.
එහෙත් මේ නව ආර්ථික චක්‍රය නව ලිබරල් වාදයේ අසමත් කම නිසා ඇනහිට තිබෙන සෙයක් පෙනෙනවා.
-
තොරතුරු තාක්ෂණය අප පශ්චාත් ධනවාදය කරා මෙහෙයවයි.
1990 ගණන් වල දී පෞද්ගලික පරිගණක භාවිතය හා තොරතුරු හුවමාරු කර ගැනීමේ තාක්ෂණික ක්‍රමවේද විස්මය දනවන ලෙස වෙනස් වීම ඇරඹුණා. එ්වෙන තෙක් පැවති ධනවාදී ලෝකයට මුළුමනින් ම ආගන්තුක විලාස පද වූ ‘දැනුම් ආර්ථිකය’(knowledge economy), ‘ඥානන ධනවාදය’(Cognitive capitalism) සහ ‘තොරතුරු-ධනවාදය’(information capitalism) වැනි නව සංකල්ප මහජනයා අතර ගැවසෙන්නට පටන් ගත්තා.
නිෂ්පාදන ප්‍රභවයක් ලෙස තොරතුරු තාක්ෂණය යොදා ගැනෙන ආකාරය බොහෝ විට ධනවාදී ආර්ථිකයේ ඇති ඉල්ලුම සැපයුම නමැති කාර්ය පටිපාටියට මුළුමනින් ම විරුද්ධව යන්නක්. දැන් දැන් අපේ ආර්ථිකය මෘදුකාංග, ඊ-පොත්, අන්තර්ජාල ගත පුවත් සහ අයි ටියුන්ස් (iTunes) සංගීතය වැනි තොරතුරු නිෂ්පාදන මත පදනම් වීම සැලකිය යුතු ලෙස වැඩි වෙමින් තියෙනවා.
කොහොම වුණත් තොරතුරු මත පදනම් වූ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන්නේ භෞතික භාණ්ඩ (physical goods) මත පදනම් වූ ආර්ථිකයකට වඩා බෙහෙවින් වෙනස් වූ අන්දමින්. සුළු වියදමකින් හෝ කිසිදු වියදමකින් හෝ තොරව හෝ පිටපත් කොට බෙදා හැරීම පහසුවෙන් ම කළ හැකි බැවින් තොරතුරු භාණ්ඩ(information goods) චිරාගත වෙළඳ පොළ ක්‍රමයට මහත් අභියෝගයක් වී තිබෙනවා.
සම්ප්‍රදායික ධනවාදයේ ඉල්ලුම සහ සැපයුම යන සංකල්පය රඳා පවතින්නේ භාණ්ඩ හිඟය(scarcity) මතයි. ඒ අනුව පාරිභෝගික භාණ්ඩයක වටිනාකම මූලික ව තීරණය වන්නේ එය කොතරම් දුරට දුර්ලභ භාණ්ඩයක් ද යන සාධකය මතයි. තොරතුරු භාණ්ඩ අවතීර්ණ වීමට පෙර තිබු හැම භාණ්ඩයක් ම පරිමිත(finite) නොහොත් සංඛ්‍යාවෙන් සීමිත හෝ දුලබ ඒවා වුණා. ඒ නිසා එම භාණ්ඩ හුවමාරුව සිදු වුණේ එකම ආර්ථික මූලධර්මයකට අනුවයි.
අනෙක් අතට තොරතුරු භාණ්ඩ යනු බොහෝ විට අපරිමිත, අසීමිත දෙයක්. එනිසා ඉල්ලුම හා සැපයුම පිළිබඳ සම්ප්‍රදායික මූලධර්ම ඊට අදාළ වෙන්නේ නැහැ. අයිටියුන් (iTune) මගින් අලෙවි කළ හැකි ගීත ප්‍රමාණය අසීමිතයි. එමෙන්ම අයිටියුන් ගීත නීති විරෝධී ව කොපි කිරීමද බහුලව සිදු විය හැකියි.
තොරතුරු තාක්ෂණය අවශ්‍යයෙන් ම ධනවාදී නොවන නව ආරක නිෂ්පාදන විධි සඳහා ද ඉඩප්‍රස්ථා ලබා දෙනවා. 1990 සිට ඇරඹුණු ජාලීය ආර්ථිකය (network economy) තුළ වටිනාකම තව දුරටත් තීරණය වන්නේ මුදල් මගින් නොවේ. විකිපීඩියාවට දායකත්වය සපයන ලියාපදිංචි දායක සංඛ්‍යාව මිලියන 24කට අධිකයි. විකිපීඩියාව නොමිලේ ලබා ගත හැකියි. ( විකිපීඩියාව වාණිජ අඩවියක් මගින් ක්‍රියාත්මක වුනොත් ඒහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2.8ක් විය හැකියි.) ලාභ ඉපයීමක් නො කරන විකිපීඩියාව කිසිවකුගේත් පෞද්ගලික දේපළක් ද නොවේ.
නොමිලේ භාණ්ඩ ලබා දෙන සහ දේපළ අයිතියකින් තොර ආර්ථික ක්‍රමයක් කිසි සේත් ම ධනවාදී ආර්ථික ක්‍රමයක් විය නොහැකියි. එනිසා තොරතුරු තාක්ෂණය ධනවාදය ක්‍රියාත්මක වන සම්ප්‍රදායික මූල ධර්ම අනිශ්චිත කරමින් පශ්චාත් ධනවාදී සමාජයකට අප මෙහෙයවයි.
-
කාල් මාක්ස්ගේ ශ්‍රම න්‍යාය තොරතුරු භාණ්ඩ සම්බන්ධව බොහෝ විට ගැලපුනත් නිර්ධන පංතිය සම්බන්ධව ඔහුගේ දෘෂ්ඨිය නම් බෙහෙවින් පලුදු සහගතයි.
අන්තර්ජාලීය සංගීතය යනු ගෙවීමකින් තොරව හැම කෙනෙකුට ම නොමිලයේ ඇසිය හැකි දෙයක් නම් ධනවාදී න්‍යායට අනුව එහි කිසිදු වටිනාකමක් තිබිය නො හැකියි. එහෙත් කාල් මාක්ස් විසින් හඳුන්වා දෙන ලද න්‍යායකට අනුව අන්තර්ජාලීය සංගීතයට ද වටිනාකමක් ආරෝපණය කළ හැකියි.
අන්තර්ජාලීය සංගීතය වැනි තොරතුරු භාණ්ඩවල වටිනාකම මාක්ස් ගේ ශ්‍රම න්‍යාය භාවිතා කොට මැනිය හැකියි. මාක්ස් ගේ ශ්‍රම න්‍යායට අනුව පාරිභෝගික භාණ්ඩයක වටිනාකම නිර්ණය වෙන්නේ එය නිපදවීම පිණිස ‘සමාජයීය වශයෙන් වැය කිරීමට සිදු වූ පැය ගණන’ අනුවයි. මෙහි දී ‘සමාජයීය වශයෙන් වැය කිරීමට සිදු වූ පැය ගණන’ යනුවෙන් හැඳින්වෙන්නේ හුදෙක් පුද්ගලයෙක් වැඩ කළ යුතු පැය ගණන නොව එම භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යථා වශයෙන් ම අවශ්‍ය කරන වැඩ පැය ගණනයි.
මාක්ස්ගේ ශ්‍රම න්‍යායයේ දී යන්ත්‍ර, බල ශක්තිය සහ අමුද්‍රව්‍ය වල වටිනාකම ද නිමි භාණ්ඩයට හෝ නිම වූ ශ්‍රමයට පැවරිය යුතු වෙයි. වෙනත් අයුරකින් කිව හොත් තොරතුරු භාණ්ඩ ද කිසියම් ආකාරයක නිම වූ ශ්‍රමයක් ලෙස සැලකිය හැකියි. ඒවායේ වටිනාකම නිර්ණය වෙන්නේ එම භාණ්ඩ නිපදවීම පිණිස කොයි තරම් පරිශ්‍රමයක් දැරිය යුතු ද යන කාරණය මතයි.
ශ්‍රමයේ වටිනාකම පිළිබඳව මාක්ස් දැරූ මතය බෙහෙවින් නිවැරදි වුව ද කම්කරු පන්තිය පිළිබඳ ඔහුගේ මතය මුළුමනින් වැරදියි. ඔහු විශ්වාස කළ අන්දමට ධනවාදී ක්‍රමයෙන් සමාජය ගලවා ගත හැකි වන්නේ නිර්ධනයන් විසින් එයට එරෙහිව ගසන කැරැල්ලකින් පමණයි. එහෙත් ධනවාදය වසර 200ක් තිස්සේ පැවතුනත් නිර්ධනයින් එයට එරෙහි වූ ස්ථිර තර්ජනයක් බවට පත් වුණේ නැහැ.
එහෙත් මෑත කාලයේ දී ධනවාදය නව ආකාරයක පසමිතුරු බලවේග ඇති කර ගෙන තියෙනවා. ප්‍රධාන නගර චතුරස්‍ර වල කඳවුරු ගසමින්, වීදි බසිමින් පවතින ක්‍රමය ගැන සිය අසතුට පළ කරන මහා ජනතාව, වෝල් වීදිය වැනි මූල්‍ය කටයුතු කෙරෙන නාගරික ප්‍රදේශ නතු කර ගැනීමට තැත් කරන ‘ඔකියුපයි වෝල් ස්ට්‍රීට් වැනි’ ව්‍යාපාර වලට ස්වේච්ඡාවෙන් එක් වන ජනතාව, ‘ෆ්රැකින් ක්‍රමය’ භාවිතා කොට භූගත ඉන්ධන සූරා ගැනීමට තැත් කරන කාර්මික බිම් අවහිර කිරීමට එක්රැස් වන ජනතාව ආදීන් ඒ නව පසමිතුරු බලවේග වලට අයත් වෙනවා.
වර්තමාන ක්‍රමය හා එමගින් ඇති කරන ලද ප්‍රශ්න, විශේෂයෙන් මනුෂ්‍යයන්ගේ පැවැත්ම නිසැකව ම තර්ජනයට ලක් කර ඇති ගෝලීය උණුසුම වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් බරපතළ ලෙස අසතුටට පත් ජනතාවගේ සංඛ්‍යාව ලෝකය පුරාම එන්න එන්න ම වැඩි වෙනවා. ඉතින්. අපි මේ යල්පැන ගිය ධනවාදයෙන් ගැලවී වඩා හොඳ ක්‍රමයක් ඇති කර ගන්නේ කෙසේ ද? ඊළඟට අප කතා කරන්නේ ඒ ගැනයි.
-
ධනවාදයේ සිට පශ්චාත් ධනවාදයට සංක්‍රමණය වීම නව තාක්ෂණය සහ වර්ධනය වෙන ගෝලීය ප්‍රශ්න විසින් හැඩ ගස්වනු ලබන දීර්ඝ ක්‍රියාවලියක්.
ධනවාදයට පෙර බටහිර සමාජ වල පැවතුණේ වැඩවසම් ක්‍රමයයි. ඉතින් ඒ වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදී ක්‍රමයට සංක්‍රමණය වීම කෙසේ සිදුවී ද?
වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදය කරා සංක්‍රමණය වීම සෑහෙන කලක් ගත වූ බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක් වුණා. නවවැනි සියවසේ සිට පහළොස් වෙනි සියවස දක්වා පැවති වැඩවසම් යුගයේ දී රදලයන් තමන් සතු ඉඩම් අඳ ක්‍රමය යටතේ වැඩ කිරීමට ගොවීන්ට බදු දුන්නා.
ධනවාදය සම්බන්ධයෙන් දැන් සිදු වන අන්දමට ම වැඩවසම් ක්‍රමය කඩා වැටීමට ද හේතු හතරක් තිබුණා.
ඉන් පළමුවැනි හේතුව වුණේ 1300 ගණන් වල සිට වරින් වර පැමිණි දරුණු සාගත ගණනක් හා වසංගත නිසා පහත වැටුණු කෘෂිකාර්මික නිෂ්පාදනය පරිභෝජනය සඳහා නො සෑහීමයි.
ඊළඟට පහළොස් වන සියවසේ දී බැංකු ක්‍රමය වර්ධනය වීමත් සමග නව පන්නයක ආර්ථික බලයක් ගොඩ නැගීම ඇරඹුණා.
තෙවනුව, 1500 දී පමණ ඇමෙරිකානු මහද්වීපය යටත් කර ගැනීම නිසා ඇති කරගත් වාණිජ අවස්ථා සහ සෞභාග්‍ය සහ සිව් වෙනුව 1450 දී මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමෙන් විද්‍යාත්මක විප්ලවය උත්ප්‍රෙරණය කිරීමට හැකි වීම ඒ මූලික හේතු හතරයි.
මේ සියලු ම සාධක තිබිය දීත් වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදී ක්‍රමයට සංක්‍රමණය වීමට අවුරුදු සිය ගණනාවක් ගත වුණා. වැඩවසම් යුගය ගරා වැටුණු සාධක වලට වඩා වෙනස් සාධක මත සිදු වුණත් ධනවාදී ක්‍රමයක සිට පශ්චාත් ධනවාදී ක්‍රමයක ට සංක්‍රමණය වීම ද තාක්ෂණය සහ ගෝලීය විතැන්වීම් මගින් හැඩ ගස්වනු ලබන ඉතා දීර්ඝ කාලීන ක්‍රියාවලියක්.
අප දුටු පරිදි තොරතුරු තාක්ෂණය මගින් ධනවාදය අනිශ්චිත කර තිබෙන අතරම බලශක්ති හිඟය, දේශගුණ විපර්යාස, වියපත් වන සහ විගමණය වන ජනගහණයේ වැඩි වීම වැනි අනෙකුත් ගෝලීය ප්‍රශ්න ද ධනවාදයේ අභාවයට හේතු කාරක වී තියෙනවා.
වර්තමාන මට්ටමින් තවදුරටත් ඛනිජ තෙල් භාවිතය පවත්වා ගෙන ගියොත් ත්‍රීව්‍ර වන දේශගුණ වෙනස්කම් නිසා ඇතිවෙන ව්‍යසනකාරී සුළි සුළං, ගංවතුර සහ නියඟ සම්බන්ධයෙන් ධනවාදයට නිසි පිළිතුරු දිය නොහැකි වන්නේ ඉන්ධන සැපයුම සහ ඉල්ලුම මුළුමනින් ම ධනවාදී වෙළඳ පොළ සංකල්පයන් මත රඳා පවතින නිසායි.
තරුණ අයට වඩා මහලු අය වැඩි ප්‍රමාණයකින් ජනගහනය සංයුක්ත වීම නිසා සංවර්ධිත රටවල් සිය ශ්‍රම බලකාය සම්බන්ධ විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. ඊට අතිරේක ව දැනට වඩා අඩු වියදමකින් ජීවත් වීමට සිදුවීමේ අභියෝගයට ද වැඩි මහලු අයට අනාගතයේ දී මුහුණ දීමට ද සිදු වෙනවා.
ධනවාදයෙන් පශ්චාත් ධනවාදයට සංක්‍රමණය වීම ඇතැම් විටක බෙහෙවින් රළු විය හැකියි. එහෙත් එය සිදුවීම අනිවාර්යයි. කෙසේ හෝ අපේ පෘථිවිය ගලවා ගැනීමට අපට හැකි වේයැ’යි විශ්වාස කිරීමට තරම් අප එඩිතර වන්නේ නම් තවදුරටත් අපට වැඩක් නොවන ආර්ථිකයකින් මිදීමට අධිෂ්ඨාන කර ගැනීමට අපට අපහසු කාර්යයක් නොවිය යුතුයි.
-
පශ්චාත් ධනවාදී ආර්ථිකයක් කරා යොමු වීමට රජයකට විචාරවත් පියවර ගත හැකිය.
පශ්චාත් ධනවාදී සමාජයක් ඇති කිරීමේ පෙරටුගාමී කටයුත්ත විකිපීඩියාව හා සමාන සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස දියත් කළ හැකිය. පශ්චාත් ධනවාදී සමාජයේ අරමුණු වන්නේ ගෝලීය උණුසුම ඉහල යාමට හේතු වන කාබන් විමෝචනය නතර කිරීම සහ නිෂ්පාදන වියදම් නැති ආසන්න වශයෙන් ශුන්‍ය ශ්‍රම වැය වීමක් සහිත භාණ්ඩ සඳහා හොඳ වෙළඳ පොළක් බිහි කිරීමයි. මේ අරමුණු ඉටු කර ගැනීම සම්බන්ධයෙන් රජයකට කළ හැක්කේ කුමක් ද?
ප්‍රථමයෙන් ම තිරසාර, සහයෝගී සහ සමාජයීය වශයෙන් සාධාරණය කළ හැකි ව්‍යාපෘති දිරි ගැන්වෙන ආකාරයට රජයට වෙළඳ පොළ ප්‍රතිසංස්කරණය කළ හැකිය. උදාහරණයක් ලෙස සූර්ය කෝෂ පුවරු සහ ප්‍රාදේශීය පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා බදු සහන ලබා දීම රජයට කළ හැකිය.
ලාබ නො ලබන සමාගම් දිරිගැන්වීම සහ සහයෝගී නිෂ්පාදන ආදියට හිතකර වන අන්දමට බදු ක්‍රමය ද සකස් කළ යුතුය. අවම වැටුප සහිත රැකියා වෙනුවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවීමට පහසු වන අන්දමට සමාගම් රෙගුලාසි ද සංශෝධනය කළ යුතුය.
දෙවනුව රජයට කළ හැකි තවත් වැදගත් කටයුත්තක් වන්නේ පෞද්ගලීකරණය කිරීම නතර කොට, නිෂ්පාදන ඒකාධිකාර කඩා ණය අහෝසි කර දැමීමට ක්‍රියා කිරීමයි. පශ්චාත් ධනවාදයට සංක්‍රමණය වීම බරපතළ කාරණයක් කොට සලකන්නේ නම් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර බහිස්සේවාර්ථනයට (outsourcing) හෙවත් බාහිර කොන්ත්‍රාත්තු මගින් ඉටු කිරීමට ඉඩ දෙන පෞද්ගලීකරණය කිරීම නතර කළ යුතුය.
භාණ්ඩ සඳහා අසාධාරණ ලෙස ඉහළ මිලක් නියම කිරීමට සමාගම් වලට ඉඩ සලසන ඒකාධිකාර සවිචාරීව කඩා දැමීමට රජය මැදිහත් විය යුතුය. එසේ ඒකාධිකාර කඩා දැමීමේ දී ඒවායේ ඇතැම් කොටස් මහජන අයිතිය සඳහා විවෘත කළ හැකිය.
රාජ්‍ය ණය පිළිබඳ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට ද රජයන්ට සිදු වෙයි. මේ ණය ප්‍රශ්නය එන්න එන්න ම උග්‍ර වෙමින් යන දෙයක් බැවින් ණය ගෙවීමේ සුදුසු ක්‍රමයක් රජයන් විසින් සොයා ගත යුතුය.
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ හැම රට වැසියෙකුට ම රජය විසින් මූලික ආදායමක්(basic income) සකසා දිය යුතු බවයි. මින් අදහස් වන්නේ රැකියාවක නිරත වීමට සුදුසු වයසට එළඹෙන සෑම කෙනෙකුට ම රටේ බදු ක්‍රමය මගින් බරපැන දරණ කොන්දේසි විරහිත මූලික ආදායමක් ලබා දීමයි. රැකියා විරහිත අයට ගෙවන ඩෝල් නමැති සුළු දීමනාවක් වෙනුවට එවැනි මූලික ආදායමක් ලබා දීම නිසා යෞවනයන්ට ස්වේච්ඡා කටයුතු වල නිරත වීමට, නව අදහස්, නවෝත්පාදන නිපදවීමට පමණක් නොව විකිපීඩියාව වැනි සහයෝගිතා ව්‍යාපෘති වලට දායක වීමට ද දිරියක් සහ ඉඩ ප්‍රස්ථා ද ඇති වෙයි.
සහයෝගිතාව කොතරම් බලගතු දෙයක් ද යන්නට විකිපීඩියාව වැනි ව්‍යාපෘති කදිම නිදර්ශනයකි. නව ආර්ථික යුගයකට පදනම වන්නේ සහයෝගිතාවයි.
එතකොට අර සුපිරි පොහොසත් 1%ට සිදු විය හැක්කේ කුමක් ද. ඔවුන් කලින් ට වඩා දුප්පත් වන බැවින් කලින් ට වඩා සතුටට ද පත් වේවි. මන්ද ඒ තරම් අමන මට්ටමට පොහොසත් වීම ඉතා පරුෂ අසම්මක්ජාති ක්‍රියාවක් වන බැවිනි…..එනිසා ඉතිරි සියයට 99 ඔවුන්ගේ ගැලවීම සඳහා පැමිණේවි. පශ්චාත් ධනවාදය ඒ 1% ඔවුන්ගේ බැමි වලින් නිදහස් කරාවි.
පසුගිය වසර දෙසීයක් තිස්සේ ධනවාදය ලොව රජයා ඇති නමුත් එහි අවසානය ළඟා වෙමින් පවතිනවා. අන්තර්ජාලයට සහ නව තාක්ෂණයට පින් සිදු වන්නට අපේ ආර්ථිකය එන්න එන්නම රඳා පවතින්නේ පරණ තාලයේ ඉල්ලුම සහ සැපයුම යන සංකල්පය මත පදනම් වූ ආර්ථික නියාම වලින් පාලනය නොවන තොරතුරු භාණ්ඩ මතයි. ඒ හා සමග උද්ගත වි ඇති වැඩි වන ගෝලීය උණුසුම සහ දේශාන්තර ජනතා සංක්‍රමණ විසින් පශ්චාත් ධනවාදය කරා අනලස්ව යොමු වීමට රාජ්‍යයන්ට බල කරනු ලබනවා.
[1]OECD – Organisation for Economic Cooperation and Development
සැකසුම: විජයානන්ද ජයවීර
thathu.com