ගස්වලින් බිමට බැස දෙපයින් යන්න පටන් ගත් කාලේ නම් මානවයන් කවුරුත් පයට පාවහන් පැළඳීමක් සිදුකෙරුණේ නැහැ. ආදී මානවයාට ඒ ගැන වගක් නොතිබෙන්නට ඇති. ඒත් පහු කාලේ වෙනකොට විවිධ හේතු නිසා විවිධාකාරයේ පාවහන් පලදින්නට පටන් ගත්තා. අද වන විට පාවහන් භාවිතය කෙතරම් ප්‍රචලිද කීවොත් සාමාන්‍ය බිමක පාවහන් රහිතව ඇවිදීම බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති කරවන්නක්. සමහරු බිය දක්වන්නේ පාදය යට හම ඝනකම වීම ගැනැයි. මේ ගොරෝසු වුණු කොරොස් හම හඳුන්වණු ලබන්නේ කණිකාවක්(calluses) ලෙසයි. එහෙත්, කණිකාවට බියවිය යුතු නැත.
නවතම පර්යේෂණයකින් කියැවෙන්නේ පා කණිකා — පා වහන් නොමැතිව භූමියේ ඇවිදින විට ස්වාභාවිකව හම ඝනවීම — පරිණාමය වී ඇත්තේ පය ආරක්ෂාකිරීමට සහ බාගදා සපත්තුවලට කිරීමට නොහැකි ආකාරයට ඇවිදීම පහසුකරවීමට විය හැකිය. පාවහන් මෙන් නොව පා කණිකා ආරක්ෂාව සලසන්නේ පයේ සංවේදීතාව හෝ ගමන්ලීලාව අවදානමකට ලක් නොකරමිනි යයි ජූනි 26 ද Nature මාර්ග ගත සඟරාවෙහි පළ වූ මෙම අධ්‍යනයේ වාර්තාවේ දැක්වේ. මීට පටහැණිව, සපත්තු පයේ සංවේදීතාව අඩුකරන අතර පාදයේ සිට කකුලේ ඉහල සන්ධී වෙත මාරුවන බලය වෙනස් කරයි
එක්සත් ජනපදය, ජර්මනිය සහ අප්‍රිකාවේ ආයතන වලට අයත් මේ පර්යේෂකයෝ, ඔවුන්ගේ සොයාගැනීම් කොයි විදිහකින්වත් පාවහන් නොමැතිව ගමන් කිරීම පාවහන් පැළඳ ගමන් කිරිමට වඩා සෞඛ්‍යසම්පන්න බවක් ප්‍රදර්ශනය නොකරන බව අවධාරණය කර සිටිති. හරය වශයෙන් ගත් කල මේ අධ්‍යනය මානව පරිණාමය ගැනයි. එසේ වුවද, අප පරිණාමය වී ඇත්තේ පාවහන් නොමැතිව ඇවිදීමටය යන කාරණාව මෙන්ම පාවහන් පැළඳ ඇවිදීම යාන්ත්‍රික වශයෙන් වෙනස්ය යන්නද සලකන විට දිගු කලීන සෞඛ්‍ය වාසි සලසන්නේය යන්න ගම්‍ය කිරීමට හැකි යයි පර්යේෂකයෝ කියා සිටිති.
“අපේ ශරීර ක්‍රියාකාරිත්වය සඳහා පරිණාමය වෙච්ච හැටි සෙවීම විනෝද ජනක තමයි. පාවහන් නොමැතිව ඇවිදීමේ සෞඛ්‍යමය වාසි තිබෙන්න පුළුවන්. ඒත් ඒවා අධ්‍යනය කර බැලිය යුතුයි” යනුවෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව පරිණාමීය ජීව විද්‍යා මහාචාර්ය ඩැනියල් ලයිබර්මාන් පවසයි. හෙතෙම් මෙම අධ්‍යනයේ සම-ප්‍රධානියෙකි.
මානවයන්ගේ පැවැත්ම පවතින වසර 200,000 න්, වැඩි කාලයක් අප ගත කළේ පයට පාවහන් නොමැතිවය. ඉතින්, කණිකා යනු පාදය ආරක්ෂා කරන පරිණාමීය විසඳුමක් වන අතර ලයිබර්මාන්ගේ කණ්ඩායම වැඩිහිටියන් 100කට වැඩි පිරිසකගේ කණිකා පරීක්ෂා කර බැලූහ. මොවුන්ගෙන් බහුතරය කෙන්යානු ජාතිකයන්ය. පරීක්ෂාවට ලක්වූ පිරිසෙන් අඩක් වැඩි වේලාවක් පාවහන් පැළඳ ගතකල අය වූ අතර අඩක් වැඩී වේලා ගෙව්වේ පාවහන් වලින් තොරවය.
පාවහන් රහිතව ඇවිදින්නන් අතර කණිකාවන්ගේ ඝනකම නැතිනම් ඝනත්වය, ස්පර්ශක සංවේදීතාව මෙන්ම ඇවිදිනවිට පොලව පෑගීමෙන් පාදයට දැනෙන සංවේදනය හීන නොකළේය. කුෂන් කළ අඩි සහිත සපත්තු පැහැදිලිවම මෙම සංවේදනය අඩපණ කළේය. කෙසේවෙතත්, බෙහෙවින් ඝනකම කණිකා කොහොමටත් සපත්තු කුෂන් සමානවම ක්‍රියා නොකරයි.
සපත්තුවලින් මෙන්ම රත්වූ පොළවෙන් හෝ භූමියෙහි උල් වස්තූන්ගෙන් පය ආරක්ෂා කරගනිමින් පහසුව සහ පරෙස්සම (ඝනකම අනුව) කණිකාවට ද සැපයිය හැකියි. ඒත් සපත්තු පැළඳි විට මෙන් නොව පාදයෙහි සංවේදී ප්‍රතිග්‍රාහකවලට පොළව මතුපිට වෙනස් කම් හඳුනාගනිමින් මොළයට සංඥා යැවීමට කණිකා ඇති පාද වලට පුළුවන. පොළව පෑගීමෙන් ඇතිවන මේ සංවේදනය බාධාවකින් තොරව මොළය වෙත යාමෙන් පාවහන් රහිත ඇවිදින්නන්ට සමබරතාව රැකගැනිමට, මාංශපේශී ශක්තිමත් කරගැනීමට මෙන්ම පාදය සහ මොළය අතර වඩාත් බලවත් ස්නායුක සම්බන්ධක ගොඩනගා ගැනිමට ද උපකාරී විය හැකිය. “වර්ධනය ගැන සැලකිලිමත්වෙමින් අභිවාහි(afferents = මොළය වෙත ගමන් කරන ස්නායු) උත්තේජනය කිරීම පිණිස ළමුන් පාවහන් රහිතව තෙත තණ මත ඇවිදීම සුදුසු යයි අපි යෝජනා කරනවා” ජර්මනියේ Technische Universität Chemnitzහි මහාචාර්ය, අධ්‍යනයේ සම කතෘ තෝමස් මිලානි කියා සිටියි. “ඒ කියන්නේ පාවහන් රහිතව ඇවිදින විට පොළවෙන් ලැබෙන ප්‍රතිපෝෂණය අවකාශය තුළ ශරීරය පිළිබඳ දැනීම නැතිනම් අවබෝධය(proprioception = ස්වප්‍රතිග්‍රහණය) වර්ධනය කරන බවය” යි කැනඩාවේ, වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ මාචාර්ය දූරයක් දරන ඊ. පෝල් ශෙහර් පෙන්වාදෙයි. හෙතෙම මෙම අධ්‍යනයට සම්බන්ධවූවෙක් නොවේ. පය පොළව් මත ගැටෙන විට ඇතිවන බලයන් ගැන අධ්‍යයන කණ්ඩායමේ සොයාගැනීම් සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන ශෙහර් කෙසේවෙතත් ස්පර්ශක සංවේදනය ඇවිදින විට නොව නතරව සිටින විට මැන බැලීම පර්යේෂණයේ යම් ඌණතාවක් ලෙස දක්වයි. “වාඩිවී සිටීම, නැගිට සිටීම, ඇවිදීම, සහ දිවීම සංසන්දනයේ දී සංවේදක ආදානයන් පෙන්නුම්කරන්නේ වෙනස් බලපෑම්” ඔහු පෙන්වාදෙයි.
ආවරණ නොමතිව හිස් පයින් ඇවිදීමේ පරිණාමීය පදනමක් තිබුණත් පාවහන් නොපැළඳ ඇවිදීම සැමටමත් යෝග්‍ය නැත. නිදසුනකට, දියවැඩියාවෙන් පෙළෙන්නන්ට සිය පාදය තුවාල වුවත් ඒ ගැන දැනීමක් ඇතිනොවන්න පුළුවනි. ආරක්ෂාව සලසන අතරම ස්පර්ශක උත්තේජනයක් ද දැනෙන තුනී පාවහන් ගැන සොයා බැලීමට ලියිබමාන් ඇතුළු පර්යේෂකයන් උනන්දුවක් දක්වනු ඇත.
Live Science හී පළවූ Barefoot Walking Gives You Calluses That Are Even Better for Your Feet Than Shoes, Study Suggests යන ලිපිය ඇසුරෙනි